මැතිවරණය කල් තැබීමට කොමිෂන් සභාවට බලයක් නැත. 2020 මහමැතිවරණය: වෙනස් දෘෂ්ටි කෝණයකින්



මෙම ලිපිය සම්මානිත මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය අලලා ලියන ලද Parliamentary Election 2020: A  point of view නම් ලිපියෙහි සිංහල පරිවර්තනයයි. මෙහි මුල් ලිපිය Groundviews වෙබ් අඩවියේ පළවූ අතර එහි සිංහල පරිවර්තනය 2020 මහ මැතිවරණය:  වෙනස් දෘෂ්ටි කෝණයකින් යන නමින් සමබිම වෙබ් අඩවියේ පළවිය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එය නැවත කැවීම පිළිබ දැන් ඇතිව තිබෙන දේශපාලන අර්බුදය පිළිබදව උනන්දු වන්නන්ට මෙන්ම, පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ බලතල පිළිබ සියුම්ව හැදෑරීමට  අපේක්ෂාකරන විද්‍යාර්ථීන්ටද මෙම ලිපිය ප්‍රයෝජනවත් වනු ඇත. 

සම්මානිත මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය සැලකෙනුයේ නීතිය පිළිබ‍දව ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාචාර්යවරිය වශයෙනි. ඇය 1999 - 2002 කාලය තුළ කොළඹ විශ්විවිද්‍යාලයේ උප කුලපති වශයෙන්  සේවය කළාය. 

කොරෝනා වසංගතය අප මේ කතා කරන මොහොත වනවිට ශ්‍රි ලාංකිකයන්ගේද ලෝකය පුරා වෙසෙන බිලියන ගණනක් සෙසු පුද්ගලයන්ගේද ජීවිතවලට බරපතල ලෙස බලපා ඇත. ශ්‍රී ලංකාව තුළ ජනාධිපතිවරයාත් සෞඛ්‍ය අමාත්‍යවරියත් මෙම අර්බුදයෙන් ජනතාව ගලවාගනු පිණිස අවශ්‍ය නායකත්වය දෙමින් සිටිනු දැකිය හැක. පොදු සෞඛ්‍ය සේවාවේ වෘත්තිකයන්ගේ සම්පූර්ණ කැපවීමම පාහේ මෙම අර්බුදය ජයගැනිම පිණිස රජය විසින් ගෙන ආ ප්‍රතිපත්තිද සෙසු වැඩසටහන්ද සාර්ථක ලෙස ක්‍රියාත්මකකරවීම කෙරෙහි යොමුවී පවතී. ඒ අතර වෙනත් සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන පුරවැසියන්ට පෞද්ගලික රෝහල් හරහා සිය අවශ්‍යතා ඉටුකරගැනීමට අවස්ථාව සලසා ඇත. මෙරට තූළ කොවිඞ් 19 වෛරසය ආසාදනය වූවන් හදුනාගැනීමට, ආසාදනයවූවන් සමග සම්බන්ධතා පැවැත්වූවන් හදුනාගැනීමට සහ ආසාධිතයන් හුදෙකලා කොට රෝගය පැතිරයාම වැලැක්වීමට ශ්‍රී ලංකාව මාර්තු මස මැදභාගයේ සිට කටයුතු කළ අතර වෛරසයේ පැතිරයාම පාලනය පිණිස ගනු ලැබූ ඉතා සාධනීය ක්‍රියාමාර්ග වශයෙන් එවා සැලකිය හැක. ආසාදිතයන් හදුනාගැනීම සදහා සිදුකරන පරීක්ෂණ ප්‍රධානතම උපක්‍රමයක් වශයෙන් භාවිතවනු මෑත සති කිහිපයක තුළ දැකිය හැකිවූ අතර එම කාර්යයන් වෛරසය පැතිරයාම පාලනය සඳහා වන සම්මත ක්‍රම දැඩිව අනුගමනය කරමින් සිදුවනු දැකිය හැකිවිය. මෙම සමස්ත ක්‍රියාවලියම අතිශය සාර්ථක එකකි. සෞඛ්‍ය සේවාවන්ටද, වෛද්‍ය වෘත්තිකයන් සහ සෞඛ්‍ය සේවා නිසි පරිදි කළමණාකරණය කළ දේශපාලන නායකත්වයටද මෙකී සාර්ථකත්වය වෙනුවෙන් ගෞරවය හිමිවිය යුතුය.

කෙසේ නමුත්, රට නැවත ‘විවෘත’ කරන ලෙස කෙරෙන ඉල්ලීම්ද මෑත කාලය තුළ බරපතල ලෙස වර්ධනය වීමේ අවාසනාවන්ත තත්ත්වයක් අපට දැකිය හැක. මෙකී ඉල්ලීම් සදහා වැඩිමනක් බලපාන ලද හේතුව වනුයේ 2020 ජුනි මස 20 වනදා තෙක් කල්තබා ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණය පිළිබඳ වන අවශ්‍යතාවයන්ය.


මහ මැතිවරණය කල් තැබීම

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රථමයෙන් නියමවූ දිනය වූයේ 2020 අප්‍රේල් 25 වනදායි. මෙම දිනය ජනාධිපතිවරයා විසින් පැවති පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් කරන ලද ප්‍රකාශනය ප්‍රසිද්ධ කරමින් 2020 මාර්තු 02 වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය හරහා මැතිවරණය පැවැත්වීම සඳහා නියම කරන ලද දිනයයි. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනතෙහි 10(1)(ආ) වගන්තිය විසින් අභිනව පාර්ලිමේන්තුවක් සඳහා මන්ත්‍රීවරයන් තෝරාපත්කර ගැනීම සඳහා වන ඡන්දය පවත්වන දිනය නියමකිරීමේ වගකීම ජනාධිපතිවරයා වෙත පවරා දෙනු ලබන අතර එම දිනය පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නියෝග කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ප්‍රකාශනය තුළ සදහන්විය යුතුය. පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි එන මෙම වගන්තිය හරහා සැබැවින්ම සිදුවනුයේ මැතිවරණයක් සඳහා දින නියමකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5)(අ) සහ (ආ) ව්‍යවස්ථාවන් හරහා ජනාධිපතිවරයා වෙත පැවරෙන බලතල නැවත බලාත්මක කර දැක්වීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටකී වගන්තිවලින්ද පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ප්‍රකාශයේම නව පාර්ලිමේන්තුවක් තෝරාගැනීම සඳහා වන මැතිවරණය පැවැත්විය යුතු දිනය නියම කළ යුතු බවත් එම දිනය පවතින පාර්ලිමේන්තුව විසුරුවාහරින දිනයේ සිට මාස 03 ක් නොඉක්මවන දිනයක් විය යුතු බවත් දක්වයි. පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස 03 ක් ඉක්ම යාමට පෙර නව පාර්ලිමේන්තුවක් සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කරගනු ලැබ අභිනව පාර්ලිමේන්තුව රැස්වන බව සහතිකකිරීම මෙම ප්‍රතිපාදනයන්හි මූලික අරමුණයි. ඉහතකී ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මෙම ලිපියෙහිම පසු අවස්ථාවක සවිස්තරාත්මකව සාකච්ඡා කෙරෙනු ඇත.

අභිනව පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරයන් තෝරාපත්කර ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වීමට දිනයක් නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුය. පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනතෙහි 24(1)(ඇ) වගන්තියෙහි දැක්වෙන ආකාරයට මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කරන ඉහතකී මැතිවරණ දිනය පනතේ 10 වන වගන්තියේ එන ප්‍රතිපාදන හරහා දැක්වෙන දිනයට සමපාත විය යුතුය. වෙනත් ලෙසකින් සඳහන් කරනුයේ නම් නම් මැතිවරණ කොමිෂන් සභාව මහ මැතිවරණය පැවැත්වෙන දිනය වශයෙන් නම් කළ යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවාහරින ප්‍රකාශනය තුළ මහ මැතිවරණය පැවැත්වීය යුතුයැයි ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයයි. ඒ අනුව ගත් කල මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණයක් පැවැත්වීම සඳහා හැකියාව හිමිවනුයේ මහ මැතිවරණයක් සඳහා දින නියම කරමින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් සිදුකිරිම තුළිනි. මැතිවරණයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙහි වගකීම ආරම්භවනුයේම ඉහතකී 10(1)(ආ) වගන්තියෙහි දැක්වෙන ප්‍රකාශනය එම වගන්තියෙහි දැක්වෙන ආකාරයට ජනාධිපතිවරයා විසින් සිදුකිරීමෙන් අනතුරුව පමණක්මය. ඒ අනුව, ජනාධිපතිවරයා විසින් පවතින පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් කරනු ලබන ප්‍රකාශනය සහ අභිනව පාර්ලිමේන්තුවක් සඳහා මන්ත්‍රිවරුන් තෝරා පත්කරගැනීමට ඔහු විසින් ඉහත ප්‍රකාශනය තුළ දිනයක් නියමකිරීම යන මේ දෙකම පැහැදිලිවම අවියෝජනීය වේ.

කෝවිඞ් 19 වසංගතයෙහි පැතිරීම පාලනයකිරීම පිණිස රජය විසින් මාර්තු මස මැද භාගයේදී ඇඳිරි නීතියද මහජන කටයුතු සඳහා සීමාකිරීම්ද පනවන ලදි. මහ මැතිවරණය පැවැත්වීම සඳහා මුලින් නියම කරගත් අප්‍රේල් 25 වන දාට (ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය මගින් නියම කරනු ලැබූ දිනය) මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව පෙනීගිය කල්හි මැතිවරණ කොමිෂන් සභාව විසින් විශ්මයජනක පියවරක් අනුගමනය කරනු ලැබිණි. මාර්තු මස 21 වන දින ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද කොමිෂන් සභාව නියම කරගත් දිනයට මහ මැතිවරණය පැවැත්විය නොහැකි බව ප්‍රකාශ කළහ. එයිනුදු නොනැවතුණු කොමිෂන් සභාව මහ මැතිවරණය සඳහා පසු අවස්ථාවක යළි දිනයක් නියම කරන බව දක්වමින් මහ මැතිවරණය පැවැත්වීම දින නියමයකින් තොරව කල් තැබීමට කටයුතු කළහ. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මෙකී ගැසට් නිවේදනය පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනතෙහි 10(1)(ආ) සහ 24(1)(ඇ) යන වගන්තිවලින් දැක්වෙන ප්‍රතිපාදනයන්ට ඉදුරාම පටහැණිය. එබැවින් තමන් මැතිවරණය සඳහා පසු අවස්ථාවක වෙනත් දිනයක් නම් කරන්නේයැයි කියමින් ගැසට් නිවේදනයක් නිකුත්කිරීම හරහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ පනතින් තමන් වෙත පැවරුණු බලය ඉක්මවා කටයුතු කර ඇත. එපමණක් ද නොව යටකී ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ බලතල සහ කාර්යයන් දක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහතින් ද සඳහන් කළ 70(5)(අ) සහ (ආ) ව්‍යවස්ථාවන්ට ද මුලුමනින්ම පටහැනිය.

මැතිවරණය පැවැත්වීම සඳහා යළි සුදුසු දිනයක් නියමකිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් විමසා සිටීමට මැතිවරණ කොමිෂන් සභාව යථා කාලයේදී, එනම් මාර්තු මස 31 වන දා කටයුතු කරන ලදි. කලින් නියම කරන ලද පරිදි අප්‍රේල් මස 25 වන දා මහ මැතිවරණය පැවැත්වීමේ ප්‍රායෝගික හැකියාවක් නොමැති බව ඒ වනවිට පැහැදිලිව තිබිණි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5)(අ) සහ (ආ) ව්‍යවස්ථාවන්ගෙන් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ නියෝගයෙන්ද දක්වා සිටි පරිදි මැයි මස 14 වන දා නව පාර්ලිමේන්තුව රැස්වීමද සිදු නොවිය හැක්කක් බවට පත්ව තිබිණි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයා වෙත එවනු ලැබූ විමසීම් ලිපියට ජනාධිපති ලේකම්වරයා විසින් පසු දිනෙක පිළිතුරු සපයනු ලැබිණි. මැතිවරණ පැවැත්වීම සඳහා නව දිනයක් නියමකිරීමේ වගකීම ඇත්තේ ජනරජයේ ජනාධිපතිවරයාට නොව මැතිවරණ කොමිෂන් සභාවටයැයි එම ලිපියෙන් දැක්විණි. මැතිවරණ පනතේ වගන්ති අංක 24(3) වෙත අවධානය යොමු කළ ජනාධිපති ලේකම්වරයාගේ පිළිතුරු ලිපිය කොමිෂන් සභාව සතුයැයි ඔහු විසින් යටකී වගකීම යළි අවධාරණය කරන ලදි. මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 අප්‍රේල් මස 20 වන දා නිකුත් කරන ලද අංක 2172/3 දරණ නව ගැසට් නිවේදනය නිකුත්කිරීමෙහිලා ජනාධිපති ලේකම්වරයා විසින් කොමිෂන් සභාව වෙත යවන ලද ඉහතකී ලිපිය සැලකිල්ලට ගෙන ඇති බව පෙනෙන්නට ඇත. ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි 24(3) වගන්තිය මූලික කරගෙනය. ජනාධිපති ලේකම්වරයා විසින් කොමිෂන් සභාවේ බතලල පිළිබඳ දක්වන ලද අර්ථකථනය කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇති බව ඒ අනුව පැහැදිලිවේ.

මෙම පසුබිම තුළ යථෝක්ථ තත්ත්වය පිළිබඳ බලපාන්නාවූ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි ප්‍රතිපාදන සාකච්ඡාවට ලක්කිරීම වැදගත් වනු ඇත.

1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ මහ මැතිවරණ කල් තැබීම පිළිබඳ විධිවිධාන

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් වන ජනාධිපතිවරයාගේ නියෝගය සහ මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් වන ඉහතකී විධිවිධාන හැරුණුකොට හදිසි අවස්ථා තත්ත්වයක් යටතේ මහ මැතිවරණයක් කල් තැබීම සම්බන්ධයෙන් අදාළවන විධිවිධාන මැතිවරණ පනත තුළ දක්වා ඇත. මැතිවරණ කොමිෂන් සභාව විසින් අප්‍රේල් මස 20 වන දා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට මූලික වූ පනතෙහි අංක 24(3) දරණ වගන්තිය යළි සැලකිල්ලට ලක් කරමු. ර්‍ණයම් හදිසි තත්ත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදුවීම හේතුවෙන්” යම් මැතිවරණ කොට්ඨාශයක් සඳහා නියමිත මැතිවරණය කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් හරහා ප්‍රථමයෙන් නියම කරන ලද දිනයට (මෙම දිනය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා වන සිය ප්‍රකාශයේ දක්වන දිනයම වේ) පැවැත්විය නොහැකිවූ අවස්ථාවක 24(3) වගන්තියෙන් දැක්වෙන ප්‍රතිපාදන අදාළ වේ. ඒ අනුව එසේ යම් කොට්ඨාශයක් සඳහා නියමිත මැතිවරණය නියම කරගත් දිනට පැවැත්විය නොහැකිවූ අවස්ථාවක එම මැතිවරණය (එනම් එකී ඡන්ද කොට්ඨාශය සඳහා නියමිත මැතිවරණය) සඳහා ගැසට් පත්‍රයේ පළ කරන දෙවැනි නිවේදනයක් හරහා යළි දිනයක් නියමකිරීමට කොමිෂන් සභාවට බලය හිමිවේ. ඒ අනුව ස්වභාවික උපද්‍රවයක් වැනි හදිසි අවස්ථාවක් හෝ නීතිය හා සාමය බිඳවැටීම වැනි අනපේක්ෂිත තත්ත්වයක් හේතුවෙන් මහ මැතිවරණය නිශ්චිත මැතිවරණ කොට්ඨාශයක් තුළ නියමිත දිනයට පැවැත්විය නොහැකිවූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට ගත හැකි පියවර පනතෙහි 24(3) වගන්තිය හරහා පැහැදිලිවම දක්වා ඇත. නමුත් මේ වනාහී සෙසු මැතිවරණ කොට්ඨාශ සියල්ලෙහිම මැතිවරණය නියම කරගත් දිනයට පැවැත්වීමට බාධාවක් නොමැති වූ, එක් සුවිශේෂී මැතිවරණ දිස්ත්‍රික්කයක මැතිවරණය පමණක් හදිසි හෝ අනපේක්ෂිත හේතු නිසා පැවැත්විය නොහැකි වූ තත්ත්වයක් සම්බන්ධයෙන් වන විධි විධානයකි. නිශ්චිත මැතිවරණ කොට්ඨාශයක මැතිවරණ කල් දැමීම සඳහා කොමිෂන් සභාවට බලය පවරන මෙම වගන්තිය පනතෙහි පොදු විධිවිධාන යටතෙහි දැක්වෙන 113 වන වගන්තිය සමග කියවිය යුත්තකි.

මෙකී වගන්ති අංක 113 ට අනුව මැතිවරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ප්‍රකාශනයෙන් නියමකිරීමෙන් අනතුරුව ර්‍ණඑකී නියමය අනුව යම් මැතිවරණ කොට්ඨාශයක් සඳහා කවරහෝ හේතුවක් නිසා මැතිවරණයක් පවත්වා නොමැති අවස්ථාවක” ගැසට් නිවේදනයක් හරහා යළි දිනයක් නියම කර එම දිනයට යටකී නොපවත්වන ලද මැතිවරණය පවත්වන ලෙස නියෝගකිරීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ. වගන්ති අංක 113 නැවත වතාවක් ප්‍රතිපාදන සලනුයේ මැතිවරණ කොට්ඨාශයක මැතිවරණයක් සම්බන්ධයෙන් වෙනත් දිනයක් නියමකිරීමට පමණි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රකාශනයේ දැක්වූ දිනට සෙසු සියලු මැතිවරණ කොට්ඨාශයන්හි මැතිවරණය සාර්ථකව පවත්වන ලද තත්ත්වයක් එකී විධිවිධානය හරහා අදහස් කරයි.

ඒ අනුව මැතිවරණ පනතෙහි වගන්ති අංක 24(3) සහ 113 යන විධිවිධාන ද්විත්වයම එක් නිශ්චිත මැතිවරණ කොට්ඨාශයක මැතිවරණ හදිසි තත්ත්වයක් හෝ අනපේක්ෂිත තත්ත්වයක් හේතුවෙන් පැවැත්විය නොහැකි අවස්ථාවක මැතිවරණ දිනය වෙනස්කිරීම සඳහා අවස්ථාව සලසන විධිවිධානයන්ය. මෙම වගන්ති ද්විත්වයෙහි එනිමැතිවරණ කොට්ඨාශය’ යන යෙදුම පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තුවක් පත්කරගැනීම සඳහා පවත්වන සමස්ත මහ මැතිවරණයක් කල් තැබීම සඳහා යොදාගත හැකිවනු පරිදි අර්ථනිරූපනය කළ හැක්කක් නොවේ. රටෙහි සියලුම මැතිවරණ කොට්ඨාශයන්හි මැතිවරණ නියම කරගත් දිනයෙන් බැහැර වෙනත් දිනයක පැවැත්වීමට විධිවිධාන සැලසීමක් මෙම වගන්ති දෙකෙන් එකකින් හෝ සිදුනොවේ. අදාළ වගන්ති ද්විත්වයෙහි භාෂාව සංවිධානයව ඇති ආකාරය තුළ ඒ ආකාරයෙන් මැතිවරණ කල් තැබීමක් සඳහා කිසිදු අවස්ථාවකට ඉඩ සලසා නොමැත.

එසේ හෙයින් –

01. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු දිනය පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශනයෙහි දැක්වෙන දිනය විය යුතුය. අභිනව පාර්ලිමේන්තුව පැරණි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස 03 ක් ගතවීමට මත්තෙන් රැස්විය යුතුය. එබැවින් ඉහතකී මැතිවරණ දිනය පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට මාස 03 ක් නොඉක්මවන දිනයක් විය යුතුය. මේ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 70(5)(අ) සහ (ආ) ව්‍යවස්ථා යටතේද පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි 10(1)(ආ) වගන්ති හරහාද පැහැදිලිවම දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත ව්‍යවස්ථා සහ මැතිවරණ පනත යන මෙකී නීති එකක් විසින් අනෙක බලාත්මක කරන ආකාරයෙන් සම්පාදනයව ඇති අතර ඒවා එකිනෙකින් ව්‍යුත්පන්න කර ක්‍රියාත්මක කළ නොහැක.


02. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසුව මැතිවරණ පනතෙහි 24(3) වගන්තිය භාවිත කර මැතිවරණය සඳහා වෙනත් දින නියමකිරීමේ බලයක් මැතිවරණ කොමිෂන් සභාවට නොමැත.


03. හදිසි අවස්ථාන්හිදි හෝ අනපේක්ෂිත තත්ත්වයන් මත මැතිවරණ කොට්ඨාශයක මැතිවරණ කල් තැබීම සඳහා විධිවිධාන සලසන මැතිවරණ පනතෙහි 24(3) වගන්තිය හෝ 113 පොදු විධිවිධාන වගන්තිය සමස්ත මහ මැතිවරණයක් කල් තැබීම සඳහා විධිවිධාන සලසන්නේ නැත.

ව්‍යවස්ථාමය ප්‍රතිපාදන

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මහ මැතිවරණයක් කල් තැබීම සඳහා ජනාධිපතිවරයාට ඉඩ සලසන ප්‍රතිපාදන හෝ හදිසි අවස්ථාවක මහ මැතිවරණයක් කල් තැබීමට මැතිවරණ කොමිෂන් සභාවට ඉඩ සලසන ප්‍රතිපාදන හෝ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි නොමැත. එසේ වුවද, එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් අදාළ කරගත හැකි විධිවිධාන 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙහි අන්තර්ගත වේ.

කලින් අවස්ථාවකද සඳහන් කළ පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අවස්ථාවක මහ මැතිවරණයක් සඳහා දිනයක් නියමකිරීමේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ජනරජයේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇත. මේ සම්බන්ධයෙන් විධිවිධාන සලසන ව්‍යවස්ථා අංක 70(5)(අ) සහ 70(5)(ආ) වගන්ති නිශ්චිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5)(අ) වගන්තිය පහත පරිදි වේ. ර්‍ණපාර්ලිමේන්තුව විසුරුවාහරින ප්‍රකාශනයෙහි, අභිනව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයන් තෝරා පත්කරගන්නා දිනය හෝ දිනයන් නියම කොට තිබිය යුත්තේය. එසේ එකී ප්‍රකාශනය නිකුත් කළ දින සිට මාස තුනක් ගතවන්නට පෙර දිනයකට අභිනව පාර්ලිමේන්තුවේ පළමුවන රැස්වීම එම ප්‍රකාශයෙන්ම කැඳවිය යුත්තේය”. මෙකී ව්‍යවස්ථාපිත විධිවිධානයන්ට මුලුමනින්ම අනනුකූලව කටයුතු සිදුවන බව සහතිකකිරීමේ වගකීම 70(5)(ආ) වගන්තිය විසින් ජනරජයේ ජනාධිපතිවරයා වෙත පවරා ඇත. එකී වගන්තිය ‘‘…පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තේරීම සඳහා ප්‍රකාශනයක් මගින් නොපමාව දිනයක් හෝ දින නියම කොට අභිනව පාර්ලිමේන්තුව, ඒ ප්‍රකාශනයේ දින සිට තුන් මාසයකට පසු දිනයක් නොවන දිනයක රැස්වන ලෙස කැඳවිය යුත්තේය” යැයි ස්ථිරවම දක්වා සිටී. 1981 වසරේ සම්මත කරන ලද පාර්ලිමේන්තු මැතිවරණ පනතට පූර්වයෙන් ක්‍රියාත්මකවීම ආරම්භවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත දැක්වූ ප්‍රතිපාදන මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ වගකීම් දක්වන මූලික නීතිය වශයෙන් අප විසින් අවබෝධ කරගත යුතුය. 1981 මැතිවරණ පනතෙහි 10(1)(ආ) සහ 24(1)(ඇ) ආදී වගන්ති හරහා සිදුකර ඇත්තේ එකී මූලික නීතිය තවදුරටත් බලාත්මක කිරීම පමණි.

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවක් හදිසි අවස්ථා තත්ත්වයක් හේතුවෙන් යළි කැඳවීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 70 වන ව්‍යවස්ථාවේ 07 වන අනු ව්‍යවස්ථාවක් හරහා විධිවිධාන සලසයි. මෙම විධිවිධානය ක්‍රියාත්මකරවීම තුළ මහ මැතිවරණය සඳහා නියමිත දිනය වෙනස්කිරීමේ හෝ නොකිරීම අවශ්‍යතාවය මෙන්ම, අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස්කිරීම හෝ නොකිරීමේ අවශ්‍යතාවයද තීරණය කළ හැක. ආණ්ඩුක්‍රම ව්‍යයස්ථාවේ 70(7) අනු ව්‍යවස්ථාව විසින් දක්වන ආකාරයට ‘‘පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසුව කවර අවස්ථාවක වු ද පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැස්වීම අවශ්‍යවන ස්වභාවයක හදිසි තත්ත්වයක් උද්ගතව ඇති බවට ජනාධිපතිවරයා සෑහීමට පත්වුවහොත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ප්‍රකාශනයක් මගින්, ඒ ප්‍රකාශනයේ දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු දිනයක දී රැස්වන ලෙස කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය”. එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහ මැතිවරණය අවසන් වීම යන මෙයින් කලින් එළඹෙන අවස්ථාවේදී විසිරෙන්නේය”.

එසේ හෙයින් –

01. මහ මැතිවරණය සඳහා නියම කරනු ලැබූ දිනය සහ අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් කෙරෙන පරිදි කටයුතුකිරීමට 70(7) අනු ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට බලය ලබාදේ. කෙසේ වෙතත් මෙම බලය ක්‍රියාත්මක කළ හැක්කේ බරපතල හදිසි අවස්ථා තත්ත්වයකදි පමණක්ය.

02. ජනාධිපතිවරයා විසින් 70(7) අනු ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරෙන බලතල ක්‍රියාත්මක කළ යුත්තේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවිමෙනි.

03. විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීමට හේතුවූ හදිසි අවස්ථා තත්ත්වය අවසන් වූ කල්හි නියමිත දිනයට මැතිවරණය පැවැත්විය හැකි නම් එසේ මැතිවරණය පැවැත්විය යුතුය. එසේ නොවන්නේ නම් ජනාධිපතිවරයා විසින් නව ප්‍රකාශනයක් හරහා මහ මැතිවරණ පැවැත්වෙන නව දිනයද අභිනව පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්විය යුතු නව දිනයට දැක්විය යුතුය.

04. මහ මැතිවරණයක් පැවැත්වෙන දිනය වෙනස්කිරීමට හෝ මහ මැතිවරණයකින් තේරී පත්වන අභිනව පාර්ලිමේන්තුව ප්‍රථම වතාවට රැස්වන දිනය හෝ වෙනස්කිරීමේ බලය ඇත්තේ ජනරජයේ ජනාධිපතිවරයාට පමණි. ජනාධිපතිවරයාට මෙම බලය ක්‍රියාත්මක කළ හැක්කේ, ඉහත දැක්වූ පරිදි 70(7) අනු ව්‍යවස්ථාව යටතේ කටයුතු කිරීමෙන් පමණි.

නිශ්චිත මැතිවරණ කොට්ඨාශයක මැතිවරණය පැවැත්වීම කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය ලබා දෙන මැතිවරණ පනතෙහි 24(3) වගන්තියට සහ මැතිවරණ කොට්ඨාශයක් සඳහා වෙනත් දිනෙක මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට බලය ලබාදෙන යටකී පනතෙහි 113 වගන්තිය යන මේ දෙකටම වඩා පුලුල්වත් වඩාත් අර්ථාන්විතවත් මහ මැතිවරණය සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත විධිවිධාන යෙදී ඇතිබව පැහැදිලිය.

කලින් විසුරුවාහරින ලද පාර්ලිමේන්තුවක් හදිසි අවස්ථාවක් හේතුවෙන් යළි කැඳවීම සඳහා අවශ්‍ය බලය ජනාධිපතිවරයාට වෙත 70(7) අනු ව්‍යවස්ථාව හරහා දැනටමත් ලබාදී ඇත. ඒ හරහා මැතිවරණය පැවැත්වෙන දිනය සහ අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස්කිරිමට අවශ්‍ය අවස්ථාවක සුදුසු පරිදි කටයුතු කළ හැක. එබැවින් හදිසි අවස්ථාවක් හේතුවෙන් සමස්ථ මැතිවරණයම කල් තැබීමේ බලය පනතක් හරහා යළි නිර්වචනයකිරීමේ අවශ්‍යතාවයක් නොමැත. එසේ හෙයින් 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි එන යටකී විධිවිධාන සලසා ඇත්තේ හදිසි අවස්ථාවක් හේතුවෙන් මහ මැතිවරණයක් කල් තැබීමට නොව කිසියම් නිශ්චිත මැතිවරණ කොට්ඨාශයක මැතිවරණය සම්බන්ධයෙන් තීරණ ගැනීමට බව පැහැදිලිය.

නිගමනයන්

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසු අභිනව පාර්ලිමේන්තුවක් සඳහා මන්ත්‍රීවරයන් තෝරාපත්කකර ගැනීමේ මැතිවරණය සඳහා දිනය නියමකිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ පනත යන මේ දෙක විසින්ම පවරා දෙනුයේ ජනාධිපතිවරයාටය. ඒ බලය කිසිම තත්ත්තවයක් යටතේ වුව වෙනත් පාර්ශවයකට පවරා නැත. පැරණි පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ගතවීමට මත්තෙන් නව පාර්ලිමේන්තුව රැස්වින බව සහතිකකිරීමේ ව්‍යවස්ථාමය අවශ්‍යතාවය පැවරෙනුයේද ජනාධිපතිවරයාටයි. ජනාධිපතිවරයා යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ සිය ප්‍රකාශනයෙහි දැක්වූ මැතිවරණ දිනය ඉක්මවා කටයුතුකිරීමට අපේක්ෂා කරන්නේ නම් එහිලා ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව කටයුතු කළ යුතුය.

හදිසි හෝ අනපේක්ෂිත තත්ත්වයක් හේතුවෙන් නියම කරගත් පරිදි පැවැත්විය නොහැකිවූ මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපති ප්‍රකාශනයක් හරහා වෙනත් දිනයක් නියමකිරීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) අනු ව්‍යවස්ථාවට අනුව මේ සඳහා ජනාධිපතිවරයාට බලය හිමිවනුයේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව හදිසි තත්ත්වයක් හේතුකොටගෙන යළි කැඳවන ලද අවස්ථාවක පමණක්මය. 70(7) අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරෙන යටකී ව්‍යවස්ථාපිත බලය භාවිත කළ හැකි අවස්ථාවක් වශයෙන් කෝවිඞ් 19 වසංගත තත්ත්වය හදුනාගත හැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) අනු ව්‍යවස්ථාවෙහි දැක්වෙන බලය භාවිත විය යුතු ආකාරය අවබෝධ කරගත යුත්තේ මෙරට දේශපාලන සන්දර්භයෙහි එන අතිශය වැදගත් ආයතන දෙකක් වන විධායක ජනාධිපතිධූරය සහ පාර්ලිමේන්තුව යන ඒ ඒ ආයතනයන්ට පැවරෙන වගකීම් සැලකිල්ලට ගනිමිනි. ජනරජයේ ජනතාවගේ ස්වාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන ආයතන දෙක වශයෙන් මෙම ව්‍යූහයන් දෙකෙහි අයිතීන් සහ වගකීම් අතර පැවතිය යුතු සමබරතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) සහ 4(ආ) වගන්ති හරහා නිර්වචනයව ඇත. ‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්ත්කාලයේ බලපවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේද ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍යන් යථා පරිදි ඉටුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතුය.” යි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33අ. වගන්තිය පැහැදිලිවම දක්වා සිටී. මෙහි අර්ථය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව හදිසි තත්ත්වයක් හේතුකොටගෙන දින නියමයකින් තොරව රටේ ස්වාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීමේ තනි අධිකාරිය ලෙස ජනාධිපතිවරයා විසින් කටයුතුකිරීම විධායක ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව යන ආයතන ද්විත්වය හරහා ක්‍රියාත්මක කරන මහජනතාවගේ ස්වාධිපත්‍ය පිළිබඳ සංකල්පයට මුලුමනින්ම පටහැණි බවයි. පාර්ලිමේන්තුව විසුරුවාහැරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ බලතල හුවා දක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව කිසිසේත්ම පාර්ලිමේන්තුවෙහි අදාළත්වයක් නොමැතිව කැමති කාලයක් ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට බලය ලබාදෙන ව්‍යවස්ථාවක් නොවන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(1)(ඈ) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ර්‍ණමැතිවරණ කොමිෂන් සභාවෙහි උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මානය කිරීම තහවුරු කිරීම” සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාපිත වගකීමක් පැවරෙන්නේය. එබැවින් මේ මොහොතෙහි මැතිවරණ කොමිෂන් සභාවෙහි භූමිකාව විය යුත්තේ මැතිවරණ පනතෙන් ජනාධිපතිවරයාගේ කාර්යය වශයෙන් දක්වා ඇති විධිවිධාන සියතට ගැනීම හෝ ඒ හරහා සිය ව්‍යවස්ථාපිත වගකීම් මගහැර කටයුතුකිරීමට ජනාධිපතිවරයා යොමුකිරීම නොව එකී වගකීම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාට සහායවීමයි.

මහජන අභිවෘද්ධිය

විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව කොරෝනා වසංගත තත්ත්වය වැනි හදිසි අවස්ථා තත්ත්වයක් තුළ යළි කැඳවීම මහජනතාවගේ අභිවෘද්ධිය සඳහා මෙන්ම ජනාධිපතිවරයාගේ අභිවෘද්ධිය සඳහා ද හේතුවනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත්, කොරෝනා වංසගතය වැනි ජාතික ආපදා තත්ත්වයකදී පවා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වගකීම් සම්පන්න රාජ්‍ය පාලනයක මූලධර්මයන්ටත් අනුකූලව කටයුතු කරන නීතිගරුක ජනාධිපතිවරයෙකු වශයෙන් මහජන විශ්වාසය දිනාගැනීමට ජනාධිපතිවරයාට අවස්ථාව සැලසෙනු ඇත.

කොරෝනා වංසගතය හේතුවෙන් කල්තබන ලද මැතිවරණයක් යළි පැවැත්වීමට මැතිවරණ පනතෙන් ප්‍රමාණවත් විධිවිධාන සපයා නොමැති මේ අවස්ථාවෙහි ජනාධිපතිවරයා 70(7) අනු ව්‍යවස්ථාවෙන් තමන් වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නම් එවැනි තත්ත්වයක් යටතේ නැවත කැඳවනු ලබන පාර්ලිමේන්තුව මෙකී ජාතික ආපදා තත්ත්වයෙහි බරපතලභාවය සැලකිල්ලට ගනිමින් වගකීම් සහගත ලෙසත් ගෞරවාන්විතවත් සිය කටයුතු සිදුකරනු ඇතැයි මහජනතාව උදක්ම අපේක්ෂා කරනු ඇත. මෙම වසංගත තත්ත්වය අප හමුවේ තබා ඇති අභියෝගයන්හි බරපතලබව විසින් ඉල්ලා සිටිනුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්ව සර්ව පාක්ෂික එකඟතාවයකින් යුතුව කටයුතු කළ යුතුය යන්නයි. මේ ගෙවී යනුයේ උස් හඬින් කරන පාර්ලිමේන්තු සාකච්ඡාවන්ට හෝ ප්‍රතිවාදි දේශපාලකයා බිත්තියට තබා හිර කරන තර්ක විතර්කවලට හෝ කාලය නොවේය. දේශපාලන කුමන්ත්‍රණ ගැන සුපුරුදු කතා ද මේ මොහොතේ අනවශ්‍යය. මෙකි අභියෝගාත්මක කාලය තුළ සිය රටේ ආණ්ඩුවට අවශ්‍ය සියලුම ආකාරයේ සහයෝගය ලබදෙමින් කටයුතුකිරීමට රටක දේශපාලන පක්ෂ සියල්ලක්ම පාහේ ඉදිරියට පැමිණි ආකාරය පිළිබඳ නිදසුන් පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වන පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් ගණනාවක් තුළ දැකිය හැකි විය. කොරෝනා වසංගතය පරාජය කිරීමෙන් පසුව රටක් වශයෙන් නැවත සාර්ථකව නැගීසිටිමට එකී දේශපාලන සහයෝගය මූලික කොන්දේසියක් ද වනු ඇත.

නැවත කැඳවනු ලබන පාර්ලිමේන්තුවට තිබෙනු ඇත්තේ නිශ්චිත අරමුණු කිහිපයක් පමණකි. මේ මොහොතේ වසංගතය පාලනයට ජනාධිපතිවරයා සහ රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් වර්ධනයකර පවත්වාගෙන යාමට සහයෝගයදීම සහ එකී ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය මුදල් වෙන්කර පහසුකම් සැලසීම එකී නිශ්චිත අරමුණු කිහිපයයි. කොරෝනා වංසගතය විසින් ඇති කර ඇති තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම සඳහා අතිශය සීමා සහිත මන්ත්‍රී සහභාගීත්වයක් තිබීම ප්‍රමාණවත්ය. ඒ අනුව රජය සහ විපක්ෂය නියෝජනය කරමින් ගණ පූරණය සැපිරීම සඳහා අත්‍යවශ්‍යම මන්ත්‍රීවරුන් ප්‍රමාණය පමණක් එයට සහභාගීවීම සෑහෙනු ඇත. පවතින තත්ත්වය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කෙරෙන සම්ප්‍රදායික අසුන් පැමිණවීම මෙන්ම සාමාන්‍ය ක්‍රියාපටිපාටීන් හෝ න්‍යාය පත්‍රයන් ද භාවිතයට ගැනීමට නොහැකිවනු ඇත. එසේ වුවද, ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්න මෙම පාර්ලිමේන්තු සභාවෙහි සාකච්ඡාවට ලක් කළ හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඔවුන්ට සාමාන්‍යයෙන් සිදුකරනු ලබන ගෙවීම් සහ දීමනා මෙම ජාතික අර්බුදකාරී අවස්ථාවේදී ලබා නොදිය යුතුයැයි මහජනතාව වන අපට කියා සිටිය හැකිය.

වසංගතය නිසා කඩා වැටුණු මිනිස් ජීවිත යළි නඟා සිටුවීමත් ජාතික ආර්ථිකයට සහ සෞඛ්‍ය සේවාවන්ට සිදුවූ බරපතල හානිවීම් සඳහා නිසි පරිදි පිළියම් කිරීමත් කළ හැකිවන සේ රාජ්‍ය පාලනය යථා තත්ත්වයට ගැනීම සඳහා නව ක්‍රමවේද අවශ්‍යව ඇත. එකී නව ක්‍රමවේද වැදගත් වන්නේ යම් පමණකටද එමපණකටම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය දුර්වල නොකර ඒවා තවදුරටත් ශක්තිමත්කිරීමද මේ මොහොතේ වැදගත් වේ. මෙකී අර්බුදකාරී අවස්ථාවේදී සිය පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවාගැනීමට සහ ප්‍රතිවාදීන් බිම දමන සිය සාමාන්‍ය දේශපාලන ක්‍රීඩාව යළි ඇරඹීම සඳහා පමණක් පාර්ලිමේන්තුව රැස්කරවා ගන්නට යමෙක් උත්සාහ කරන්නේ නම් ඔවුන් පෙන්වා දෙනුයේ අපගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයන් වීමට ඔවුන් කොතරම් නම් නුසුදුස්සන් ද යන්නයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයට විසඳුම ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තුළමය



ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ඉතිහාසය 1930 දශකය දක්වා දිවයන්නකි. 1931 වසරේ මෙරට ක්‍රියාත්මකවීම ඇරඹූ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අවශ්‍යතාවය වන සර්වජන ඡන්ද බලය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතකරනු ලැබිනි. එනයින් ගත්කල ශ්‍රී ලංකාව යනු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයි. 

කෙසේ වුවද ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම මෑතකාලීනව බරපතල පරීක්ෂාවන්ට ලක්වනු දැකිය හැකිය. බලය දැරූ ආණ්ඩුවක් ව්‍යවස්ථාවට පටහැණිව යමින් පෙරළා දමා රාජ්‍ය බලය අත්පත්කරගැනීමට විපක්ෂය උත්සාහ කළ දේශපාලන කුමන්ත්‍රනය අවසන්ව තවමත් වසර 02 ක් හෝ ගතව නොමැත. අනෙක් අතට දැන් අලුතෙන් ඇතිව තිබෙන දේශපාලන යථාර්ථය තුළ රටෙහි ප්‍රජාතාන්ත්‍රීය යාන්ත්‍රණයන් කොතෙක්දුරට ආරක්ෂා වනු ඇත්දැයි සිවිල් සමාජයත් මැදහත් පුරවැසියනුත් බිය පළකරමින් සිටී. ව්‍යවස්ථාපිතව රටේ ව්‍යවස්ථාදායක විසුරුවා හැර ඇති සමයක මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විෂයෙහි නවතම  අභියෝගයක් වර්ධනය  වනු දැකිය හැක. මේ වර්ධනය වන නව අභියෝගය විසින් ඉල්ලා සිටිනුයේ ශ්‍රි ලංකාවට පාර්ලිමේන්තුවක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් අනවශ්‍ය බවත් පළාත් 09ට මේජර් ජෙනරාල්වරුන් 09 ක් පත්කර හමුදා මැදිහත්වීමක් හරහා දැනට වඩා ප්‍රශංසනීය ලෙස රට පාලනය හැකි බවත්ය. 

සමාජ මාධ්‍ය තුළ ප්‍රබලවත් එකී ප්‍රබලත්වය නිසාම මහජන අවකාශය තුළත් දැන් දැන් මතුවන සිවිල් පාලනය විෂයෙහි හමුදා මැදිහත්වීමක් ඉල්ලාසිටීම අතිශය භයානක මතවාදයකි. එය වඩාත් භයානක වනුයේ මෙකී මතවාදය යථාර්ථයක් වුවහොත් මිනිස් නිදහස සහ මානව අයිතිවාසිකම් මුලිනුපුටා දමන පාලනයන් බිහිවීම වැලැක්වීමට මිනිසා සතු එකම ආරක්ෂක කපාටය (ී්fැඑහ ඩ්කඩැ) වන ප්‍රජාතන්ත්‍රවාදය අහෝසිව ගොස් මිනිසාගේ නිදහස අවිනිශ්චිතව යන පාලනයක් බිහිවනු ඇති බැවිනි. එසේ හෙයින් මේ මතවාදය මෙන්ම එහි ඇති භායානකත්වයද  අප විසින් නිවැරදිව අවබෝධ කරගත යුතුය. එහිලා ප්‍රජාතන්ත්‍රවාදය නැවත කියවා ගැනිම, සිවිල් පාලය විෂයෙහි හමුදා මැදිහත් වීමෙහි ප්‍රතිඵල විග්‍රහ කිරීම මෙන්ම හමුදා පාලනයක් අන් පාලන ක්‍රමවලට වඩා සාර්ථකද යන වග විමසා බැලීම ද වැදගත් වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නැවත කියවමු. 
ප්‍රජාතන්ත්‍රවාදයේ එක් වැදගත් ස්වභාවයක් නම් රාජ්‍යයේ ගාමක බලය හුදෙක් තනි පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අභිමතය මත තීරණයවීමෙන් ඇතිවන  අවදානම මගහැරීමට එයට ඇති හැකියාවයි. ප්‍රජාතන්ත්‍රවාදය නමැති  සංකල්පය ප්‍රචලිත වනුයේම රාජ්‍යයක  දිශානතිය තීරණය  කරන වඩාත් සංවේදී තින්දු තීරණ තනි පුද්ගලයෙකු විසින් සිය අභිමතය  පරිදි ගනු ලබන  රාජාණ්ඩු ක්‍රමයට හෝ ෆැසිස්ට් ක්‍රමයට විකල්පයක් වශයෙනි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නිර්මාණය වීම පිණිස මගපෑදූ  මූලික සාධකය නම් රාජ්‍යයක ප්‍රගමනය සම්බන්ධයෙන්  ගනු ලබන තීන්දු විවිධ කෝණවලින් සැලකිල්ලට ගැනීම මෙන්ම එකී තීරණවල ඇති මානව හිතවාදී නොවන ලක්ෂණ පෙරා ඉවත්කර එම තීරණ ක්‍රියාත්මක කරවීමේ අවශ්‍යතාවයයි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ මුඛ්‍ය අරමුණ රාජ්‍ය පාලනයේ මානවීය ගුණය ආරක්ෂා කර ගැනීමයි. මෙකී අවශ්‍යතාවය ඉටු කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය විසින් ස්ථාපිත කරන ප්‍රවේශය වනුයේ රාජ්‍යයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ස්ථර කිහිපයක් හරහා සාකච්ඡාවට සහ අනුමැතියට ලක්කිරීම සහ එකී ඒ ඒ ස්ථර නියෝජනය කරන්නන් පුළුල් මහජන සහභාගීත්වයක් හරහා තෝරා ගැනීමයි. 

ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති මේ පුළුල් මහජන සහභාගීත්වය හේතුවෙන්ම එය ස්වභාවයෙන්ම අකාර්යක්ෂම පාලන ක්‍රමයකැයි (Inherently Risky) දේශපාලන විද්‍යාවේදී හැඳින්වේ. විසඳිය යුතු ගැටලුවල ඇති සංකීර්ත්වය වැඩිවීමට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය තුළ පොදුවේ සියලු දෙනාටම පිළිගත හැකි විසදුමක් ඇති කරගැනීම වඩ වඩාත් ප්‍රමාද වනු ඇත. මේ ස්වභාවයෙන්ම එන අකාර්යක්ෂමභාවය නිසාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් වැඩි දෙනාගේ කැමැත්ත මත නුසුදුස්සන්  තනතුරුවලට පත්ව දූෂිත සහ  අකාර්යක්ෂම පාලනයන් ඒ තුලින් බිහිවිය හැක. එහෙත් අප විසින් අමතක නොකල යුතු ඉතාම වැදගත් කරුණක් නම් ප්‍රජාතන්ත්‍රවාදය යනු පාලකයා සිය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මහජනතාවට වගකියන මහජනතාවගේ ප්‍රශ්නකිරීම්වලට ලක් කෙරෙන ක්‍රමයක්ය (Rulers are held accountable) යන්නයි. තොරතුරු දැනගැනීමේ අයිතියෙහි පටන් කලින් කලට පවත්වන නිදහස් හා සාධාරණ මැතිවරණද මහජනතාවට සිය පාලකයා  ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබාදෙන ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණයන්ය. ඉක්මනින් හෝ  ප්‍රමාද වී හෝ අතිශය දූෂිත මානව  විරෝධී පාලනයක් වුව ද ප්‍රජාතන්ත්‍රවාදය හරහා මහජනතාවගේ විනිශ්චයට ලක්වනු ඇත. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වඩාත් සාධනීයම ලක්ෂණය නම් අතිශය දූෂිත සහ මානව විරෝධී පාලනයක් වුව රුධිරය වගුරවන ගැටුමකට නොයා අවසන් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදයම භාවිත කළ හැකි වීමයි. 


"හොඳ ජෙනරාල්වරුන් දෙදෙනෙකුට වඩා එක් නරක ජෙනරාල්වරයෙකු යහපත්ය"
සන්නද්ධ හමුදාවක ඇති මූලිකම ලක්ෂණය නම් තමන් වෙත ලැබෙන නියෝග වඩාත් කාර්යක්ෂම ලෙස ඉටුකිරීම ඉලක්කය වශයෙන් ගනිමින් එහි ඇති  සියලු  යාන්ත්‍රණ නිර්මාණය වී තිබීමයි. මෙය රාජ්‍ය විසින් පවත්වාගෙන යන වෛද්‍ය සේවාව හෝ වෙනත් එවැනි සේවාවකට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. මේ දෙවැනියට සඳහන් කළ සේවාවක  නිරත වන්නෙකුට තමන් විසින් ඉටු කළ යුතු රාජකාරී සම්බන්ධයෙන් මානුෂීය මුහුණුවරකින් බැලීමට බාධාවක් නොමැත. නමුත් හමුදා සේවයේ නිරත සෙබලෙකුට එවැනි නිදහසක් නොමැත. හමුදාවේ මාධ්‍යය වනුයේ මානූෂීය තත්ත්ව සලකා බැලීම නොව නොව බලය යෙදවීමයි. හමුදා සෙබලෙකුට ලැබෙන දීර්ඝ සහ වෙහෙසකර පුහුණුවක පවා අර්ථය වනුයේ කවර හෝ තත්ත්වයක් යටතේ වුව නියෝග සඳහා අවනතවීම සෙබලාගේ මූලික විනය බව ඔහුට ඒත්තු ගැන්වීමටයි. සන්නද්ධ  හමුදාවන්හි සංයුතිය පුද්ගල කේන්ද්‍රීය සහ නිශ්චිත  ධුරාවලියකට යටත්ව ගොඩනැගී ඇත්තේද සාකච්ඡාවන් ද ප්‍රශ්න කිරීම් ද හැකිතාක් බැහැර කර තමන්ට ලැබෙන නියෝග කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන  පිණිසය.  ර්‍ණහොඳ ජෙනරාල්වරුන් දෙදෙනෙකුට වඩා එක් නරක ජෙනරාල්වරයෙකු යහපත්ය” යැයි සුප්‍රසිද්ධ ප්‍රංශ අධිරාජ්‍ය නැපෝලියන් විසින් වරක් සඳහන් කර ඇත. ඔහුගේ එකී ප්‍රකාශයේ යටිපෙළ අරුත නම් ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇති තැන එන සංවාද සහ එකිනෙකා ප්‍රශ්න කරගැනීම් කිසිවක් නොමැතිව තනි ජෙනරාල්වරයෙකුට කටයුතු කළ හැකිය යන්නයි. සන්නද්ධ සේවාවන් තුළ විරුද්ධ මතවාද හෝ ප්‍රශ්න කිරීම් ප්‍රතික්ෂේපකිරීමේ නැඹුරුව එතරම්ම බලවත්ය.  

ඒ අනුව කවර හෝ නියෝගයක් වුව ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින, බලය යෙදවීම භාවිතය කරගත්, ප්‍රශ්න නොකිරීමට  පුහුණුව ලැබූවෙකු සිවිල් ගැටලු නිරාකරණය සඳහා යෙදවීම කොතරම් දුරට ප්‍රායෝගිකද? අවාසනාවකට මෙන් එවැනි තත්ත්වයක් විසින් ඇති කළ හැකි ඛේදනීය ප්‍රතිඵල සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ට මෑත කාලීන අත්දැකීම් ඇත. 

2019 සැප්තැම්බර් මස 11 වනදා නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විශේෂ ත්‍රි-පුද්ගල මහාධිකරණයක් ඉදිරියේ අධිචෝදනා ගෙනු කරන ලදි. නීතිපතිවරයා  විසින් ගොනුකරන ලද අධිචෝදනා තුළ සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කර සිදුකරන ලද වෙඩි තැබීමකින් පාසල් සිසුන් දෙදෙනෙකු ද ඇතුලුව පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය  කිරීම, පුද්ගලයන් 16  දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම සහ තවත් පුද්ගලයන් 21 දෙනෙකුට සුලු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඉහත කී හමුදා නිලධාරීන්  සිව්දෙනා හට චෝදනා එල්ලව තිබිණි. ඊට අමතරව ඉහත සඳහන් චෝදනා ලත්  හමුදා නිලධාරීන් විසින් අදාළ වෙඩි තැබීම්වලින් පසුව භූමියේ  විසිරී තිබූ හිස් පතරොම් කොපු ඉවත් කර මරණ සහ තුවාල නිසා ගලාගිය රුධිරය  සෝදා දැමීමට ද කටයුතු කර තිබිනි. ඒ අනුව සිද්ධිය පිළිබඳව පසු අවස්ථාවක සිදුවිය හැකි නිල පරීක්ෂණ සම්බන්ධයෙන් වැදගත් විය හැකි  සාක්ෂි ඉවත්  කිරීමට කටයුතු කළේ යැයිද අදාළ හමුදා නිලධාරීන් සිව්දෙනා හට නීතිපතිවරයා විසින් චෝදනා එල්ලකර තිබිණි. 

ඉහත චෝදනා සඳහා පදනම්  වූ ඛේදනීය සිදුවීම් සමූහය 2013 වසරේ අගෝස්තු මස 01 වැනි දා සිදුවූ  ර්‍ණරතුපස්වල වෙඩිතැබීම්” වශයෙන් ඔබ අසා ඇති බව නිසැකය. රජයේ හමුදා විසින් නිරායුධ සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීමක් දක්වා දුරදිග ගිය සිද්ධීන් සමූහයක ආරම්භය වූයේ සන්නද්ධ හමුදා අනුඛණ්ඩයක මැදිහත්වීමක් කිසිසේත් අවශ්‍ය නොමැති පරිපාලන ගැටලුවකි. සිද්ධිය සිදුවූ ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ රතුපස්වල ග්‍රාමයේ ස්වභාවික ජල මූලාශ්‍ර ගමෙහි පිහිටි  කර්මාන්ත ශාලාවකින් බැහැර  කළ අපද්‍රව්‍ය හේතුවෙන් භාවිතයට නුසුදුසුව තිබිණි. මේ පිළිබඳ දිගු කලක් තිස්සේ ගම්වැසියන් විසින් අදාළ බලධාරීන් වෙත සිදුකළ පැමිණිලි  කිරීම්වලින් ද ප්‍රයෝජනයක් ඇතිව නොතිබිණි. බලධාරීන් වෙතින් තමන්ගේ ගැටලුවට කිසියම් හෝ පිළියමක් නොතිබූ තැන ගම්වැසියන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට රැස්ව බාධාකාරි ලෙස හැසිරුණු අතර මාර්ගයේ ගමනාගමනයට අවහිරතා සිදුකර ඇත. මෙවැනි අවස්ථාවක මහජනතාව පාලනයට සහ සාමය ආරක්ෂා කිරීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට ගනු ලැබිය හැකි පියවර ගණනාවක් වුව නම් කළ හැක. එහෙත් සන්නද්ධ  හමුදා කණ්ඩායමක් සිද්ධිය සිදුවන ප්‍රදේශයට මුදාහැර සිවිල් වැසියන්ට වෙඩි තැබීමෙන් කලහයක් "පාලනය" කිසිසේත් මෙවැනි අවස්ථාවක් සම්බන්ධයෙන් යොදාගත හැකි පියවරක් නොවේ. 



රතුපස්වල වෙඩිතැබීම් විසින් අපට පෙන්වා සිටිනුයේ සිවිල්  ජන ජීවිතය සහ සන්නද්ධ  හමුදා අතර තිබිය යුතු අත්‍යව්‍යශ විභේදන රේඛාව ඉක්මවා යාමෙන් ඇතිවන, නිවැරදි කළ නොහැකි ප්‍රතිවිපාකයන්හි තරමයි. රතුපස්වල ගැටුමේ ඇතැම් තැනෙක හමුදා සෙබලුන් විසින් සිදුකළ තාඩන ඉවසා ගත නොහැකිවූ සමහර වයස්ගත මව්වරුන්  ර්‍ණඅනේ පුතේ අපි මේ අත්දෙකෙන් යුද්දේ අන්තිම කාලේ උඹලට බෝධි පූජා තිබ්බා” යැයි වේදනාවෙන් යුතුව කියා සිටි බවක් එකළ කුප්‍රකටව තිබිණි. මෙවැනි ප්‍රකාශ අතිශයෝක්තීන් යැයි යමෙකුට බැහැර කළ හැකි මුත් ඒ මොහොතේ මරණය  පෙනි පෙනී සිටි මිනිසුන්ගෙන් එවැනි වේදනාවන් නොනැගුනායැයි සැබැවින්ම සිතිය හැකිද? එහෙත් එවැනි විලාපයන් හමුවේ පවා තමන්ට ලැබී තිබූ  නියෝග ක්‍රියාත්මකකිරිම කෙරෙහි අදාළ හමුදා අනුඛණ්ඩයට තිබූ උනන්දුව බිඳකින් හෝ අඩු නොවූ බව නීතිපතිවරයාගේ ඉහත අධිචෝදනා සාක්ෂි දරයි.  

රතුපස්වල වෙඩි තැබීම්වලින් පසුව එම වෙඩි තැබීම් සඳහා වගකිවයුතුයැයි චෝදනාවට ලක්වූ කිසිවෙකුත් අත්අඩංගුටව පත්නොවුනි. ඒ වෙනුවට අදාළ වෙඩි තැබීමට මූලික වූ හමුදා අනුඛණ්ඩයට අණදෙන ලද බි්‍රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන යටකී සිදුවීමෙන් මාස 07 ක් ගතවූ තැන තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික  තනතුරකට පත්කර යවන්නට එවකට පැවති පාලනය කටයුතු කළහ. එකී පත්වීම සිදුකළ පාලනය එයින් වසර කිහිපයකට පසුව මැතිවරණයකින් පරාජයට පත්වීම නොවන්නට අදාළ සිදුවීමට වගකිවයුත්තන් අත්ඩංගුවට ගැනීම සහ ඔවුනට එරෙහිව අධිචෝදනා ගොනුකිරීම කිසිදා සිදු නොවනු ඇත. ඒ අනුව බැලූ කල හමුදාව යොදාගනිමින් සිදුවන රාජ්‍ය පාලනය කිසිසේත්ම මහජනතාවට වගකියන එකක් නොවන බව මනාව පැහැදිලි වේ.

සිවිල්  පාලනය පිළිබඳ මූලධර්මය
 "සාමය පවතින කාලයක සන්නද්ධ හමුදාවන්හි භාවිතය ජනරජයක ක්‍රියාකාරීත්ය සම්බන්ධයෙන් වන මූලික ප්‍රතිපත්තීන්ට පටහැනිය. එය මිනිස් නිදහසට හානි කරවන අතර බොහෝ විට එවැනි භාවිතයක් අවසන් වනුයේ ඒකාධිපතීත්වයන් ගොඩනගන විනාශකාරී ප්‍රවේශයන් තුළිනි."

එල්බ්‍රි ගැරී - ඇමරිකා එක්සත් ජනපදයේ 05 වන උප ජනාධිපති

සන්නද්ධ  හමුදාවන් විසින් ඉටුකරන ජාතික ආරක්ෂාව සහතිකකිරීමේ කාර්යය රටක ස්වාධිපත්‍ය සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය වේ. එහෙත් සන්නද්ධ හමුදාවන් රාජ්‍ය පාලනය විෂයෙහි නිසි සීමාව ඉක්මවා භාවිත කිරීම රටකට අන්තරායකර ප්‍රතිඵල ගෙන  එනු ඇත. එමනිසා රාජ්‍ය පාලනය විෂයෙහි හමුදාව භාවිත විය යුතු ආකාරය දේශපාලන ඉතිහාසය තුළ දීර්ඝ කාලීනව සාකච්ඡාවට ලක්ව ඇත. මේ සාකච්ඡවන්හි ප්‍රතිඵලයක් වශයෙන් වර්ධනය  වී ඇති සන්නද්ධ හමුදා විෂයෙහි සිවිල් පාලනය පිළිබඳ මූලධර්මය (Doctrine of Civilian control of the military)  මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප වඩාත් සැලකිල්ලෙන් යුතුව අධ්‍යයනය කළ යුතු සංකල්පයක්ව ඇත. 

එක්සත් ජනපදයේ නෝර්ත් කැරොලිනා විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය රිචඞ් H. කොහ්න් විසින් සම්පාදිත An essay on civilian control of the military  නම් ලිපිය තුළ සන්නද්ධ හමුදා විෂයෙහි සිවිල් පාලනය පිළිබඳ මූලධර්මය පැහැදිලි කර ඇති ආකාරය වඩාත් පුලුල් අර්ථ දැක්වීමක් වශයෙන් දැකිය හැක. සිවිල් පාලනය පිළිබඳ මහාචාර්යවරයාගේ වඩාත්ම වැදගත් අර්ථ දැක්වීම පහත පරිදි උපුටා දක්වමි. 

 “The point of civilian control is to make security subordinate to the larger purposes of a nation, rather than the other way around. The purpose of the military is to defend society, not to define it.”

මහාචාර්ය කෝහ්න් ට අනුව සන්නද්ධ හමුදා විෂයෙහි සිවිල් පාලනය පිළිබඳ මූලධර්මයේ අර්ථය රටක ආරක්ෂක අංශ ඒ රටෙහි ප්‍රතිපත්ති සහ අරමුණුවලට යටත්ව ක්‍රියාත්මක වන එකක් විමේ අවශ්‍යතාවය තහවුරු කිරීමයි. සිවිල් පාලනය පිළිබඳ මූලධර්මයට අනුව සන්නද්ධ හමුදාවන්හි පැවැත්මේ අරමුණ රාජ්‍යයේ ආරක්ෂාව සහතික  කිරීම මිස රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය  හෝ එහි ස්වභාවය තීරණය කිරීම නොවේ. එසේ හෙයින් හමුදාවක් විසින් ඉටු කළ යුතු ආරක්ෂාව හා බැදුනු  මූලික කාර්යය ඉක්මවා රටක රාජ්‍ය පාලනයට හමුදාව හවුල් කරගැනීම එතරම් ඥානාන්විත නොවේ. 

ඉහතකී පරිදි නියෝග ක්‍රියාත්මක කිරීමට පුහුණුව ලැබූ හමුදාව රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ කල ප්‍රජාතන්ත්‍රවාදී  තීරණ ගැනීමේ ක්‍රියාවලිය  මුලුමනින්ම නොතකා හැර කටයුතු කිරීම හෝ රතුපස්වලදි මෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ආදේශකයක් ලෙස බලය යොදවා තමන්ට අවශ්‍ය විසදුම ක්‍රියාත්මක කිරීම සිදුවනු ඇත. මේ ක්‍රියාවලිය එතැනින් අවසන් නොවන බව ලෝකය පුරා හමුදා බලය සිවිල් පාලනය  ඉක්මවා වර්ධනය වූ රටවල එකී වර්ධනය ක්‍රමානුකූලව අධ්‍යනය  කිරිමෙදි පැහැදිලි වේ. හමුදා පාලනයක් යෝජනා වනුයේම ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇති වෙනස් මත ගරුකිරීමේ ගුණය ඉවසා සිටිමේ නොහැකියාව නිසා බැවින් වෙනස් මතවලට ඉඩ සලසන ප්‍රජාතන්ත්‍රවාදය  මුලුමනින්ම අහෝසි කර දැමීමේ උත්සාහයන් ඉන් අනතුරුව ස්වභාවිකවම පැන නගිනු ඇත. ඒ අනුව බලය භාවිත  කර විරුද්ධ මතධාරී කණ්ඩායම් මර්දනය කර දැමීම, ජනමාධ්‍ය පාලනය, වාරණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සිමාකිරිම, සහ නිදහස් සහ සාධාරණ මැතිවරණ අහෝසි  කර දැමිම යනාදිය ඉන් අනතුරුව සිදුවනු ඇත. මේ සියල්ල හරහා පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අභිමතය මත රටක් පාලනය වන හමුදා පාලනයක් දක්වා තත්ත්වය වර්ධනය වනු ඇත. අපගේ ආරක්ෂාව පිණිස අප විසින්ම බිහිකරගන්නා  ආයතනවලටම යම් දිනෙක අපම බියවෙනු ඇතැයි පීටර් D. ෆීවර් විසින් සඳහන් කරන විරුද්ධාභාසය (Paradox) යථාරථය වනුයේ එවැනි තැන්හි දී ය.   

හමුදා පාලනය අප සතුව ඇති හොඳම විකල්පයද? 

සිවිල් පාලනය විෂයෙහි හමුදා මැදිහත්වීමක් යෝජනා කරන මතවාදයේ ඇති වැදගත් තර්කයක් නම් හමුදා පාලනයක් විසින් රටක ඇති දූෂණ සහ වංචා මුලුමනින්ම පාහේ අවසන් කර දමනු ඇත යන්නයි. නමුත් සත්‍යය නම් දූෂණ සහ වංචාවන්ට ගොදුරු වීමේ සම්භාවිතාවය අතින් හමුදා පාලනයක් අනෙක් ඕනෑම පාලන ක්‍රමයකට සමානය යන්නයි. මෙහිලා පැහැදිලි නිදසුනක් වශයෙන් 2014 තායිලන්තයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් බලයට පැමිණි තායිලන්ත මිලිටරි ජුන්ටාව හැඳින්විය හැක.  

2014 මැයි මස 22 වන දා ජෙනරාල් ප්‍රයුත් චන්-ඕ-චා විසින් මෙහෙයවන ලද තායිලන්ත රාජකීය හමුදාව විසින් එවකට තායිලන්තයේ පැවති භාරකාර රජය පෙරලා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද මුලිනුපුටා දමා නීතිය සහ සාමය සඳහා වන ජාතික කවුන්සිලය නමින් මිලිටරි ජුන්ටා පාලනයක් පිහිටුවා ගන්නා ලදි. රටේ පවතින දූෂණ වංචා සහ දේශපාලන අස්ථාවරභාවය මුලුමනින්ම අවසන් කර දමා ඉන් පසුව පමණක් මැතිවරණයකට යාමේ අරමුණින් තමන් මේ පියවර ගත් බව හමුදා ජුන්ටාව පසුව ප්‍රකාශ  කරන ලදි. ප්‍රජාතන්ත්‍රවාදීව පත්ව තිබූ රජයේ නියෝජිතයන් විසින්  සිදුකළ අතිමහත් දූෂණ සහ වංචා පිළිබඳව ද එකිනෙක ඉන් අනතුරුව අවධානය යොමුවිය. එහෙත් වසර 04 ක් ගතවීමටත් මත්තෙන් මිලිටරි ජුන්ටාවේ උප අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ධුර දැරූ, එමෙන්ම  2004 - 2005 කාලය තුළ තායිලන්ත රාජකීය හමුදාවේ හමුදාපතිවරයාව සිටි ප්‍රවීත් වොන්ග්සුවාන් ඇමරිකානු ඩොලර් මිලියන භාගයකට අධික වටිනාකමින් යුත් අත් ඔරලෝසුවක්ද දියමන්ති එබ්බවූ මුදුද පැළඳ සිටින ඡායාරූප ප්‍රසිද්ධියට පත්විය. එපමණකි - දූෂණ වංචා අවසන්කරනවායැයි සඳහන් කරමින් දේශපාලන බලය පැහැරගත් මිලිටරි ජුන්ටාවක සුජාතභාවය ද එනයින්ම අවසන්විය.  

හමුදාව විසින් ඇතිකරන ක්‍රමානුකූල පාලනය රටක ආර්ථික වර්ධනය සඳහා හේතුවනු ඇත යන්න සිවිල් පාලනය විෂයෙහි හමුදා මැදිහත්වීම ඉල්ලා සිටින මතවාදය විසින් ඉදිරිපත් කරන තවත් අදහසකි. මෙය ආර්ථිකය පිළිබඳ ප්‍රවීණයන්ගේ උපක්‍රමික සහභාගීත්වය සහ මහජනතාවගේ අඛණ්ඩ දායකත්වය හරහා මිස විසඳා ගත නොහැකි සංකූලතා ගණනාවක් නිසාවෙන් ඔද්දල්වූ  මෙරට ආර්ථිකය පිළිබඳ අවම හෝ අවබෝධයක් නොමැතිව ඉදිරිපත්කරන අදහසකි. හමුදා පාලනය රටක ආර්ථික දියුණුව සම්බන්ධයෙන් විශේෂ බලපෑමක් ඇති නොකරන බව දීර්ඝ කාලයක් පුරා මිලිටරි ජුන්ටාවන් හරහා පාලනය වූ නයිජීරියාව සහ පාකිස්ථානය වැනි රටවල සන්දර්භයන්  අධ්‍යයනයේදී පැහැදිලිව පෙනේ. අනෙක් අතට ඒක කේන්ද්‍රීය පාලනයක් හරහා ආර්ථික වර්ධනය අත්පත් කරගත හැක යන අදහසට නිදසුන් වශයෙන් පෙන්වා දෙන චීනයේ ආර්ථික ක්‍රියාකාරීත්වය ලංකාව වැනි රටවකට වඩා හාත්පසින්ම වෙනස්ය. දැවැන්ත ශ්‍රම වෙළඳපොලක්ද නිෂ්පාදන සම්පත්වලින්ද සපිරි චීනයේ ආර්ථික දියුණුවට හේතුව සමාජවාදී වෙළඳපොල ආර්ථිකය වශයෙන් චීනය විසින් හදුන්වන නිශ්චිත ආර්ථික ඒකක (උදා - බලශක්තිය, බැංකු) තවදුරටත් රජයේ පාලනය යටතේ තබාගනිමින් පුද්ගලික ව්‍යවසාය දියුණුකිරීමේ ක්‍රමය මිස ආර්ථිකය මුලුමනින්ම කේන්ද්‍රීය පාලනයකට නතුකිරීම නොවේය. 

එසේ හෙයින්, රටක දූෂණ හෝ වංචාවන් මෙන්ම පාලකයන්ගේ අකාර්යක්ෂමතාවය පවා ඔඩු දුවා යෑමට හේතුව ඒ රටේ භාවිතය ප්‍රජාතන්ත්‍රවාදය වීම නොවන බව මෙහිලා සඳහන් කර තැබිය යුතුය. ප්‍රශ්නය ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ නොව ඔබ පත් කරගන්නා පාලකයන්ගේ හැසිරීම විවේචනය කිරීමට සහ ප්‍රශ්න කිරීමට ඔබ කොතෙක් දුරට කටයුතු කරනවාද යන්න තුළය. පාලකයාගේ ඕනෑම හැසිරීමක් සාධාරණීකරණය කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීටමට ඔබ දැනටමත් තීරණය කර ඇත්නම් රටේ ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ද මිලිටරි පාලනය ද යන්න කිසිසේත්ම අදාළ කාරණයක් නොවනු ඇත. නමුත් අනෙක්  අතට, පාලකයාගේ හැසිරීම විවේචනය කිරිමට තරම් ඔබ දේශපාලනිකව ස්වාධීන වන්නට තීරණය කළහොත් එතැනදී රටේ ඇත්තේ අදහස්  ප්‍රකාශකිරීමේ නිදහස අගයන ප්‍රජාතන්ත්‍රවාදය ද නැතහොත් විරුද්ධ මත දැරීම මරණයෙන් වුව අවසන් විය හැකි ඒකාධිපති පාලනයක්ද යන්න මුලුමනින්ම අදාළ කරුණක් වනු ඇත. 

ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ තීරකයා ඹබය.  

අප ප්‍රජාතන්ත්‍රවාදය දකිනුයේ මනෝරාජිකයක් වශයෙනි. එය පරිපූර්ණ විය යුතුයැයි අප සිතයි. නමුත්  එය එසේ පරිපූර්ණ නැත. අන් ඕනෑම මිනිස් භාවිතයක් මෙන් එහිද දෝෂ සහ දුර්වලතා ඇත. මෙකී fදා්ෂ මහජනතාව විසින් අනුක්‍රමයෙන් නිවැරදි කරගත යුතුය. මේ තත්ත්වය 19 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම්  ඇසුරෙන් පැහැදිලි කළ හැක. 19 වන සංශෝධනය විසින් ආපසු හරවා දමනු ලැබුවේ ලැබූවේ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය ද අධිකරණයේ සහ රාජ්‍ය තන්ත්‍රයේ ස්වාධීනත්වයද මුලුමනින්ම පාහේ අහෝසි කර දැමා ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා රට යොමු වෙමින් තිබූ ගමනයි. එය ඒ අවස්ථාවේ  රට ලැබූ දැවැන්තම  ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයයි. එහෙත්  දැන් අප 19 වන සංශෝධනයේ දුර්වලතා ද දකින අතර ඉන් එහා ගිය වඩාත්  පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙත ද අවධානය යොමු කරමින් සිටී. ප්‍රජාතන්ත්‍රවාදය යනු සජීවී  පද්ධතියක් වන අතර එය භාවිතයෙන් සහ අත්හදාබැලීම් හරහා පවත්වාගෙන යා යුතුය. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය නම් ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කිරීමට තරම් ප්‍රමාණවත් වගකීම් සම්පන්න පුරවැසියන් හිඟවීමයි. 

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අතිශය විශ්වීය නිර්වචනයක් ලබාදෙමින් ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනතාව විසින් මහජනතාව උදෙසා ගෙනයන මහජනතාවගේ පාලනය යැයි හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් කළ ප්‍රකාශය ඔබ අසා ඇත. මෙහි අර්ථය හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනතාව විසින් ආණ්ඩු පත් කරගැනීම නොවන බව අප අවබෝධ කරගත  යුතුය. එහි අර්ථය ඊට වඩා ගැඹුරු සහ රාජ්‍ය පාලනය විෂයෙහි පුරවැසි වගකීමේ අවශ්‍යතාවය මත ගොඩනැගුනකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනතාවගේ සහභාගීත්වය මත මුලුමනින්ම රඳාපවතින පාලනයක්ය යන්න එහි වඩාත් සුපැහැදිලි අර්ථයයි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මහජන වගකිම ආණ්ඩු පත්කිරිමෙන්  අවසන් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වනුයේ ආණ්ඩු පත්කිරීමෙන් පසු ඔබ සිදුකරන වැඩකොටස තුළය. සරලව සඳහන්  කරන්නේ  නම් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වන එකම අවස්ථාව ඉහත සමීකරණය තුළ මහජනතාව නොමැතිවූ කල්හි පමණි. 

ලංකාවේ දැනට ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආසර්ථක යැයි ඔබට හැඟෙන්නේ නම් ඒ වෙනුවට හමුදාව සිවිල් පාලනයට යොදාගැනීම යෝජනා කිරීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදයෙහි පැවැත්ම වෙනුවෙන් ඔබගේ වැඩ කොටස නිසි පරිදි සිදුකරන ලද්දේ දැයි නැවත සිතා බැලිය යුතුයැයි මම ඔබට යෝජනා කරනුයේ එබැවිනි. 

මෙම ලිපිය ප්‍රජතන්ත්‍රවාදයේ ගැටලුවලට විසදුම ප්‍රජාතන්ත්‍රවාදයමය නමින් මා විසින් සමබිම වෙබ් අඩවියට ලියන  ලද ලිපිය නැවත පළකිරීමකි.

කොරෝනා අස්සේ පැතිරෙන දේශපාලන වයිරස්



ගෝලීය වසංගතයකට මොහොතකට පෙර.

වෛද්‍ය ලී වෙන්ලියැං මධ්‍යම චීනයේ හුබෙයි නම් පළාතෙහි අග නගරය ලෙස සැලකෙන වූහාන්හි මධ්‍යම රෝහලේ සේවය කළ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. 2019 වසරේ දෙසැම්බර් 30  වනදා සිය රෝහල්  රාජකාරි අතරතුර මියගිය රෝගියෙකුගේ වාර්තාවක් කියවිමට  වෛද්‍ය වෙන්ලියැං හට අවස්ථාව ලැබිණි.  මෙම වාර්තාව උග්‍ර ස්වශන සින්ඩ්‍රෝම රෝගය හෙවත් සාර්ස් කොරෝනා වෛරසය (සාර්ස් කොරෝනා වෛරසය යනු සාර්ස් රෝගය වශයෙන් ප්‍රචලිතව ඇති වෛරස් රෝගයේ වෛද්‍ය විද්‍යාත්මක නාමයකි) හේතුවෙන් මියගියායැයි සැලකුණු රෝගියෙකු සම්බන්ධ එකක් විය. වෛද්‍ය වෙන්ලියැං සේවය කළ මධ්‍යම වූහාන් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ අධ්‍යක්ෂවරයා විසින් සකස්කරන ලද මෙම වාර්තාවේ දැක්වුණු ආකාරයට අදාළ රෝගියා සිය මරණයට පෙර ඉන්ෆ්ලුවන්සා රෝගයට සමාන රෝග ලක්ෂණ දැක්වූ මුත් සාමාන්‍ය ප්‍රතිකාර කිසිවකට හෝ නිසි පරිදි ප්‍රතිචාර දක්වා නොතිබිණි. මෙම වාර්තාව සම්බන්ධයෙන් වෛද්‍ය කාර්යමණ්ඩලය අතර සංවාදයන් ඇති වෙමින් තිබූ අතරතුර වෛද්‍ය වෙන්ලියැං විසින් තම ජංගම දුරකථනයේ WeChat පණිවුඩ යෙදවුමෙහි පණිවුඩ සමූහයක් (Message group) භාවිත කර මේ පිළිබඳ සිය මිතුරු වෛද්‍යවරුන් පිරිසකට දැනුම්දී ඇත. එයින් නොබෝ වෙලාවකට පසුව තවත් එවැනිම පණිවුඩයක් සිය මිතුරන් වෙත යවන වෛද්‍යවරයා ඉහතකී රෝගියා මියගොස් ඇත්තේ සාර්ස් රෝගය නිසා බව තහවුරුව ඇති මුත් වෛරසය යම් නව උප ප්‍රභේදයකට අයත් එකක් බවට සැක පහළවී ඇතැයි කියා සිටියි. සිය පවුල්වල සාමාජිකයන්ට වඩාත් ප්‍රවේශම් වන්නැයි දැනුම් දෙන ලෙස ද වෛද්‍ය වෙන්ලියැං මේ පණිවිඩ හරහා සිය මිතුරු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි. මෙයින් සුලු මොහොතකට පසු වෛද්‍ය වෙන්ලියැං විසින් යවනු ලබන මෙම පණිවුඩ චීන සමාජ මාධ්‍ය හරහා ද ප්‍රසිද්ධ වේ.


2020 ජනවාරි මස 03 වැනි දා වූහාන්හි මහජන ආරක්ෂාව පිළිබඳ කාර්යංශයේ ඇති විශේෂ පොලිස් කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙස වෛද්‍ය වෙන්ලියැං හට කැඳවීමක් ලැබිණි. මෙම නියෝගය අනුව යමින් අදාළ පොලිස් කාර්යාලයේ පෙනී සිටි වෛද්‍යවරයා ඔහු සිය මිතුරු වෛද්‍යවරයන්ට යැවූ ඉහත සඳහන් කළ පණිවුඩ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පොලිස් ප්‍රශ්නකිරීම්වලට ලක්වේ. ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව අන්තර්ජාලය භාවිත කර වැරදි තොරතුරු ප්‍රචාරයකිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයාට අවවාද කෙරෙන අතර තමන් විසින් සිදුකළේ වරදක් බව පිළිගන්නා බවත් නැවත එවැනි වැරදි සිදු නොකරන බවත් සදහන් කෙරෙන පොරොන්දු පත්‍රයකට අත්සන්කිරීමට ද ඔහුට සිදුවේ. මෙම ප්‍රකාශය සිදුකිරීමෙන් අනතුරුව නැවත රෝහල් රාජකාරී සඳහා වාර්තා කරන වෛද්‍ය වෙන්ලියැං ඉහත සඳහන් කළ රෝගයටම ගොදුරුවීමෙන් අනතුරුව පෙබරවාරි 07 වනදා මරණයට පත්වේ.

2019 දෙසැම්බර් මස 30 වන දා වෛද්‍ය වෙන්ලියැං විසින් මෙම නව වෛරස රෝගය පිළිබඳ මුල්වරට පුද්ගලයන් දැනුවත්කිරිම සහ ඔබ මේ සටහන කියවන මේ මොහොත අතර බරපතල සිදුවීම් ගණනාවක් සිදුව ඇත. එයින් පළමු සහ අතිශය වැදගත්ම සිදුවීම නම් චීන බලධාරීන් විසින් ලෝකය එතෙක් හදුනාගෙන නොතිබූ වෛරස රෝගයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එරට වෘත්තිකයෙකු සතුව තිබූ නිදහස අත්තනෝමතික ලෙස අහිමිකිරීම විය. එයින් අනතුරුව අදාළ රෝගය COVID 19 රෝගය වශයෙන් නම් ලැබීමත්, වෛරසය නිසා ලෝකය පුරා රටවල් 205 ක ආසාධිතයන් 1,138,598 ක් සහ මරණ 61,141 ක් වාර්තාවීම ද පිළිවෙලින් සිදුව ඇත.

වෛද්‍ය ලී වෙන්ලියැං අද සැලකෙනුයේ COVID 19 වසංගත තත්ත්වය පිළිබඳ මුල්වරට ලෝකයට හෙළිකිරීමට උත්සාහ දැරූ වෛද්‍යවරයෙකු වශයෙනි. මෙම වෛරසය වසංගත තත්ත්වයක් බවට පත්වීමට සැලකියයුතු තරම් කාලයකට පෙරම ඒ පිළිබඳව පුලුල් අවධානයක් යොමුකරවීමට වෛද්‍ය වෙනිලැන්ග් විසින් අසාර්ථක කරන ලද උත්සාහයක් දරන ලදි. අනෙක් අතට අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සහ මහජන ආරක්ෂාව පිණිස යැයි කියාගනිමින් එම නිදහස සිමාකිරීමේ අනිටු ප්‍රතිවිපාක සම්බන්ධයෙන් මෙන්ම ව්‍යසනකාරී අවස්ථාවක මහජන විවේචන මර්දනය සඳහා දේශපාලන අධිකාරීන් විසින් ගනු ලබන විවිධ ප්‍රවේශයන් නැවත විමසා බැලීමට අවස්ථාවක් ද වෛද්‍ය ලී වෙන්ලියැං විසින් සලසා දේ.



කොරෝනා වසංගතය, ආණ්ඩුව සහ විවේචන

කොරෝනා රෝගය පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දැක්විය යුතුයැයි මතයක් අද වනවිට සමාජගතව ඇත. මේ සම්බන්ධයෙන් කිසිදු හෝ සැකයක් නොමැත. ලෝක ඉතිහාසය පුරාම තමන් විසින් මුහුණ දුන් නොයෙක් ව්‍යසනයන් මිනිස් වර්ගයා විසින් ජයග්‍රහණය කරනු ලැබුවේ සිය සමාජ-දේශපාලන විෂමතා ඉවත දමා එකාවන්ව එවැනි ව්‍යසනයන්ට මුහුණ දීමෙනි. එහෙත් මේ අවස්ථාවේ රජයට සහයෝගය දියයුතුයැයි ඉල්ලා සිටීමෙන් පසු ඇතැමුන් විසින් ඉදිරියට ගෙන එන ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩසටහනට විවේචනයෙන් තොරව සහයෝගය දිය යුතුය යන මතය පිළිබඳ බරපතල සැකයක් ඇත.


පළමුව සඳහන් කළ යුත්තේ විවේචන යනු ද සහයෝගය දැක්වීමේ තවත් එක් ක්‍රමයක් වන බවය. ඔබ විශාල නැවක නැගි මුහුදේ සංචාරය කරද්දි නැවේ කපිතාන්වරයාගේ නියෝග සහ නීතිරීතිවලට අවනතව කටයුතු කළ යුතු බව පැහැදිලිය. එහෙත් ඔහුගේ කාර්යයට බාධාවේයැයි සිතා හෝ කපිතාන්වරයා ලැජ්ජාවට පත්වේ යැයි සිතා හෝ අහම්බයකින් නැවේ ඇතිව තිබෙන සිදුර ගැන ඔහුට නොකියා සිටින්නේ මන්ද? එවැන්නකින් කපිතාන්වරයාටත් ඔබටත් නැවේ සිටින සෙසු සියල්ලන්ටමත් ඔබ විසින් සිදුකරනුයේ බරපතල අනර්ථයකි. අනෙක් අතට මෙවැනි අතිශය සංකීර්ණ, නිශ්චිත වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර නොමැති ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ කවර හෝ අඩුපාඩුවකට හෝ ඉඩ නොතබා රට පාලනයකිරීමට මෙතෙක් කිසිදු හෝ රටක් සමත්ව නොමැත. ඉදිරියේදීද එවැනි රටවල් නොතිබෙනු ඇත. ශ්‍රී ලංකාව වැනි ඌන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත තුන්වැනි ලෝකයේ රටකට කිසිසේත් එවැන්නක් කළ නොහැකිවනු ඇත. එබැවින් මේ මොහොතේ විවේචන බලාපොරොත්තු විය යුතුය. විවේචනයන්ට නිසි පරිදි විවෘතවීම තුළ අර්බුදය පාලනයකිරීමට තමන් විසින් ගනු ලැබූ පිළියම්හි අඩුපාඩු හදුනාගැනීමට මෙන්ම එවැනි පිළියම් අතිශය පුලුල් ලෙස මහජන සාකච්ඡාවන්ට ලක්කිරීමේ අවස්ථාවද ආණ්ඩුවකට හිමිවේ. එනයින් ද ගත් කල මහජනතාවගේ සහ සංවිධිත කණ්ඩායම්හි විවේචන යනු මේ මොහොතේ ආණ්ඩුවට තම කටයුතු සඳහා බලාපොරොත්තු විය හැකි ඉහළම සහයෝගයයි.

එහෙත් ශ්‍රී ලංකාව තුළ අද අප විසින් දකිනුයේ විවේචන ප්‍රතික්ෂේප කිරිමට සහ මහජන අවධානය බරපතල ලෙස වෙනස්කිරීමේ උත්සාහයන්ය. මේ උත්සාහයන්හි පළමු අර්ධය වශයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් මීට දින කිහිපයකට ඉහතදී නිකුත් කරන ලද විශේෂ නියෝගය දැක්විය හැක. එහි අනෙක් අර්ධය නම් රටේ සුලුතර ජන කණ්ඩායම් ඉලක්ක කරගනිමින් දැන් අලුතෙන් ඇතිකර තිබෙන එදිරිවාදීත්වයයි.


වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය සහ අදහස් ප්‍රකාශකිරීමේ නිදහස

වැඩබලන පොලිස්පති C.D. වික්‍රමරත්න මහතා විසින් පසුගිය අප්‍රේල් පළමුවැනිදා රහස් පොලීසියට සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුනට නිකුත් කර ඇති නියෝගය මෙරට අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සම්බන්ධයෙන් ගත්කල අතිශය නිශේධනීය වේ. රජයේ නිලධාරීන් ද අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්හි නිරතවන්නන්ද කොරෝනා වසංගත තත්ත්වය රට තුල පැතිරිම පාලනයකිරීමට දැඩිසේ වෙහෙසවී ක්‍රියාකාරන බව අදාළ නියෝගයේ දැක්වේ. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලියේ ඇති ‘සුලු අඩුපාඩු’ විවේචනයකිරීමට ඇතැමුන් කටයුතු කර තිබෙන බව දක්වන වැඩබලන පොලිස්පතිවරයා එසේ හෙයින් සමාජ මාධ්‍ය හරහා රජයේ නිලධාරින් විවේචනය කරන සහ ඔවුනට බාධා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවිය යුතුයැයි නියෝග කරයි.


මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක අදහස් ප්‍රකාශකිරීමේ නිදහස අනිසි ලෙස භාවිතකිරීම හරහා මහජන ආරක්ෂාව සැලසීමේ රජයේ වගකීමට බරපතල තර්ජන එල්ලවිය හැකි බව අප විසින්ද පිළිගන්නා කාරණයකි. විශේෂයෙන් සමාජ මාධ්‍ය අත්තනෝමතික ලෙස භාවිතය ජාතීන් අතර ගැටුම් වර්ධනයකිරීමට සහ මහජන ව්‍යාකූලතා ඇතිකිරීමට හේතුවූ ආකාරය අප පසුගිය සිංහල-මුස්ලිම් ගැටුම් සමයේ මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවද පැහැදිලිවම නිරීක්ෂණය කරන ලදි. එසේ වුවද එවැනි භාවිතයන්හි වර්ධනයක් පිළිබඳ පැහැදිලි සාක්ෂි නොමැති මේ අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ ඉහත ප්‍රකාශය බරපතල ලෙස සැකයට තුඩු දේ. මෙම වසංගත තත්ත්වය අතරතුර ශ්‍රී ලංකාව මහජනතාවගේ අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමාකරන්නට කටයුතු කර ඇතැයි වැඩබලන පොලිස්පතිවරයාගේ යටකී නියෝගය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් Human Rights Watch සංවිධානය ප්‍රකාශකරනුයේ එබැවිනි.

අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සහ මහජන ආරක්ෂාව යන සංකල්ප දෙක අතර අතිශය සියුම් සම්බන්ධතාවයක් ඇති බව අප මෙහිලා නැවත අවධාරණය කර සිටින අතර චීනයේ වෛද්‍ය ලී වෙන්ලියැං හා සම්බන්ධ සිද්ධි දාමය දෙස නැවත අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටිමු. මේ එක් එක් සංකල්පය අනෙක් සංකල්පයේ ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රියාවේ යෙදවිය යුතුව ඇත. එකක් පරයා අනෙක ආරක්ෂාකිරීමට උත්සාහ දැරීම අවසන්වනු ඇත්තේ බරපතල ව්‍යසනයකිනි.


ව්‍යසනකාරී අවස්ථා සහ නිරවද්‍ය තොරතුරුවල වැදගත්භාවය

ව්‍යසනකාරී කාලයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන ආරක්ෂාව යන මේ ද්විත්වයම වඩාත් හොදින් ආරක්ෂා කර ප්‍රවර්ධනය කළ හැකි වන්නේ ඒවා පාලනයෙන් නොව වඩාත් නිවැරදි තොරතුරු සමාජගත කිරීම හරහා ය. මෙවැනි අවස්ථාවක ආණ්ඩුවක් විසින් ඉටු කළ යුතු පළමු වගකීම නම් නිරවද්‍ය නොවන හානිකර තොරතුරු සමාජගත වීමට ඇති ඉඩකඩ අහෝසිවී යන පරිදි නිවැරදි තොරතුරු සමාජය තුළ සුලබ කිරිමයි. ඩිජිටල් තාක්ෂණික යුගයක ඉහත වගකීම අන් කවරදාකටත් වඩා හොදින් ඉටුකිරීමට ආණ්ඩුවකට හැකියාව ඇති බව පැහැදිලිය. තාක්ෂණය භාවිත කර ජනතාව වෙත නිවැරදි තොරතුරු සම්ප්‍රේෂනය කිරීමේ අතිශය සාධනීය උත්සාහයන් කිහිපයක් පවතින ඛේදජනක කාලසීමාවෙහි පවා නිරීක්ෂණය කළ හැකිවිය.


මේ වර්ගයේ පළමු උත්සාහය දැකිය හැකිවූයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් පවත්වාගෙන යන වෙබ් අඩවිය තුළිනි. අන් කිසිදු රාජ්‍ය වෙබ් අඩවියක දැකිය නොහැකි ආකාරයට සිය වෙබ් අඩවිය තුළ COVID 19 වසංගතය පිළිබඳ දේශීය දත්ත සපයන යෙදවුම් ක්‍රමලේඛණ අතුරුමුහුණතක් (Application Programming Interface – API) ස්ථාපනයකිරීමට තරම් අදාළ කාර්යාංශයේ බලධාරීන් බුද්ධිමත් සහ නව්‍යවී ඇත. යෙදවුම් ක්‍රමලේඛණ අතුරුමුහුණතක් හෙවත් API පහසුකමක් භාවිතකිරීම හරහා වෙබ් අඩවි ආශ්‍රිත ක්‍රමලේඛණ ශිල්පීන් හට යම් දත්ත සමූහයකට ප්‍රවේශවීමටත් එම දත්ත වඩාත් නිර්මාණශීළී ලෙස වෙනත් විවිධ නව මාධ්‍ය හරහා ඉදිරිපත්කිරීමටත් අවස්ථාව ලැබේ. මෙහිදී අදාළ දත්ත ආකර්ෂණීය ක්‍රම හරහා යළි ඉදිරිපත්කිරීමට ඉඩ ලැබෙනවා විනා දත්ත සමූහයේ ඇති දත්ත වෙනස්කිරීමට අවස්ථාවක් එම ශිල්පින් හට නොලැබෙන බැවින් අදාළ තොරතුරුවල නිරවද්‍යතාවය මුලුමනින්ම ආරක්ෂාවේ. අනෙක් අතට මුල් දත්ත සමූහයේ ඇති තොරතුරු යාවත්කාලීනවන සැනින්ම ඉහතකී යෙදවුම් ක්‍රමලේඛණ අතුරුමුහුණත භාවිතකර දත්ත ඉදිරිපත්කරන නව මාධ්‍ය තුළ ඇති දත්තද ස්වයංක්‍රීයව යාවත්කාලීන වන බැවින් අදාළ තොරතුරුවල කාලීන බව පිළිබඳවද ගැටලු ඇති නොවේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් ලබාදි ඇති ක්‍රමලේඛ අතුරුමුහුණත භාවිතය හරහා COVID 19 වසංගතය පිළිබඳ තොරතුරු වඩාත් ආකාර්ෂණීය ලෙස සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ගෙන් ඉදිරිපත් කළ බ්ලොග් සහ වෙනත් වෙබ් අඩවි 23 ක සංඛ්‍යාවක් පසුගිය සති දෙකක කාලය තුළ නිරීක්ෂණය කළ හැකිවිය. ඊට අමතරව මෙම ක්‍රමලේඛ අතුරුමුහුණත භාවිතය හරහා නිර්මාණය වූ ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් දුරකථන සඳහා වන යෙදවුමක් ද ස්වයංක්‍රීය ටිවිටර් ගිනුම් (Twitter bots) තුනක් ද මේ මොහෙතේ ක්‍රියාත්මකය. මේ සියල්ල මෙම ව්‍යසනකාරී අවස්ථාවේ සිය දැනුම භාවිතකර සමාජයට යම් සේවාවක් ඉටුකිරීමේ අභිමතයෙන් පෙළුණු තනි පුද්ගලයන්ගේ උත්සාහයන්හි ප්‍රතිඵලයන්ය. මෙවැනි තවත් නිදසුනක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) ශ්‍රී ලංකා කාර්යාලය විසින් පුද්ගලික මෘදුකංග සංවර්ධන සමාගමක් හා එක්ව නිර්මාණය කර ඇති වඩාත් පුලුල් තාක්ෂණික යෙදවුමක් දැක්විය හැක. එය ෆේස්බුක් යෙදවුම හා සම්බන්ධිත මැසෙන්ජර් පණිවුඩ සේවාව හරහා ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය සංවාද යෙදවුමකි (Messenger bot). වසංගතය පිළිබඳ දේශීය සහ ගෝලීය සංඛ්‍යා දත්ත සැපයීම, පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂාව පිලිබඳ උපදෙස් ලබාදීම, ප්‍රවාහන මාධ්‍ය භාවිතයේදී වෛරසයෙන් ආරක්ෂාවීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සහ වසංගතය සම්බන්ධයෙන් මහජන ගැටලුවලට උපදෙස් ලබාදීම යන සියලුම කාර්යයන් භාවිතයට අතිශය පහසු ක්‍රියාවලියක් හරහා ස්වයංක්‍රීයව සිදුකෙරේ. මේ සියල්ල හැරුණුකොට අපගේ අවධානයට ලක් නොවූ නමුත් වෙනත් මෙවැනි අතිශය සාධනීය ක්‍රියාමාර්ගයන් ගණනාවක් වුව පැවතිය හැක.


මේ සියල්ල හරහා ප්‍රකට වනුයේ අර්බුදකාරී සමයක වුව අදහස් ප්‍රකාශකිරීමේ නිදහස වඩාත් සාධනීය සහ ප්‍රගතිශීලී එකක් කරනු පිණිස තොරතුරු සුලබකිරීමේ අවශ්‍යතාවය ඉටුකිරීම යනු එතරම් සංකීර්ණ නොවන උපක්‍රම හරහා පහසුවෙන් එළැඹිය හැකි කඩඉමක් වන බව නොවේද? එනයින් අප නැවතත් එළැඹෙනුයේ මෙවැනි අවස්ථාවක රටේ අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමාකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගනු ලැබිය හැකි අර්ථවිරහිත උත්සාහය සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාවය වෙතය.

කොරෝනා වසංගතය සහ වාර්ගික එදිරිවාදීතා

කොරෝනා වසංගතය හා සමගාමීව මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් දැන් ඇතිව තිබෙන සමාජ එදිරිවාදීත්වය අපට සිහිපත් කරනුයේ ශ්‍රී ලංකාව තුළ එල්ටීටීය සමග සන්නද්ධ ගැටුම් පැවති සමය තුළ මෙරට සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉදිරිපත්වූ දේශපාලන අදහස්ය.


ඒ සමය තුළ දේශපාලකයන් අපට කියා සිටියේ ශ්‍රී ලංකාවේ දුර්වල යටිතල පහසුකම් සහ ප්‍රගතියකින් තොර සංවර්ධනය යනු හුදෙක්ම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ප්‍රතිඵලයක් බවය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පැහැදිලි සංවර්ධනයක් ඇතිකිරීම සම්බන්ධයෙන් දේශපාලඥයන් දැක්වූ අසමත්භාවය ත්‍රස්තවාදය නමැති සතුරා මත පටවා තිබිනි. එනයින් එකල අපට තිබුනේ දේශපාලකයන්ගේ අසමත්භාවය පිළිබඳ විවේචනයක් නොව දෙමළ සතුරා පිළිබඳ එදිරිවාදීකමකි. 2009 මැයි මාසයේදී දෙමළ සතුරා අවසන් කර දැමිමෙන් අනතුරුව සමාජයට මුස්ලිම් සතුරෙකු නිර්මාණය කර දෙන ලදි. එබැවින් මේ මොහොතේ පවතින ඕනෑම විවේචනයක් ආපසු හැරවීමේ හොඳම මාර්ගය නම් එම විවේචන මුස්ලිම් සතුරා වෙත හැරවිමයි. ශ්‍රී ලංකාව මහ මැතිවරණය වෙත යොමුවෙමින් තිබෙන මෙවැනි අවස්ථාවක මෙකී හැරවීම දේශපාලනික වශයෙන් කොතරම් වාසි සහගතදැයි කල්පනා කර බැලීම එතරම් අපහසු නොවනු ඇත. කොරෝනා රෝගය සහ මෙරට මුස්ලිම් ජන කණ්ඩායම් සම්බන්ධයෙන් දැන් ඇතිව තිබෙන සමාජ එදිරිවාදීත්වය තේරුම්ගත යුත්තේ ඉහත පසුබිමෙනි.

කොරෝනා රෝගය ආසාදිත මුස්ලිම් රෝගීන්ගේ මරණ සම්බන්ධයෙන් ඉස්ලාම් ධර්මයේ කියැවෙන පිළිවෙලට කටයුතු කිරීමට ඉල්ලා සිටීම අපට තේරුම්ගත හැකිවිය යුතුය. මිනිසෙකු සිය ජීවිත කාලය පුරාම විශ්වාස කළ ආගමික සංකල්ප මත ඔහුගේ මරන මංචකයේ කටයුතු සිදුවිය යුතු යැයි කියා සිටීම අදාළ පුද්ගලයන්ගේ විශ්වාසය පිළිබඳ කාරණයකි. අනෙක් අතට වෛරස් රෝගයක් ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරිම පිළිබඳ, විශේෂයෙන් මුල් ආසාදිත පුද්ගලයා මියගිය අවස්ථාවකදී පවා ඔහු වාහකයෙකු විය හැකිය යන්න පැහැදිලි ජීව විද්‍යාත්මක පර්යේෂණ හරහා ඔප්පුවී තිබීම ද බරපතල කාරණයකි. ඇත්ත වශයෙන්ම මේ දෙක අතරින් වඩාත්ම බරපතල තත්ත්වයේ ලා සැලකිය යුතු කාරණය දෙවැන්නයි. පොදු යහපත අතින් ගත්කල ද එහි අදාළත්වය පළමුවැන්නට වඩා බොහෝ සෙයින් වැඩිය. මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවලට පැහැදිලි මාර්ගෝපදේශ සපයා දී තිබිනි. එබැවින් එය හුදෙක්ම පරිපාලනමය තීරණ හා බැදුණු තත්ත්වයක් වූ අතර පොදු යහපත පිළිබද අවධානය දැක්වීමෙන් වඩාත් පහසුවෙන් විසඳා ගත හැකිව තිබුණි. නමුත් දැන් මෙම ගැටලුව දේශපාලනීකරණය වී ඇති අතර විවේචන පසෙකට දමා වාර්ගික එදිරිවාදිකම් පෙරට ගැනීමට එය සමත්ව ඇත.

ජන කණ්ඩායමක ආගමික අයිතිවාසිකම් දේශපාලන වශයෙන් භාවිත නොකිරීමට තරම් ශිෂ්ඨසම්පන්න වූ රටවල් මෙවැනි සිද්ධින්වලදි අනුගමනය කළ පිළිවෙත දෙස බලා හෝ ශ්‍රී ලාංකිකයන් විසින් පාඩම් උගතයුතුව ඇත. නිදසුනක් වශයෙන් මීට දින කිහිපයකට පෙර මියගිය ඉස්මයිල් මොහොමඞ් අබ්දුල්වහාම් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා දැක්විය හැක. වයස අවුරුදු 13 ක් වූ ඉස්මයිල්ගේ මරණය බ්‍රිතාන්‍ය තුළ COVOID 19 වසංගතය හේතුවෙන් මෙතෙක් සිදුව ඇති ලාබාලතම මරණයයි. අප්‍රේල් 03 වැනිදා ඉස්මයිල්ගේ සිරුර දකුනු ලන්ඩනයේ මුස්ලිම් සොහොන් බිමක භූමදානය කෙරුණි. මෙම අවස්ථාවට පවුලේ ඥාතීන් කිසිවෙකුටත් සහභාගීවීමට ඉඩදි නොතිබූ නමුත් ඉස්මයිල්ගේ දේහය වෙනුවෙන් සිදුකෙරුණු මුස්ලිම් ආගමික වතාවත් ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා දැකගැනීමට තවමත් නිරෝධායනය වෙමින් සිටින පවුලේ ඥාතීන්ට ඉඩ සලසා දී තිබිනි.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩසටහනෙහි ඇති ප්‍රධානතම දුර්වලතාවය මුස්ලිම් ජන කණ්ඩායම් ස්වයං නිරෝධායනයට හෝ රෝගය පාලනයකිරීමේ සෙසු සමාජ වගකීම් සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියා නොකිරීම යැයි මතයක් සමාජගත වෙමින් තිබීමය. ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඉහළට ඔසවාගෙන කොරෝනා රෝගයෙන් ආරක්ෂාකරන්නට උත්සාහ දරද්දි මුස්ලිම් ජාතිකයෙකු කොරෝනා වෛරසය කර තබාගෙන එයට ජනාධිපතිවරයා විසින් ඔසවාගෙන සිටින ශ්‍රී ලංකාවට ලඟාවීමට උපකාර කරනු දැක්වෙන කාටූනයක් සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබේ. සමස්ත මහනුවර නගරයම කොරෝනා වසංගතයට නිරාවරණයකිරීමේ චෝදනාව සමාජ මාධ්‍ය හරහා එක් මුස්ලිම් ජාතිකයෙකුට එල්ලවන අතර වාර්තාවන රෝගීන් සහ මරණ මුස්ලිම් ජාතිකයන් වන විට ඒ බව විශේෂයෙන් සඳහන්කිරීමේ උත්සාහයන්ද අඛණ්ඩව දැකිය හැක. ඊයේ උදෑසන සිට ෆේස්බුක් මැසෙන්ජර් සේවා හරහා හුවමාරු වන හඩ පණිවුඩයකින් කියා මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මගහරින ලෙසත් කොරෝනා ආසාධිත මුස්ලිම් තරුණියන් සිංහල තරුණියන් හා සම්බන්ධකරවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවත් පවසා ඇත.

මේවා පැහැදිලිවම අවශේෂ සිදුවීම් අතිශයෝක්තියෙන් යුතුව දක්වා වාර්ගික එදිරිවාදිකම් මතුකරලීමේ උත්සාහයන්ය. අනෙක් අතට මෙම සංසිද්ධීන් උලුප්පා දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයන් තුළ මුස්ලිම් ප්‍රජාව මේ මොහොතේ වෛරසය පාලනයට රජයට සහ සෞඛ්‍ය අංශවලට ලබාදෙන මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහයෝගය මුලුමනින්ම පාහේ අවතක්සේරු කර ඇත. ඒ අතරම, ඇතැම් මුස්ලිම් දේශපාලකයන් සිදුකරන ප්‍රකාශ මෙම ව්‍යාකූලතා තවදුරටත් වැඩිකිරීමට හේතුවක් වනු ද දැකිය හැක.

ඒ අනුව දැන් රට තුළ ඇතිව තිබෙන තත්ත්වය පැහැදිලිවම කියා පානුයේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අවිනිශ්චිතතාවය දේශපාලනිකව නිර්මාණය කළ සතුරෙකු ගිණුමට බැරකිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. ඒ වසංගතය පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විවේචන නොඉවසමින් ක්‍රියාත්මක වන අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමාකිරීමේ නැඹුරුවට අතිරේකවය. මෙකී අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමාකිරිම සහ වාර්ගික එදිරිවාදීත්වයන් මේ මොහොතේ කිසිසේත්ම රටට ඵලදායක නොවනු ඇති අතර ඒවා විසින් වඩාත් භයානක ප්‍රතිඵල අප හමුවට ගෙන එනු ඇත. පළමුව, කොරෝනා පලනය සම්බන්ධයෙන් රටක් වශයෙන් වන අපගේ උත්සාහයන්ට එයින් බරපතල ලෙස හානිවනු ඇත. එසේම ජාතික ව්‍යසන අවස්ථාවක අත්‍යන්තයෙන්ම ක්‍රියාත්මක විය යුතු රටේ පොදු සමගිය කඩාදමන්නට ද එය හේතුවනු ඇත. අනෙක් අතට මෙම තත්ත්වය වෛරසය පැතිරයාම වැලැක්වීමට මහජනයා විසින් ස්වේච්ඡාවෙන් අනුගමනය කළ යුතු රීතීන් නොතකා හැර කටයුතු කිරීමට මුස්ලිම් ජනතාව පෙළඹවනවා ද ඇත. මේ සියල්ල අතරින් වඩාත් භයානකම ප්‍රතිඵලය ලෙස අසල්වැසි මුස්ලිම් මිනිසෙකු හා ගැටුමකට ඔබ යොමුවන අතරවාරයේ ඔබේ පාලකයන්ට ඔවුනට ඇවැසි ඕනෑම දෙයක් කිරීමට හැකි වනු ඇත.


මෙම  ලිපිය කොරෝනා අස්සේ පැතිරෙන දේශපාලන වෛරස් නමින්  සමබිම වෙබ් අඩවියට මා විසින් ලියන ලද ලිපිය නැවත පළකිරීමකි.

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ගැඹුර තේරුම් ගනිමු.



ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දිග පලල ගැන නොව ගැඹුර ගැන කියවෙන අතිශයින්ම  ඓතිහාසික දවසක් අවසන් වී ඇත. 2015 ජනවාරි මස 08 වන දින මුලු දෙන ලදුව 2018 පළාත් පාලන මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය නිකුත්වීමෙන් කූඨප්‍රාප්තිය සටහන් කළ දේශපාලන සංසිද්ධි මාලාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන අතිශය පැහැදිලි කියවීමකට අපට ඉඩ සලසා දේ. 

2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පත්වීම තේරුම් ගත යුත්තේ සහ ඉතාම හොඳින් තේරුම් ගත හැක්කේ 2016 වසරේ අප්‍රේල් මාසයේදී පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා බවට පත්වීමත් ඒ හා බැඳුණු මෙරට ජන විඥානයේ ආස්ථානයන් කිහිපයකිනුත්ය. 

ශ්‍රී ලංකා පොලීසිය නමැති අතිශය දූෂිත සහ දේශපාලන බලය මත හැසිරවෙන ආයතනයෙන් පීඩාවට පත්ව සිටි මෙරට සාමාන්‍ය ජනතාව වනාහී පොලිස් සේවාවක පැවතිය යුතු ස්වාධීනත්වය, පාරදෘශ්‍යතාවය හෝ වගවීමේ ගුණය වැනි කිසි‍වක් හෝ පිළිබඳ  අවබෝධයක් නැති පුද්ගලයන්ය, නැතහොත් ඒවා පිළිබද විශේෂ ඉගෙනීමක් සහ විශ්වාසයක් නොමැතිවූවන්ය. දැන් මේ පොලීසිය ස්වාධීනකර ගුණාත්මක තත්ත්වයෙන් යුතු ආයතනයක් බවට එය පත්කිරීමට කල්පනා කළ මෙරට බහුතරයකගේ තේරීම වූයේ පූජිත ජයසුන්දර නමැති කාර්යක්ෂම, ස්වාධීන, හා වෙනස් පොලිස් නිලධාරියා පොලිස්පති පුටුවේ වාඩිකරවීමේ කම්මැලි ක්‍රමය හරහා පොලිස් සේවය වෙනස්වනු ඇතැයි බලාපොරොත්තුවීමය. ඒ අර්ථයෙන් ලංකාවේ පොලිස් සේවයේ දූෂිත අකාර්යක්ෂම පොලිස්කාරයන් පමණක් දකින ජනතාවට පූජිත ජයසුන්දර මැජික් එකක් විය. ඒ අනුව ෆේස්බුක් පේජ්කාරයන් පූජිත ජයසුන්දරගේ ෆොටෝ දමා පොලිස් සේවයේ වෙනසක් උදෙසා ව්‍යවස්ථාදායක සභාව විසින් පූජිත ජයසුන්දර පොලිස්පති කරවිය යුතුයැයි කැම්පේන් කරන්නට විය. මෙරට බොහෝ ජනමාධ්‍යද මේ හා සමාන කැම්පේන්වල කොටස් කාරයන් වූ අතර රථවාහන පොලීසියේ පොලිස් කොස්තාපල්වරු පගා ගහන්නේදැයි බැලීමට කැළණිය පාළම උඩ පූජිත සැගවී බලා සිටි ආකාරය ගැන වීර කතා පත්තරවලත් සමාජ මාධ්‍යවලත් වේගෙයෙන් පැතිරෙන්නට විය. 

ලංකාවේ ජනතාවගේ මේ ෆැන්ටසිය අවසන් වූයේ පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් අවුරුද්දක් ගත වෙන කාලයේදී ඔහු  විදුලි සෝපානයකදී කවුදෝ මිනිසෙකුට පහර දෙන වීඩියෝවක් සාමාජ මාධ්‍ය තුළ පැතිරෙන්නට වීමෙනි. තමන් විශ්වාස කළ මිනිසා තමන් බලාපොරොත්තුවූ චරිතයම නොවන වග මිනිසුන් එතැනදී තේරුම්ගන්නා ලදි. දැන් පූජිත තවදුරටත් මැජික් එකක් නොවන අතර ඔහුව පහසුවෙන් රීප්ලේස් වීමේ ඉඩක් නිර්මාණයව ඇත. 

මෛත්‍රීපාල සිරිසේන සංසිද්ධියද මේ ආකාරමය. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වීම යනු මෙරට දේශපාලනයේ කලෙකින් දක්නට නොලැබුනු මැජික් එකකි. එය ලංකා දේශපාලනයේ බල අරගලයේ ප්‍රභූන් කිහිප දෙනෙක් විසින් සැලසුම් කර මහජනතාවට ඉදිරිපත් කරන ලද අතර, ලංකාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ වනවිට දශකයක පමණ කාලයක් කිසිඳු පැහැදිලි ජයග්‍රහණයකින් තොර සටනක නිරතව සිටි සිවිල් සමාජය එය තම අවස්ථාව කරගත්තේය. පෙරකී දේශපාලන ප්‍රභූන්ටත් සිවිල් සමාජයටත් මෛත්‍රීපාල සිරිසේන නමැති මැජික් එක පහසුවෙන් ජනතාවගෙන් අනුමත කරගත හැකි සමාජයක් මෙරට තුළ ඒ වනවිට පැවතිණි. 

ඒ වනවිට පැවතිණියි කී ඒ සමාජය යනු පීඩිත එකකි. කවුරුන් කෙසේ තර්ක කළද නොකළද මහින්ද රාජපක්ෂ යනු වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම පීඩක චරිතයකි. දෙමළ ජනතාවගේ දේශපාලන උවමනාවන්හි මිලිටරි ප්‍රකාශනයන් මිලිටරි ක්‍රමයෙන්ම විසදන්නට ගොස් ඔහු දෙමළ ජනතාව පීඩාවට පත්කර තිබිනි. අසාර්ථක සංවර්ධන ක්‍රමවලින්ද ඉහවහා ගිය සොරාකෑම්වලින්ද ඔහු මෙරට මුදල් උත්පාදකයන් පීඩාවට පත්කර තිබිණි. ශ්‍රී ලාංකිකයන් බෙදා වෙන්කර පාලනයකිරීමේ උත්සාහයන්ගෙන්ද සිංහල බෞද්ධ නායකයාවීමෙන් සිය සුජාතභාවය ආරක්ෂාකරගැනීමේ උවමනාවෙන්ද කටයුතු කරමින් ඔහු මෙරට වාර්ගික සහ ආගමික සුලුතරය පීඩාවට පත්කරමින් සිටියහ. ඥාතී සංග්‍රහයෙන්ද තමන් යටතේ සිටි බල්ලන් බැද දැමීමට කටයුතු නොකරමින් ඔවුන් පිනවීමට කටයුතුකිරීමෙන්ද ඔහු මෙරට කවර හෝ තරමේ හොද සිහියකින් සිටි හුදී මිනිසුන්ද පීඩාවට පත්කර තිබිනි. 

මේ පීඩිත ජන කොටස් විසින් මෛත්‍රීපාල සිරිසේන සංසිද්ධිය ඉත සිතින් සමාජගත කරන ලදි. එය ජයග්‍රහණය කරවන ලදි. මෛත්‍රීපාල සිරිසේනද තමන්ම සිතා බලා හෝ වෙනත් මෙහෙයවීමකින් හෝ ශ්‍රී ලංකාව එතෙක් දැක නොතිබූ ප්‍රගතිශීලී වෙනස්කම් කිහිපයක් නිර්මාණය කරමින් මිනිසුන්ගේ ෆැන්ටසිය පෝෂණය කර දෙන ලදි. නමුත් පූජිත ජයසුන්දර මැජික් එක අවසන් වූවාක් සේම, සියලු හොද දේවල් යම් කලෙක අවසානයකට පැමිණෙන්නා සේම ඔහු වටා ඇතිවූ ෆැන්ටසිය තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙන්ම හැකියාවද මෛත්‍රීපාල සිරිසේනට අහිමිවිය. තමන්ගේ මැජික් එක නැවත වතාවක් කැඩුණු බව මිනිසුන් හොරු ඇල්ලීමේ නාට්‍ය එකින් එක අසාර්ථ වෙද්දී තේරුම්ගන්නට ඇත, විමල් වීරවංශ හෝ මහින්දානන්ද අලුත්ගම වැන්නන් නිරුපදිතව සිටියදී ඩිල්රුක්ෂි ඩයස්ට ගෙදර යන්නට සිදුවෙද්දී තේරුම්ගන්නට ඇත, නැතහොත් බැදුම්කර සිද්ධිය අතරතුර තේරුම්ගන්නට ඇත. 

පීඩකයන්ගේ පීඩනය මැඩ පැවැත්වීමේ ක්‍රියාකාරී නැගිටීම් සහ මතවාදී වෙනස්කම් ඇතිකරගැනීම් සදහා ලෝකය තුළ නිදසුන් පවතින්නේ යම් පමණකින්ද එපමණ ප්‍රමාණයක් තමන් වෙනස් නොවී සිටිමින් වෙන වෙන ගේම් හරහා පීඩකයන්ගේ පීඩනය මැඩ පැවැත්වීමට ජනතාව කම්මැලි ට්‍රයි එකක් දීමේ නිදසුන්ද ලෝකය තුළ ඇත. ඉරාකයේ පීඩක සදාම් හුසේන්ගේ පාලනය අවසන්කිරීමට, නැතහොත් ලිබියාවේ ගාඩාෆි පාලනය අවසන්කිරීමට පැමිණෙන ඇමරිකානු හමුදා සාදරයෙන් පිළිගන්නා ජනතාව ඒ ඒ රටවල සිටියේය. ආර්ථික අභිවෘද්ධිය, මහජන මුදල් කාර්යක්ෂමව යොදවා සිදුකරන ඵලදායී සංවර්ධන ව්‍යාපෘති, සිය දරුවන්දිට යුණු අධ්‍යාපන ක්‍රමයක් ආදිය ලංකාවේ මිනිස්සුන්ට අවශ්‍යය. එහෙත් රටක් තුළ ඒවා ගොඩනැංවිය හැක්කේ ව්‍යවස්ථානුකූලවාදය, නීතියේ ආධිපත්‍ය, හෝ දේශපාලනයේ පුලුල් සහභාගීත්වය ඇතිකිරීමෙන්ය, තමන් මතවාදීව වෙනස්වීමෙන්ය යන දේවල් තේරුම්ගැනීමට මෝරපු මිනිස්සු ලංකාවේ තවම මදිය. බහුතරයකට ඒවා බර වචනය. දිගු කලක් අල්ලාගෙන සිටීමට අමාරුය. ඒ නිසාම ඉරාකයේත් ලිබියාවේත් මිනිසුන් තරමටම ලංකාවේ මිනිසුන්ටද අලුත් මැජික් එක ඉක්මනටම එපා විය. තම අලුත් පෙම්වතිය යම් යම් වැරදි කරද්දි කලින් එක්කෙනා නම් එහෙම කළේ නෑනේ දෙයියනේ යැයි සිතන තරුණ පෙම්වතෙකු පරිද්දෙන්ම මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනතාවට නැවත මතක් වෙන්නට විය. 

මහින්ද රාජපක්ෂද එයටම හරියන මිනිසෙකි. මෛත්‍රීපාල සිරිසේනට හෝ රනිල් වික්‍රමසිංහට යළි තමන් වටා මිනිසුන් එක් කරගන්නවාට වඩා පහසුවෙන් තමන් වටා මිනිස්සු එක් කරගැනිමට මහින්දට අදටත් හැකියාව ඇත. ඔහු දුටුගැමුණු වැනි වංශ කතාවල පමණක් කියවෙන නායකයන්ගෙන් පසු සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය හොඳටම උඩට එසවූ නායකයාය. ඔහු ලංකා ඉතිහාසයේ හොදම Public Relation එක නඩත්තු කළ ජනාධිපතිවරයාය. ලංකා ඉතිහාසයේ පහළවූ අතිශය දූෂිතම ජනාධිපතිවරයා වුවද මහින්ද රාජපක්ෂ කිසිදා ජනාධිපති කොමිසමක් දමා ඒ වැරදි හෙළි කරන්නට තරම් "ගොන් නොවිනි". ලංකාවේ ඉතිහාසයේ පහළවූ අතිශය දූෂිතම මහජන නියෝජිතයන් රොත්තක්ම තමා යටතේ තබාගෙන ෆයිල් ද හංගා ඔවුන් ආරක්ෂා කළ ජනාධිපතිවරයා වුවද විපක්ෂයට ඒවා අල්ලාගෙන ඩෙගා නටන්නට ඉඩ තැබීමේ "වරද" මහින්ද විසින් කිසිදා සිදු නොකළහ. තමන්ට ලැබුණු බලයෙන් තමන්ගේ පුතුන්ද ගෙදර හාමිනේද මල්ලිලාද බෑණාවරුන්ද වරප්‍රසාද භුක්ති විඳිද්දි යුද්ධය ඉවර කළ සිංහල බෙද්ධ නායකයා ලෙස පෙනී සිටීමෙන් ඒවා සෙට්ල් කරගැනීමට මහින්ද පුදුම දක්ෂයෙක් විය. ඔහු නිසා ගෝඨාභය, විමල්, බැසිල්, පවිත්‍රා, වාසුදේව සහ ගම්මන්පිල වැනි අටෝරාශියක් සෙසු මිනිසුන්ගේ දේශපාලන පැවැත්ම තහවුරැව ඇත. මේ සටහන ලියන මගේ ගමෙන් ඡන්දයට තරග කළ අතිශය උගත් දිගු කලක් ගමේ පොදු වැඩවලට මූලිකත්වය ගත් මිනිසෙකු පරදවා පළාත් පාලන මැතිවරණය දිනන්නට තග් ලයිෆ් හිස්ටරි එකක් ඇති නූගත් පුද්ගලයෙකුට හැකියාව දෙන්නට මහින්දට ශක්තිය තිබිණි. ඕනෑම කසිප්පුකාරයෙකුට, පල් සොරෙකුට හෝ ස්ත්‍රී දූෂකයෙකුට ලංකාවේ ඕනෑම තැනෙක මැතිවරණයක් දිනාගැනීමේ ඉඩ සැලසීමට මහින්දගේ ෆොටෝ එකක් දමා තාප්පයක අලවන ෆෝස්ටරයකට හැකියාව ඇත. ලංකාවේ නොමේරූ දේශපාලන සත්ත්වයන්ට ඇවැසි දේ දෙන්නට මහින්ද දැන සිටියේය. 

මේ වනවිට අවසන්ව ඇති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ලංකාවේ අනාගත දේශපාලන දිශානතිය තීරණය කරනු නිසැකය. එහි අවසාන ප්‍රතිඵලය කියවිය යුත්තේ මෛත්‍රීපාලගේ රනිල්ගේ අසමත්වීම් නිසා, තමන් ගෙන ආ මැජික් එක තවදුරටත් නඩත්තු කරගත නොහැකිව මහජනතාව තමන්ගෙන් ඉවතට තල්ලු කළ නායකයන් නිසා මහින්ද ලැබූ ජයග්‍රහණයක් වශයෙනි. දැන් සිදුවීම් සිදුවෙන වේගය හා බැලූ කළ බොහෝ විට ඊයේ පැවති පළාත් පාලන මැතිවරණය අවසන්වනු ඇත්තේ පවතින ආණ්ඩුව විසින් සිදුකළ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ කිහිපය 2020 වර්ෂය හෝ ඒ අවට කාලය වනවිට ආපසු හැරවීමෙනි. එය මහින්ද අතින් හෝ ගෝඨාභය අතින් හෝ ඒ කල්ලියේ වෙනත් කෙනෙකු අතින් සිදුවනු ඇත. 

එහිලා වඩාත්ම ඛේදාන්තය තිබෙනුයේ ඔබත් මමත් අයත් වන පොදු මහජනතාව තුළය. ශිෂ්ඨාචාරයක පැහැදිලිම ලකුණ වන දියුණු මිනිසුන් ලංකාව තුළ දකින්නට තවත් කාලයක් අපට ගතවෙනු ඇත. දේශපාලන වහල් බව වෙනුවට නිරීක්ෂණ, මතවාදී ගැටීම් හෝ  සංවාදයන් හරහා සිතුවිලි නිදහස් කරගත් දේශපාලනය ක්‍රමානුකූලව අවබෝධ කරගත් මිනිසුන් බහුතරය වන ජාතියක් බවට අප පත්වීම තවත් දිග්ගැස්සෙනු ඇත.