ඉංග්‍රීසි භාෂාව ගැන මේ දේවල් දන්නවද?




හැමෝටම ඇති නේද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ගිහිල්ලා යාන්තමට හරි ඇඬුණ යුගයක්? මට නම් තිබුණා. ඒ කාලේ මට ඉංග්‍රීසි තරම් අප්‍රියජනක වචනයක් හෝ කාල පරිච්ඡේදයක් පාසල් කාල සටහනේ වෙන තිබුණේම නැහැ. හැබැයි ඒ හැඟීම ඒ විදියට දිගටම තිබුණානම් අද මම කොහෙද කියලා හොයන්නත් නැහැ. ඉංග්‍රීසි භාෂාව අද ඒ තරම්ම අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වැදගත් අංගයක්. 

ඒ දවස්වලම ඕක හොඳටම තේරුම් අරගෙන තිබුණා මගේ අම්මා. අම්මා මාව ගිහින් දැම්මා අම්මාගේ හොඳම යෙහෙළියක ළඟට. අම්මගේ මේ යෙහෙළිය තමන්ගේ පාඩුවේ ගෙදර වැඩක් කරගෙන හිටිය බර්ගර් ජාතික ගෘහණියක්. මගේ ඉංග්‍රීසි භාෂාව ඔපමට්ටම් කරලා හදන වැඩේ ඇය අම්මාගෙයි ඇයගෙයි මිත්‍රත්වය වෙනුවෙන් බාරගත්තා. ඇය මට ඉංග්‍රීසි දියකරලා පෙව්වේ නැති ටික විතරයි. හැම සතියකම දවස් දෙකක් ඒ බර්ගර් ගුරුවරියගේ ගෙදර මං වෙනුවෙන් අනිවාර්ය උපකාරක පන්ති. කිසියම්ම හෝ හේතුවක් නිසා යම් දවසක පන්තියට සහභාගි වෙන්න නොහැකිනම් නොපැමිණෙන වග දන්වලා ඉංග්‍රීසි භාෂාවෙන් ලිපියක් ලියලා වැඩිහිටියෙකුගේ අත ඒක ඇයට යවන්න ඕන. එහෙම යැව්වාම මගේ ගුරුතුමිය ඒක බලලා, රතු පෑනකින් හරි වැරදි ලකුණු කරලා, සතුටුදායක තරම් නිවැරදිව ලිපිය ලියලා තියෙනවනම් මම ඒ දවස්වල දකින්න ආසම කරපු Very good එකකුත් දාලා අර වැඩිහිටියාගේ අතේම ආපහු මට එවනවා. 

අපි හැමෝම දන්නවනේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව කියලා. සැකයක් නෑ ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත්. ලෝකයේ රටවල්වලින් 1/4 ක් පමණ, ඒ කියන්නේ රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාවට තමන්ගේ රටේ නිල භාෂාවක තත්ත්වය ලබාදී තිබෙනවා. ඒත් ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂාව නෙවෙයි. චීන ජනතාව භාවිතා කරන මැන්ඩරීන් හෙවත් සම්ප්‍රදායික චීන භාෂාවත් ස්පඤ්ඤය සහ ලතින් ඇමරිකාවේ බහුලව භාවිතා වන ස්පාඤ්ඤ භාෂාවත් තමයි පිළිවෙලින් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන භාෂා අතරින් එක සහ දෙක. ඉංග්‍රීසි භාෂාවට හිමිවෙන්නේ මේ ලැයිස්තුවේ තුන්වෙනි තැන. 

අවම වශයෙන් අකුරු 08 කට එක වරක් හෝ යෙදෙන නිසා ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම භාවිතා වෙන අකුර E අකුර කියලයි කියන්නේ. එතකොට වැඩිම වචන ගණනක් පටන්ගන්නේ S අකුරෙන්. අවම භාවිතයක් ඇති අක්ෂරය විදියට සැලකෙන්නේ Q අක්ෂරය. 

එකම අකුර දෙපාරක් යොදන්නේ නැතිව ලියන්න පුළුවන් දිගම වචනය uncopyrightable. දැනට තියෙන දීර්ඝම වචනය pneumonoultramicroscopicsilicovolcanoconiosis. ඔව්, ඕක තමයි දීර්ඝම වචනය, උච්චාරණය කරලා බලන්න. ඔය වචනය උච්චාරණය කෙසේ වෙතත් මම මුලින්ම කළේ වචනයට තියෙන අකුරු ගණන ගැණලා බැලීම. මේ වචනය පෙනහලු ආශ්‍රීතව අැතිවෙන Silicosis කියන රෝගය හඳුන්වන්න භාවිතා කරන වචනයක් කියලයි සඳහන් වෙන්නේ. මෙච්චර සරල පොඩි වචනයක් තියෙද්දි මොකටද කාටවත් කියවගන්න බැරි අර තරම් දීර්ඝ වචනයක්? 1935 දි ඔය වචනය හඳුන්වා දෙන්න කලින් ඉංග්‍රීසි භාෂාවේ දීර්ඝම වචනය වශයෙන් තිබිලා තියෙන්නේ electrophotomicrographically

ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා එහි අකුරු 26 ම යොදාගෙන ලියැවෙන වාක්‍ය. මේවගේ වාක්‍යවලට කියන්නේ pangram කියලා. ඔබ අතරින් බොහෝ දෙනෙක් pangram කියන වචනය අහලා නැති වෙන්න පුළුවන්, නමුත් හැමෝම වගේ pangram එකක් දැකලා තියෙනවා. මේ තියෙන්නේ ඒ හැමෝම දන්න pangram එක. 


Lipogram කියලා ඉංග්‍රීසි වචනයක් තියෙනවා. එ් වචනයේ අර්ථය කිසියම් නිශ්චිත අකුරක් හෝ අකුරු කිහිපයක් නොයෙදෙන විදියට ලියූ වාක්‍ය/ජේදය කියන එක. අපි දැන් දන්නවනේ ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම යෙදෙන අක්ෂරය E කියලා. පුලුවන්ද E අකුර යොදාගන්නේ නැතිව වාක්‍යයක් හදන්න? 

ක්‍රි.ව 1873 -1939 කාලයේ අර්නස්ට් වින්සන්ට් රයිට් කියලා ඇමරිකානු ජාතික ලේඛකයෙක් හිටියා. මෙයා රචනා කරලා තියෙනවා පොතක් Gadsby කියන නමින්. මේ පොතේ වචන 50,000 කට වඩා තියෙනවා, ඒ වගේම එය තරමක රසවත් කතාවක් අන්තර්ගත පිටු 282 කින් යුත් නවකතාවක්. නමුත් පොතේ කිසිම තැනක E අකුරක් සහිත එකම එක වචනයකවත් නැහැ. වින්සන්ට් රයිට් මේ පොත රචනා කරද්දි එයාට තිබුන ලොකුම ගැටලුව වුනා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ Regular verbs වශයෙන් හඳුන්වන ක්‍රියා පද.  එවැනි ක්‍රියා පදවල අතීත ස්වරූපය ලියද්දි අගට -ed යෙදනෙවා. ඒ නිසා වින්සන්ට් රයිට් තමන්ගේ මේ පොත ලියලා තියෙන්නේ ඒ විදියේ Regular verbs මුලුමනින්ම මගහැරලා. මේ පොත බුද්ධිමය දේපළ අයිතියෙන් නිදහස් පොතක් (Public domain mark). කැමති කෙනෙක් ඉන්නවානම් archive.org වෙතින් පොතේ මෘදු පිටපතක් නොමිලයේම භාගතකරගෙන කියවන්න පුලුවන්. 


Queueing කියන වචනය හැදෙන්නේ පෝලිම/පේළිය වගේ අර්ථයන් දෙන Queue කියන වචනයෙන්. හොඳට බලන්න Queueing කියන වචනය ඇතුළේ අඛණ්ඩව ස්වර අක්ෂර (Vowels) 05 ක් යෙදිලා තියෙනවා. ඒ තමයි ස්වර අක්ෂර වැඩිම ගණනක් අඛණ්ඩව යෙදෙන ඉංග්‍රීසි වචනය. එතකොට ස්වර අක්ෂර නැතිව ලියන්න පුළුවන් දීර්ඝම වචනය තමයි Rhythm. දන්නවනේ ඕනම භාෂාවක තියෙනවා එකම රිද්මයට ශබ්ද වෙන වචන. දැන් cat, bat සහ fat වගේ සරල වචන ඒ වගේ රිද්මය අතින් සමාන වචන. පුළුවන්ද ඒ විදියට orange කියන වචනයට රිද්මය අතින් සමාන ඉංග්‍රීසි වචනයක් කියන්න? 

බෙල්ලට පොඩි ව්‍යායාමයක් එන්නත් එක්කලා SWIMS කියන වචනය උඩු යටිකුරු වෙන විදියට බලන්න. මොකද්ද පේන්නේ? එහෙම උඩින් බැලුවම ඒ විදියට පෙනෙන වෙනත් වචන ඉංග්‍රීසි භාෂාවේ තියෙනවද 

ඇයි අපි අකුරු ටයිප් කරන්න භාවිතා කරන යතුරුපුවරුවේ ඉංග්‍රීසි අකුරු අපිළිවෙළට තියෙන්නේ ? අපි අද භාවිතා කරන යතුරුපුවරුවේ ආරම්භය පැරණි යතුරුලියන යන්ත්‍ර. ඒවායේ අකුරු පෙලගස්වලා තියෙන්නේ අකුරු ටයිප් වෙන්න ඒ තුළ සකස් කර තිබුණු යාන්ත්‍රික ක්‍රමය එකිනෙක අකුරු එක්ක පැටලෙන්නේ නැති වෙන විදියට. යතුරුලියනය වෙනුවට පරිගණකය ආදේශ වෙද්දි යතුරුලියනයේ මේ ක්‍රමය පරිගණක යතුරුපුවරුවෙත් භාවිතා වුණා. අද අපි භාවිතා කරන යතුරුපුවරුවට කියනවා නමක් QWERTY යතුරුපුවරුව කියලා. යතුරුපුවරුවේ තිබෙන ඉංග්‍රීසි අකුරු අතරින් මුල්ම පේළියේ මුලින්ම තියෙන්නේ ඔය අකුරු 06. ඒ වගේම TYPEWRITER කියන වචනය අත එහා මෙහා නොකර යතුරුපුවරුවේ මුල් පේළියෙන්ම ටයිප් කරන්නත් පුළුවන්. 

කාටහරි කියන්න පුළුවන්ද ship shipping ship ships shipping ships කියන වාක්‍යයේ තේරුම? බැලූ බැල්මට මේක නිකන්ම වචන ටිකක්, ඒත් ඇත්තටම ගත්තොත් මේක පැහැදිලි අර්ථයක් තිබෙන නිවැරදි වාක්‍යයක්. හරියට 'නෝනා, නාන්න නම් නාන්න නෝනා. නොනා නොනා නේන්න නෝනා' වගේ. මේ වාක්‍ය මෙන්න මේ විදියට අරගෙන බලන්න, A ship shipping ship ships shipping-ships. දැන් පැහැදිලිද? ඒත් නැත්නම් මෙහෙම සටහන් කරොත් - A boat shipping boat transports shipping-boats. වාක්‍යයේ අර්ථය මෙහෙමයි - නැව් ප්‍රවාහනය කරන නෞකාවක් නාවික යාත්‍රා ප්‍රවාහනය කරමින් යාත්‍රා කරනවා. 


ඒ විදියටම මේ වාක්‍යයේ තේරුම කියන්න උත්සාහ කරන්න - Will, will Will will Will Will's will? තේරුම මෙහෙමයි. විලියම් කියන නම තියෙන පුද්ගලයන්ට කවුරුත් පහසුවට කතා කරන්නේ විල් කියලා. Will (විලියම් - පළමු පුද්ගලයා), will (අනාගත කාලය හඟවන ක්‍රියා පදය) Will (විලියම් - දෙවැනි පුද්ගලයා) will (පවරයිද) Will (විලියම්ට - තුන්වන පුද්ගලයා) Will's (විලියම්ගේ - දෙවැනි පුද්ගලයාගේ) will (අන්තිම කැමැත්ත)? විලියම්, ඔයා මොකද හිතන්නේ, අපේ විලියම් එයාගේ අන්තිම කැමැත්ත අර එහා ගමේ විලියම්ට පවරයිද? ඔන්න ඔය වගේ දෙයක් තමයි ඒකේ තේරුම.

ඒ වාක්‍ය ටික නම් තේරුම් ගන්න අපහසු වාක්‍ය. ඒ වුණාට, ඒ වගේද ඉංග්‍රීසි භාෂාවේ කෙටිම වාක්‍ය? අකුරු තුනයි තියෙන්නේ. Are you aware of the shortest sentence of the English language? කියලා කවුරුහරි ඇහුවොත් I am කියලා උත්තර දුන්නම හරියටම හරි.

රෝම නීතිය වැඩිදුර අධ්‍යනය කරනකොට රෝම නීතියේ ප්‍රධාන කොටස් 03 ක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒ Ius naturale (Natural law), Ius gentium (Law of foreign people and nations), Ius civile (Law of roman citizens). ඔය පද තුනේම නීතිය කියන අර්ථය දෙන Ius කියන වචනයේ උච්චාරණ ශබ්දය 'jus' හෙවත් 'ජුස්' කියන ශබ්දය. ඇයි ඉතින් I අකුරෙන් ලියලා J අකුරෙන් ශබ්ද කරන්නේ? ඔය වගේම ජේසුස් කිස්තූන් වහන්සේට Jesus සහ Yesus කියලා නම් දෙකක් තියෙනවානේද? Hallelujah කියන වචනය ඇයි Ha-le-loo-Yah කියලා 'යා' ශබ්දයක් සහිතව උච්චාරණය වෙන්නේ? ඔය හැම තැනකම J ශබ්දය වෙනුවට යෙදිලා තියෙන්නේ Y හෝ I අකුරු දෙක. මේකට හේතුව තමයි දැනට වසර 500 කට පමණ ඉහතදී ඉංග්‍රීසි භාෂාවේ අකුරු අතර J යනුවෙන් අකුරක් නොතිබීම. ඒ නිසා J ශබ්දය බොහෝවිට පෙන්වලා තියෙන්නේ Iu, Ie, Ya විදියට. 

එතකොට ඔය ගොඩක් දෙනෙක් දන්නේ නැහැනේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා Fuck කියලා වචනයක්. මේක අසභ්‍ය වචනයක්. හරි, දැන් තමයි දැන ගත්තේ නේද? මේ වචනයේ නිරුක්තිය (Etymology) ගැන එක එක කතන්දර තියෙනවා. ඒ එක කතාවක් තමයි මේ වචනය අයර්ලන්ත නීති පද්ධතියේ තියෙන එක්තරා නිර්වචනයකින් හැදුණ එකක් කියන එක. යම්කිසි යුවලක් අනාචාරයේ හැසිරීමේ චෝදනාවට වරදකරුවන් වුණොත් අයිරිෂ් නීතිය යටතේ ඔවුන්ට දෙන දඬුවම නිර්වචනය කරන්නේ For unlawful Carnal knowledge වශයෙන්. එ් පද 04 මුල් අකුරුවලින් Fuck කියන වචනය බිහිවුණා කියන එක එක් අදසක්. 

තවත් අදහසක් තමයි මේ වචනයේ නිරුක්තිය මධ්‍යතන යුගයේ තිබුණ එක්තරා භාවිතයකින් සිදුවුණ එකක්යැයි කීම. මධ්‍යතන යුගයේ යුරෝපය පුරා මහාමාරිය වසංගතය පැතිර තිබුණ කාලයේ (Plague/Black death) බොහෝ යුරෝපා නගර රෝගය පැතිරීම පාලනය කිරීමේ අරමුන‍ෙන් නව දරු උපත් සිදුකිරිම සම්බන්ධයෙන් නීති පනවලා තිබුණා. එකේ අරමුණ රෝගය පාලනය කරන්න ඒ යුගයේ තිබුණ සීමිත සම්පත් වඩාත් ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීම. මේ නීතියට අනුව යුවලක් ලිංගික සම්බන්ධතාවයක් පවත්වනවානම් මුලින්ම ගිහින් රජුගෙන් ඒ කාර්යයට අවසර ගැනීම අනිවාර්ය වෙලා තිබෙනවා. කෙළින්ම ගිහින් රජතුමාව මුණගැහිලා අවසර ඉල්ලුවා නෙවෙයි, ඒ ඒ නගරවල හිටිය නගර ප්‍රධානීන් තමයි රජු නියෝජනය කරමින් අවසරය දීලා තියෙන්නේ. ඉතින් මේ විදියට අවසර අරගන්න අයට කොන්දේසියකුත් අදාළ වෙනවා. ඒ කොන්දේසියට අනුව, ලිංගික කාර්යයේ යෙදෙනකොට පාරේ ඉඳලා නිවසට තිබෙන පිවිසුමේ යම් තැනක  පැහැදිලිව පේන්න සඳහනක් තැබිය යුතුයි තමන් අවසර අරගෙනයි මේ කාර්යයේ යෙදී ඉන්නේ කියලා. නැත්නම් බලධාරීන් ඇවිත් අනාචාරයේ හැසිරෙනවා කියලා අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඔය විදියට දාපු සඳහන තමයි Fornication under the consent of King. මේ වාක්‍යයේ වචනවල මුල් අකුරු කිහිපය එකතුවෙලා Fuck කියන වචනය බිහිවුණා කියන එකයි දෙවැනි අදහස. 

නමුත් සමහරුන්ට අනුව ඔය වචනයේ නිරුක්තිය සම්බන්ධයෙන් තිබෙන ඉහත සඳහන් අදහස් දෙකම 1960 දශකයෙන් පස්සේ හුදෙක් විනෝදය සඳහා නිර්මාණය කරගත් අදහස් (Urban legends). ඒ මතයට අනුව මේ අදහස් දෙකටම සැබෑ ඓතිහාසික පදනමක් නැහැ. 

දැන් ඔය සිංහල භාෂාවේ තියෙනවානේ මෙන්න මේ වගේ වාක්‍ය - චූටි ටීචගේ චූටි ටෝච් එක. අර නව පුරපුරේ ගායකයෙක්ගේ සින්දුවකත් තියෙන්නේ අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරළිලා කියලා. මේවාට ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන්නේ tongue twisters කියන නම. කියවන්න බලන්න මෙන්න මේක දිව උලුක් කරගන්නේ නැතිව. 


Peter Piper picked a peck of pickled peppers.
How many peck of pickled peppers did Peter Piper pick?
If Peter Piper picked a peck of pickled peppers,
Where's the peck of pickled peppers Peter Piper picked?

හරිද? කාටවත් මොකුත් කරදරයක් නෑ නේද? හරි එහෙනම් දැන් මේක. 

sixth sick sheik’s sixth sheep’s sick.

කලින් එක තරම් දිග නැතිවුණාට ඕක තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන අමාරුම tongue twister එක. 

ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි වචන ටිකක් ලංකාවේ භාවිතයේ තියෙනවා. මජ්ජාඩ් එක දන්නවද? ඔය යතුරුපැදිවල එහෙම තියෙන්නේ පාරේ යනකොට ධාවකයාගේ ඇඟට රෝදයෙන් මඩ විසිවෙන එක වළක්වන්න (Mud guard). තව ඔය මෝටර් වාහනවලම තියෙනවා ටේලයිට් එක (Tail light). වාහන පාවිච්චි කරන අය දන්නවා අැති සොකැබ්සෝබර් (Shock Absorbers). එතකොට අලුතෙන් හදන ගෙයක ඉස්සෙල්ලම කරන්නේ බවුන්ඩේෂන් එක දාන එක නේද (Foundation)

අපි පොඩි කාලේ ඉඳන්ම අද වෙනතුරුත් පුංචි දරුවන්ට අනිවාර්යයෙන් කියලා දෙන ඉංග්‍රීසි කවියක් තියෙනවා. 
Twinkle, twinkle, little star             How I wonder what you are!
Up above the world so high              Like a diamond in the sky.

මේක ජේන් ටයිලර් කියන ඉංග්‍රීසි ජාතික කිවිඳිය විසින් රචනා කරලා 1806 වර්ෂයේ එළිදක්වපු කවියක්. වසර 200 කටත් වඩා පැරණි නිර්මාණයක්. බෙහෝමයක් දරුවන් දන්නේ ඔය උඩින් තියෙන පද 04 විතරයි, ඒත් ජේන් ටයිලර් මේක නිර්මාණය කළේ පේළි හතරේ කවි 05 ක් තියෙන කවි පංතියක් විදියට. මේ තියෙන්නේ ඒ කවි පංතියේ ඉතිරි කවි 04.

When the blazing sun is gone      When he nothing shines upon,
Then you show your little light      Twinkle, twinkle, all the night.

 Then the traveler in the dark     Thanks you for your tiny sparks;
     He could not see which way to go     If you did not twinkle so.

In the dark blue sky you keep       And often through my curtains peep
     For you never shut your eye      Till the sun is in the sky.

As your bright and tiny spark      Lights the traveler in the dark,
     Though I know not what you are        Twinkle, twinkle, little star.

මගේ ඉංග්‍රීසි ගුරුතුමියගෙන් ඉගෙනගන්න කලින් මම ඔය කවිය කිව්වේ මෙහෙමයි. 
  
  ට්විංකල් ට්විංකල් ලිට්ලිස්ටා          හව් අයි වොන්ඩ වට්ටූආ
          අප්අ බවුද වල්සෝ හයි           ලයික ඩයමන් ඉන්දස්කයි

මහාචාර්ය ඒ.වී. සුරවිර මහත්මයාගේ 'අකුරට යන වෙලාවේ' කියන කෙටිකතාවේ ඉන්න මැණිකා ඕක ගායනා කරන්නේ මෙහෙමයි.

                              ටිංකල් ටිංකල් ලිට්ල් ලිට්ල්               ස්ටා
                              අවුවයි වන්ඩ වට්යූ වට්යූ                      
                              අප්පේ බව්දා බව්දා වෝල්සෝ             හා
                              ලයිකේ ලයිමා ලයිමා ඉන්දස්              කා

හැම වසරකම ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට දළ වශයෙන් අලුත් වචන 4,000 ක් විතර එකතු වෙන බව සඳහන්. මේ එකතුවෙන වචනවලින් බහුතරයක් වෛද්‍ය විද්‍යාවෙන් ඉංග්‍රීසි භාෂාවට එකතු වෙන වචන. 

ඉංග්‍රීසි භාෂාවේ මිලියන ගණනක් වචන අතරෙන් මම කැමතිම වචනයක් තියෙනවා. හොරේෂියෝ වෝල්පෝල් (Horatio Wolpole) කියන ඉංග්‍රීසි ඉතිහාසඥයා තමයි මේ වචනය 1754 වර්ෂයේදී පළමු වතාවට භාවිතා කළා කියලා සැලකෙන්නේ. මේ තියෙන්නේ ඒ වචනය, ඒකට ගැලපෙනවා කියලා හිතුන ඡායාරූපයකුත් එක්ක



ස්ත්‍රී දූෂකයන් සහ ලාංකීය සමාජය



තනි අතින් කාටවත් අප්පුඩි ගහන්න බෑනේ, ඒකට අත් දෙකක් ඕන. හැදිච්ච ගෑනු ළමයෙක් නම් මහ රෑ 9 ට පාරේ එහේ මෙහේ යන්නේ නෑ. ගෑණු ළමයෙක් දූෂණය වෙනවා කියන්නේ ඒක ඒ ගෑණු ළමයාගේ වැරැද්ද, පිරිමියාගේ නෙවෙයි. 

ගබ්සාව - අනපේක්ෂිත ගැබ්ගැනීම්වලට නන්දිකඩාල් විසඳුමක්



පසුගිය සති අන්තයේ දවසක මම බ්ලොග් කිහිපයක් එකින් එක කියවමින් ඉන්න අතරේ දැක්කා සුරක්ෂිතව සහ නීත්‍යානුකූලව ගබ්සා සිදුකර ගැනීමේ අයිතිය දිනා ගනිමු කියන නමින් පවත්වාගෙන ගිය  බ්ලොග් අඩවියක්. මේක කරන්නේ කවුද කියලා එහි කිසිම සඳහනක් තිබුනේ නැහැ. කවුරුන් නමුත් ඒ පිටුපස සිටින පුද්ගලයාගේ හෝ පුද්ගලයන් කණ්ඩායමේ අරමුණ "ගබ්සා අයිතිවාසිකම් ගැන අන්තර්ජාතික ප්‍රමිතීන් ගැන ශ්‍රී ලාංකීය කාන්තාව දැනුවත් කිරීම" බවත් එහිම කියා තිබුනා. 

මරණය + මරණය = මරණ දඬුවම



රසිකොලොජි බ්ලොග් අඩවිය ලියන +රසිකොලොජිස්ට් මීට ටික කලකට ඉහත ලියලා තිබුනා මරණ දඬුවම ද මිනීමැරුමකි නමින් ලිපියක්. මේ ලිපිය කියෙව්වාට පස්සේ මට හිතුනා මරණ දඬුවම සම්බන්ධයෙන් වැදගත් වෙයි කියලා හිතන කරුණු කිහිපයක් ලිපියක් වශයෙන් ලියන්න. 

1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන කාලරේඛාව (Timeline)



ශ්‍රී ලංකාව තුල වර්තමානයේ ක්‍රියාත්මක 02 වැනි ජනරජ ව්‍යවස්ථාව හෙවත් 1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිතයට පැමිණෙන්නේ 1978 සැප්තැම්බර් 07 වෙනිදා. 

මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට ගෙනියන්න පුලුවන් ද? 



ලංකා ඉතිහාසයේ විතරක් නෙවෙයි ලෝකයේ ව්‍යවස්ථාදායක සභා ඉතිහාසයේවත් මේ තාක් අපිට අහන්න දකින්න නොලැබුන විදියේ සිදුවීමක් තමයි පසුගිය 20 සහ 21 දවස් දෙකේදි ලංකා පාර්ලිමේන්තුවේ සිද්ධ වුනේ. අපි පාර්ලිමේන්තුවට පත්කරලා යවලා තියෙන්නේ මොන වගේ විගඩම්කාරයෝ ටිකක්ද  කියන එක ඊයේ තරම් හොඳට දැනුනේ තේරුනේ නෑ කවදාවත්. 

හිටපු ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණ සමයේදි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට කැබිනට් අැමතිකමක් දීම අල්ලස් වරදක් වශයෙන් ගැනීම තමයි මේ සියලු කාරණාවලට මුල. කට්ටියක් මේ විදියට පාර්ලිමේන්තුවේ උපවාස කරද්දි තවත් පිරිසක් ෆේස්බුක් එකෙන් තර්ක කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාර්ශවයෙන් ඉදිරිපත්වන ප්‍රධානම තර්කය තමයි කුණුහරප. ඔව් ඒ හැරුනම කිහිප දෙනෙක් විතරක් තර්කයක් වශයෙන් ඉදිරිපත් කරනවා ජනාධිපතිවරයෙක් අධිකරණයක් හෝ වෙනයම් විනිශ්චය සභාවක් ඉදිරියට කැඳවන්න බැහැ කියන විධායකයේ මුක්තිය පිළිබඳ ප්‍රතිපාදනය. 

මේ සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් එකේ අැදිලා ගිය පොඩි පහේ වාදයකට මාත් පැටලුනා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ මං ඉදිරිපත් කළ කරුණූ කිහිපයක් වඩාත් පිළිවෙලට සකස් කරලා කරන ඉදිරිපත්කිරීමක්. 

මුක්තිය පිළිබඳ සංකල්පය (Doctrine of Immunity) වර්ධනය වෙන්නේ Crown Immunity එහෙමත් නැත්නම් රාජාණ්ඩු පාලනතන්ත්‍රයන් තුල කිරීටයට හිමිවන නිදහස හරහා. මේ රාජාණ්ඩු පාලනයන් තුල තිබුන විශේෂත්වය තමයි ඒවායේ අධිකරණ පද්ධතිය කිරීටය විසින්ම යටත් වැසියන් පාලනය කිරීම සඳහා ස්ථාපිත කරලා පවත්වාගෙන ගිය අායතන වීම. කිරීටය විසින් නිර්මාණය කළ මේ අධිකරණ පස්සෙන්පහු ලොකු උභතෝකෝටිකයකට මුහුණ දුන්නා කිරීටය - එහෙමත් නැත්නම් රජු හෝ රැජින වරදක් කරොත් මොකද කරන්නෙ කියලා. 

මුල් කාලීන රාජණ්ඩු පාලනයන් තුල කිරීටයට තිබුන අසීමිත බලතල නිසා රජු හෝ රැජින සිවිල් හෝ අපරාධ වරදක් සම්බන්ධයෙන් අධිකරණයට කැඳවීම නිසැකවම අධිකරණයේ බෙල්ල ගහලා යන වැඩක්. ඒ නිසා Rex non potest peccare කියලා ලතින්වලින් කියලා දාලා (ඒකේ තේරුම The King can do no wrong) කිරීටය අධිකරණයේ විෂයපථයෙන් ඉවත් කරා. පසු කාලෙක එංගලන්තය වගේ යුරෝපියානු රටවල රාජාණ්ඩු ක්‍රමය ප්‍රජාතාන්ත්‍රීයකරණය කිරීමේදී මේ තත්ත්වය නිශ්චය කෙරුණා කිරීටයට හුදෙක්ම ව්‍යවස්ථාවෙන් පැවෙරන බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විතරයි එවැනි නිදහසක් පැවෙරන්නේ කියලා. 

බොහෝ විට අපි දන්නේ ජනාධිපතිවරයාට නීතියෙන් හිමිවන මුක්තිය ගැන විතරක් වුනාට අැත්තටම දේශපාලන විධායකය සහ ස්ථිර විිධායකය (රාජ්‍ය සේවය) කියන කොටස් දෙකේම තෝරාගත් පුද්ගලයන්ට මුක්තිය හිමියි. උදාහරණයක් විදියට මෑතකදී ඉදිරිපත්වුන තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත ගමු. රාජ්‍ය රහස් පනතෙන් (Official Secrets Act No 32 of 1955) කියවෙනවා රාජ්‍ය සතු තොරතුරු රාජ්‍ය නිලධාරියෙකු විසින් තුන්වැනි පාර්ශවයකට හෙළි කිරීම වරදක් කියලා. නමුත් තොරතුරු දැනගැනීමේ පනත එයින් ස්ථාපිත කරන්නට යෝජිත තොරතුරු සැපයීමේ නිලධාරීන්ට (Information Officers) මුක්තියක් ලබා දෙමින් කියනවා රාජ්‍ය රහස් පනතේ කවරක් සඳහන් වුනත් මෙයාලා රාජ්‍ය තොරතුරු ජනතාවට ලබා දීමෙන් කරන්නේ වරදක් නෙවෙයි කියලා.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාටත් ලෝකයේ සෙසු විධායක ජනාධිපති ක්‍රමයන් තුල වගේම මුක්තිය ලබාදී තිබෙනවා. අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ මුක්තිය නිර්වචනය කරලා තියෙන්නේ 35 වන ව්‍යවස්ථාවේ උපවගන්ති 03 කින්. 

01. ව්‍යවස්ථාවේ පළමු උප වගන්තියෙන් කියනවා ජනාධිපතිවරයා ලෙස ධූරය දරන කිසිම අයෙකු පෞද්ගලිකව හෝ නිල තත්ත්වයෙන් කරන හෝ නොකරන කිසිම ක්‍රියාවක් සම්බන්ධයෙන් කවරම හෝ අධිකරණයකවත් විනිශ්චය සභාවකවත් නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම කළ නොහැකියි කියලා.

02. දෙවැනි උප වගන්තියෙන් සිවිල් හෝ අපරාධ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු කාල රාමුව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වන චෝදනාවලට අදාළ නොවන බව කියනවා. උදාහරණයක් විදියට පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩවීමකදි ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා නම් අදාළ සිද්ධීය සිදුවෙලා දින 30 ක් යන්නට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක්. අපි හිතමු රාජ්‍ය නිලධාරියෙක් ඔබේ අයිතිවාසිකම් කඩකරනවා. ඔබ අධිකරණය ඉදිරියට යන්න පෙර ඔහු  රටේ විධායක ජනාධිපති වෙනවා. දැන් 35(1) ට අනුව ඔබට බැහැ මූලික අයිතිවාසිකම් නඩුවක් අාරම්භ කරන්න. නමුත් 35(2) වගන්තිය ඔබට නිදිහස දෙනවා අර පුද්ගලයා ජනාධිපතිධූරය දරලා අවසන්ව නැවත සිවිල් පුද්ගලයෙකුගේ තත්ත්වයට පත්වුනායින් පසුව ඔහුට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුව අාරම්භ කරන්න. 

03. තුන්වැනි උපවගන්තියේ සඳහන් වෙනවා ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ අැමති තනතුරක් දරමින් ඒ අැමති තනතුරට හිමි කාර්යයන් ඉටු කිරීමකදී  හෝ නොකර හැරීමකදී අන්න එවැනි ක්‍රියාවක් අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ හැකි බව. නමුත් මෙතැනදීත් වෙන්නේ ජනාධිපතිවරයා අැමති තනතුරක් දරමින් කළ/නොකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමට ඉඩ දීම පමණයි. 


දැන් නීතිය සම්බන්ධයෙන් ඊලඟ වැදගත්ම ගැටලුව මතු වෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තිස්ස අත්තනායක මහතාට ජනාධිපතිවරණයක් අාසන්නයේ කැබිනට් අැමති තනතුරක් දීම අල්ලස් වරදක්ද? නැද්ද? කියන කාරණය. අපි පොඩ්ඩකට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියන එක අමතක කරමු, දැන් ඔහු  හුදෙක් ජනාධිපතිධූර අපෙක්ෂකයෙක් විතරයි, ජනාධිපතිවරණය ඔන්න මෙන්න තියලා ඔහු තිස්ස අත්තනායකට තනතුරක් දෙනවා. ඒක පැහැදිලිවම අල්ලස් වරදක්. 

ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් අල්ලස් වැරදි නිර්වචනය කිරීම ලංකා නීතිය තුල සිදුකරලා තියෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනතින්. මේ පනතේ 79 වන වගන්තියේ උප වගන්ති 09 ක් හරහා අතිශය දීර්ඝව සහ පුලුල්ව අල්ලස කියන වරද අර්ථනිරූපනය කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මේ අැතිවෙලා තිබෙන තත්ත්වයට මූලිකවම අදාළ වන උප වගන්තිය උපුටා ගැනීම මෙහෙමයි. 

79. පහත සඳහන් තැනැත්තන් අල්ලස් වරදට වරදකරුවන් ලෙස සලකනු ලැබිය යුතුය : - 
... 
(අා). මේ පනත යටතේ වූ යම් තෝරා පත්කරගැනීමක දී ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීමට යම් ඡන්ද හිමියෙකු පෙළඹවීම සඳහා තමා විසින් හෝ තමා වෙනුවෙන් වෙනත් යම් තැනැත්තෙකු මගින් ඒ ඡන්ද හිමියාට හෝ ඒ ඡන්ද හිමියා සඳහා හෝ ඒ ඡන්ද හිමියා වෙනුවෙන් යම් තැනැත්තෙකුට හෝ යම් තැනැත්තෙකු සඳහා හෝ වෙනත් යම් තැනැත්තෙකු සඳහා නියම ලෙස හෝ අනියම් ලෙස, යම් නිලයක්, තනතුරක් හෝ රක්ෂාවක් ලබා දෙන හෝ ලබා නොදෙන, හෝ දීමට නැතහොත් ලබාදීමට එකඟ වන, හෝ අර්පනය කරන හෝ පොරොන්දු වන හෝ ලබාදීම නැතහොත් ලබාදීම පිණිස උත්සාහ කිරීමට පෙරාෙන්දු වන හෝ යම් ඡන්ද හිමියෙකු ඡන්දය දී තිබීම හෝ ඡන්ද දීමෙන් වැලකී සිටීම හේතුකොට ගෙන ඉහත කී යම් ක්‍රියාවක් දූෂිත ලෙස කරන සෑම තැනැත්තෙක් ; 
... 

අදාළ මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේදි සහයෝගය දෙන්නේ කුමන ජනාධිපති අපේක්ෂකයාටද කියන කාරණය වෙනස් කරන්න ඔහුව අැමතිකෙනෙක් වශයෙන් පත්කිරීම බලපෑවා නේද කියන සාධාරණ සැකය කෙනෙකුට අැතිවෙනවනම් එය අල්ලස් වරදක් යටතට දාන්න පුලුවන්. අධිකරණ අැමති විජයදාස රාජපක්ෂ හිතන්නෙත් එහෙමයි. 


'එයා ඒ පැත්තට ගිහිල්ලා කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ යන්ත්‍රණයේ ස්විච් එක ඕෆ් කරලා ආවේ කියලා' ජනාධිපතිවරණයක් ප්‍රක...
Posted by BBC Sinhala - සංදේශය on Tuesday, April 21, 2015


දැන් මෙතන තමයි අර්බුදය අැත්වෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැලූ බැල්මට අල්ලස් වරදක් සිදුකරලා තියෙනවා. නමුත් එහෙමයි කියලා ඔහුව විනිශ්චය  සභාවක් ඉදිරියට ගෙනියන්න පුලුවන්ද? ජනාධිපතිවරයෙක් වශයෙන් ඔහුට තිබූ මුක්තිය මෙතනට අදාළ වෙනවාද? තිස්ස අත්තනායක අමාත්‍ය මණ්ඩලයට පත් කරලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා විදියට හිටපු ජනාධිපතිවරයා තමන් සතුව තිබූ විධායක බලය භාවිතා කරලා නිසා ඒක මුක්තියට යටත් විධායක ක්‍රියාවක් නෙවෙයිද? මහින්ද රාජපක්ෂ දුන්නේ අල්ලසක් නම් මෙෙත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහට දුන්නේ තෑගි ද? So on and so forth 

ජනාධිපතිවරයෙකුගේ මුක්තිය පිළිබද මගේ අවබෝධය මෙහෙමයි. මම මෙතනින් එහාට කියන කරුණු කිසිවක් ලංකාවේ ජනාධිපතිධූරය සම්බන්ධයෙන් වන න්‍යායික කරුණු නෙවෙයි. මේවා සියල්ලම වෙනත් රටවල සිද්ධීන් අැසුරින් මම ගොඩනගා ගත්ත අදහස්. 

නූතන ප්‍රජාතන්ත්‍රවාදය තුල ජනාධිපතිවරයෙකුට හෝ විධායක බලය හොබවන්නෙකුට මුක්තිය ලබා දීමේ හේතුව සිය ධූරයේ බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන්ට දවසක පුද්ගලිකව වගවීමට සිදුවේවිද කියන බියෙන් ඔහුව නිදහස් කිරීම (Ensuring that the President need not to fear for the personal liability for acts of office). උදාහරණයක් විදියට යුද්ධයක් ප්‍රකාශ කර පවත්වාගෙන යාමෙන් පසුකාලීනව තමන් අපරාධකාරයෙක් වේවිද කියන බය ජනාධිපතිවරයාට තිබෙනවා නම් ඔහු කවදාවත් යුද්ධයක් කරන්නේ නැහැනේ. 

ඊලඟට වැදගත්ම කාරණය තමයි මුක්තිය හිමිවන්නේ ජනාධිපතිධූරය දරන පුද්ගලයාට නෙවෙයි ඔහු විසින් දරන ජනාධිපති තනතුරට. ඒක වැඩිදුරටත් පැහැදිලි කරනවා නම් මෙහෙමයි. අපි හිතමු ඔන්න පුද්ගලයෙක් ජනාධිපති ධූරයට පත්වෙනවා. එයා පත්වුනාට පස්සේ අැතිවෙන අවශ්‍යතාවයක් තමයි කැබිනට් මණ්ඩලයක් පත්කිරීම. ඒක ව්‍යවස්ථාවෙන්ම ඔහුට පැවරෙන පැහැර නොහැරිය යුතු වගකීමක්. විධායක ජනාධිපතිධුරයේ ක්‍රියාවක් හෙවත් A duty of the office of the President / A Presidential act / An official act. ඔහු ඒක කරනවා. කරන්නේ හුදෙකලා පුද්ගලයෙක් වශෙයන් නෙවෙයි රටේ ජනාධිපති වශයෙන්. 

තවත් අවස්ථාවක ජනාධිපතිධූරය දරද්දිම මේ පුද්ගලයා ස්ත්‍රී දූෂණයක් සිදු කරනවා. එවැන්නක් කරන්න ඔහුට කිසිම අවස්ථාවක ව්‍යවස්ථාවෙන් කියලා නැහැනේ. ඒ නිසා ඒක ජනාධිපතිධූරය දරන්නාගේ පුද්ගලික ක්‍රියාවක් - හෙවත් සිවිල් ක්‍රියාවක් / A non-presidential act. දැන් මුලින් කියපු සිද්ධියට මුක්තිය හිමියි. නමුත් දෙවැනි සිද්ධියට මුක්තිය හිමි නැහැ. නමුත් ලංකාවේ නීතිය මෙතැනදි සුවිශේෂී බව සඳහන් කළ යුතුමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තියේ පළමු උප වගන්තිය දිහා අවධානය යොමු කළොත් ඔබට පැහැදිලි වේවි එහි පැහැදිලිවම දක්වලා තිබෙනවා ජනාධිපතිවරයෙකුට හිමි මුක්තිය ඔහු "පෞද්ගලිකව හෝ නිල තත්ත්වයෙන්" සිදුකරන/නොකරන කාර්යයන්ට අදාළවන බව. 

ලංකාවේ නීතිය තුල මෙවැනි අවස්ථාවන්ට පූර්වාදර්ශ නැති නිසා අපිට අනිවාර්යයෙන්ම කරන්න සිදුවෙන දෙයක් තමයි වෙනත් නීති පද්ධතිවල පූර්වාදර්ශ සලකා බැලීම. අපිට ඒ විදියට සලකා බලන්න පුලුවන් අැමරිකානු නීති පද්ධතිය. පෝලා ජාේන්ස් කියන කාන්තාව අැමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ට එරෙහිව ලිංගික අතවර කිරීම කියන චෝදනාව යටතේ නඩු පවරනවා. මේක ඉතාම කුප්‍රකට සිද්ධියක්. ඒ වගේම එය අැමරිකානු අධිකරණ ඉතිහාසයේ අතිශය තීරණාත්මක නීති කෘත්‍යයක් (A landmark case) නඩුව Clinton v. Jones, 117 S. Ct. 1636 (1997).

ධූරය දරණ ජනාධිපතිවරයාට වුව සිවිල් වැරදි සම්බන්ධයෙන් මුක්තියක් නොමැත කියන අාන්දෝලනාත්මක තීරණයට එළැඹෙන අැමරිකානු  ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති බිල් ක්ලින්ටන් අධිකරණය ඉදිරියට කැදවන්න තීරණය කරා. ජනාධිපතිධූරයේ කටයුතු අවසන්වන තෙක් නඩුව ප්‍රමාද කරමින් මුක්තියක් ලබාදියයුතුයි (ඉහත 35(2) වගන්තිය මෙන්) කියන අදහසත් අැමරිකානු අධිකරණය ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප කළා. ඔබට ඒ අනුව පැහැදිලි විය යුතුයි නීතියේ පිළිගත හැකි පූර්වාදර්ශයන්ට අනුව ජනාධිපතිවරයෙකුගේ මුක්තිය ඔහු කරන නිල කාර්යයන්ට පමණක් බලපාන්නක් බව. 


ඊලඟ කාරණය අතිශය සුවිශේෂීයී. ජනාධිපතිවරයෙකුගේ නිල කාර්යයන් සම්බන්ධයෙන් වුනත් ඔහුට මුක්තිය අහිමිවන සංකීර්ණ අවස්ථාවක් මුක්තිය පිළිබද න්‍යායයේ සදහන්. ඒතමයි ජනාධිපතිවරයෙක් ඔහුගේ ධූරයේ බලතල අනර්ථකාරී අදහසකින් යුතුව භාවිතා කිරීම හෝ අයුතු ලෙස භාවිතා කිරීම හෝ ඔහුගේ බලතල හෝ විෂයපථය නොවන ක්‍රියාකාරකම්වලට මැදිහත් වීම තුල (such as when he has acted with malice and in bad faith, or beyond the scope of his authority or jurisdiction.) ඔහුට ඒ ක්‍රියාව සම්බන්ධයෙන් මුක්තිය අහිමි වන බව. 

දැන් නැවත අපේ වර්තමාන තත්ත්වයට යමු. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක් ප්‍රකාශිතව තිබෙන අවස්ථාවක තිස්ස අත්තනායකට කැබිනට් අැමති තනතුරක් දීම තමන්ට විධායක ජනාධිපතිවරයා වශයෙන් තිබෙන බලතල ඉක්මවා අනර්ථකාරී /අයුතු ලෙස කටයුතු කිරීමක්ද ? නැද්ද? පිළිතුර ඔව් නම් මහින්ද රාජපක්ෂට මුක්තිය අහිමියි. පිළිතුර නැත නම් ඔහුට මුක්තිය හිමියි. ඉතින් කවුද ඒක එහෙම තනතුරක් දීම අයුතු ලෙස කටයුතු කිරීමක්ද නැද්ද කියන ප්‍රශ්නයට උත්තර දිය යුත්තේ? හරිම සිම්පල් - ශ්‍රේෂ්ඨාධිකරණය. 

අපි දැනගත යුතු වැදගත්ම කාරණයක් තමයි ලෝකයේ ජනාධිපතිවරුන්ට මුක්තියක් ලබාදීලා තියෙන්නේ සාමාන්‍ය අධිකරණ පද්ධති සහ විනිශ්චය සභාවන්ගෙන් පමණයි කියන එක. ඒ හැර ජනාධිපතිවරයා ධූරයේ බලතල ක්‍රියාත්මක කරමින් කරන අයථා හෝ දූෂීථ ක්‍රියාවක් මත ඔහු වැරදිකරු කළ හැකි සම්මත පිළිගත් තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි දෝෂාභියෝගය. සාමාන්‍ය අධිකරණ පද්ධතියක් තුල ජනාධිපතිවරයාගේ නිල කාර්යයන් ප්‍රශ්න කරන්න බැරිවුනත් මෙතනදි ව්‍යවස්ථාදායකයට අධිකරණයක් වශයෙන් හැසිරෙමින් ඒක කරන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව මෙවැනි අවස්ථාවක සෘජුවම ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිට එල්ලවන චෝදනා විභාග කරන්න මැදිහත් වෙනවා. නමුත් ඉතින් රටේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන ආයතන අතර පැවතිය යුතු සංවරණ සහ තුලනය බිදවැටුන රටක මේක කොයිතරම් ප්‍රායෝගික නැති සංසිද්දියක්ද කියන දේ අපි හැමෝම දන්නවා.