වීදුරු බිඳුණු රාති‍්‍රය

4/02/2015 02:02:00 PM Prageeth Liyanaarachchi 0 Comments



පැරීසියේ ජර්මන් තානාපති කාර්යාලයේ රජකාරි කළ අර්නස්ට් වොන් රාත් ගේ ජීවිතයට 1938 නොවැම්බර් 08 වනදා මාරාන්තික දිනයක් විය. තානාපති කාර්යාලයට කඩා වැදුනු හර්ෂල් ගී‍්‍රන්ස්පන් නමැති යුදෙව් තරුණයෙකු විසින් පිට පිට තැබූ වෙඩි දෙකක් වොන් රාත්ගේ දිවියට අවසානය ගෙන ඒමට සමත් විය.
යුදෙව්වෙක් විසින් සිය තානාපති නිලධාරියෙකු ඝාතනය කර ඇතැයි සැල වූ කල්හී නාසි ජර්මන් රජයේ ප‍්‍රචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝශප් ගොබෙල්ස් පළිගැනීමේ සිතුවිල්ලෙන් වියරු වැටී ගියේය. කොතෙක් වියරු වැටුනේද යත් වෝන් රාත්ගේ මරණයේ වන්දිය සමස්ත යුදෙව් වර්ගයා විසින්ම ගෙවිය යුතු යයි ඔහු තීරණය කළේය. ඒ අනුව ඒ රාති‍්‍රයේදී යුදෙව් ජනයා ඉලක්ක කරගත් වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ආරම්භ කිරීම සඳහා අණ නිකුත් විය.

මේ නියෝගය නිකුත්ව හෝරා කිහිපයක් ගත වන්නටත් ප‍්‍රථම 1600 කටත් වඩා සෙනගොල්ස් හෙවත් යුදෙව් යාඥා ගෘහයන් සහ දහස් ගණන් යුදෙව් ව්‍යාපාර ස්ථාන ප‍්‍රමාණයක් කොල්ල කෑම්වලට ලක්වුණු අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් අවසන් වූයේ බොහෝ යුදෙව් ආගමික ස්ථාන සහ ව්‍යාපාර ගොඩනැගිලි අලු දුහුවිලි අතරට එක් කරමින්ය. 

සාහසික කි‍්‍රයාවන්ගේ ප‍්‍රතිපලයක් ලෙස යුදෙව්වන් 91 කට අධික ප‍්‍රමාණයක් ඝාතනයවී තිබූ අතර තවත් යුදෙව්වන් විශාල ප‍්‍රමාණයක් ඔවුන්ගේ වාසස්ථානවලින් පිටමන් කොට රැඳවුම් කඳවුරුවලට යවා තිබිණි.

අවසානයේදී ඒ රාති‍්‍රය ‘වීදුරු බිඳුණු රාති‍්‍රය’ නමින් කුප‍්‍රකට විය.

එහෙත් ඒ රාති‍්‍රය අවසන් වූයේද ? ඒ රාති‍්‍රය යනු ඉන්පසුව දිගින් දිගටම සිදුවූ යුදෙව් වාර්ගිකයන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයේත් යුදෙව් ජන වර්ගය සමූළ ඝාතනය කිරීමේ වැඩපිළිවෙලෙහිත් ආරම්භයම වූවා මිස එය අවසානයක් නොවිණි. 

පහත සටහන් වන්නේ ‘වීදුරු බිදුණු රාති‍්‍රය’ උදා වීම තෙක් යුදෙව් විරෝධී නාසී කි‍්‍රයාකාරකම් පිළිබඳවත් යුදෙව්වන් නාසි ජර්මනියෙන් පිටව යාම සහ දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට මාස කිහිපයකට පෙර එක්සත් රාජධානිය විසින් යුදෙව් කුඩා දරුවන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් නාසි ග‍්‍රහණයෙන් ගලවා ගැනීමේ සහන මෙහෙයුම (Kindertransport) කි‍්‍රයාත්මක කිරීමත් ආදී ඓතිහාසික සංසිද්ධීන් පිළිබඳ සංක්ෂිප්ත පෙළගැස්මකි.

යුදෙව් හෙවත් සෙමටික් ජනවර්ගයා කෙරෙහි වන වෛරය ඇඩෝල්ප් හිට්ලර් තුළ උමතුවක් මෙන් වැඞී තිබිණි. නාසි රජයේ ප‍්‍රචාරණ වැඩපිළිවෙල මුළුමනින්ම පාහේ ගොඩනැගී තිබුණේ හිට්ලර්ගේ මේ යුදෙව් විරෝධී උන්මාදය පදනම් කරගෙනය. ඒ අනුව ජර්මනිය තුළ ඔඩු දුවා තිබූ නොයෙක් ප‍්‍රශ්නවලට හිට්ලර් සහ ඔහුගේ ප‍්‍රචාරණ යාන්ත‍්‍රණය සෘජුවම වරද පැටවූයේ 500,000 ක් වූ රටවැසි යුදෙව්වන් පිටය - පළමු ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජය වීම, ඉහළ යන උද්ධමනය, පීඩාකාරී ධනවාදය මෙන්ම බොල්ෂෙවිකවාදයේ නැග ඒම යන මේ සියල්ලම යුදෙව්වන්ගේ වැරදි විය. 

යථාර්ථය නම් යුදෙව්වන්ට වෛර කිරීමට ජර්මන් ජාතිකයන්ට හේතු තිබුණානම් ඒ ඉතාමත්ම අල්පයක් පමණක්ය යන්නයි. එවකට ජර්මනිය තුළ යුදෙව්වන් සමස්ත ජනගහනයෙන්  1% නොඉක්මවූ සුළුතරයක ජන කොටසක් පමණක් විය. දේශප්‍රෙමීන් මෙන්ම රාජ්‍ය පාක්ෂිකයන් වූ යුදෙව්වන්ගෙන් දස දහස් ගණනක් පළමු ලෝක යුද්ධයේදී ජර්මනිය වෙනුවෙන් සටන් කළ අතර එහිදී දහස් ගණනින් යුදෙව්වන් සිය පීතෘභූමිය වෙනුවෙන් දිවි පිදූහ. 1930 දශකය වන විට යුදෙව්වන් සෙසු ආගමිකයන් සමග ඇති කර ගත් ආවාහ-විවාහ ආදිය හරහා විශාල වශයෙන් ජර්මන් ජන සමාජය සමග බද්ධ වී එය තුළට අවශෝෂණය වී තිබිණි.

මේ කාලය වන විට නාසීන් තුළ යුදෙව් විරෝධය සෙමෙන් සෙමෙන් හිස ඔසවන්නට පටන් ගත්තා පමණි. නාසි ප‍්‍රචාරක ඇමති ගොබෙල්ස්ගේ අණ පරිදි 1933 අපේ‍්‍රල් මාසයේදී ඇරඹුණු රට පුරා වූ යුදෙව් ව්‍යාපාර වර්ජනය කිරීමේ කි‍්‍රයාවලිය මේ යුදෙව් විරෝධයේ ප‍්‍රථම නිල පිවිසුමයි. එයින් හරියටම සතියක් ගත වූ තැන නාසි කි‍්‍රයාකාරීන් අතින් සිවිල් සේවය සහ විශ්වවිද්‍යාල සේවාවන් තුළ කටයුතු කළ යුදෙව්වන් එකී තනතුරුවලින් නෙරපා හැරිණි. නාසි රෙජීමයේ සෙමටික් විරෝධය කෙමෙන් කෙමෙන් තීව‍්‍ර වෙමින් පැතිර යාම ඇරඹිණ. කල් යත්ම පිළිකුල් දනවන, වංචාකාරී, යටි අරමුණු සහිත ජර්මන් විරෝධීන් පිරිසක් වශයෙන් යුදෙව්වන් හැඳින්වීමට නාසි ප‍්‍රචාරණ යාන්ත‍්‍රණය කි‍්‍රයා කළහ. ‘අපේ අවාසනාවන්ත තත්ත්වයට හේතුව යුදෙව්වන්ය’ ආදී පාඨයන් මාතෘකා කරගත් කාටූන් චිත‍්‍ර නිර්මාණය කෙරුණු අතර සාහිත්‍ය විෂය හරහා එවැනි චිත‍්‍ර පාසල් විෂය නිර්දෙශය තුළට ඇතුළත් කරන්නට නාසි පාලකයෝ කටයුතු කළහ. 

රජයේ පාලනයට මුළුමනින්ම නතුව තිබූ ජනමාධ්‍ය අනෙක් පසින් සිට ඉහත කී ආකාර චිත‍්‍ර යළි යළිත් ප‍්‍රචාරය කිරීම හරහා වර්ගවාදයට අවශ්‍ය පෝෂණය ලබා දුන්හ. යුදෙව් ජන වර්ගය යක්ෂයාට සමාන කිරීමේ වැඩපිළිවෙල හරහා ඔවුන් පොදු සමාජයෙන් හුදකලා කර හරින්නට නාසීන් සමත් විය. කෙටි කලෙකින්ම යුදෙව්වන්ට පොදු ස්ථානවලට පිවිසීම තහනම් කෙරුණු අතර සමාජ සංවිධාන සහ නාගරික පරිපාලන ආයතනවල යුදෙව් සාමාජිකත්වය අහෝසි කර දැමිණි. 

1935 සැප්තැම්බර් මාසයේදී ඇඩෝල්ප් හිට්ලර් විසින්ම යෝජනා කරනු ලදුව නියුරම්බර්ග් නීති කි‍්‍රයාත්මක වීම ආරම්භ විය. යුදෙව්වන්ගේ ජර්මානු පුරවැසිභාවය නියුරම්බර්ග් නීති ප‍්‍රකාරව අහෝසිවී ගිය අතර යුදෙව්වන් ආර්ය ජර්මන් වර්ගයා සමග විවාහ සබඳතාවලට එළැඹීම නීති විරෝධී යැයි සම්මත කෙරිණි. යුදෙව්වන්ට පමණක් විශේෂ වූ ආදායම් බද්දක් 1936 වසරේ සිට කි‍්‍රයාත්මක වීම ඇරඹුනි. 1937 වන විට සිය ව්‍යාපාර ආර්යයන්ට විකුණා දමන්නැයි යුදෙව්වන්ට බලපෑම් එල්ල වූවා පමණක් නොව යුදෙව්වන් සේවයේ යොදවා ගැනීම නවතා දමා දැනට සිටින යුදෙව් සේවකයන් සේවයෙන් නෙරපා හරින ලෙස ආර්ය ජර්මන් හාම්පුතුන්ට බලපෑම් කිරීමද පුළුල් ලෙස සිදුවිය. 

1939 වසරේ මුල භාගයේදී ඔස්ටි‍්‍රයාව ජර්මන් අධිරාජ්‍යට ඈඳා ගන්නට හිට්ලර් සමත් විය. එය 200,000 කට අධික ඔස්ටි‍්‍රයානු යුදෙව්වන් විනාශයට ඈඳාලීමේ කි‍්‍රයාවලියේ ආරම්භය විය. විය. යුදෙව් විරෝධය අතින් ඔස්ටි‍්‍රයානුවන් ජර්මානුවන්ට වඩා බොහෝ සෙයින් කෲර වූ අතර ජර්මානුවන් තුළ වසර 05 ක පමණ කාලයක් පුරා සෙමෙන් සෙමෙන් වැඩුණු සෙමටික් විරෝධය සති දෙකක් තුළ ඇති කරගන්නට ඔවුන් සමත් විය. වියානා අගනුවර පුරාම යුදෙව්වන්ට නින්දා අපහාස කිරීම් සිදුවූ අතර යුදෙව්වන් දුටු දුටු තැන ඔවුන්ට පහර දෙන්නට ඔස්ටි‍්‍රයානු ‘ආර්යයන්’ පෙළ ගැසී සිටියහ. යුදෙව්වන් ඔවුන්ගේ හුරු පුරුදු රැකියාවලින් එළියට ඇද දමා වීදි පිරිසිඳු කිරීමට යොදවනු ලැබූ අතර දහස් ගණන් යුදෙව් නිවාස සහ ව්‍යාපාර ස්ථාන මුළුමනින්ම ජන ශූන්‍යකරණය කෙරිණි. වධහිංසා ඉවසා ගත නුහුණු තැන සිය ගණනක් යුදෙව්වන් සියතින්ම දිවි තොර කරගත් අතර තවත් ටික දෙනෙක් පමණක් පැන ගොස් දිවි බේරා ගැනීමට තරම් වාසනාවන්ත විය. 

මීලඟට යුදෙව් විරෝධයේ කරළියට පිවිසුණේ නාසි රජයේ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවර හර්මන් ගෝරිංය. රාජ්‍ය නියෝගයක් නිකුත් කරමින් යුදෙව්වන් සතුව තිබූ සියලුම මූල්‍ය වත්කම් රජයට පවාරගන්නට ඔහු කටයුතු සැලසූහ. උදාවූ අඳුරු තත්ත්වය හමුවේ සිය දහස් ගණනින් යුදෙව්වන් රට හැර යාමට උත්සාහ කළ අතර විදේශ රටවලින් වීසා අවසරයන් බලාපොරොත්තුවෙන් සිටි යුදෙව්වන්ගේ නම්වලින් තානාපති කාර්යාල පොරොත්තු ලේඛණයන් පිරී ගියේය. 

මේ අතර ලොව අනෙක් පස ඇමරිකා එක්සත් ජනපදය තුළ ජර්මන් යුදෙව්වන්ට සහයෝගය පළ කරනු වස් මහා පරිමාණ විරෝධතාවන් සහ මහජන රැළි පැවැත්විණි. කරුණු එසේ වුවත් වසරකට ජර්මන් යුදෙව් සරණාගතයන් 15,000 කට වඩා සිය රට තුළට භාර නොගැනීමට ඇමරිකානු බලධාරීන් සෑම විටම ප‍්‍රවේශම් සහගත විය. මේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් සිය රජයට එල්ලවූ විවේචනයන්ගෙන් නිදහස් වීමට කල්පනා කළ එවකට ඇමරිකානු ජනාධිපති ෆ‍්‍රැන්ක්ලීන් ඩී. රූස්වෙල්ට් මහතා යුදෙව් සරණාගතයන්ගේ  අර්බුදය පිළිබඳ විශේෂ ජාත්‍යන්තර සමුළුවක් කැඳවීමට කටයුතු කළහ. 

1938 වසරේ ජූලි මාසයේ දින 09 ක් පුරා ස්විස්ටර්ලන්තය අසබඩ ප‍්‍රංශ දේශසීමාවෙහි වූ එවියාන් නමැති හොටල් සංකීර්ණයේදී පැවති මෙම සමුළුවට රටවල් 36 ක් නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගී විය. එසේ ද වුව ඒ අතරින් එකඳු හෝ රටක් යුදෙව් සරණාගතයන්ගේ ප‍්‍රශ්නය පිළිබඳ තමන් දැනට කරනවාට වඩා වැඩි යමක් කරන්නට කැමැත්තක් නොදැක්වීය. 

1938 වසරේ අවසාන භාගය වන විට නාසි යුදෙව් විරෝධය සෑම ආකාරයකින්ම උච්චත්වයට පත්ව තිබිණි. සියලූම වෘතීය කේෂත‍්‍රයන්ගෙන් සහ ව්‍යාපාර කටයුතුවලින් යුදෙව්වන් බැහැර කර තිබිණි. ව්‍යාපාර කටයුතුවල නිරත වීමට හෝ ඉඩම් අයිතිය පවත්වාගෙන යාමට යුදෙව්වන්ට තවදුරටත් අවසර නොලැබුණි. මේ තත්ත්වය හමුවේ යුදෙව්වන් සන්තක වූ එකම වත්කම දුප්පත්භාවය පමණක්ම විය.

ප‍්‍රංශයේ සහ මහා බි‍්‍රතාන්‍යයේ නිහඬ ආශිර්වාදය මැද ඒ වසරේ සැප්තැම්බර් මාසයේදී පැරණි චෙකොස්ලොවැකියාවේ උතුරු, නිරිතදිග සහ බටහිර ප‍්‍රදේශ හෙවත් සුඩෙටන්ලන්ත භූමිය ජර්මන් අධිරාජ්‍යයට ඈඳා ගන්නට ඇඩෝල්ෆ් හිට්ලර් සමත් විය. ඉන් අනතුරුව නාසි ජර්මනියේ තර්ජනාංගුලිය පෝලන්තය දෙසට යොමු විය. ඒ මොහොත වන විටත් ජර්මනිය තුළ පෝලන්ත සම්භවයක් සහිත යුදෙව්වන් 70,000 ක් පමණ වාසය කළේය. රාජ්‍යන් දෙක අතර උද්ගත වූ මේ උණුසුම් වාතාවරණය තුළ ප‍්‍රථමයෙන්ම අභාග්‍යට මුහුණ පෑවේ ජර්මනිය තුළ වාසය කළ ඉහත කී පෝලන්ත යුදෙව්වන්ය. 

එහි ප‍්‍රතිඵලයක් ලෙස පෝලන්ත යුදෙව්වන් 15,000 ක් පමණ ජර්මනියෙන් පිටුවහල් කරන්නට කටයුතු සූදානම් වූ අතර පිටුවහල් කරනු ලැබූවන් දුම්රියකින් පෝලන්ත දේශ සීමාව වෙත ගෙන ගොස් දැමිණි. කෙසේ නමුත් මේ පිටුවහල් කරනු ලැබූවන් භාර ගැනීමට පෝලන්ත වාසීන් තුළද උවමනාවක් නොතිබිණි. ඒ නිසාවෙන් සති ගණනක් ගතවීත් දේශ සීමාව අසල වූ කුඩා ගම්මානයක සරණාගතයන් මෙන් රැුඳී සිටින්නට පිටුවහල් කරණු ලැබූවන්ට සිදුව තිබූ අතර බීමට පිරිසිඳු ජලය හෝ ආහාරයට ගැනීමට කිසිවක් නොමැතිව අත්හැර දමන ලද ගොවිපලවල සහ පැරණි කර්මාන්ත ශාලා බිම්වල මේ පිරිස රැඳී සිටිනු දැක ගත හැකි විය. 

මේ පිටුවහල් කළවුවන් අතර සිටි එක්තරා පවුලක පිරිමි දරුවෙකු පිටුවහල් වීමට පෙර කලෙක සිටම නීති විරෝධී ලෙස පැරිස් නුවරට සංක‍්‍රමණයවීමට සමත්ව සිටියේය. එවකට 17 හැවිරිදි වියෙහි වූ මේ ලාබාල තරුණයා නමින් හර්ෂල් ගී‍්‍රන්ස්පන් විය. නොවැම්බර් 03 වනදා ගී‍්‍ර‍්‍රන්ස්පන් තරුණයා වෙත පෝලන්තයේ සිටි ඔහුගේ සොහොයුරිය විසින් උපකාර ඉල්ලා ලියන ලද තැපැල්පතක් ලැබුණු අතර ගී‍්‍ර‍්‍රන්ස්පන් පවුලේ සෙස්සන් මුහුණ පා ඇති අභාග්‍යයේ තරම එහි සටහන්ව තිබිණි. 

පෝලන්තය බලා ගොස් සිය පවුලේ අයට උපකාර කරන්නට දින 04 ක් තිස්සේ නොයෙක් සේ උත්සාහ කළ ද අවසානයේ බලාපොරොත්තු අහිමි කරගන්නට සිදුවූ තැන පැරීසියේ ජර්මන් තානාපති කාර්යාලය වෙත කඩා වැදුණු ගී‍්‍රන්ස්පන් තරුණයා එහි සිටි තරුණ ජර්මානු විදේශ සේවා නිලධාරියෙකු වූ අර්නස්ට් වොන් රාත් ඉලක්ක කොට ගිනි අවියක උණ්ඩ නිදහස් කර හැරියේය. 


හර්ෂල් ග‍්‍රීන්ස්පන් අත්අඩංගුවට පත්වීෙමන් පසුව. වම් පස කුඩා ඡායාරූපයේ වෝන් රාත් දැක්වේ.

ග‍්‍රීන්ස්පන්ගේ අවියෙන් නිකුත් වූ උණ්ඩ දෙකක් වෝන් රාත්ගේ සිරුර හරහා ගොස් තිබූ නමුත් වොන් රාත් එකවර මරණයට පත් නොවිණි. ක්ෂණිකව එතැනට පැමිණි ප‍්‍රංශ ආරක්ෂක නිලධාරීන් විසින් තමන් අත්අඩංගුවට ගන්නා තෙක් ගී‍්‍රන්ස්පන් නොසෙල්වී බලා සිටියේය. අත්අඩංගුවට පත් වීමෙන් දිනකට පසු අධිකරණය හමුවේ පැවති සිය නඩු විභාගයේදී විත්තිවාචකය ඉදිරිපත් කරමින් අතිශය ව්‍යක්ත ලෙස කතා කළ ගී‍්‍රන්ස්පන් මෙසේ කියා සිටියේය "මා එවැනි කි‍්‍රයාවක් කළේ මියගිය පුද්ගලයා හෝ වෙනත් කිසිම අයෙක් පිළිබඳ මා තුළ වූ වෛරයක් නිසා නොව පෝලන්ත දේශසීමාව අසල නොවිඳිනා දුක් විඳින මගේ පියා පිළිබඳවත් මගේ සහෝදර මිනිසුන් පිළබඳවත් උපන් දැවැන්ත වේදනාව නිසාය. යුදෙව්වෙකු ලෙස ඉපදීම අපරාධයක් නොවන්නේය. අප වනසතුන් නොවන අතර සෙසු  ඕනෑම මනුෂ්‍යයෙකුට හිමි ජීවත් වීමේ අයිතිය යුදෙව්වන්ටද පොදු වන්නේය."

ග‍්‍රීන්ස්පන් කවරක් සිතා සිටියද නාසි ජර්මනිය තුළ නම් යුදෙව්වෙකු වීම ඒ වනවිටත් අපරාධයක් බවට පත්ව තිබුණේය. එබැවින් එහි ප‍්‍රචාරක අමාත්‍ය ජෝශප් ගොබෙල්ස් ගී‍්‍රන්ස්පන්ගේ මේ අදහස් දැක්වීම දුටුවේ වෙනස් කෝණයකින්ය. යුදෙව් විරෝධී අරගලය ආරම්භ කිරීමේ පැහැදිලි මගක් ගී‍්‍රන්ස්පන්ගේ අදහස් හරහා උදා කරගත හැකි බව ගොබෙල්ස්ගේ කෲර බුද්ධියට පැහැදිලි විණි. යුදෙව්වන් පිළිබඳ විරෝධයක් මතුවන පරිදි ගී‍්‍රන්ස්පන්ගේ කතාවෙන් ගත් කොටස් මුල් පිටුවල පළ කළ යුතුයයි ඔහු සියලූම ජර්මානු පුවත්පත්වලට නියෝග කළේය. 

විදේශ සේවා නිලධාරියාගේ ඝාතනය පිළිබඳ පුවත කණ වැකුණු අවස්ථාව වන විට හිට්ලර් සිටියේ මියුනික් නගරයේය. පැහැදිලිවම පෙනුණු පරිදි ඒ වනාහී කි‍්‍රයාත්මක වීමට ලැබුණු අගනා අවස්ථාවකි. යුදෙව් විරෝධය කි‍්‍රයාත්මක කිරීමේ වගකීම හිට්ලර්ගේ අතින් භාර කෙරුණේ ගොබෙල්ස්ටය. 1938 නොවැම්බර් 08 වනදා මධ්‍යම රාති‍්‍රයට හෝරා දෙකක් තිබියදී මාධ්‍ය ඉදිරියට පැමිණි ගොබෙල්ස් විදේශ සේවා නිලධාරියාගේ මරණය පිළිබඳ පුවත නිල වශයෙන් තහවුරු කළේය. ගොබෙල්ස් මාධ්‍ය හමුවේ දැඩි ප‍්‍රකෝපකාරී ස්වරයකින් අදහස් දක්වමින් සිටියේය, "සහෝදරවරුනි, මේ සිදුවීම නිකන්ම අතහැර දමන්න අපිට කිසිසේත්ම බැහැ. යුදෙව්වන් විසින් සිදු කළ මේ මිනී මැරුමට දිය යුතු නිසි පිළිතුර අපි සියලූම දෙනා එකට එකතු වෙලා ඔවුන්ට දිය යුතුයි." 

මධ්‍යතන යුගයෙන් පසු ජර්මන් ඉතිහාසයේ කවර කලෙකවත් දක්නට නොලැබුණ අන්දමේ ප‍්‍රකෝපකාරී සිදුවීම් මාලාවකට ආරම්භය දෙන්නට ගොබෙල්ස් ඉහත සිය වචන කිහිපය හරහා සමත් විය. 

මාධ්‍ය හමුව අවසාන වීමත් සමගම නාසි බලධාරීන් ජර්මනිය පුරා විසිරී සිටි නාසි පක්ෂයේ විවිධ අනුසංවිධාන සහ ඒවායේ සාමාජිකයන්ට කළ යුතු දේ පිළිබඳ උපදෙස් දීම ආරම්භ කළහ. උපදෙස්වලින් කියා සිටියේ එකම එක් විධානයක් පමණි- යුදෙව් යාඥා ගෘහයන් සහ වෙළඳ ව්‍යාපාරවලට පහර දෙනු. නමුත් ජර්මන් යුදෙව්වන්ට ශාරීරිකව හිංසා නොකළ යුතු බව කියැවුණු අතර විදේශික යුදෙව්වන්ට හිංසා කිරීමද නොකළ යුතුය. සාමාන්‍ය සිවිල් ඇඳුමින් සැරසුණු ප‍්‍රචණ්ඩකාරීන් විසින් සමස්ත කි‍්‍රයාවලියම දියත් කළ යුතුය යන්න මූලික එකඟතාවක් විය. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සඳහා නාසි පක්ෂයේ නිලධාරීන් සම්බන්ධ වූ බව සඟවන්නට ඒ හරහා ඉඩ ලැබෙණු ඇත. 

විනාශකාරී කි‍්‍රයා සඳහා මුළුමනින්ම මූලිකත්වය ගනු ලැබූවේ 1920 - 1930 කාලය තුළ හිට්ලර්ගේ බල ව්‍යාපෘතියට සහාය දීම සඳහාත් විරුද්ධ දේශපාලන කණ්ඩායම් මර්දනය සඳහාත් නිර්මාණය කර තිබූ ‘කුණාටු බලඇණිය’ (Storntroopers) විසිනි. නොවැම්බර් 08 වනදා මධ්‍යම රාති‍්‍රය උදා වෙද්දී ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් අතිශයින් ප‍්‍රචණ්ඩවී තිබූ අතර නාසි බලධාරීන්ගේ පාලනයෙන් ගිලිහී ගිය කුණාටු බලඇණිය විසින් යුදෙව් පූජකයන් පුහුණු කළ ආයතනවලට පවා ප‍්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබිණි. යුදෙව්වන්ට ශාරීරික හිංසා නොකරන්නැයි පෙර දී තිබූ නියෝගවලට තවදුරටත් වලංගුතාවයක් නොවූ අතර 10 වනදා හිමිදිරිය වන විටත් විනාශකාරී වැඩපිළිවෙළට නැවතීමක් දක්නට නොවූයේය. 

ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන්ගේ ප‍්‍රධානතම ඉලක්කය වූයේ යුදෙව් යාඥා ගෘහයන්ය. එසේ වුවද දරුණු ලෙස ප‍්‍රහාරයට ලක්වූ ස්ථාන අතර සිය ගණන් යුදෙව් නිවාස, යුදෙව් ප‍්‍රදේශවල පිහිටි රෝහල් මෙන්ම යුදෙව් වැඩිහිටි නිවාස පවා බොහෝ ගණනින් විය. යුදෙව්වන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන රැුඳවුම් කඳවුරු කරා යැවීම සඳහා පෙළ ගස්වා තිබිණි. 

යුදෙව්වන් අත්අඩංගුවට ගෙන රැුඳවුම් කඳවුරු වෙත යවන්නේය යන ආරංචිය පැතිර යාමත් සමග බොහෝ යුදෙව් ජනයා සැඟවෙන්නට උත්සාහ කළහ. යුදෙව්වන් රැුඳවුම්භාරයට ගැනීමේ කි‍්‍රයාවලිය තුළ කුණාටු බලඇණියේ කි‍්‍රයාකාරකම් කොතරම් කෲරතර වූයේද යත් ඒවා දැකීමෙන් ඇතැම් ආර්ය ජර්මන් ජාතිකයන් පවා බියටත් කම්පනයටත් ලක් විය. ඒ නිසාවෙන් ඇතැම් ආර්ය වාර්ගිකයන් සිය යුදෙව් මිතුරන් සහ අසල්වාසීන් මේ විපත්දායී අවස්ථාවෙන් ගලවා ගනු වස් තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටියේය.

යුදෙව් විරෝධී දාමරික කියාවන් දිගින් දිගටම ඇදී යන තත්ත්වය තුළ සෙසු ජර්මන්වරුන්ද නොසන්සුන් වූහ. ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් පිටිපස සිට සෑබෑ ලෙසම කි‍්‍රයාත්මක වූයේ නාසි බලධාරීන්ද නැතහොත් කුණාටු බලඇණියද යන වග පවා හඳුනා ගත නොහැකි තරමට සමස්ත සිද්ධි දාමයම නාසි බලධාරීන්ගේ පාලනයෙන් ගිලිහී ගොස් තිබිණි. කුණාටු බලඇණිය සිය මර්දන කි‍්‍රයාවන්හී නියැලූනේ යුදෙව්වන්ට ශාරීරික වශයෙන් හානි නොකරන්නැයි නියෝග කරමින් නාසි බලධාරීන් විසින් දිගින් දිගටම නිකුත් කරන ලද ගුවන් විදුලි පණිවිඩ සියල්ල මුළුමනින්ම නොතකා හරිමිනි. මේ කෲර කි‍්‍රයා සියැසින්ම දුටු ඇතැම් ජර්මන් ජාතිකයන් සිතුවේ ප‍්‍රචණ්ඩකාරීන් හිට්ලර්ගේ අභිලාෂයන් ඉක්මවා කටයුතු කරන බවයි. 

නොවැම්බර් 10 වනදා සන්ධ්‍යා භාගයේ පස්වැනි හෝරාව උදා වෙද්දී ප‍්‍රචාරන කටයුතු පිළිබඳ රයිෂ් අමාත්‍ය ජොෂප් ගොබෙල්ස් යුදෙව් විරෝධී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නවත්වන්නැයි නියෝග කර සිටියහ. පසුදින උදෑසන ලොව පුරා පළවූ පුවත්පත්වල ඒ බියකරු සිදුවීම් පෙළ හඳුන්වා තිබුණේ යුරෝපියානු ඉතිහාසයේ අතිශයින්ම අමානුෂිකම කි‍්‍රයාවලිය ලෙසය. 

ප‍්‍රහාරයන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුණු යුදෙව් ආගමික ස්ථාන සංඛ්‍යාව 275 කට අධිකය. 7500 කට අධික යුදෙව් ව්‍යාපාර ස්ථාන සහ යුදෙව් ප‍්‍රජා ශාලා ආදී ගොඩනැගිලි බොහෝ ප‍්‍රමාණයක්ද විනාශ වී ගොස් තිබූ අතර දහස් ගණනක් යුදෙව් නිවාසවලට හානි පමුණුවා තිබිණි. නාසි බලධාරීන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව මියගිය යුදෙව්වන්ගේ ගණන 100 කට ආසන්න විය. එහෙත් විනාශයේ තරම එතරම් සුළු එකක් නොවීය. වීදුරු බිදුණු රාති‍්‍රයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වලට සෘජුවම ලක්වූවන්ගේ අදහස් සහ ඒ හා සම්බන්ධ නොයෙක් ඓතිහාසික සිදුවීම් අධ්‍යනය කරමින් 1998 වසරේදී ඉතිහාසඥවරියක වන මේරියෝන් කැප්ලෝන් විසින් Between Dignity and Despair: Jewish in Nazi Germany නමින් ග‍්‍රන්ථයක් ලියා පළ කළේය. සිදුවූ ජීවිත හානි පිළිබඳ ඇය දක්වන අදහසින් විනාශයේ සැබෑ දිග පළල පැහැදිලි වේ. 

"වීදුරු බිදුණු රාති‍්‍රය තුළ සිදුවුණු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිසා මියගියේ 100 කටත් අඩු සංඛ්‍යාවක් යැයි පැවසීම සම්පූර්ණ සත්‍යම නෙවෙයි. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවසන්ව දින ගණනාවකට පසුවත් මිනිසුන් ගණනාවක්ම තමන් ලබපු කෲර සහ අමානුෂික වධහිංසා නිසා වේදනාවෙන් මිය ගියා. මම පුද්ගලිකවම ඒ වගේ සිද්ධි කිහිපයක් ගැනම දන්නවා. ඒ විතරක් නෙවෙයි මේ වධහිංසාවන් නිසා ඇති වෙච්ච මානසික සිත් තැවුල් නිසා තවත් පුද්ගලයන් ගණනාවක් සිය දිවි හානි කරගත්තා, රැඳවුම් කඳවුරුවලට යවනු ලැබූ මිනිසුන් විශාල සංඛ්‍යාවක් එහිදී ඝාතනය වුණා, සමහරු ඒ කඳවුරුවල ජීවන තත්ත්වය නිසා මියගියා නැත්නම් කඳවුරුවලින් පැන යන්නට උත්සාහ කිරීමේදී ඝාතනය කරනු ලැබුවා. ඉතින් මේ සියල්ල සලකලා බැලුවම මේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට පසුවත් විශාල ප‍්‍රමාණයක් මියගිහින් තිබෙනවා. මියගියේ 100 කට ආසන්න යුදෙව්වන් ප‍්‍රමාණයක් විතරයි කීම මේ සිද්ධිය බොහොම සුළු එකක් ලෙස පෙන්වීමට ගත් උත්සාහයක් විතරයි."

100 ක් පමණ යුදෙව්වන් ප‍්‍රමාණයක් මියගියේයැයි නාසි බලධාරීන් විසින්ම පිළිගත්තද අදාළ මනුෂ්‍ය ඝාතනයන් සඳහා වැරදිකරුවූ කිසිවෙකුත් සිටියේද නැත. විනාශ කෙරුණු ගොඩනැගිලිවල දිවා රෑ පෙනෙන නටබුන් දැකීමට සිදුවීමෙන් ජර්මන් ජනතාව අන් කවරදාකටත් වඩා කම්පනයට පත්ව සිටියේය. විනාශ වූ ගොඩනැගිලිවලින් විසිරුණු වීදුරු කැබලි සෑම දෙසකම විසිරී තිබිණි. ඒ නිසාම ජර්මානුවන් ප‍්‍රචණ්ඩකාරී රාතී‍්‍රය පිළිබඳ සඳහන් කළේ වීදුරු බිදුණු රාති‍්‍රය යන අරුථ දෙන Kristallnacht යන පදයෙනි. විනාශකාරීන්ගේ කි‍්‍රයාවන් නිසා සිදුවූ මූල්‍යමය අලාභ හානිය නොගිනිය හැකි තරම් සුවිසල් විය. කඩා බිඳ දමා විනාශ කෙරුණු වීදුරු ප‍්‍රමාණය යළි නිපදවීම සඳහා බෙල්ජියමයේ සියලූම වීදුරු කර්මාන්ත ශාලාවන්ට අඩ වසරක කාලයක් ගත වෙනු ඇතැයි කියැවිණි. 

සිදුවූ අලාභ හානිය පිළිබඳ නාසි රජයේ ආර්ථික කටයුතු ඇමති හර්මන් ගෝරිං කෝපයට පත්ව සිටියහ. නොවැම්බර් 12 වනදා නාසි රජයේ සහ ජාතික සමාජවාදී පක්ෂයේ ප‍්‍රධානීන්ගේ මූලිකත්වයෙන් මුළුදුන් රැස්වීමකදී සිදුවූ අලාභ හානිය පිළිබඳ සාකච්ඡුා විණි. සකච්ඡුාවේ අවසාන තීරණය වූයේ සියලූම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් ආරම්භ වීමට මූලිකම හේතුව පැරීසියේදී දින කිහිපයකට පෙර යුදෙව්වෙකු විසින් තානාපති නිලධාරියෙකු ඝාතනය කිරීම වන බැවින් විනාශකාරී කි‍්‍රයාවන්ගේ මූල්‍යමය අලාභය යුදෙව්වන් විසින් දැරිය යුතු බවය, ආර්ය ජර්මානුවන්ට එහිලා කිසිඳු බරක් නොතැබිණි. 

දිවි බේරාගත් බොහෝ යුදෙව්වන්ට ජීවිතය වෙනුවෙන් ගෙවන්නට සිදුවූ වන්දිය සුවිශාලය. වීදුරු බිදුණු රාති‍්‍රයෙන් පසුව එළැඹි නාසි රජයේ නෛතික කි‍්‍රයාවල ප‍්‍රතිපලයක් ලෙස 30,000 කට අධික යුදෙව්වන් ප‍්‍රමාණයකගේ ජීවිත මහා පරිමාණ රැුඳවුම් කඳවුරු 03 ක සිර විය. කෙසේ නමුත් ඒ මොහොත වන විටත් යුදෙව් සමූල ඝාතනයක් පිළිබඳ අදහසක් හෝ සැලසුමක් නාසි බලධාරීන් තුළ නොවීය. ඔවුන්ට අවශ්‍ය වූ එකම දෙය යුදෙව්වන් ජර්මනියෙන් පිටවනු දැකීමය. කඳවුරු ගත කර සිටි 30,000 ඉක්මවූ යුදෙව්වන්ගෙන් බහුතරයක් 1938 නොවැම්බර් 18 වනදා සිට 1939 මාර්තු - අපේ‍්‍රල් කාලය තුළ නිදහස් කර හරින්නට ජර්මන් බලධාරීන් කටයුතු කළහ. එතෙක්ද වුව රැුඳවුම් කඳවුරුවල සිටි  2,500 කට ආසන්න ප‍්‍රමාණයක් කඳවුරෙන් පිටත නිදහස ලෝකය යළි දකින තෙක් ජීවත්වන්නට තරම් වාසනාවන්ත නොවීය. 

වීදුරු බිඳුණු රාති‍්‍රයට පසුව පැමිණි මාස කිහිපය තුළ සියලූම යුදෙව්වන් පාහේ ජර්මනිය හැර ගොස් විදෙස් රටකට සංක‍්‍රමණය වීමට උත්සාහ කළහ. දස දහස් ගණනක් යුදෙව්වන් ඒ උත්සාහය සාරථක කර ගැනීමට සමත් විය. නමුත් එමෙන් සිය ගුණයක් මිනිසුන්ට යන්නට රටක් නොවුණි. යුදෙව්වන් සුළු පිරිසක් පමණක් චීනයේ ෂැංහයි වැනි ඈත නගරවල වාසය සඳහා වීසා අවසරයන් ලබා ගැනීමට සමත් විය. එහෙත් ජර්මනියේ දේශසීමාව අසල පිහිටි ආසන්න රටවල දොරටු මුළුමනින්ම පාහේ යුදෙව් සරණාගතයන්ට වැසී ගොස් තිබිණි. ජර්මන් සංක‍්‍රමණිකයන්ට වසරකට ලබා දෙන 15,000 ක වීසා කෝටාව කිසිම ආකාරයකින් වැඩි කිරීමට එක්සත් ජනපදය එකඟ නොවීය, වීදුරු බිදුණු අමානුෂික රාති‍්‍රයෙන් පසුව වුව ඇමරිකානු ප‍්‍රතිපත්තියේ වෙනසක් සිදු නොවිණි. 

ප‍්‍රජාතන්ත‍්‍රවාදී බරහිර රටවල් අතුරින් යුදෙව්වන්ට අසාධාරණම සැලකිල්ල දක්වනු ලැබූයේ කැනඩා රජය විසිනි. වසරකට ඔවුන් විසින් රට තුළට ඇතුළත් කරගත් යුදෙව් සරණාගතයන් සංඛ්‍යාව කිසිම විටෙක ඉලක්කම් 03 ක සංඛ්‍යාවකට වඩා වැඩි නොවීය. ජර්මනියෙන් පිටමන් කර සිය දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරලීමට යුදෙව් දෙමව්පියන් දිවා රෑ වෙහෙස වූහ. යුදෙව් සරණාගතයන් සඳහා වඩාත්ම සහනශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබූයේ මහා බි‍්‍රතාන්‍යය විසිනි. 1939 වසරේ මුල් අර්ධය තුළ පමණක් 50,000 ක යුදෙව් සරණාගතයන් ප‍්‍රමාණයක් බි‍්‍රතාන්‍ය තුළ රැුකවරණය ලැබූහ. 

බි‍්‍රතාන්‍ය සංවිධාන කිහිපයක් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ආරම්භ කරන ලද වැඩපිළිවෙලක් හරහා ජර්මනියේ පාලනය යටතේ පැවති ප‍්‍රදේශවලින් කුඩා දරුවන් 10,00 ක් පමණ මුදා ගැනීමට සමත් විය. යුදෙව් දෙමව්පියන් විසින් මතු ආරක්ෂාව පතා ස්වකැමැත්තෙන්ම සිය දරුවන් එකී ගලවාගැනීමේ මෙහෙයුමට භාර කළහ. වීදුරු බිදුණු රාති‍්‍රයෙන් සති තුනක් ගතවූ තැන, එනම් දෙසැම්බර් 02 වනදායින් ආරම්භ වී මාස 09 ක කාලයක් පුරා කි‍්‍රයාත්මක වූ මෙම කි‍්‍රයාවලිය පසුකාලීනව (Kindertransport) හෙවත් ළමා සරණාගතයන් සම්බන්ධ ව්‍යාපාරය (Refugee Child Movement) යන නමින් ප‍්‍රසිද්ධ විය. 

1929 දී ඔස්ටි‍්‍රයාවේ වියානා නුවරදී යුදෙව් පවුලකට උපත ලද ලීසා කොලියර් ඉහත කී ළමා රැකවරණ ව්‍යාපෘතිය හරහා බි‍්‍රතාන්‍යට සංක‍්‍රමණයවී නාසි කෲරකම්වලින් දිවි බේරා ගැනීමට සමත් වූයේ ඇයට වයස අවුරුදු 10 දීය. නාසි පාලනය යටතේ වූ ඔස්ටි‍්‍රයාව තුළ යුදෙව් දැරියක වශයෙන් ගෙවූ කටුක කාලයට සාපේක්ෂව බි‍්‍රතාන්‍යට පැමිණීමට ලැබීම ඇයට අහම්බෙන් උදාවූ නිවාඩු සමයක් තරම්ම පී‍්‍රතිමත් දෙයක් විය. අද ජීවිතයේ සැඳෑ සමයට එළැඹ සිටින ලීසා එදා කුඩා දැරියක් වශයෙන් තමා වියානාව හැර ආ මොහොත ගැන කතා කරන්නේ මෙසේය, 

"මට ඇහුණා එයාලා කියනවා අපිට කෝච්චියේදී බෝනික්කෝ, චොක්ලට් සහ තව ගොඩාක් දේවල් දෙනවා කියලා. මට හරිම ආශා හිතුණා. ඉතින් ඒ ගමන යන්න හිත හදා ගන්න මට එච්චර අමාරු වුණේ නැහැ. ඒත් මට ගොඩාක් දුක හිතුණා අපි පිටත් වෙන්න දුම්රිය ස්ථානයට ආවාම. මගේ අම්මා මගේ දිහා බලාගෙන දිගටම ඇඬුවා, මම අම්මට කිව්වා අඬන්න එපා කියලා. අන්තිමට අපි කෝච්චියට ගොඩවුණා. කෝච්චිය ඉදිරියට ගමන් කරද්දී ඒක ලස්සන කොල පාට භූමියක් මැදින් ගමන් කරා. කෝච්චියේ හිටිය අපිව භාර නිලධාරීන් ගොඩක් වෙලාවකට පස්සේ දුම්රිය කවුළු වසා දමනකන්ම මම ඒ ලස්සන දර්ශනය දිහා බලාගෙන හිටියා. වියානාව සම්බන්ධයෙන් මට තිබෙන අන්තිම මතකය ඒක. මම එදා එන අතරේ හිතා ගත්තා ආපහු ගෙදර ගිය වහාම ගෙදර අයට ඒ ලස්සන කොල පාට භූමිය ගැන කියනවා කියලා."

මේ ළමා රැකවරණ ව්‍යාපෘතිය හරහා ළමයින් ඔවුන්ගේ පවුල්වල අයගෙන් වෙන් කරවීම අතිශයින්ම සංවේදී අවස්ථාවක් විය. මේරියෝන් කැප්ලොන් ඒ අවස්ථාව විස්තර කරන්නේ මෙපරිද්දෙනි. 

"දුම්රිය පොලේදී ළමයින්ව දෙමව්පියන්ගෙන් වෙන් කරනකොට දෙමව්පියන් - විශේෂයෙන් මව්වරුන් ගොඩක් දුකට පත් වුණා. තමන්ගේ පුංචි දරුවන් තමන්ගෙන් ඈතට යනවා කියන එක ඔවුන්ට දරා ගන්න අමාරු වුණා. දෙමව්පියන් තමන්ගේ දරුවන්ව පිටමන් කළේ ඔවුන් නාසි පාලකයන්ගෙන් ඈතට ගිහින් ආරක්ෂා ඇතුව ජීවත් වෙයි සහ ළගදීම දවසක සියල්ල යළිත් යහපත් වෙලා තමන්ගේ දරුවන්ට නැවත තමන්ගේ ළඟට එන්න ඉඩ ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් හරියටම එයින් වසරකට පස්සේ දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණා. දෙමව්පියන් බලාපොරොත්තු වූ විදිහට ඉක්මණින් තමන්ගේ දරුවන් යළිත් දැක ගන්න ඔවුන්ට ඉඩ ලැබුණේ නැහැ. සමහර දෙමව්පියන් තමන්ගේ දරුවන් යළිත් නොදැකම ජීවිතයෙන් සමුගත්තා."

1920 දී ජර්මනියේ කොලොන්ග් නගරයේදී උපත ලද යුදෙව් ආගමික ගුරුවරයෙකු වන අර්වින් ශීල්ඞ් ද වීදුරු බිදුණු රාති‍්‍රයේ සෘජු වින්දිතයෙකි. මේ සටහන අවසන් වන්නේ ඒ විනාශකාරී රාති‍්‍රය පිළිබඳ ඔහුගේ අදහසකිනි.

"ඓතිහාසික සංසිද්ධියක් වශයෙන් ගත්තත්, එයට ගොදුරුවූ ඒ ඒ පවුල් පත්වූ අවාසනාවන්ත තත්ත්වය සැලකිල්ලට ගත්තත්, මේ සෑම විදියකින්ම වීදුරු බිඳුණු රාති‍්‍රය කියන්නේ ජර්මනියේ යුක්තියේත් සාධාරණත්වයේත් අවසාන රාති‍්‍රය. ලෝකයේ සෙසු රටවල් මේ සම්බන්ධයෙන් දක්වපු අවධානය ප‍්‍රමාණවත් නැහැ - ඔවුන් යම් යම් දේ කළා, නමුත් එය ප‍්‍රමාණවත් වුණේ නැහැ. අපේ ආගමික ස්ථාන කඩා බිඳ දැමුවා, ව්‍යාපාර ස්ථාන විනාශ කර අපේ අසල්වැසියන් සහ මිතුරන් ඝාතනය කර දැම්මා සහ තවත් සමහරු අසාධාරණ විදිහට සිරගත කරා. ඒත් අනෙක් රටවල්වලට උවමනාවක් තිබ්බේ නැහැ ඉදිරියට ඇවිත් මොකක්ද මේ කරන අපරාධය කියලා නාසීන්ගෙන් ප‍්‍රශ්න කරන්න. 

නාසීන් තමන්ට අවශ්‍ය දේ කළා, ඔවුන් පැහැදිලිවම දැන ගෙන හිටියා හුදෙකලා යුදෙව්වන්ට  ඕනෑම දෙයක් කරන්න තමන්ට කිසිම බාධාවක් නැහැ කියන කාරණය.”

මෙම ලිපිය කැනඩාවේ History රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ඩේවිඩ් කවුෆ්මාන් විසින් අධ්‍යක්ෂණය කළ KRISTALLNACHT - The night of the broken glasses කෙටි චිත‍්‍රපට අන්තර්ගතයේ පරිවර්තනයකි.

0 comments: