20 ට කලින් දැන් තියෙන මැතිවරණ ක්‍රමය දැනගෙන ඉමු

6/19/2015 05:35:00 PM Prageeth Liyanarachchi 1 Comments



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට නියමිත 20 වන සංශෝධනය මේ ලිපිය ලියන අවස්ථාව වනවිට ප්‍රසිද්ධව අවසන්. කලින් අවස්ථාවක 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැන ඉදිරිපත් කළ ආකාරයේ සමාලෝචනයක් 20 වන සංශෝධනය සම්බන්ධයෙනුත් ඉදිරිපත් කරන්න මම උත්සාහ කළා. 

මේ සමාලෝචනය සකස්කරගෙන යද්දි මට හිතුන දෙයක් තමයි දැනට ලංකාව තුළ ක්‍රියාත්මක සමානුපාතික නියෝජනය සහිත මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අවබෝධයක් නැතිව 20 වන සංශෝධනයෙන් ඉදිරිපත් කරන නව විධිවිධාන තේරුම් ගැනීම කෙනෙකුට පහසු නොවන වග. ඒ නිසා දැනට පවතින මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාර විග්‍රහයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. 

බොහෝ දෙනා ලංකාවේ මැතිවරණ ක්‍රමය ගැන කියන්න දන්නේ ඒක සමානුපාතික ක්‍රමයක් කියන කාරණය විතරයි. නමුත් ලංකාවේ මැතිවරණ ක්‍රමය බොහෝ සෙයින් සංකීර්ණ ක්‍රමයක්. ඒ සංකීර්ණත්වය එන්නේ මන්ත්‍රී ආසන බෙදීයන ආකාරය, නාමකරණයෙන් මන්ත්‍රීවරයන් පත්කිරීම, මනාප ක්‍රමය සහ මනාප ඡන්ද මත පත්වන මන්ත්‍රීවරයන් තීරණයකිරීම කියන සාධක මත. 

ලංකාවේ පාර්ලිමේන්තුව වර්තමානය වනවිට මන්ත්‍රී ආසන 225 ක සංයුතියකින් සමන්විත ඒක මාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් බව අපි හැමෝම දන්නවා. නමුත් 02 වැනි ජනරජ ව්‍යවස්ථාවට[1] ඉදිරිපත් කළ 14 වැනි සං‍ශෝධනය බලාත්මක වුන අවස්ථාව  දක්වාම ලංකා පාර්ලිමේන්තුවේ තිබුනේ ආසන 196 යි. සමාරම්භක 02 වැනි ජනරජ ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වුනේ "අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 196 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් වන්නේය." වශයෙන් (62(1) අනුවගන්තිය). 

14 වැනි සංශෝධනයෙන් තමයි ලංකාවේ මැතිවරණ ක්‍රමය තුළට ජාතික ලැයිස්තුව නමින් නාමකරණය හරහා මන්ත්‍රීවරයන් 29 ක් තේරී පත්වන ක්‍රමය පිවිසෙන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 196 කට පමණයි ඡන්දයෙන් නියෝජිතයන් තේරී පත්වෙන්නේ. දැන් මේ ආසන 196 ගැන ටිකක් සංකීර්ණ වෙනම කතාවක් තියෙනවා. 

ශ්‍රී ලංකාව පළාත් 09 ක් තුළට සංවිධානය වුනු පරිපාලන දිස්ත්‍රික්ක 25 කින් යුක්තයි. මේ පළාත් 09 සීමා නීර්ණය කොමිෂන් සභාව විසින් බෙදා වෙන් කළ මැතිවරණ දිස්ත්‍රික්ක 22 කින් සහ ඒ දිස්ත්‍රික්ක තුළ ඇතුළත් ආසන 160 කින් යුක්තයි. මේ කියන මැතිවරණ දිස්ත්‍රික්ක සියල්ල අතරින් 20 ක්ම ඒ ඒ නමින් තිබෙන පරිපාලන දිස්ත්‍රික්කයන්ට සමානයි. නිදසුනක් විදියට මාතර මැතිවරණ කොට්ඨාසය වෙන්නේ මාතර පරිපාලන දිස්ත්‍රික්කය. නමුත් ඉතිරි දෙක වෙනස්. ඒ අනුව යාපනය මැතිවරණ කොට්ඨාසයට යාපනය සහ කිලිනොච්චිය පරිපාලන දිස්ත්‍රික්ක 02 කම අන්තර්ගතයි. වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයට මුලතිව්, මන්නාරම සහ වව්නියාව කියන පරිපාලන දිස්ත්‍රික්ක අයත්.

කලින් සඳහන් කළ ආසන 196 න් ආසන 160 ක් මේ මැතිවරණ දිස්ත්‍රික්ක අතර සෘජුවම බෙදී යනවා, ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 වන ව්‍යවස්ථාවෙන් දක්වා තිබෙන විධිවිධානවලට අනුව. මේ විධිවිධානවලට අනුව  ඒ ඒ මැතිවරණ දිස්ත්‍රික්කයට ඉහත ආසන 160 න් හිමි මන්ත්‍රී ආසන ගණනයකිරීමේදී පරිමිත සංඛ්‍යාව (Qualifying number) නම් අගයක් භාවිතා කරනවා. මේ පරිමිත සංඛ්‍යාව වශයෙන් දැක්වෙන්නේ දිවයිනේ සියලුම ඡන්දහිමියන්ගේ සංඛ්‍යාව 160 න් බෙදීමෙන් ලබා ගන්නා අගය (98(4) අනුවගන්තිය). ඉන්පසුව ඒ ඒ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් ගණන ඉහත කී පරිමිත සංඛ්‍යාවෙන් බෙදීමෙන් ලැබෙන අගයේ පූර්ණ සංඛ්‍යාව තමයි ඒ දිස්ත්‍රික්කයට හිමි ආසන සංඛයාව (98(5) අනුවගන්තිය). 

නිදසුනක් විදියට 2014 ඡන්ද හිමි නාමලේඛනයට[2] අනුව දිවයිනේ ලියාපදිංචි සමස්ත ඡන්දදායක සංඛ්‍යාව 15,044,490 ක්. මේ අගය 160 න් බෙදීමෙන් ලැබෙන පරිමිත සංඛ්‍යාව 94,028. මාතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 623,818. මේ සංඛ්‍යාව පරිමිතයෙන් බෙදීමෙන් ලැබෙන 6.634 ක අගයේ පූර්ණ සංඛ්‍යාව වශයෙන් මාතර දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 07 ක් හිමිවෙනවා. 

මේ ආසන 160 ට අමතරව තවත් ආසන 36 ක් පළාත් පදනමෙන් බෙදී යනවා. ඒ අනුව පළාතකට ලැබෙන මන්ත්‍රී ආසන උපරිමය 04 ක් වන ආකාරයට පළාතේ ඒ ඒ දිස්ත්‍රික්ක අතර මේ මන්ත්‍රී ධූර බෙදාහැරිය යුතුයි. ඒ බෙදී යන ආකාරය තීරණය කරන්නේ සීමා නීර්ණය කොමිෂන් සභාව (96(4) අනුවගන්තිය). 

දැන් කිසියම් මැතිවරණ දිස්ත්‍රික්කයකට හිමිවන මන්ත්‍රී ආසන ගණන 196 කොපමණක්ද කියලා තීරණය වෙන්නේ දිස්ත්‍රික් පදනමින් සහ පළාත් පදනමින් හිමිවන ආසන ගණනේ එකතුවෙන්. මාතර දිස්ත්‍රික්කයම නිදසුන් විදියට ගත්තොත් එයට දිස්ත්‍රික් පදනමින් ආසන 07 ක් සහ පළාත් පදනමින් ආසන 01 ක් බැගින් මන්ත්‍රී ආසන 08 ක් තිබෙනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(අ) අනුව්‍යවස්ථාවට අනුව කිසියම් පක්ෂයක්/කණ්ඩායමක් මහමැතිවරණයකදී ලබාගන්නා සමස්ත ඡන්ද සංඛ්‍යාව අදාළ මැතිවරණයේදී භාවිතාවුන මුළු ඡන්ද සංඛ්‍යාෙව් අනුපාතයක් විදියට ගැනීමෙන් තමයි ඒ පක්ෂයට/කණ්ඩායමට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29 න් කොපමණ ප්‍රමාණයක් හිමිවෙනවද කියන දේ තීරණය වෙන්නේ. 

දැන් බලමු මහ මැතිවරණයකදි කොහොමද  මේ ආසන 196 ට නියෝජිතයන් තෝරා ගැනෙන්නේ කියලා. මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්වූ පසු ඒ ඒ දේශපාලන පක්ෂය විසින් ඒ ඒ මැතිවරණ දිස්ත්‍රික්කයට නාම යෝජනා ඉදිරිපත් කරනවා. මේ නාම යෝජනාවල තිබෙන අනිවාර්ය අවශ්‍යතාවයක් තමයි අදාළ දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනීමට නියමිත මන්ත්‍රීවරයන් සංඛ්‍යාවට 03 ක් එකතුකිරීමෙන් ලැබෙන සංඛ්‍යාවට සමාන නම් ගණනක් මැතිවරණ අපේක්ෂකත්වය සඳහා යෝජනා වියයුතු වීම (99(3) අනුව්‍යවස්ථාව). 

ලංකාවේ ඡන්ද ක්‍රමය තුළ මහමැතිවරණයකදී ඡන්දදායකයන් දෙආකාරයකින් තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. ඒ පක්ෂයට/කණ්ඩායමට ලබා දෙන ඡන්දය සහ අපේක්ෂකයන්ට ලබාදෙන මනාපය වශයෙන්. පක්ෂයට/කණ්ඩායමට ලැබෙන ඡන්ද සංඛ්‍යාව මත ඒ පක්ෂයට ලැබෙන මන්ත්‍රී ආසන ගණන තීරණය වෙනවා. ඒ මන්ත්‍රී ආසන ගණනට පත්වෙන්නේ මොන අපේක්ෂකයාද කියන කාරණය ඒ ඒ අපේක්ෂකයාට ලැබෙන මනාප මත තීරණය වෙනවා. 

ඡන්ද ගණනයකිරිමෙන් පසුව අදාළ මැතිවරණ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ලබාගන්නා පක්ෂයට/කණ්ඩායමට ඒ දිස්ත්‍රික්කය සඳහා නියමිත ආසන ගණනින් එකක් වහාම ලබා දෙනවා. දිස්ත්‍රික්කයට නියමිත ඉතිරි ආසන ප්‍රමාණය තමයි අනිත් පක්ෂවලට ලබා දෙන්නේ. 

දැන් නිකමට හිතන්න මේ ලිපිය කියවන ඔබව පත්කරනවා තම තමන් ජීවත් වෙන දිස්ත්‍රික්කයේ මැතිවරණ තේරීම් භාර නිලධාරියා විදියට. දැන් වැඩේ හරියට කරන්න ඕන නම් මෙන්න මේ පියවර ටික අනුගමනය කරන්න. පියවර 04 යි තියෙන්නේ, එච්චරයි. 

01. ඉස්සෙල්ලම වැඩිම ඡන්ද ගත්ත පක්ෂයට/ස්වාධීණ කණ්ඩායමට ඔය තියෙන මන්ත්‍රී ආසනවලින් එකක් දෙන්න. බය නැතිව දෙන්න මොකද ව්‍යවස්ථාවේ 99(6)(අ) අනුවගන්තියේ කියලා තියෙනවා එහෙම දෙන්න ඕන කියලා. 

02. ඊට පස්සේ බලන්න දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් විස්සෙන් එකකට අඩු ඡන්ද ප්‍රමාණයක් (ඒ කියන්නේ 05% අඩු ප්‍රමාණයක්) ලබාගත් පක්ෂ/ස්වාධීණ කණ්ඩායම් තියෙනවද කියලා. තියෙනවනම් ඒ පක්ෂ/කණ්ඩායම් වහාම තරඟයෙන් අයින් කරලා දාන්න. මෙහෙම කරන්න කියලා සඳහන් වෙන්නේ ව්‍යවස්ථාවේ 99(6)(අ) අනුවගන්තියේ. දැන් මේ ඉවත් කෙරෙන පක්ෂ/කණ්ඩායම් ලබාගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් අඩුකරන්න. එහෙම අඩු කරාම ලැබෙන ඡන්ද ප්‍රමාණය තමයි 05% වඩා වැඩියෙන් ඡන්ද ලබාගත් පක්ෂවලට අයත් ඡන්ද සංඛ්‍යාව - 99(6)(අා) වගන්තියෙන් මේ ඡන්ද සංඛ්‍යාව හැඳින්වෙන්නේ 'අදාළ ඡන්ද සංඛ්‍යාව' නමින්.

03. ඔබේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන ගණනින් එකක් වැඩිම ඡන්ද ගත්ත පක්ෂයට/කණ්ඩායමට දීලා අවසන්නේ. ඒ නිසා දැන් කලින් කියපු අදාළ ඡන්ද සංඛ්‍යාව බෙදන්න ඉති්රි මන්ත්‍රී ආසන ගණනින්. උත්තරය පූර්ණ සංඛ්‍යාවක්නම් ප්‍රශ්නයක් නැහැ, හැබැයි උත්තරය දශම සංඛ්‍යාවක් නම් ඒ සංඛ්‍යාවට වැඩි පූර්ණ සංඛ්‍යාව ගන්න. ඔය අගයට ව්‍යවස්ථාවේ 99(7) වගන්තියේ යෙදෙන්නේ 'සම්ප්‍රයුක්ත සංඛ්‍යාව' කියන නම.

04. දැන් ඊළඟට කරන්න ඕන දේ 99(8) වගන්තියේ් තියෙනවා. 05% කට වඩා ඡන්ද ලබාගෙන තරඟයේ ඉතිරිව ඉන්න ඒ ඒ පක්ෂ/කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව සම්ප්‍රයුක්ත සංඛ්‍යාවෙන් බෙදන්න. එතකොට ලැබෙන්නේ් ඒ එ් පක්ෂයට/කණ්ඩායමට දිස්ත්‍රික්කයෙන් හිමි ආසන ගණන. මතක ඇතුව සම්ප්‍රයුක්ත සංඛ්‍යාවෙන් බෙදනකොට වැඩිම ඡන්ද ගත්ත පක්ෂයෙන්/කණ්ඩායමෙන් පටන් අරගෙන අඩුම ඡන්දගත්ත පක්ෂය/කණ්ඩායම දක්වා එන්න. දිස්ත්‍රික්කයට නියමිත ආසන ගණන ඒ ඒ පක්ෂයට බෙදිලා අවසන් වෙනකන් ඕක තමයි කරන්න තියෙන්නෙ. 

ඔය  ටික තමයි කරන්න තියෙන්නේ. දැන් ඒ එ් පක්ෂයට/කණ්ඩායමට දිස්ත්‍රික්කයෙන් ලැබෙන මන්ත්‍රී ආසන ගණන දැන ගත්ත එකේ ඒ ඒ අපේක්ෂකයා ලබා ගෙන තිබෙන මනාප ඡන්ද ගණනය කරලා ඒ ඒ පක්ෂයේ/කණ්ඩායමේ වැඩිම මනාප ගත් අපේකෂකයන් අනුපිළිවෙලට පක්ෂයට ලැබුන ආසනවලට පත්කරන්න. 


දැන් මේ  මැතිවරණ ක්‍රමය තමයි 20 වන සංශෝධනයෙන් වෙනස් කරන්න කටයුතු යොදලා තියෙන්නේ. 20 වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 19 වන සංශෝධනයට සහ එහි කෙටුම්පතට සාපේක්ෂව ඉතා කෙටි සංශෝධනයක්. නමුත් සංකීර්ණත්වය අතින් ඉදිරියෙන්ම ඉන්නේ 20 වන සංශෝධනය. මූලික වශයෙන්ම මේ සංශෝධනය හරහා දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ පිළිවෙලින් එන 62, 95, 96, 97, 98 සහ 99 වගන්ති සංශෝධනය වෙනවා. 20 වන සංශෝධනයෙන් බොහෝ දුරට සංශෝධනය වෙන්නේ 1985 මැයි 24 වනදා ව්‍යවස්ථාවට එක් කළ 14 වන සංශෝධනය මගින් ඇතිකළ ප්‍රතිපාදන.

ගැසට් නිවේදනයක් වශයෙන් ප්‍රසිද්ධ කෙරුණු සංශෝධනය එයින් සතියක කාලයක් ඇතුළත පාර්ලිමේනතුවේ න්‍යාය පත්‍රයට ඇතුළත්විය යුතුයි. ඒ වගේම අදාළ සංශෝධනයේ ව්‍යවස්ථානුකූළභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයත් ප්‍රකාශ විය යුතුයි. 20 වන සංශෝධනය සම්බන්ධයෙන් සමාලෝචනයක් මීලඟට ඉදිරිපත් කරන්නම්. 

[1]. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව LINK: http://www.parliament.lk/files/pdf/constitution_si.pdfa
[2]. මැතිවරණ දෙපාර්තමේනතුව 2014. LINK: http://www.slelections.gov.lk/pdf/ER2011.pdf

1 comment:

  1. අඩු ගොඩට අඩුවෙන්
    වැඩි ගොඩට තව වැඩියෙන්
    ඕක තමයි දේශපාලනේ.

    ReplyDelete