සිංහල භාෂාව ගැන මේ දේවල් දන්නවද?

8/23/2017 10:46:00 AM Prageeth Liyanaarachchi 25 Comments




කලින් වතාවක ඉංග්‍රීසි භාෂාව ගැන මේ දේවල් දන්නවද? කියලා ලිපියක් ලියපු එකේ මට හිතුනා සිංහල භාෂාව ගැනත් ඒ විදියටම ලිපියක් ලියන්න. 

භාෂා විද්‍යාවෙදි සිංහල භාෂාව සැලකෙන්නේ Left-branching භාෂාවක් විදියට. ඒ කියන්නේ වාක්‍ය ගොඩනැගෙන්නේ වමේ සිට ආරම්භ වෙන විදියට. මේ වර්ගයේ බොහෝ භාෂාවල වගේම සිංහල භාෂාවෙත් වචන රටාව (Word order) යෙදෙන්නේ Subject - Object - Verb (SOV) හෙවත් කර්තෘ - කර්මය - ක්‍රියාව යන අනුපිළිවෙලට.  සිංහලයේ වචන රටාව ඉංග්‍රීසි භාෂාවේ වචන රටාව එක්ක සංසන්දනය කරොත් ඔබට පෙනේවි ඉංග්‍රිසි වචන රටාව SVO හෙවත් Subject - Verb - Object අනුපිළිවෙලට යෙදෙන්නක් බව. 

සිංහල අක්ෂර මාලාව ඇත්තටම ගත්තොත් හෝඩියක් හෙවත් Alphabet එකක් නෙවෙයි. භාෂා විද්‍යාවට ව්‍යංජන සහ ස්වර අක්ෂරවල යෙදීම අනුව විවිධ අක්ෂර මාලාවන් වර්ග 03 කට බෙදෙනවා. කිසියම් ශබ්දයක් ලිවීමේදී ව්‍යංජන අක්ෂරවලට සහ ස්වර අක්ෂරවලට එක සමාන අගයක් සහිත වෙනම ඒකක දෙකක් වශයෙන් යෙදෙනවා නම් ඒ වගේ අක්ෂර මාලාවන් Alphabet. උදාහරණයක් විදියට 'Ki' කියන ශබ්දය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න 'K' ව්‍යංජන අක්ෂරයත් 'i' ස්වර අක්ෂරයත් එක සමානවම යෙදෙනවා. නමුත් සිංහල භාෂාවෙන් 'කි' ශබ්දයට 'ක' ව්‍යංජනයත් 'ඉ'  ස්වරයත් යෙදුනත් ඒ ශබ්දය ලිවීමේදී ව්‍යංජනය සහ ස්වර අක්ෂරය කියන දෙකම එකම ඒකකයක් බවට පත්වෙනවා. ඒ නිසා සිංහල අක්ෂර මාලාව වැනි අක්ෂර මාලාවන් සැලකෙන්නේ Abugida එකක් විදියට. 

කලින් සදහන් කළ අක්ෂර මාලාවන් වර්ග 03 න් තුන්වැනි වර්ගය තමයි Abjad කියන්නේ. ඒ කියන්නේ ලිවීම සදහා ස්වර අක්ෂර නොයෙදෙන භාෂාවන්. මුල් හීබෘ වැනි භාෂාවන් මේ වර්ගයටයි අයිති.  

ඉංග්‍රීසි හෝඩියේ අකුරු කීයද කියලා ඇහුවොත් බොහෝ දෙනෙක් උත්තරය දන්නවා. ඉංග්‍රීසි හෝඩියේ අකුරු ටික කියන්න බලන්න කිව්වම ඇස් පියාගෙන හුස්ම ගන්නෙත් නැතුවම කියලා දාන්නත් පුලුවන්. හැබැයි ගොඩක් අය සිංහල හෝඩියේ අකුරු කීයද කියලා දන්නෙත් නෑ, අනුපිලිවෙලට අකුරු ටික කියාගන්නත් බෑ. සමහරවිට ඉතින් ඒකට හේතුව සිංහල අක්ෂර මාලාවේ ස්වභාවිකවම තිබෙන සංකීරණතාවයන් වෙන්නත් පුලුවන්. 

සිංහල භාෂාව ලෝකයේ ඕනෑම භාෂාවක් වගේ භාවිතයත් එක්ක වර්ධනය වුන භාෂාවක්. ඒ නිසා ඉතිහාසය පුරාම පරාස කිහිපයක හෝඩි සිංහල භාෂාවෙ භාවිතා වෙලා තියෙනවා. මුල්ම කාලේ - ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 04 වගේ කාලය දක්වා භාවිතා වුන සිංහල හෝඩිය කියන්නේ පිරිසිඳුම සිංහල හෝඩිය. වෙනත් භාෂාවලින් භාවිතයට එකතු කරගත් බාහිර අක්ෂර මේ හෝඩියේ තිබිලා නෑ. ඒ නිසා ඒ හෝඩිය හදුන්වන්නේ ප්‍රකෘති සිංහල හෝඩිය නමින්. මේ ප්‍රකෘති හෝඩියේ අක්ෂර ගණන 25 යි. අපි අද භාවිත කරන ඈ, ඈ, ඒ, ෆ, උ සහ ඌ වගේ අක්ෂර මේ හෝඩියේ නැහැ. 

ඊලගට එන්නේ සිදත් සඟරා හෝඩිය. 13 වැනි සියවසේ 03 වැනි විජයබාහු රජතුමාගේ කාලයේ දඹදෙනිය රාජධානියේ වාසය කළ පතිරාජ පිරිවෙන්පති වශයෙන් තමන් වහන්සේව හදුන්වාගත් භික්ෂූන් වහන්සේ නමක් තමයි මේ ග්‍රන්ථය ලියලා තියෙන්නේ. සිංහල භාෂාවේ මූලික ව්‍යාකරණ විධි ක්‍රමවත්ව ඉදිරිපත් කළ මේ ග්‍රන්ථය අද පවා සිංහල ව්‍යාකරණ ඉගෙන ගනිද්දි භාවිත කරනවා. සිදත් සඟරාවේ එන හෝඩියේ අක්ෂර 30 ක් තියෙනවා. ශුද්ධ සිංහල හෝඩිය ඊලගට භාවිතයට ආපු සිංහල හෝඩිය. මේකේ අක්ෂර ගණනින් අක්ෂර 32 ක්. අපි අද භාවිත කරන ඇ, ඈ, ඊ වගේ අක්ෂර මුලින්ම භාවිතයට එන්නේ මේ හෝඩියෙන්. 

මේ හෝඩියට පස්සේ පාලි සහ සංස්කෘත භාෂාවලින් ගන්න අක්ෂරත් මිශ්‍රකරගෙන මිශ්‍ර සිංහල හෝඩිය හැදෙනවා. ඒකේ අක්ෂර සංඛ්‍යාව 54 ක්. ඔය ඖ, සෘ, සෘෘ සහ ඝ වගේ අක්ෂර එන්නේ මේ කියන මිශ්‍ර සිංහල හෝඩියෙන්. ඒවගේම ඏ සහ ඐ කියන අද කිසිම තැනක භාවිත නොවන අක්ෂර දෙකත් මේ හෝඩියෙන් තමයි එන්නේ. 

මේ කියන අක්ෂර 54 මිශ්‍ර සිංහල හෝඩියට තවත් අක්ෂර 06 ක් (ඟ,ඦ,ඬ, ඳ, ඹ සහ ෆ) එකතු කරලා ගොඩනගා ගත් නූතන සිංහල අක්ෂර මාලාව තමයි අපේ හෝඩිය. ඒ අනුව අපේ හෝඩියට අක්ෂර 60 යි. මේ තියෙන්නේ ඒ හෝඩිය. රතු වර්ණයෙන් තියෙන්නේ මොන අක්ෂරද නිල් වර්ණයෙන් තියෙන්නේ මොන අක්ෂරද කියලා දන්නවා ඇතිනේ? 


ලෝකයේ දීර්ඝතම අක්ෂර මාලාවට හිමි ගිනස් වාර්තාව දරණ කාම්බෝජයේ කේමර් භාෂාවට අක්ෂර 74 ක් තිබෙනවා. එහෙම බැලුවම සිංහල භාෂාවත් දීර්ඝතම අක්ෂර මාලාවන් සහිත භාෂාවක්. 

වර්තමාන සිංහල හෝඩියේ තියෙන සමහර අක්ෂර කියවන විදිය බොහෝ දෙනා දන්නේ නැහැ. දැන් ඔය අං සහ අඃ අක්ෂර දෙකට කට්ටිය "බින්දුව" සහ "බින්දු දෙක" කියලා කිව්වට ඒවායේ නියම නම් අනුස්වරය සහ විසර්ගය. 'අං' අක්රෂරය හැමවිටම ස්වරයකට පසුව යෙදෙන අක්ෂරයක් නිසා තමයි ඒකට අනුස්වරය කියන නම යෙදෙන්නේ. සමහර අය මූර්ධජ 'ණ' යන්නට කැපිටල් නයන්න කියලා දන්තජ 'න' යන්නට සිම්පල නයන්න කියලා කියනවා කියලා නැසීගිය ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ඩී.එෆ්. කාරියකරවන මහත්මයා වතාවක් ලියලා තිබුනා මතකයි. 

න - ණ ල - ළ භේදය මුල් කරගෙන ලොකු වාද විවාද සිංහල භාෂාවේ තියෙනවා. පේරාදෙණිය ගුරුකුලයේ මහාචාර්ය සිරි ගුණසිංහ මහත්මයා සැලකෙන්නේ සිංහල භාෂාවට නයනු දෙකක් සහ ලයනු දෙකක් අවශ්‍ය නැහැ කියලා ණ සහ ළ භාවිතය සම්පූර්ණයෙන්ම අත්හරින්න යෝජනා කරපු කෙනෙක්. 

හෝඩියේ එන අක්ෂර 60 ට අමතරව අපට තවත් අක්ෂර ආශ්‍රිත සංඛේත 18 ක් තිබෙනවා. මේව හැඳින්වෙන්නේ පිල්ලම් (diacritic) වශයෙන්. හල්කිරීම (්),  ඇලපිල්ල (ා),  ඇදය ( ැ), දිග ඇදය (ෑ), ඉස්පිල්ල (ි), දිග ඉස්පිල්ල (ී), පාපිල්ල (ු), දිග පාපිල්ල (ූ), ගැටය සහිත ඇලපිල්ල (ෘ), ගැටය සහිත ඇලපිලි දෙක (ෘෘ), ගයනුකිත්ත (), දිග ගයනුකිත්ත (), කොම්බුව (‍ෙ), කොම්බුව සහ හල්කිරීම (්‍ෙ), කොම්බු දෙක (‍ෛ) හා කොම්බුව සහ ඇලපිල්ල (ා‍ෙ) යන සංඛේත තමයි අපේ භාෂාවේ පිල්ලම් විදියට ගැනෙන්නේ. 

ඉංග්‍රීසි භාෂාවේ මේ විදියේ පිල්ලම් භාවිතයක් නැහැ. අපි පිල්ලම් භාවිතයෙන් ඇතිකරන ශබ්ද ඉංග්‍රීසියෙදි ව්‍යංජන අක්ෂර එක්ක ස්වර අක්ෂර භාවිතයෙන් පමණක් සිදුකරනවා. ඉංග්‍රීසි භාෂාවේ පිල්ලම් භාවිත වෙන්නේ වචන ගැඹුරින් උච්චාරණය (උදා - acute accent - née) සහ දීර්ඝ උච්චාරණය (උදා - macron - lēad) වැනි අවස්ථාවලදි පමණයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ පිල්ලම් කවි හෝ වෙනත් පද්‍ය රචනා වැනි අවස්ථාවන් කිහිපයකදි භාවිතවුනාට ඒවා භාවිතය සන්නිවේදනයේදි අත්‍යවශ්‍ය නැහැ. නමත සිංහල භෂවේ පල්ලම් සන්නවේදනයෙද අත්‍යවශ්‍ය අංගයක් කියලා මේ වාක‍්‍යය්‍ෙ මුල් කොටස කියවගෙන එනකොට ඔබට වැටහෙන්න ඇති. 

දැන් ඔය පරිඝනකයෙන් සහ යතුරු පුවරුවෙන් සිංහල අකුරු ටයිප් කරන්න භාවිත කරන්නේ විජේසේකර යතුරු පුවරුව කියලා හැමෝම වගේ දන්නවා. කවුද ඔය විජේසේකර? ඇයි මේ සිංහල යතුරු පුවරුවට එයාගේ නම දාලා තියෙන්නේ? ඒක ටිකක් පරණ කතාවක්. ලංකාවට මුලින්ම සිංහල ටයිප් කළ හැකි යතුරුලියනයක් ගෙන එන්නේ 1932 වර්ෂයේ කාර්ගීල්ස් සමාගම විසින්. මේක Imperial Keyboard නමින් ලෝකය පුරා ප්‍රසිද්ධව තිබුණු යතුරුලියනය නිශ්පාදනයක්. ඊට පස්සේ කාලෙක, ඒ කියන්නේ 1940 දශකයේ අගභාගයේදි ක්‍රිස්ටෝ සිංහල යතුරුලියනය, මහා ඹලිම්පියා සිංහල යතුරුලියනය, සහ රාජාලියා සිංහල යතුරුලියනය වගේ එකී මෙකී නොකී යතුරුලියනය අටෝ රාශියක් ලංකාවේ භාවිත වුණා. මේ එක එක යතුරුලියනවල සිංහල අකුරුවලට අදාළව යතුරු පිහිටා තිබුණු සැලැස්ම (Layout) එකිනෙකට වෙනස් නිසා මහා ප්‍රශ්න රාශියක් ඒ කාලේ තිබුණලු. 

මෙන්න මේ ප්‍රශ්න නිරාකරණය කරලා යතුරුලියනයක් සඳහා සම්මත සිංහල අක්ෂර සැලැස්මක් නිර්මාණය කරන්න 1950  දශකයේදී ලංකාවේ ආණ්ඩුව කමිටුවක් පත් කරනවා. මේ කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ ආචාර්ය පණ්ඩිත් නන්දදේව විජේසේකර මහත්මයා. මේ මහත්මයා එවකට ලංකාවේ ලංකාවේ රාජ්‍ය භාෂා කොමසාරිස්වරයා (මූලාශ්‍රය - Language Planning in the Asia Pacific: Hong Kong, Timor-Leste and Sri Lanka, 221 පිටුව). ඒ වගේම එතුමා ලන්ඩන්, කේම්බ්‍රිජ්, වියානා, කල්කටා වැනි ලොව පිළිගත් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබූ ලතින්, ප්‍රංශ,ජර්මන්, හින්දි, බෙංගාලි යනාදි වශයෙන් භාෂා දොළහක් පමණ කතා කරන්න පුළුවන්කම තිබූ කෙනෙක්. බොහෝ විද්වතුන් පිළිගන්නා විදියට ආචාර්ය විජේසේකර මෙරට බිහිවුණ ප්‍රථම සිංහල මානව විද්‍යාඥයා. ආචාර්ය විජේසේකර විසින් ප්‍රධානත්වය දැරූ කමිටුව විසින් නිර්මාණය කළ සිංහල යතුරුලියන සැලැස්ම තමයි අදටත් භාවිතවන සම්මත සිංහල යතුරුලියන සැලැස්ම. 

සිංහල භාෂාවේ එක්තරා අක්ෂරයක් තියෙනවා. මේ අක්ෂරය වචනයක මුලට යෙදිලා ආරම්භ වන වචන තියෙන්නේ දෙකක් විතරයි. ඒ අක්ෂරය 'ණ' යන්න. වචන දෙකෙන් පළමු වචනය ණහවා. මේ වචනයේ අර්ථය බල්ලා. වෙන විදියකට කියනවා නම් ඒක බල්ලා, සුනඛයා හෝ කුක්කා වගේ වචනවලට සමාන පදයක්.  'ණ' යන්න යෙදිලා පටන් ගන්න වචන දෙකෙන් අනිත් වචනය මොකද්ද කියලා වැඩි වෙලා කල්පනා කරන්න ඕන වෙන එකක් නෑ. 



සිංහල භාෂාවේ අක්ෂර බොහෝ දුරට වෘත්තාකාර හැඩ ගන්න අක්ෂර. මේකට හේතුව අතීතයේ ලිවීම සඳහා භාවිතා කළ පුස්කොල පොත් සහ පන්හිඳ. තල් කොල ආශ්‍රිතව තනාගත් මේ පුස්කොලවල පන්හි‍ෙඳන් සරල රේඛා සටහන්කිරීමේදී පුස්කොලය ඉරී යන්නට ඉඩ ඇති නිසා තමයි සිංහල භාෂාව විකාශනයවීමේදී කවාකාර හැඩතල නිර්මාණය වුනේ. සමස්ත සිංහල අක්ෂර මාලාවේම සෘජු රේඛාවන් යෙදෙන අක්ෂර 06 ක් විතරයි (අ, ආ, ඇ, ඈ, අං සහ අඃ). මේ අක්ෂර 06 ම 'අ' කියන මූලික හැඩය අනුව ගොඩනැගෙන අක්ෂර. කොහොම වුනත් මේ කවාකාර අක්ෂර හැඩතලවල වෙනත් සෘජු රේඛා වැඩිපුර භාවිත කරන අක්ෂරවලට වඩා සුන්දරත්වයක් තියෙනවා. ඒ නිසාම වෙන්න ඇති මෙන්න මෙයාලා හිතනවා සිංහල ලෝකයේ සුන්දරම භාෂාවලින් දෙවැනි භාෂාව කියලා. 

පරිඝනකයේ සිංහල යුනිකෝඩ් යතුරු පුවරුව ක්‍රියාත්මක කරලා Crrl + Alt + " යතුරු මිශ්‍රණය ටයිප් කරලා බලන්න මොකද්ද එන්නේ කියලා.  මෙන්න මේ සංඛේතය තමයි එන්නේ. ඕක නිකන් ලස්සනට තියෙන හැඩතලයක් නෙවෙයි, ඕක සිංහලයේ අද්‍යතන භාවිතයේ නොමැති පැරණි විරාම ලක්ෂණයක්. නැවතීමේ තිත කියන විරාම ලක්ෂය භාවිත වෙන ආකාරයට තමයි ඔය සංඛේතය භාවිත වුනේ. මේ සංඛේතය නමින් 'කුන්ඩලිය'

සිංහල භාෂාවත් එක්ක දැන් හරි හරියට ඉංග්‍රීසි පද යෙදෙනවානේ. ඔබට නිරීක්ෂණය වෙලා තියෙනවාද දන්නේ නෑ මේ යෙදෙන බොහෝ ඉංග්‍රීසි පද එක්ක අනිවාර්යයෙන්ම යෙදෙන සිංහල පදයක් තිබනෙවා. ඒ තමයි 'එක' කියන වචනය. උදාහරණයක් විදියට "මේ ඔතන TV එක ඉස්සරහා නිකන් බලාගෙන ඉන්නේ නැතිව ඇවිත් Sink එක ලග Tap එක හදලා දෙන්න නැත්නම් ගිහින් Dinner එක එලියෙන් අරගෙන එන්න." ඇයි අපි ඉංග්‍රීසි පදවලට පසුව ඒ වගේ 'එක', 'එකේ', 'එකට' වගේ වචන යොදාගන්නේ?

අපි යුරෝපීය භාෂාවන්ගෙන් අරගෙන සිංහල විදියට ගොඩනගාගත්ත වචන තියෙනවා වගේම සිංහල වචන කිහිපයකුත් සුද්දෝ ඉංග්‍රීසි භාෂාවට අරගෙන තියෙනවනේ. ලංකාවට යෙදෙන සෙරන්ඩිබ් කියන නම අසුරින් ගොඩනැගුණු ඉංග්‍රිසි වචනයක් තිබෙන බව මම කලින් කියලා ඇති. ඔස්ට්‍රේලියාවේ ඉන්න අයයි ලංකාවේ සමහර අයයි දන්නවා ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙන බඩගිනි ටවුන් එක ගැන. දැන් ඔය Tourmaline කියලා ඛණිජ ද්‍රව්‍යයක් තියෙනවා. මේ නම ඉංග්‍රීසියට එකතු වෙලා තියෙන්නේ 'තුරමලී' සහ 'තෝරමල්ලි' කියන වචන ආශ්‍රෙයන්. 

ඒ වගේම ඔය B1 විටමින් ඌනතාවය නිසා ශරීරරයේ  ඇතිවෙන අප්‍රාණිකතා රෝගයට යෙදෙන Beriberi කියන නම එන්නේ (ඒ රෝගය වැඩියෙන්ම තියෙනවා කියලා සැක කරන්න පුලුවන්) සිංහල මිනිස්සුන්ගේ භාෂාවේ එන 'බැහැ' 'බැරි' වගේ වචනවලින්. තව වචනයක් ඔය වගේ තියෙනවා 'Aswaddumization' කියලා. මේක එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක මහත්මයා තමයිලු මුලින්ම භාවිත කළේ. අස්වැද්දීම කියන වචනය ආශ්‍රිතවයි ඒක එන්නේ. නමුත් මේක ඔක්ස්ෆර්ඩ් වැනි පිළිගත් ඉංග්‍රීසි ශබ්දකෝෂවල දකින්නට නැහැ. තව බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා 'Kachcheri' කියන වචනයත් සිංහලයෙන් ඉංග්‍රීසියට ගිය වචනයක් කියලා. නමුත් ඇත්තටම කච්චේරි කියන වචනයේ ප්‍රභවය තියෙන්නේ හින්දි භාෂාවේ. 

සිංහල භාෂාව වෙනත් ඉන්දු-ආර්ය භාෂාවන් ආශ්‍රෙයන් සංවර්ධනය වුනා වගේම තවත් භාෂාවන් කිහිපයක වර්ධනයටත් සිංහල භාෂාව දායක වෙලා තිබෙනවා. මේක භාෂා විද්‍යාවට අනුව සැලකෙන්නේ ඒ ඒ භාෂාවන්ට තිබෙන ඥාතී භාෂාවන් වශයෙන්. ඒ කියන්නේ එක් භාෂාවකින් සම්භවය ලබන වෙනත් භාෂාවන් ගැන. ඒ අනුව සිංහල භාෂාවෙන් සම්භවය ලැබූ සිංහල භාෂාවට නෑකම් කියන තවත් භාෂාවන් තියෙනවා. ඔය කියන භාෂා අතරින් ප්‍රසිද්ධම එක තමයි මාලදිවයින් ජනතාවගේ භාෂාව වන දිවෙහි භාෂාව. ක්‍රිස්තු පූර්ව 03 වැනි සියවස කාලයේ පැවති හෙළ, හෙළු හෝ එලු වශයෙන් හදුන්වන සිංහල භාෂාවේ ආදීතම මුහුණුවරකින් තමයි දිවෙහි භාෂාව සංවර්ධනය වෙන්නේ. ඒ වගේම Macanese Patois නමින් හැදින්වෙන මිශ්‍ර භාෂාව (Creole language - භාෂා කිහිපයක් මිශ්‍රව සැදුනු භාෂාවක්) සංවර්ධනයටත් මැලේ සහ පෘතුග්‍රීසි වැනි භාෂාවන් එක්ක සිංහල භාෂාවත් හරි හරියට දායක වෙලා තිබෙනවා. මැකාවූ රාජ්‍යෙය් පෘතුගීසී ජාතිකයන් විසින් පාලනය කළ සමහර ප්‍රදේශවල අදටත් මේ භාෂාව භාවිත වෙනවා, නමුත් ඉතාම සුලු ප්‍රමාණයකින්. 

සිංහල භාෂාවත් එක්ක සංඛ්‍යා ලිවීමේදී අපි භාවිත කරන 0, 1, 2, 3 . . . ආදී සංඛ්‍යා අපේ නෙවෙයි අරාබියේ අයගේ සංඛ්‍යා ක්‍රමය කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි ඔය අරාබි අංකන ක්‍රමයට කලින් පිරිසිදු සිංහල අංකන ක්‍රමයකුත් තිබුනා. අයිරිෂ්-ඇමරිකන් භාෂාවේදියෙකු වන මයිකල් එවර්සන් තමයි මේ සිංහල අංකන ක්‍රමය ගැන කතාව මෑතකදි එලියට ගත්තේ. මේ තියෙන්නේ ඒ කියන සිංහල අංකන ක්‍රමය. 


එවර්සන් මේ කියන සිංහල අංකන ක්‍රමයේ හැඩතල සිංහල යුනිකෝඩ් පද්ධතියට එකතු කරන්න කියලා Unicode Consortium එකට යෝජනාවලියක් (Proposal to add archaic numbers for Sinhala to the BMP of the UCS) ඔහු විසින්ම ඉදිරිපත් කරා (The Unicode Consortium කියන්නේ යුනිකෝඩ් ප්‍රමිතිය භාරව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය). ඒ අනුව 2014 ජූනි මාසයේදී නිකුත් කළ යුනිකෝඩ් 7.0 වන සංස්කරණයට මේ අංකන ක්‍රමය එකතු කරලා තිබෙනවා. 

සිංහල භාෂාව ගත්තම ප්‍රාදේශීය ව්‍යවහාර සෑහෙන්න විවිධයි. ඔය ප්‍රාදේශීය ව්‍යවහාර රටාව අතින් ගත්තම වැඩියෙන්ම අපහසුතාවයට පත්වෙන්නේ මාතර මිනිස්සු. මක්කටෙයි ඉතින් ඒ කතා. විජය - මාලිනී සහ රෝයි - සුමනා වගේ ජනප්‍රිය නලු නිළියන් රගපෑ 'මේ දෑස කුමටද' චිත්‍රපටිය බලන්න මාතර මිනිස්සු ආවේම නැහැයි කියනවනේ. හෝල් එකට මොන පින්තූරේ (චිත්‍රපටිය) ආවත් ආසාවෙන් ඒක බලන මාතර සිනමාලෝලීන් 'මේ දෑස කුමටද' චිත්‍රපටයේ දැවැන්ත ප්‍රචාරක පුවරුව දිහා බුකවාගෙන (නිකන් බලාගෙන ඉදලා) හැරිලා යනවලු. පස්සේ සිනමා ශාලාවේ මැනේජර් උන්නැහේ ප්‍රචාරක පුවරුව වෙනස් කරාලු ‘මේ දෑස මක්කටෙයි' කියලා. එතකොට ඔන්න ආවලු සෙනග සූ ගාලා. 

මාතර මිනිස්සුන්ට තමන්ගේ භාෂා ව්‍යවහාරය නිසා නොසෑහෙන්න අපහාස වෙනවා තමා. විෂේශයෙන් කොළඹ රටේ උදවිය තමයි එහෙම කරන්නේ. උපන් ගම පිට පළාත්වල උනත් පස්සෙන් පහු කොළඹට ගාල් වෙච්ච සමහර අයත් අනේ මන්දා ඉතින් ඒ ගොඩේමයි. හැබැයි ඉතින් මේ කොදෙව්වේ මාතර බත් කඩයක් නැති එක ටවුමක් ඇතෙයි? 

මොනවා කරත් මාතර මිනිස්සුන්ගෙන් "ඊයේ පොල් ලෙලි ගැහුවද?" කියලා අහන්න එපා. ඒක අසභ්‍ය අර්ථයක් දෙන ප්‍රශ්නයක්. අහන්න ඕනම නම් "ඊයේ පොල් ඔයව්වද?" කියලා ඇහුවට කාරි නෑ. 

ඔය බදුල්ල පැත්තේ මිනිස්සු අහන්නේ නැහැනේ 'කෑවද?' 'බිව්වද?' කියලා. එයාලා කරන්නේ 'කෑවා..?' 'බීවා..?' කියලා ඇදලා කතා කරලා ඒ ප්‍රශ්නය අහන එක. අපි 'ඇත්තද?' කියලා අහනවා වගේ බදුල්ලේ සමහරු යමක් තහවුරු කරගන්න 'හා ඔව් ද?' කියලා අහනවනේ. නුවර පළාතේ කියන්නේ "ඔයාලා මාළිගාවට යන්ට කලින් දවල්ට කාලා ඉන්ට ඈ" කියලා. අංග පුලාවට ඉන්න (රූමත්නුවර මැණිකේ කෙනෙක් ඔහොම කිව්වම නොකා යන්න හිතෙන්නෙම නෑ. අපේ අම්මාගේ ගම නුවර. නුවර අපේ ආච්චි අපේ අම්මට කතා කරන්නේ 'අක්කුන් දුව' කියලා. නුවර පළාතේ බොහෝ අම්මලා තමන්ගේ දෝණියැන්දලට ඔය නමින් කතා කරනවා මට ඇහිලා තියෙනවා. මොකද්ද ඇත්තටම ඔය 'අක්කුන් දුව‘'කියන නමේ තේරුම? 

වතාවක් මම ගියා අම්බලන්ගොඩ මගේ යාලුවෙක්ගේ ගෙදර. ඒ ගිහින් ඉතින් යාලුවත් එක්ක කතා කරමින් ඉන්නකොට යාලුවගේ අම්මා ඇවිත් "ලොකු පුතේ මම මල්ලි හන්දියට එහාට කරලා ඉක්මනට එන්නම්" කියලා මගේ යාලුවගේ බාල සහෝදරයත් එක්ක ගෙදරින් පිටත්වුනා. වෙන පළාත්වල 'ඇරලවලා එන්නම්' හෝ 'ගිහින් දාලා එන්නම්' කියනවා වගේ අම්බලන්ගොඩ සමහර අය කියන්නේ 'එහාට කරලා එන්නම්' කියලා.  

කුරුණෑගල බස් නවත්තන තැන් නෑ කියලා දන්නවද? එහේ තියෙන්නේ 'බස් හිටෝන තැන්'. මොනරාගල අය දන්නවා ඇති "ඇටි කුකුලා බුග්ගහන වෙලාවට" අවදි වෙන්න ගිහාම කොච්චර කම්මැලි හිතෙනවද කියලා. 

ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන් දෙකෙන් වඩාත්ම සුන්දර සහ උසස් භාෂාව මොකද්ද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් මම නිසැකවම නම් කරන්නේ සිංහල භාෂාව. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකම හොඳින් අධ්‍යනය කරනකොට පැහැදිලි වෙන දෙයක් තමයි ඉංග්‍රීසි භාෂාව අර්ථ පැහැදිලි කරන (Explaining language) භාෂාවක්. නමුත් සිංහල භාෂාව අර්ථ නිරූපනය කරන (Expressive language) භාෂාවක්. මේ භාෂා දෙනෙක් අදට ගැලපෙන වඩාත් පොහොසත් වදන් මාලාවක් තිබීම අතින් සහ ප්‍රායෝගිකභාවය අතින් ඉංග්‍රීසිය ඉදිරියෙන් තිබෙන බවට වාදයක් නැහැ. නමුත් සිංහල භාෂාවේ වචනවලට ගැබ් කරන්න පුලුවන් හැඟීම් ඒ ආකාරයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙදි කරන්න බැහැ. උදාහරණයක් විදියට "ඇයට ඇඬුනා" කියන වාක්‍ය ඛන්ඩයේ තිබෙන හැඟීම්බර ස්වභාවය ඉංග්‍රීසියෙන් She teared up හෝ She broke into tears යනුවෙන් කියනකොට නැති බවයි මට හිතෙන්නේ? අනිත් අයටත් හිතෙන්නේ එහෙමමද? ඒක අපේ මව් භාෂාවට අපි දක්වන සමීප බව නැත්නම් හුරුව නිසා දැනෙන හැඟීමක්ද? 

25 comments:

  1. මට හම්බ උනා ජපනෙක් ඌ භාෂා එක්ස්පර්ට් කෙනෙක්. භාෂා 20ක් විතර හොඳට (සින්හලත් ඇතුලුව) කතා කරනවා. තව 20ක් විතර සාමාන්‍යයෙන් පුලුවනිලු.
    මිනිහා කියනවා හැඟීම් ප්‍රකාශනයෙදි (Expression of feelings) වඩාත්ම පොහොසත් ඉන්ග්‍රීසිලු, දෙවෙනි තැන ජපන්ලු.
    ජපන් භාෂාවත් SOV නිසා සහ තවත් සමානකම් බොහොමයක් තියෙන නිසා මිනිහ කියන්නෙ සින්හල හරිම ලේසියි මාස 3කදි විතර ඉගෙන ගන්න පුලුවන් උනා කියල.
    මේ මනුස්සයගෙ රැකියාව මොකද්ද දන්නවද.
    ෂිම්පනි ඔකෙස්ට්‍රා එකක අර මොකද්ද තඩි ඉන්ස්ටෘමන්ට් එක, ෂෙලෝද කොහෙද අන්න ඒක ප්ලේ කරනවා. නිතරම ලෝකෙ වටේ යනවා.
    ඒ අතරෙ එක එක භාෂා ඉගෙනීම එයාගෙ හොබි එක.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් හිතෙනවා මම සිංහල භාෂාව හැගීම් ප්‍රකාශනය අතින් ඉදිරියෙන් ඉන්නවා කියලා කිව්වේ ඒක මට වඩාත්ම හුරු පුරුදු මව් භාෂාව නිසා වෙන්න ඇති කියලා. භාෂා 20 ක් විතර හොදට ඉගෙන ගත්ත ජපනෙක් ඉංග්‍රීසි භාෂාව ගැන එහෙම කිව්වානම් ඒක නිකමට කිව්ව කතාවක් වෙන්න බෑනේ.
      භාෂා ඉගෙන ගන්නවා කියන්නේ හොද විනෝදාංශයක්. මම එක ලිපියක කියවලා තියෙනවා අපේ Problem Solving Skills වැඩිදියුණු කරගන්න හොදම විනෝදාංශය භාෂා ඉගෙන ගන්න එක කියලා.

      Delete
  2. හොඳ වියුණු සටහනක් මිත්‍රයා, ඇත්තෙන්ම සිංහල මව් බස වුණු ගොඩක් අය සිංහල බස ගැන නොදන්නා දේ බොහෝයි. ඉතා කෙටියෙන් මෙහෙම කිව හැකියි;

    "යූ සී, ද පිටරට පීපල් නෝව්ස් අපේ දේස් අගේ, බට් අවර් පේපල් ඩෝන්ට් නෝ අපේ රෙද්දවල්වල අගේ, ඉස්න්ට් ඉට්? "

    ඒ වගේම වචන කිහිපයක් වෙනුවට යොදන තනි වචන සිංහල භාෂාවේ දක්නට ලැබෙනවා නේද? උදා- පාද හතරක් ඇති - සිවුපා, බිය ගන්නා සුළු - බියසුළු, පව්ලක උපන් පළමු දරුවා - කුළුඳුල්, මිලකළ නොහැකි - අමිල, ගසක අතු (බල) බෙදෙන තැන - දෙබල වගේ ඒවා?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගයකිරීමට.
      //"යූ සී, ද පිටරට පීපල් නෝව්ස් අපේ දේස් අගේ, බට් අවර් පේපල් ඩෝන්ට් නෝ අපේ රෙද්දවල්වල අගේ, ඉස්න්ට් ඉට්? "// යූ ආර් හන්ඩ්‍රඩ් පසන්ට් රයිට් මයි ෆ්‍රෙන්ඩ්.

      ඔව් මේ වචන කිහිපයක් වෙනුවට තනි වචන යෙදෙන එක සිංහල භාෂාවේ හරිම සුන්දර භාෂා රටාවක්. මට ඒක අමතක වුනා. ස්තූතියි ඒක මෙතන සටහන් කරාට.

      Delete
  3. http://www.unicode.org/review/pr-96.sinhala.gif

    Good guideline but missed Sinhala n computer

    See www.akuru.org

    ReplyDelete
  4. ඉතාමත්ම වැදගත් ලිපියක්.

    ReplyDelete
  5. ඉතාම වැදගත් ලිපියක්. සිංහල භාෂාව පිළිබද උගත් බොහෝ දේ යළි මතක් කර ගැනීමටත්, අලුත් දේවල් ගොඩාක් දැනගැනීමටත් හැකි වුණා. බොහොම පිං මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලිපිය අගයකළාට.

      Delete
  6. ඉතාම වැදගත් ලිපියක්. සිංහල භාෂාව පිළිබද උගත් බොහෝ දේ යළි මතක් කර ගැනීමටත්, අලුත් දේවල් ගොඩාක් දැනගැනීමටත් හැකි වුණා. බොහොම පිං මිත්‍රයා

    ReplyDelete
  7. ඉහත තොරතුරු වලට මූලාශ්‍ර මොනවාද

    ReplyDelete
    Replies
    1. History of the Evolution of the Sinhala Alphabet by Paul M. Jayaranjan
      Unicode Working Group Document (Accessed from http://www.unicode.org/L2/L2007/07002r-n3195r-sinhala.pdf)
      ancientscripts.com (Accessed from http://www.ancientscripts.com/search.php?q=sinhala) සහ තවත් පුවත්පත් සහ සගරා ලිපි ගනනාවක්. මූලාශ්‍ර අවශ්‍ය කොටස විශේෂයෙන් සදහන් කරනවානම් මූලාශ්‍ර දක්වන්න පුලුවන්.

      Delete
  8. ගොඩක් දේවල් ඉගනගත්තා, ස්තුතියි!

    පොඩි ප්‍රශ්ණයක් ...
    පහත ලිපියේ නම් සිංහල කොහොමටවත් නෑ. වැරදීමක් ද? නැතිනම් ලිපිය අළුත් උනාද ?

    "toptens.com වෙබ් අඩවිය කියන විදියට සිංහල ලෝකයේ සියලුම භාෂාවලින් 05 වෙනියට තිබෙන මිහිරිතම සහ උසස්තම භාෂාව."

    ReplyDelete
    Replies
    1. ලිපිය අගය කළාට ස්තූතියි. ලිපියේ අඩුපාඩුවක් ‌පෙන්වාදුන්නාට බොහොමත්ම ස්තූතියි. toptens.com වෙබ් අඩවියේ ලිපිය පස්සෙ කාලෙක අප්ඩේට් වෙලා වගේ...අදාල තොරතුර ඉවත් කරලා මගේ ලිපිය නිවරදි කරා..බොහොම ස්තූතියි.

      Delete
  9. ගොඩක් වැදගත්

    ReplyDelete
  10. ගොඩක් වටින ලිපියක්...♥️♥️

    ReplyDelete
  11. මමත් එකඟ වෙනවා ඒ කතාවට෴අපේ සිංහල භාෂාව එතකොට හින්දි භාෂාව වගේ භාෂා වලින් හොඳින්ම හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් කියලයි මං හිතන්නේ෴ ඉංග්‍රීසි,කොරියානු,චීන,එතකොට ජපන් වගේ භාෂා භාවිතයේදී අපි සංවාදය ඇහුවත් ඒකෙන් අදහස් කළේ මොකද්ද කියන එක තේරුම් ගන්න ටිකක් වෙලා යනවා. ඒත් අපේ මව් භාෂාව,හින්දි වගේ භාෂා වල සංවාදය ඇහෙනකොටම මොන වගේ දෙයක්ද මෙයා කියන්නෙ කියලා අපිට එවෙලෙම හිතා ගන්න පුළුවන්.

    ReplyDelete
  12. ( ්‍ර ) රකරාංශය පිල්ලමක් නොවේද?

    ReplyDelete
  13. ( ්‍ය ) යන්සය ( ර්‍) රේපය නැතිව සිංහල ලියන්න පුළුවනි. ( ්‍ර ) රකරාංශය නැතිව සිංහල ලියන්න බැරි නිසා ඇහුවෙ.

    ReplyDelete
  14. ලෝකයේ හොදම හැගීම් ප්‍රකාශනය කල හැකි භාශාව සිංහල එවාගේම ලොව පුළුල්තම වග් කෝෂය හිම් භාශාව ලොව වඩාත්ම සංව්ධිත භාශාව වඩාත්ම විද්‍ය්නුකුල භාශාව හා හොඩිය ලොව නිනිර්මාණශීලිම හෝඩිය ලෝකයේ ලස්සනම අකුරු විශ්ව භාශාව විමට වඩාත්ම සුදුසු අපේ මව්බස වන සිංහල

    ReplyDelete
  15. කසුන් සංජයSeptember 26, 2020 at 11:55 PM

    ලොව වවඩාත්ම හොදම හැගීම් ප්‍රකාශනය කල හැකි භාශාව සිංහල ලොව වඩාත්ම වීදානුකුල භාෂාව සිංහල ලොව වඩාත්ම පුළුල්තම වග් කෝෂය හිම් භාශාව සිංහල ලොව වඩාත්ම සංසංව්ධිත භාශාව සිංහල ලොව වඩාත්ම නිර්මාණයශිලි හෝඩිය සිංහල විශ්ව භාශාව විමට වඩාත්ම සුදුසු භාශාව අපේ මව්බස වන සිංහල

    ReplyDelete
  16. හරි ම වටිනා අදහස් සහිත සටහනක්. අයියා, අක්කා,මල්ලි වගේ ඥාතිකම දැක්වෙන වචන හැදුණු හැටි ගැනත් තොරතුරු ලියනවා නම් හරි වටිනවා. නිකමට මෙන් ඒවායේ මූලාශ්‍රය හෙව්වා. හමු වුණේ නෑ.

    ReplyDelete