මරණය + මරණය = මරණ දඬුවම

5/09/2015 07:27:00 PM Prageeth Liyanaarachchi 7 Comments



රසිකොලොජි බ්ලොග් අඩවිය ලියන +රසිකොලොජිස්ට් මීට ටික කලකට ඉහත ලියලා තිබුනා මරණ දඬුවම ද මිනීමැරුමකි නමින් ලිපියක්. මේ ලිපිය කියෙව්වාට පස්සේ මට හිතුනා මරණ දඬුවම සම්බන්ධයෙන් වැදගත් වෙයි කියලා හිතන කරුණු කිහිපයක් ලිපියක් වශයෙන් ලියන්න. 



නිශ්චිත අධිකරණ පටිපාටියක් හරහා පමණක් පමුණුවන මරණ දඬුවම සහිත සම්මත අපාරාධ නීති පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ  ඇතිවෙන්නේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ. ඒ යුගයේදී මුනෂ්‍ය ඝාතනය සහ රජුට එරහෙිව යුධවැදීම  යන වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මකවුනා. 1802 දී එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ෆෙඩ්‍රික් නොර්ත් විසින් මරණ දඬුවම සඳහා කෘෘර ක්‍රම යොදා ගැනීම තහනම් කර ඒ වෙනුවට එල්ලා මැරීමේ ක්‍රමය නීතිගත කරා. මේ නව නීතිය යටතේ ප්‍රථම වතාවට පුද්ගලයෙකුට මරණ දඬුවම පැමිනවූයේ රජුට එරෙහිව කැරලි ගැසීමේ වරදට 1802 වර්ෂයේ පෙබරවාරි මාසයේ බව බන්ධනාගාර ඉතිහාසයේ සඳහන්. 

වර්තමානය වනවිට ලංකාවේ මරණ දඬුවම නීතිගත තත්ත්වයේ පැවතුනාවුනත් එය අහෝසි කර දැමූ යුගයකුත් ඇත්තනේම රට තුළ තිබුනා. ඒ 1956 වර්ෂයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් S.W.R.D. බණ්ඩාරණායක මහතා මරණ දඬුවම නීතියෙන් අහෝසිකර දැමීමෙන් පසු ගතවූ කෙටි කාලය. නමුත් එයින් වසර 03 කට පසු  1959 දී, බණ්ඩාරණායක මහතා ඝාතනයවීමෙන් අනතුරුව නැවතත් රට තුළ මරණ දඬුවම ක්‍රියාත්මකවීම ආරම්භ වෙනවා. කෙසේ වෙතත් 1976 ජූනි 23 වනදායින් පසුව ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවමක් ප්‍රායෝගිකව ක්‍රියාත්මකවීමක් සිදුව නැහැ. 

වර්තමාන ශ්‍රී ලංකාව මරණ දඬුවම නීතිගත රටක්. දණ්ඩ නීති සංග්‍රහයේ III වැනි පරිච්ජේදයේ 52 වගන්තියට අනුව රට තුළ භාවිතා වන දඬුවම් වර්ග වශයෙන් මරණය, බරපතල සිර දඬුවම, සිර දඬුවම, කසපහර, දේපළ අහිමිකිරීම සහ දඩය යන දඬුවම් වර්ග සඳහන් වෙනවා. වයස අවුරුදු 18 ට අඩුයැයි අධිකරණය විශ්වාස කරන කිසිම පුද්ගලයෙකුට මරණ දඬුවම නොපැනවිය යුතු බව දණ්ඩ නීති සංග්‍රහයේම 53 වන වගන්තියේ සඳහන්. වගන්ති අංක 54 න් සඳහන් කර තිබෙනවා ගර්භනී අවස්ථාවේ සිටින කාන්තාවකට මරණ දන්ඩනය පැනවීම නොකළ යුතු බව. 

මරණ දඬුවම පැමිණවිය හැකි වැරදි වශයෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුළ පහත අවස්ථා ඇතුළත්. 
(වරහන් තුළ දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්ති අංකය දක්වා ඇත.)

01. රාජ්‍යයට එරෙහිව යුධකිරීම, යුධකිරීමට තැත්කිරීම හෝ එවැනි ක්‍රියාවකට අනුබල දිමේ වරද (114).
02. ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යන ඒවායේ නිලධාරියෙකු, සෙබලෙකු, නාවිකයෙකු  හෝ ගුවන් නැවියෙකු රාජ්‍ය විරෝධී කැරැල්ලක් සිදුකරන ලද අවස්ථාවක එකී කැරැල්ලට අනුබල දී තිබීමේ වරද (129).
03. තම ක්‍රියාව නිසා තවත් පුද්ගලයෙකුට මරණ දඬුවම පනවනු ලැබිය හැකි බව දැනදැනම අධිකරණයක්  ඉදිරියේ ව්‍යාජ සාක්ෂි ලබාදීම හෝ එසේ ලබාදීමට ව්‍යාජ සාක්ෂි සකස්කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අධිකරණයක් විසින් නිර්දෝශී පුද්ගලයෙකු මරණයට පමුණුවන ලද අවස්ථාවක පෙරකී ව්‍යාජ සාක්ෂි සකස්කිරීමේ/ලබාදීමේ වරද (191).
04. මනුෂ්‍ය ඝාතනය (296).
05. පුද්ගලයෙකුට සියදිවි තොරකරගැනීම සඳහා අනුබල දීම (299).

ඒ හැර විවිධ පනත් සහ ආඥා පනත් හරහා මරණ දඬුවම පැනවීමට අධිකරණයට බලය ලබාදුන් වැරදිත් ලංකා නීති පද්ධතිය තුල තිබෙනවා. එ් පහත වැරදි සඳහා. 
(මෙම ලැයිස්තුව අසම්පූර්ණ විය හැක).

01. ගිනි අවි භාවිතයෙන් සිදුකරන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සහ ගිනි අවි භාවිතා කර බියගැන්වීමෙන් සිදුකරන මංකොල්ල, පැහැරගෙන යාම් හෝ අපහරණයන් සහ හමුදා නිලධාරීන් හෝ සෙබළුන් විසින් ගිනි අවි භාවිතයෙන් බියගැන්වීම හරහා සිවිල් වැසියන්ට එරෙහිව සිදුකරන අපරාධ (ගිනි අවි ආඥා පනත, 44 වන වගන්තිය).
02. හෙරොයින්, කොකේන්, මෝරෆීන් හෝ අබිං නිෂ්පාදනය, එවැනි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ඉක්මවන ප්‍රමාණයක් ප්‍රවාහනය, ආනයන හෝ අපනයනයකිරීම, හෝ ගිනි අවි භාවිතය මගින් බියගැන්වීම හරහා සිදුකරන මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි (විෂ, මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ‍ඖ‍‍‍ෙෂධ පනත. 5 සහ 14 වගන්ති.
03. යුධ, ගුවන සහ නාවික හමුදා සෙබළුන් විසින් සිදුකරන සටන් පෙරමුණ අතහැරීම, යුධ වැදීම සඳහා වන නියෝග පැහැරහැරීම, නිශ්චය කරන ලද හමුදා දේපළවලට හානි පැමිණවීම වැනි වැරදි (ශ්‍රී ලංකා ගුවන් හමුදා පනත 1949, ශ්‍රී ලංකා යුධ හමුදා පනත 1949 සහ ශ්‍රී ලංකා නාවික හමුදා පනත 1950)

2014 වර්ෂයේදී ලංකාවේ අධිකරණය විසින් අවස්ථා 61 කදී වරදකරුවන්ට මරණ දඬුවම පමුණුවා තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක නොවන නිසා ඒ දඬුවමට නියම කෙරෙන බොහෝ සිරකරුවන් ප්‍රයෝගික තත්ත්වයේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබූවෙකුගේ තත්ත්වයට පත් වෙනවා. 

Amnesty International සංවිධානය 2014 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ Death Sentences and Executions වාර්තාවට අනුව 2014 වර්ෂයේදී ලෝකය පුරා රටවල් 22 ක අවම වශයෙන් පුද්ගලයන් 607 ක් මරණ දඬුවමට පමුණුවා තිබෙනවා. ඒ වගේම අවම වශයෙන් රටවල් 55 ක් තුළ පුද්ගලයන් 2466 ක් මරණ දඬුවමට නියමව තිබෙනවා. දැන් වසර ගණනාවක සිටම ලෝකයේ වැඩිම ප්‍රමාණයක් මරණ දඬුවමට ලක්වන රට වශයෙන් චීනය සැලෙකනවා. නමුත් චීනය තම රට තුළ මරණ දඬුවමට ලක්වන්නන් පිළිබඳ විස්තර රාජ්‍ය රහසක් වශයෙන් තබාගන්නා නිසා ඒ පිළිබඳ නිවැරදි සංඛ්‍යා දත්තයක් නැහැ. 2008 වර්ෂයේදී පමණක් චීනය තුළ පුද්ගලයන් අවම වශයෙන් 1318 ක් මරණ දඬුවමට පමුණුවා ඇති බව විශ්වාස කරනවා. විශේෂම කාරණය තමයි මේ මරණ දඬුවම නියමකිරීම්වලින් අති බහුතරයක් ජාතික අාරක්ෂාව කඩකිරීම, මහජන අාරක්ෂාවට බලපාන අාකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ අභ්‍යන්තර් කැරලි/අරගල අැතිකිරීම යන වැරදි සඳහා පමුණුවන ලද ඒවා වීම. 

රටක් තුළ මරණ දඬුවම පැවතියයුතුද නැද්ද යන්න ගැන ලංකාව තුළත් ලෝකය තුළත් බරපතල සහ නොවිසඳුණ විවාදයක් ක්‍රියාත්මකයි. මම හිතන්නේ මරණ දඬුවමෙහි අවශ්‍යතාවය ගැන තිබෙන මේ විවාදය මරණ දඬුවම තරම්ම පැරණිත් ඇති. 

මරණ  දඬුවමේ අවශ්‍යතාවය සාධාරණීකරණය කරමින් ඊට පක්ෂව ඉදිරිපත්වන තර්ක මූලික වශයෙන්ම අපරාධ විද්‍යාවේ කියැවෙන අපරාධ වැලැක්වීම සම්බන්ධ න්‍යායන් සමග බැඳුණ තර්ක. අනික් අතට මරණ දඬුවට විරුද්ධව ඉදිරිපත්වන තර්ක මානුෂීය, ආගමික හෝ සමාජ විද්‍යාත්මක ඒවා විය හැකියි. 

නීතිය විසින් වරදකරන්නන්ට දඬුවම් ලබාදීමේ අරමුණු 04 ක් තිබෙන බව අපි ඉගෙන ගෙන තිබෙනවා. 

01. වැරදිකරුවන්ට ඔවුන්ගේ වැරදිවල ප්‍රතිවිපාක විදින්නට සැලසීම (Retribution)
02. නිවර්තනය හෙවත් අපරාද සිදුවීම වැලැකිවීම (Deterrence)
03. වරදකරුවන් සමාජයෙන් ඈත් කිරිම (Incapacitation/Prevention)
04. වරදකරුවන් පුනරුත්තාපනය කිරීම (Rehabilitation)

මේ අරමුණ 04 ම මූලික සංකල්පීය පදනම වෙන්නේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සහ ඒහා සමානවම වරදකරුවන් නැවත අපරාධකිරීමට නොහැකිවන පරිදි සමාජයෙන් හුදකලාකර තැබීමෙන් සමාජ සුරක්ෂිතතාවයත් යහපැවැත්මත් ආරක්ෂාකිරීම (Protecting the public community by getting the offenders off the street)

මරණ දඩුවම සම්බන්ධයෙන් අපරාධ විද්‍යාව සහ නීති අධ්‍යනය තුල ඉදිරිපත්වන මූලිකම සාධාරනීකරණයක් තමයි වැරදිකරුවන්ට ඔවුන්ගේ වැරදිවල ප්‍රතිවිපාක විදින්නට සැලස්වියයුතුයි කියන එක. ඇත්තටම මේකේ සංකල්පීය පදනම තමයි ඉස්සර තිබුන ඇසට ඇසක් කියන මතය (An eye to eye). මධ්‍යතන යුගයේදි සිදුවුන දෙයක් තමයි එක පවුලක පුද්ගලයෙක් කිසියම් අයෙක් විසින් මරා දැමුනාම මියගිය පුද්ගලයාගේ පවුලේ අයට ඒ මිනිරුවා ඝාතනය කර දමන්නට 'අයිතියක්' තිබෙනවා යැයි පිලිගැනීම සහ පුද්ගලයෙකු මරා දැමිමේ වරදට ඝාතකයාත් මියයායුතු බව (Those who kill deserves to be killed) විශ්වාසකිරීම. මේක කිසිසේත් සාධාරණ නොවන මිලේච්ඡ සංකල්පයක් බවට විරුද්ධ තර්ක නැහැ. ඒ තුල තිබෙන්නේම පළිගැනීම සහ වන්දිගෙවීම පිළිබඳ අවශ්‍යතාවය. කෙසේ වෙතත් පසුකාලීනව ක්‍රමිකව මේ ඇසට ඇසක් සංකල්පය ක්‍රියාත්මක කිරිම රාජ්‍යයේ වගකීමක් බවට පත්වුනා. 

ඊට අමතරව, අපරාද සිදුවීම වැලැක්වීම කියන කාරණය න්‍යායිකව ආකාර දෙකකින් විස්තර වෙනවා. එ Specific සහ General යනුවෙන්. Specific යනුවෙන් අදහස් වෙන්නේ අපරාධයක් සිදුකළ පුද්ගලයා නැවත එවැනි වැරදි සිදුකිරීම වැලැක්විම සදහා ඔහුට දඩුවමක් දියයුතුයි කියන එක. General deterrence කියන්නේ නැවත එවැනි වැරදි/අපරාධ සමාජය තුල සිදුනොවන බව තහවුරු කිරීම. තවදුරටත් කියනවානම් අනාගතයේදි තවත් පුද්ගලයෙකු මනුෂ්‍ය ඝාතනය වැනි අපරාධයකට ගොදුරු වෙලා මියයාම වලක්වනවා කියන අරමුණින් සහ සමාජයේ සෙසු කිසිවෙක් එවැනි අපරාධ නොකරන තැනට කටයුතු සලසනවා කියන අරමුණින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ පුද්ගලයෙකුට මරණ දඩුවම දිය හැකියි. 

මරණ දඩුවම පවත්වාගෙන යාමට පක්ෂව දැනට තිබෙන ප්‍රබලම තර්කය වලංගු වෙන්නෙත් Specific deterrence  හරහාමයි. ඒ තමයි වරදකරුවෙකුට මරණ දඬුවම පැමිණවීම හරහා එවැනි වරදක් කළොත් රාජ්‍යය විසින් තමන්ගේ ජීවිතය අවසන් කර දැමිය හැකි බව ජනතාවට දැනවීම (ජීවිතය අහිමි කරගැනීමට ඇති ස්වභාවික බිය මතුකිරීම) සහ ඒ හරහා වැරදි නොකර සිටින්නට සෙසු මිනිසුන්ට පෙළඹවීමක් අැතිකිරීම.  

දැන් කෙනෙක් අහන්න පුලුවන් දරුණු ගණයේ අපරාධයක් කරන පුද්ගලයෙක් නැවත එවැනි වරදක් කිරීමෙන් වලක්වන්න කියලා එල්ලලා මරලා දාන එක හරිද? කියලා. මේක මරණ දඬුවම එපා කියලා කියන අය ඉදිරිපත් කරන බොහොම ප්‍රාථමික තර්කයක්. ඇත්තටම ඒ ප්‍රශ්නයට පිළිතුර මේකයි - ඔව්, ඒක හරි. ප්‍රායෝගික මට්ටමේදි අපිට ඒක හිතාගන්න බැරිවුනත් න්‍යායික වශයෙන් ඒක හරි. ඒක මම උල් පිහියක් අරගෙන ඔබව මරන්න එනකොට ඔබේ ආරක්ෂාව වෙනුවෙන් මා සමග සටන්කර මා ඝාතනය  කර දමන්නට ඔබට නිදහසක් තිබීමට මුලුමනින්ම සමාන තත්ත්වයක්. ඒ තමයි නීතිය ප්‍රතිචාර දක්වන ආකාරය. 

මම හිතනවා මරණ දඬුවම ගැන අපි තීරණයකට එළැඹිය යුත්තේ මරණ දඬුවම හරි ද  නැද්ද ? සදාචාර සම්පන්නයිද නැද්ද ? බුද්ධාගමේ එහෙමද කියලා තියෙන්නේ? ඒ වුනාට මූ අර අහිංසක පවුලට කරපු අපරාදෙට සහගහන්නේ නැද්ද දෙයියනේ? වගේ සදාචාරමය හෝ ආගමික ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් නෙවෙයි. ඔව්, ඒවත් අඩුවැඩි වශයෙන් වැදගත් සාධක තමයි, නමුත් වඩාත් තාර්කික සහ විශ්වීය පිළිතුරක් සෙවීමේදී ඒ සාධක දුර්වලයි. ඒ නිසා අවශ්‍යව තිබෙන්නේ අපරාධ අඩුකිරීම නම් කළ යුතුව තිබෙන්නේ අපරාධ අඩුකිරීමේ කාර්යයේදී මරණ දඬුවම සාර්ථකද නැද්ද කියන එක හොයලා බලලා ඒ අනුව එය පවත්වාගෙන යාම හෝ අතහැර දැමීම ගැන තීරණයකට එළැඹීම. 

එක්සත් ජනපදයේ ෆෙඩරල් පර්යේෂණ බියුරෝව (Federal Bureau of Investigation) විසින් 2010 වර්ෂයේදී පළ කළ FBI Uniform Crime Report නම් වාර්තාවෙන් මනුෂ්‍ය ඝාතනය වැනි බරපතල අපරාධයක් අඩු හෝ වැඩි වන්නට මරණ දඬුවම බලපානවාද කියන කාරණය පිළිබඳව අපිට අදහසක් ගන්න පුලුවන්. පහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ එක්සත් ජනපදයේ මරණ දඬුවම නීතිගත කර ඇති සහ නැති ප්‍රාන්තවල වර්ෂ 2000 - 2009 කාලයේදි ජනගහනයෙන් ලක්ෂයකට සිදුව ඇති මනුෂ්‍ය ඝාතනවල සංඛ්‍යාව. 


මෙතැනදි පැහිදිලිවම පෙනෙනවා මරණ දඬුවම ක්‍රියාත්මක ප්‍රාන්තවල මනුෂ්‍ය ඝාතනයන්හි අනුපාතය මරණ දඬුවම ක්‍රියාත්මක නොවන ප්‍රාන්තවල එම අගයට වඩා බොහෝ සෙයින් වැඩිබව. සංවර්ධිත රටක් වශයෙන් එක්සත් ජනපදයේ ඒ ඒ ප්‍රාන්ත අතර ආර්ථික, දේශපාලන සහ සමාජයීය තත්ත්වයන් බොහෝදුරට එකහා සමාන නිසා මේ එක් එක් ප්‍රාන්තවල තිබෙන කිසියම් විශේෂ තත්ත්වයක් මේ අනුපාත වෙනස් වෙන්න බලපෑවා කියලා හිතන්නත් අමාරුයි. ඒ අනුව මරණ දඬුවම අපරාධ අඩුකිරීම සඳහා ඇතිකරනවාය කියන බලපෑම සත්‍ය වශයෙන්ම සිදුවෙනවාද කියන ප්‍රශ්නය අපට අසන්නට සිදුවෙනවා. 

මිනිසුන් තුළ සිය ජීවිතය අහිමි වීමේ බිය ඇතිකිරිම හරහා සමාජය තුළ සිදුවන අපරාධ අවමකරගැනීමට මරණ දඬුවම හරහා බලාපොරොත්තු වෙනවා වුනත් ඇත්තටම මිනිසුන් අපරාධ ක්‍රියාවල නියැළෙන්නේ දඬුවමට බිය නැති නිසාම නෙවෙයි. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටමත්, තමන් මුහුන දෙන ගැටලුවලදී නීතිය සහ සෙසු සමාජ සුරක්ෂණ යාන්ත්‍රණයන්ගෙන් පිහිට ලබාගන්නා ආකාරය පිළිබඳ ඔවුන් සතු අඩු අවබෝධයත් ඔවුන්ව අපරාධකරුවන් කරන්න හරිහරියට බලපානවා. 

මේ බව ඉතාම හොඳින් පැහැදිලි වෙනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් 2007 - 2011 කාලසීමාවට අදාළව නිකුත් කරන ලද මරණ දඬුවම නියමවූවන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ වාර්ථාවෙන්. මේ ඒ වාර්තාව ඇසුරින් ගොඩනගා ගත් ප්‍රස්ථාර සටහන.


අධ්‍යාපන මට්ටම හැරුණුවිට මිනිසුන් අපරාධ සඳහා පොළඹවන හේතු ගණනාවක් තිබෙනවා. උදහාරණයක් විදියට මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය. යමෙකුගේ ආර්ථික තත්ත්වය දුර්වලනම් ඔහු තමන්ගේ දුර්වල ආර්ථික තත්ත්වය  යථා තත්ත්වයට පත්කරගැනීමේ අරමුණින් අපරාධ ක්‍රියාවක් වෙත යොමුවීමේ සම්භාවිතාවය වැඩියි. 

නීතිය කියන යාන්ත්‍රණය ගොඩනැගිලා තිබෙන්නේම අන්ධව. ඔය තරාදියක් සහ කඩුවක් අත් දෙකින් අරන් ඉන්න යුක්තියේ දෙවඟනට දැනෙන එකම දේ තරාදියේ මොන පැත්තද බර වැඩි කියලා විතරයි. ඒ හැර වටේ පිටේ වෙන දේවල් එයාට කොහෙත්ම අදාළ නැහැ. ඒ කියන්නේ නීතිය පවතින්නේත් නීතිය විසින් දඬුවම් නියම කරන්නෙත් යමෙක් අපරාධකරුවෙකු වීමට සමාජය විසින් සපයන උත්තේජනය බොහෝ දුරට නොතකා හරිමින්. ඒ නිසා ගොඩක් අපරාධ පසුපස තිබෙනවා අධිකරණ ශාලාව ඇතුලේ නොකියවෙන කතාවක්. 

මේ හේතු නිසා අදවනවිට බොහෝ දෙනා සාමජය නිවැරදි කිරීමේ කාර්යයේදී මරණ දඬුවම දකින්නේ නිෂ්ප්‍රයෝජන දෙයක් වශයෙන්. එය හුදෙක් අපරාධයක් සිදුවුන තැන තවත් අපරාධයකි සිදුකිරීමක් Murder + Murder = Death penalty විතරයි. 

මානව සංවර්ධනය සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරන දියුණු රටවල් අද වනවිට උත්සාහ කරනවා අපරාධකරුවෙකු එල්ලුම් ගසින් අවසන් කර අතපිස දමාගැනීම වෙනුවට ඔවුන් සැබෑලෙසම පුනරුත්තාපනය කළ හැකි ප්‍රායෝගික විසඳුම් ගොඩනගා ගන්නට. නෝර්වේ රාජ්‍යය විසින් පවත්වාගෙන යන බැස්ටෝයි සිරගෙදර එවැනි එක සාර්ථක විසඳුමක්. 

7 comments:

  1. බණ්ඩාරනායක අවසන් කළ මරණ දඬුවම බණ්ඩාරනායක නිසා ම යළි ඇරඹීම තරම් දෛවයේ සරදමක් තවත් ඇතිද?

    ReplyDelete
    Replies
    1. ...සහ එය නීතීය පවතින්නේ බලවතුන්ගේත් පාලකයාගේත් උවමනාවට පමණයි කියන එක ඉතාම හොඳින් පැහැදිලි කළ අවස්ථාවක්

      Delete
  2. මරණ දඩුවම දෙන්න නීතියටවත් අවසර තිබිය යුතු නැහැ..... ඒ නීතිය අති සාර්ථකම ඒක නෙමෙයි.... කිසිම රටක නීතියක් අති සාර්ථක නැහැ.... අනික කිසිම රටක නීතියක් ස්වාධීන නැහැ...... ඒ නිසා මිනිහෙක් මරන්න කාටවත් අයිතියක් නැහැ.... ඒහෙමයි කියලා මිනිහෙක් මැරුවාම ඔහුව මරන්න අපි කව්ද????? ඔහු වැරැද්දක් කරා තමයි..... ඒත් ඔහුටත් ඒ වැරැද්දම කරන්නට නම් නීතියක් සහ රජයක් ඔ්නේද???? ඒහෙනම් කවුරුහරි කාටහරි ගැහුවා කියලා උසාවි අාවාම විනිසුරුට තියෙන්නේ ගහපු තැන හොයලා ඒතෙන්ට ඒකක් ගහලා නඩුව ඉවර කරන්න..... නීතිය රෙද්දට යෑ......

    ReplyDelete
    Replies
    1. නිතිය ස්වාධීන නැහැ. සියයට සියයක් ඔබ සමග එකඟයි. නමුත් දඩුවම කියන දේ ක්‍රියාත්මක වෙන්නේ ඇයි. එහි අරමුණ අපරාදකරුවන්ට ප්‍රතිවිපාක ලබාදිමනේ. සරලවනම් පුරවැසියා කරන වැරදි එකකට රාජ්‍ය තවත් එකක් කරනවා - එකට එක කරනවා. ඔබ මාර්ග නීති කඩකරනකොට ආණ්ඩුව දඩ ගහනවා. පුද්ගලයෙක් ඝාතනය කරනකොට රාජ්‍ය අපිව ජීවිතාන්තය දක්වා සමාජයෙන් ඈත් කරනවා නැත්නම් ඝාතනය කරනවා. ඒකේ අරමුණ සමාජය තුළ එ වැරදි සිදුවීම අවම කරදැමීම. හරියට තාත්තා අපිට පොඩිකාලේ කෝටු කැඩෙනකන් ගැහුවා වගේ. රාජ්‍යයට ඒ අයිතිය තිබෙනවා මොකද රාජ්‍ය මිනිසුන් විසින් පොදු සම්මුතියෙන් ගොඩනගාගත්තක් නිසා. මම කියන්නේ මරණ දඬුවම අසාර්ථකයි. නමුත් රාජ්‍යයට මරන දඬුවම දෙන්න අයිතියක් නැද්ද? ස්තූතියි අදහසට.

      Delete
  3. ලිපිය ඉතාම ඉහළයි. මා කියවා තිබෙනවා මේ ගැන ලිපි වගයක්. ඒවායේ තිබූ පරිදි 1976 ට පෙර මරණ දඩුවම නියම කර තිබෙනවා ඉතාම අසාධාරන ලෙස. ඇමරිකාවෙ වගෙනම් පශ්චාත් විමර්ශනයන් කෙරෙනවා. නමුත් ලංකාවෙ මොනවත් නෑ. නඩුකාර පංචස්කන්දෙ සර්වඥයි වරදින්න බෑ කියල අත පිහ දාගන්නවා. ඒක හරිද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ඔබ හරි 1976 ට පෙර මරණ දඬුවම ලබාදුන් අාකාරය අසාධාරණයි කියලා විවේචන තිබුන බවක් මමත් අහලා තිබෙනවා. 1978 02වන ජනරජ ව්‍යවස්ථාවෙන් පස්සේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන අාකාරයේ වෙනසක් අැති කළා. එතැන් සිට මරණ දඬුවම දිය යුත්තේ තීන්දුව දුන් නඩුව විභාග කල අධිකරණයෙ විනිශ්චයකාරවරයා, නීතිපති සහ අධිකරණ අැමති කියන තිදෙනාම තීන්දුවට එකඟ වෙනවා නම් පමණයි. එවැනි එකඟතාවයක් නොමැති අවස්ථාවක දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පරිවර්තනය වෙනවා. ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය තුළත් මරණ දඬුවම දීර්ඝ ක්‍රියාවලියක් ඒ වගේම ඒ දඬුවමට යටත් වෙන කෙනාට ඉහළ උසාවිවලින් අභියාචනා කරන්නත් පුලුවන්. ඒ නඩුකටයුතු ඔක්කොම අතිශය සංකීර්ණ සහ ගැඹුරු ඒවා නිසා වැරදිවිය හැකි ඉඩක් නැහැ කියලයි සමහර අය කියන්නේ. නමුත් ඉතින් ඔබ කිව්වා වගේම විනිසුරුවරු සර්වඥයි කියලා අතපිහදාගන්න බැහැනේ. නිරපරාෙද් මිනිස් ජීවිත මරණ දඬුවමට ලක්වෙනවා අැති

      Delete
  4. ස්තූතියි

    ReplyDelete