ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා ගැන ගැන මේ දේවල් දන්නවද?

8/11/2017 07:51:00 AM Prageeth Liyanarachchi 2 Comments



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ව්‍යවස්ථා සංශෝධනය වගේ මාතෘකා ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කතා නෙකෙරුණු මැතිවරණයක් කතා නොකෙරුණු වර්ෂයක් නැති තරම්. ඒ තරමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවේ දේශපාලනය තුළ Hot Topic එකක්. ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රමයේ සංශෝධන පෙළගැස්ම ගැන වගේම මෑතකදී එයට එකතුවුණු 19 වැනි සංශෝධනය ගැනත් මීට කලින් මේ බ්ලොග් අඩවියේ ලිපි පළවුණා. මේ කතා කරන්න උත්සාහ කරන්නේ ලෝකය පුරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන. 


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රථම වතාවට භාවිතයට ගත් රාජ්‍යයක් පිළිබ‍ද වාර්තා වෙන්නේ ක්‍රිස්තු පූර්ව 2300 ක තරම් ඈත කාලයකදි. දකුණු දිග මෙසපොටේමියාව (වර්තමාන දකුණු දිග ඉරාකය) ආශ්‍රිතව වර්ධනයවුණු සුමේරියානු ශිෂ්ඨාචාරයේ ලගාශ් නම් නගරය ආශ්‍රිතව රජකම් කළ උරුකගීනා නම් රජතුමා තමයි පළමු වතාවට රාජ්‍ය පාලනය සදහා ලිඛිත ලියවිල්ලක් පදනම් කරගත්තේ. 

උරුකගීනා රජතුමා ලිඛිත ලියැවිල්ලක් පදනම් කරගෙන රාජ්‍ය පාලනය කරනවා ඇස් දෙකෙන් දැක්කා වගේ මෙතන සදහන් කළාට මේ කියන ලියැවිල්ල අද වනතුරුත් සැබෑවටම සොයාගෙන නැහැ. සොයාගෙන තිබෙන්නේ එවැනි ලියැවිල්ලක් භාවිතයේ තිබුණු බවට සාක්ෂි පමණයි. සුමේරියානු ශිෂ්ඨාචාරය නමින් දියුණු ශිෂ්ඨාචාරයක් අදින් වසර දහස් ගණනකට පෙර ලෝකයේ පැවතුණු බව අනාවරණයකිරීමේ ගෞරවය හිමිවෙන්නේ ප්‍රංශ ජාතික පුරාවිද්‍යාඥයෙකු වන අර්නස්ට් ඩී සාර්සෙක් නම් මහත්මයාට. එතුමා 1870 දශකයේ අගභාගයේ දකුණු දිග ඉරාකයේ සිදුකළ පුරාවිද්‍යා කැනීම්වලින් උරුකගීනා රජතුමා රාජ්‍ය පාලනය සදහා ඉහතකී ආකාරයේ ලියැවිල්ලක් පදනම් කරගත් බවට සාක්ෂි හමුවෙලා තිබෙනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනුව රට පාලනය කරන නූතන රාජ්‍යයන් අතරින් පැරණිතම රාජ්‍ය වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඔවුන් බ්‍රිතාන්‍යයට විරුද්ධව කළ නිදහස් අරගලයකින් පසුව පිහිටුවා ගත් නව ජනරජය වෙනුවෙන් ව්‍යවස්ථාවක් සම්පාදනය කරගන්නේ 1786 වර්ෂයේදී. රාජ්‍ය පාලනය සදහා අදාළවන සියලුම ප්‍රතිපත්ති එකම ලියැවිල්ලක් තුළ අන්තර්ගතකිරීමේ සම්පදාය ලෝකය තුළ ජනප්‍රිය වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ ව්‍යවස්ථාවත් සමගින්. 

එයින් වර්ෂ කිහිපයකට පස්සේ, ඒ කියන්නේ 1791 වර්ෂයේදී පෝලන්තය සහ ප්‍රංශය තමන්ගේ රට වෙනුවෙන් ව්‍යවස්ථාවන් සම්මත කරගන්නවා. මේ කියන මුල් කාලයේම ලිඛිත තනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පනවා ගැනීම ආරම්භ කරා වුනත් ප්‍රංශයේ අද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ කියන පළමු ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා බොහෝ සෙයින් වෙනස් එකක්. 1790 දශකයේදි පමණක් ප්‍රංශය එකිනෙකට වෙනස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 04 ක් සම්මත කරගෙන තිබෙනවා. Comparative Constitutions Project කියන වෙබ් අඩවිය පැත්තේ ගියොත් ලෝකයේ ඒ ඒ රටවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මත පදනම්ව රාජ්‍ය පාලනය ගෙන යන්න පටන්ගත් කාල වකවානු අනුපිළිවෙල (Chronology) ගැන පෙළගැස්මක් වගේම තවත් විස්තර ගණනාවකුත් දැනගන්න පුලුවන්. 

එක්සත් ජනපද ව්‍යවස්ථාව ලෝකයේ අද පවතින පැරණිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනවා වගේම එය ලෝකයේ කෙටිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් එකක්. එහි තිබෙන වචන ගණන 4,400 ක්. මේකේ තියෙන්නේෙ මූලික වගන්ති 07 ක්. ඒ වගේම මේ පැරණි ව්‍යවස්ථාව අදටත් මුල් ව්‍යවස්ථාවට බොහෝ සෙයින් සමානයි. මේ දක්වා එයට එක්ව තිබෙන්නේ සංශෝධන 27 ක් පමණයි. 

Judicial Review of Laws එහෙමත් නැත්නම් විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ තීරණ අධිකරණය ඉදිරියේ අභියෝගයකට ලක්කළ හැකිවීම කියන්නේ ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නූතන ලෝකයට හදුන්වාදුන් සංකල්පයක්. මේක තවත් විදියකින් හදුන්වනවා පනත් පසුනිරීක්ෂණ බලය නමින්. මේ බලය හරහා යම් රටක අධිකරණයට ඉඩ ලැබෙනව ඒ රටේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ක්‍රියාවට නංවන පනත් පවා රටේ ව්‍යවස්ථාවට අනුකූකලද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයකිරීම සදහා මැදිහත් වෙන්න. 

යම්කසි රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ රටේ අධිකරණයට එවැනි බලයක් දී නැතිනම් ඒ රටේ අධිකරණයට කළ හැකි එකම දේ යම්කසි පනතක් සම්මත වන්නට පෙර ඒ ගැන මැදිහත්වීමක් සිදුකිරීම පමණයි. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ අධිකරණයට මේ කියන පනත් පසුනිරීක්ෂණ බලය නැහැ. ඒ නිසා ලංකාවේ අධිකරණයට කළ හැක්කේ පාර්ලිමේන්තුව විසින් සම්මතකිරීමට නියමිත පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය තීරණය කර තමන්ට දන්වන ලෙස විධායක ජනාධිපතිවරයා ඉල්ලා සිටි අවස්ථාවක හෝ පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් පුරවැසියෙකු අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවක ඒ පනත් කෙටුම්පත විමර්ශනයකිරීමත් පමණයි. 1948 - 1972 කාලය තුළ ලංකාවේ ක්‍රියාත්මක වුණු සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව යටතේ නම් ලංකාවේ අධිකරණයට මේ කියන පනත් පසුනිරීක්ෂණ බලය හිමිව තිබුණු බව සදහන් කර තැබිය යුතුයි. 

ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භයේදී එරට ජනාධිපතිවරුන්ට ධූරය දැරිය හැකි වාර ගණණ සීමා කරලා තිබුනේ නැහැ. පළමු ජනාධිපතිවරයා ජෝර්ජ් වොෂින්ටන් මහත්මයා වගේම එක්සත් ජනපදයේ 03 වැනි ජනාධිපතිවරයා වූ තෝමස් ජෙෆර්සන් මහත්මයත් දෙවරක්ම ජනාධිපතිධූරයට තේරී පත්වුනත් තුන්වැනි වාරයකට තරග නොකර ගෙදර යන්න ගියා. ඒ දෙන්නා නිසා ඇමරිකානු ජනාධිපතිවරැන් අතරේ සම්ප්‍රදායක් ගොඩනැගුනා දෙවරකට වඩා ජනාධිපතිධූරය නොදරන්නට. හැබැයි ඔය යුලයිසස් එස්. ග්‍රාන්ට් සහ ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් වගේ ජනාධිපතිවරැන් තුන්වැනි වතාවකටත් බලයට පත්වෙන්න උත්සාහ දරලත් තිබෙනවා. ඔවුන්ගේ ඒ උත්සාහයන් වැරදුනේ ඔවුන් නියෝජනය කළ පක්ෂවලින් ඔවුන්ගේ නාමයෝජනා පරාජය වීම නිසා. 

හැබැයි 1932 වර්ෂයේ මාර්තු 04 වනදා බලයට පත්වුණු ෆ්‍රැන්ක්ලින් ඩී. රෑස්වෙල්ට් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කතාව ඊට වඩා වෙනස්. රෑස්වෙල්ට් ජනාධිපතිවරයා 02 වැනි ධූර කාලයක් සදහා සාමාන්‍ය විදියට තේරී  පත්වෙනවා 1936 වර්ෂයේ. එතැනින් නොනැවතී ඇමරිකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔහු 1940 දී තුන්වැනි ධූර කාලයකටත් 1944 වර්ෂයේ සිව්වැනි ධූර කාලයකටත් තේරී පත්වෙනවා. ඔහු අයහපත් සෙවුක්ය තත්ත්වය නිසා 1945 අප්‍රේල් 12 වෙනිදා මිය යන්නෙත් ජනාධිපති ධූරය දරමින් ඉන්න අතරතුරමයි. 


දශකයකටත් වැඩි කාලයක් රෑස්වෙල්ට් ජනාධිපතිවරයා ඇමරිකාවේ මහ පුටුව අරාගෙන සිටීම සමහරවිට ඒ රටේ අනෙක් දේශපාලඥයන්ට රැස්සන්න නැතිව ඇත. අනෙක් අතට එක්සත් ජනපද දේශපාලනය බොහොම පුළුල් සංවාදයන් හරහා සිදුවන්නක්. මේ මොන හේතුවක් නිසාවෙන් හෝ රෑස්වෙල්ට්ගේ මරණයෙන් වසර 02 ක් යන්නටත් පෙර - 1947 මාර්තු 21 වනදා එක්සත් ජනපද ව්‍යවස්ථාවට ගෙන එන 22 වැනි සංශෝධනය හරහා කිසිදු පුද්ගලයෙකුට දෙවරකට වඩා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය නොහැක කියලා වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරගත්තා. 

ඇමරිකානු ව්‍යවස්ථාව ලෝකයේ තිබෙන කෙටිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතරින් එකක්, නමුත් ඒක කෙටිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නෙවෙයි. ලෝකයේ දෙවැනියට කුඩාම රාජ්‍යය සතුව තමයි ලෝකයේ කෙටිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේ. මොකද්ද ඒ රට? ඒ රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 02 යි. 1962 වසරේදි භාවිතයට ගත් මේ රටේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වචන ගණනින් 3,814 ක්. රටේ නම මොනැකෝ.  

එතකොට ලෝකයේ දීර්ඝතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලියැවිල්ල තියෙන්නේ මේ ලඟපාත. ලඟපාත කිව්වම වටපිට බලන්න එපා, ඒක තියෙන්නේ ලඟපාත තියෙන වෙන රටක. වෙන කොහෙවත් නෙවෙයි ඉන්දියාවේ. 1949 නොවැම්බර් මාසයේ 26 වැනිදා භාවිතයට ගත් ඉන්දියාවේ වර්තමාන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පරිච්ඡේද 22 ක් පුරා ලියැවුණු වගන්ති 444 ක්, උප ලේඛණ 12 ක් සහ සංශෝධන 118 ක් සහිතයි. කෙටිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වචන ගණන 3,814 ක් වෙද්දි දීර්ඝතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා වචන 145,385 ක්. 

ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය වුනේ Constituent Assembly of India නමින් වන ව්‍යවස්ථාදායකය අතින්. මේක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පදානයකිරීම හරහා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව නිදහස්කිරීමේ අරමුණින්  නිර්මාණය වුනු විශේෂ ගණයේ පාර්ලිමේන්තුවක්. මේ සභාව ඉන්දියාවේ නව ව්‍යවස්ථාවේ අන්තර්ගතය තීරණය කරන්න පළමුවරට රැස් වුනේ 1946 වර්ෂයේ දෙසැම්බර් 09 වනදා. එතැන ඉදන් වර්ෂ 02 ක් මාස 11 ක් සහ දින 18 ක් තරම් දීර්ඝ කාලයක් ගතකිරීමෙන් අනතුරුව තමයි මේ සභාව ඉන්දියාව වෙනුවෙන් පළමු ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කරලා අවසන් කරන්නේ. ඉන් අනතුරුව මේ කෙටුම්පත අවසන් විවාදයට ගෙන ආවම එතැනදිත් එයට සංශෝධන 2000 කට වඩා වැඩි ප්‍රමාණයක් එකතුවුන බව සදහන් වෙනවා. 

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකයේ බොහෝ රටවල කේෂ්ත්‍ර අධ්‍යනයන්ට ලක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒකට එක් හේතුවක් තමයි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් රට අභ්‍යන්තරයේ රාජ්‍ය බලය බෙදාහැරීම ස‍දහා ක්‍රියාවේ යෙදවූ  ෆෙඩරල් සහ ඒකීය ආණ්ඩු ක්‍රමයන්හි මිශ්‍ර ක්‍රමය. 1987 වර්ෂයේදි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය ගෙන එද්දි මේ කියන මිශ්‍ර ක්‍රමය සුවිශාල වශයෙන් ආදර්ශයට ගෙන තිබෙන බව බැලූ බැල්මටම වුනත් පැහැදිලි වෙනවා. 

අනෙක් අතට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැලකෙන්නේ A bag of borrowings හෙවත් ලෝකයේ විවිධ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවන්ගෙන් විවිධ ලක්ෂණ එකතු කරගෙන ගොඩනැගුන එකක් වශයෙන්. උදාහරණයක් විදියට ව්‍යවස්ථාවේ පෙරවදන සකස්වෙලා තිබෙන්නේ මුලුමනින්ම එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙරවදන ආදර්ශයට ගනිමින්. ව්‍යවස්ථා දෙකේම පෙරවදන ආරම්භ වන්නේ ‘මහ ජනතාව වන අපි“ කියන අර්ථය දෙන We the people කියන පාඨයෙන්. ඉන්දීය ව්‍යවස්ථාවේ තිබෙන නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය යන සංකල්ප එක්ක බැදුන ප්‍රතිපාදන ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආභාෂයෙන්  ගොඩනැගුනු ඒවා (ප්‍රංශ ආණ්ඩුක්‍රමයේ ආදර්ශ පාඨය වන්නේත් නිදහස, සමානාත්මතාවය, සහ සහෝදරත්වය). ඉන්දීය ව්‍යවස්ථාවේ තිබෙන Directive Principles නමින් වන රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ පරිච්ජේදය අයර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ එන සමාජ-ආර්ථික අයිතිවාසිකම් පරිච්ජේදයෙන් එන කාරණා. 

ශ්‍රී ලංකාවේ දැනට භාවිත වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ රටේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව කියලා බොහෝ දෙනෙක් දන්නවා ඇති. ජනරජ ව්‍යවස්ථාවක් වශයෙන් සැලකෙන්නේ යම් රටක් විසින් ඒ රටේ ස්වාධිපත්‍ය බලය බාහිර පාර්ශවයන්ට පවරන්නේ නැතිව තමන් යටතේ ක්‍රියාත්මක වන ආකාරයට සම්පාදනය කරගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්. මේකේ ප්‍රතිවිරුද්ධ අතට තියෙන්නේ යටත් විජිත ව්‍යවස්ථා සහ ඩොමීනියන් ව්‍යවස්ථා. යටත් විජිත ව්‍යවස්ථාවකින් සිදුවෙන්නේ කිසියම් රටක් පාලනය කරන බාහිර රටක විධායකය හෝ ඒ විධායකය විසින් පත් කරන නියෝජිතයෙකු යටතේ රටක් පාලනයකිරීමට ක්‍රමවිධි සැලසීම. ඩොමීනියන් ව්‍යවස්ථාවක් යම් රටකට උපරිම ස්වාධිපත්‍ය බලය ලබා දෙනවා, නමුත් ඒ බලය භාවිතය සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමේ අවස්ථාව වෙනත් බාහිර රටක් සතුවයි තිබෙන්නේ. ඒ අනුව වර්තමාන ව්‍යවස්ථාව සහ 1972 වර්ෂයේ පනවාගත් පළමු ජනරජ ව්‍යවස්ථාව තමයි අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වූ ජනරජ ව්‍යවස්ථාවන් දෙක. ඊට කලින් අපේ රටේ තිබුනේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමින් එක් ඩොමීනියන් ව්‍යවස්ථාවක් සහ යටත් විජිත ව්‍යවස්ථාවන් කිහිපයක්. 

සමස්තයක් වශයෙන් සැලකුවම ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ක්‍රියාත්මක වුන ආණ්ඩුක්‍රමයන් ගණණ 08 ක් වශයෙන් සැලකිය හැකියි. ශ්‍රී ලංකාව තුළ පිළිගත් සම්ප්‍රදායේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ ආරම්භය 1833 වර්ෂය‍. 1833 වර්ෂයේ ඇරඹි කෝල්බෲක්‌ - කැමරන් ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණයෙන් අනතුරුව 1910 කෲව් - මැකලම් ආණ්‌ඩු ක්‍රමය, 1920 පළමුවන මැනිං, 1924 දෙවන මැනිං, 1931 ඩොනමෝර්, 1947 සෝල්බරි වශයෙන් තමයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය සමන්විත වෙන්නේ.

දේශපාලනය තුළ නිතරම කියැවෙන සංකල්පයක් වශයෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ කියන්නේ අපිට නුහුරැ අදහසක් නෙවෙයි. එතකොට යම් රටක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් හදුන්වන්න නම් මොකක්ද ඒ රටේ දේශපාලනය තුළ තිබිය යුතු මූලිකම හරය? රටක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා තීරණය වෙන්නේ ඒ රටේ රාජ්‍ය පාලනය හැසිරවීම කොයිතරම්නම් සහභාගීත්වමය (Inclusive) සංස්ද්ධියක්ද කියන  කාරණය මත. වෙනත් විදියකින් කියනවානම් ඒ රටේ විධායක කාර්ය සහ ව්‍යවස්ථාදායක කාර්ය ඇතුළත්ව ස්වාධිපත්‍ය බලය හැසිරවීමට මහජනතාව දායක වෙන්නේ කොයි ප්‍රමාණයකටද යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර මතයි ඒ රට ප්‍රජාතන්ත්‍රවාදී  ද නැද්ද යන වග තීරණය වෙන්නේ. 

යම් රටක ස්වාධිපත්‍ය තනි පුද්ගලයෙකුගේ උවමනාවට හැසිරවෙනවානම් ඒක කතිපයාධිකාරී හෙවත් ඒකාධිපති  පාලන ක්‍රමයක්. යම්කිසි පුද්ගලයන් කණ්ඩායමක් හෝ සංවිධානයක් විසින් රටක ස්වාධිපත්‍ය බලය හසුරවනවානම් ඒ රට සමාජවාදී හෝ මිලිටරිපාලනවාදී හෝ පැසිස්ට්වාදී රටක් වියහැකියි. නමුත් ඒ රටේ ජනතාව රටේ ස්වාධිපත්‍ය බලය හැසිරවීමට (සෘජුව හෝ වක්‍රව) දායක වනවානම් අන්න ඒ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. 

ඒ අනුව රටක් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ ඒ රටේ ජනතාවගේ දේශපාලන සහභාගීත්වය තීරණය කරන ඡන්ද බලය මත. රටේ ජනතාවගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, උගත්කම, කතාකරන භාෂාව, ඔවුන් පිළිගන්නා දේශපාලන මතවාද, සංස්කෘතිය හෝ සමෙහි වර්ණය ආදිය බාධාවක් කර නොගනිමින් සියලුම ජනතාවට ඡන්ද බලය හිමිවනවා නම් අන්න ඒ රට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. 

ඒ අතින් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවටත් ගොලීය ප්‍රජාතන්ත්‍රවාදයටත් යන දෙකටම සුවිශේෂී සංධිස්ථානයක්. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව තුළ මුලුදෙන අවස්ථාව වෙන තෙක්ම ශ්‍රී ලංකාව තුල පැවති යටත්විජිත ආණ්ඩුක්‍රම එක්කෝ මහ ජනතාවට ඡන්ද බලය ලබාදුන්නේ නැහැ නැතිනම් ඡන්ද බලය ලබා දුන්නේ රටේ ජනතාවගෙන් සීමිත පිරිසකට පමණයි. මේ යටත් විජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ඡන්ද බලය හිමිවුනේ නිශ්චිත මට්ටමකට අධ්‍යාපනය ලැබූ පිරිමින්ට පමණයි. ඒ වෙනුවට ඩොනමෝර් කොමිසම තීරණය කරනවා උගත්කම, කතාකරන භාෂාව හෝ ස්ත්‍රී-පුරැෂ සමාජභාවය ආදිය නොතකා වයස අවුරැදු 21 සම්පූර්ණ කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය හිමිවිය යුතුබව.  වෙනත් විදියකින් කියනවානම් සර්වජන ඡන්ද බලය (Universal Adult Franchise / Universal Suffrage)  ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදෙන්න  ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1931 දී කටයුතු කරනවා. ඩොනමෝර් සාමිවරයා සහ ව්‍යවස්ථාව සකස් කරන්න දායකවුණු  ඩොනමෝර් කොමිසමේ අනිත් සාමාජිකයන් වන ආචාර්ය ඩ්‍රමන්-ශීල්ස් සහ ෆ්‍රැන්සිස් බට්ලර් මහත්වරුන් සර්වජන ඡන්ද බලය ලාංකිකයන්ට ලබාදෙන්න තීරණය කරද්දි ඒ කාලේ හිටපු ලාංකික ප්‍රභූ දේශපාලඥයින් ගණනාවක් ඒ අදහසට විරුද්ධවුනාලු. ඔවුන්ගේ අදහස වුනේ 1930 දශකය තරම් ඈත කාලෙක සර්වජන ඡන්ද බලය වගේ සියුම්භු දේශපාලන වරප්‍රසාදයක් භුක්ති විඳින්න තරම් ලාංකිකයන් දේශපාලන අතින් දැනුම්වත් නැහැ කියන එක. එතකොට දැන් මේ 2017 ඉන්න ලාංකිකයෝ එහෙම දේශපාලන අතින් දැනුම්වත් ද? 

කොහොම වුනත් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය වෙන්නේ ශ්‍රි ලාංකිකයන්ට සර්ව ජන ඡන්ද බලය ලබාදෙමින්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මකවීම ආරම්භ වෙන්නේ 1933 වසරෙදි. ඉන්දියාවේ ජනතාවට සර්වජන ඡන්ද බලය හිමිවන්නේ එයිනුත් දශක දෙකකට පසුව - 1950 දී. ඒ අනුව ශ්‍රී ලංකාව කියන්නේ ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රට. 





මේ තියෙන්නේ ඩොනමෝර් සාමිවරයා ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කරලා සකස් කළ වාර්තාව අවසන් කළ අවස්ථාවේ ෆේස්බුක් වෙබ් අඩවියේ ඇතිවුන සංවාදයක්. 



බොහෝ දෙනෙක් දන්න දෙයක් තමයි රට රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ලිඛිත (Written) සහ අලිඛිත (Unwritten) වශයෙන් වර්ග දෙකකට බෙදෙන බව. මේ කතාව ඉගෙන ගනිද්දි අපි විශේෂයෙන් ඉගෙන ගන්න තවත් කතාවක් තමයි එක්සත් රාජධානිය එවැනි අලිඛිත ව්‍යවස්ථාවක් මත ක්‍රියාත්මක වන රටක් කියන එක. ඒත් ඒ හැරුණාම අලිඛිත ව්‍යවස්ථාවන් පවත්වාගෙන යන තවත් රටවල් කිහිපයක්ම තිබෙනවා. 


ඒ විදිහේ එක් රටක් තමයි ඊශ්‍රායලය. 1948 දක්වාම පලස්තීන භූමිය පාලනය වුනේ ජාතීන්ගේ සංගමය විසින් සකස්කර සම්මත කරගත් British Mandate for Palestine ලියැවිල්ලට අනුව. මේ ලියැවිල්ලේ සදහන් වුන ආකාරයට පලස්තීන භූමියේ පාලනය බ්‍රිතාන්‍යයන් භාරයේ ක්‍රියාත්මක වුනා. නමුත් ඒ වසරේ මැයි 14 වනදා මේ තත්ත්වය වෙනස් වෙනවා. මැයි 14 වන දා එවකට ලෝක යුදෙව් සංගමයේ විධායක ප්‍රධානයාව සහ පලස්තීනයේ යුදෙව් ඒජන්සියේ සභාපතිවරයාව සිටි ඩේවිඩ් බෙන්-ගූරියන් විසින් ඊශ්‍රායල් රාජ්‍යයක් ප්‍රකාශකිරීමට කටයුතු කරනවා. මේ ප්‍රකාශකිරීම සිදුකරන්නේ Israeli Declaration of Independence නම් විශේෂ ලියැවිල්ල හරහා. මේ ලියැවිල්ලේ කියැවෙනවා 1948 ඔක්තෝබර් 02 වැනිදාට පෙර ඊශ්‍රායල් රාජ්‍ය වෙනුවෙන් ව්‍යවස්ථාවක් පනවලා සම්මත කරගත යුතුයි කියලා. නමුත් Knesset නමින් හැදින්වෙන ඊශ්‍රායල් පාර්ලිමේන්තුවට අද වනතෙක් මේ කාර්යය කරගන්න බැරි වෙලා තිබෙනවා. 

1950 වර්ෂයේදී ඊශ්‍රායල් පාර්ලිමේන්තුව විසින් ගනු ලැබූ හරාරී තීන්දු (Harari decisions) නම් ප්‍රතිපත්ති මාලාවට අනුව ව්‍යස්ථාව, නීතිය සහ අධිකරණය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු කමිටුවක් විසින් යම් යම් අත්‍යවශ්‍ය නීති ලේඛණගත කරලා පනවලා තියෙනවා. නමුත් තවමත් ඊශ්‍රායලය ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැතිව ක්‍රියාත්මක වන රටක්. 

නවසීලන්තයත් ඔය විදියට නොලියවුණු ව්‍යවස්ථාවක් සහිතව ක්‍රියාත්මක වන රටක්. නවසීලන්තයට 1986 වර්ෂයේ සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත සහ තමත් එකගතා ප්‍රකාශන කිහිපයක් හැරෙන්නට පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වශයෙන් ලියැවිල්ලක් නැහැ. 

සවුදි අරාබිය සැලකෙන්නේ නිශ්චිත ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති රටක් විදියට. 1960 වර්ෂයේදී සවුදි අරාබියේ ෆයිසාල් නමැති රජු කුරාණයේ එන මුහම්මද්තුමා විසින් දේශනා කළ සුන්නාහ් නම් සම්ප්‍රදායන් ඒ රටේ ව්‍යවස්ථාව වශයෙන් සලකන බව ප්‍රකාශ කළා. නමුත් කුරාණය පැහැදිලිවම ආගමික ග්‍රන්ථයක් මිස දේශපාලන රෙගුලාසි සමූහයක් නෙවෙයි. 

1992 වර්ෂයේදී සවුදි අරාබිය  Basic Law of Saudi Arabia කියලා ප්‍රකාශනයක් සම්මත කරගත්තා. මේක අණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියක් වශයෙන් සමහර අය සලකනවා. නමුත් මේක පිළිගත් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ලියැවිල්ලක් නෙවෙයි. පරිච්ඡේද 09 ක් සහ වගන්ති 83 ක් සහිත මේ ලියැවිල්ල සම්පූර්ණයෙන්ම ඉස්ලාම් ආගමික ප්‍රතිපත්ති මත ලියැවුණු එකක්. සවුදි පවුල් ඒකකයන්හි ස්වභාවය වැනි අර්ථයක් දෙන ලියැවිල්ලේ 03 වැනි පරිච්ඡේදයේ තිබෙන්නේ ඉස්ලාම් මූලධර්මවලට අනුව සවුදි පවුල් සංස්ථාවන් ගොඩනැගිය යුතු ආකාරය ගැන. 

කැනඩා රජයට ලිඛිත ව්‍යවස්ථාවක් තිබුනත් එරට ආණ්ඩුකරණයේ බොහේ අංග අලිඛිත කොටස්. 1949 දක්වාම හංගේරියාවට තිබුනෙත් අලිඛිත ව්‍යවස්ථාවක්. ඕමානය 1996 වර්ෂය දක්වාත් 1969 -75 කාලයේදී ලිබියාවත් නොලියවුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මත කටයුතු කළ රාජ්‍යයන්. 

2 comments:

  1. i thought he is talking about sl consituation............80% is nonsense ..about other countrys.....disgusting

    ReplyDelete
    Replies
    1. What made you think I am talking about the SL Constitution when I have clearly mentioned that I am going to talk about THE CONSTITUTIONS? And on what grounds you claim that 80% of my article is 'nonsense'? Do you refer to the facts in the content or to the way I have present it? And how on earth an article composed extremely for the purpose of creating awareness makes you "disgusting"? Did you try to print this and eat it?

      Delete