ඩොලර් මිලියන 20 සමාජය

4/01/2015 09:40:00 PM Prageeth Liyanaarachchi 2 Comments




එක චිත‍්‍රපටියක පෙනී සිටීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක්, එහෙමත් නැත්නම් ශී‍්‍ර ලංකා රුපියල්වලින් බිලියන 2.6 ක් විතර අය කරන්න පුළුවන් රංගන ශිල්පීන් ඉන්නවා කිව්වාම මතක් වෙන්නේ කාවද ? චතුරිකා පීරිස් ? අර්ජුන් කමලනාත් ? නෑ නෙහාරා පීරිස් වෙන්න ඇති.
නෑ නෑ එයාලා නෙවෙයි. එක චිත‍්‍රපටියක ඩොලර් මිලියන 20 ක් ගෙවීම් ලබන්න පුලුවන් නලු නිලියන් ඉන්නේ හොලිවුඩ්වල. 

1910 දී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ජනපදයේ සැන්ටා මොනිකා කඳු පන්තියට උතුරෙන් තියෙන Cahuenga Valley කියන කෘෂිකාර්මික ජනපදය H.J. වයිට්ලි කියන දේපළ වෙළඳාම්කරුවා විසින් හොලිවුඞ් කියන නමින් නම් කරනවා. පස්සේ මේ වයිට්ලි සැලකෙන්නේ හොලිවුඞ්වල නිර්මාතෘවරයා එහෙම නැත්නම් Father of Hollywood වශයෙන්. කොහොම වුනත් ඒක තමයි නූතන ලෝකයේ තියෙන දැවැන්තම සහ ප‍්‍රමුඛතම සිනමා කර්මාන්තයක ආරම්භය. අද වනවිට හොලිවුඩය ලෝකයේ සිනමා කර්මාන්තයේ නියැලෙන්නන්ට සිහින පුරයක්. ඒ විතරක් නෙවෙයි සිනමා කර්මාන්තයට අදාළව බිහිවන නොයෙක් තාක්ෂණයන්ගේ තිඹිරි ගෙය. ඒත් හොලිවුඩයට ගැලපෙනම හැඳින්වීම තමයි ඒක මුදල් මත ගොඩනැගුන මුදල් නිසා පැවතෙන වෙනම ලෝකයක් කියන එක.

හොලිවුඩය කියන්නේ මුදල් සහ ආයෝජනවල එකතුවක්. තමන් පෙනී සිටින චිත‍්‍රපටියක් වෙනුවෙන් ඩොලර් මිලියන 20 ක් අයකරන්න පුලුවන් නලු නිලියන් හොලිවුඩ්වල ඉන්නවා කියලා අන්තර්ජාලයේ සඳහන් වෙලා තියෙනවා දැක්කම  මට මුලින්ම  මතක් වුනේ ටොම් කෲස්, ඊලඟට ඇන්ජලීනා ජොලී සහ විල් ස්මිත්. ඒත් ඇත්ත කතාව තමයි මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් විතරයි ඒ ලිස්ට් එකේ ඉන්නේ.

හොලිවුඩ් ඉතිහාසයේ මේ ඩොලර් මිලියන 20 ඉහළ සමාජයට එහෙම නැත්නම් Elite Group එකට මුලින්ම ඇතුල් වෙන්නේ ජිම් කාරේයි (Jim Carray)  ඒ The Cable Guy කියන චිත‍්‍රපටියෙන්. ජිම්ව දන්නේ නැත්නම් The Cable Guy බලලා නැත්නම් වැඩක් නෑ කියලා තමයි කියන්න වෙන්නේ. 1990 දශකය වෙනකොට මෙල් ගිබ්සන්, ටොම් කෲස් සහ කෙවින් කොස්ට්නර් කියන සුපිරි රංගන ශිල්පීන් ජිම් කාරේයිට එකතු වෙනවා. හැබැයි ඒ වැඩි කාලයකට නෙවෙයි.

තවත් ඉදිරියට යන්න කලින් කාරණා  තුනක් කියලා ඉන්නම්. එකක් තමයි හැම නලුවටම හැම නිලියටම හැම චිත‍්‍රපටියකටම ඩොලර් මිලියන 20 ක් ඉල්ලන්න බෑ. ඇත්තටම කිව්වොත් නලු නිලියෝ කියන්නේ හොලිවුඩ්වල අපි හිතන තරම් ලොකු ‘පොරවල්’ නෙවෙයි. නියම පොරවල් තමයි නිෂ්පාදක සමාගම් හෙවත් චිත‍්‍රපටියේ සල්ලි උල්පත. එතකොට මේ සමාගමක් හරි ඒවගේ සමාගමක් වෙනුවෙන් චිත‍්‍රපටියක් හදන නිෂ්පාදකවරයෙක් හරි හිතුවොත් අන්න අර නලුවනම් ඩොලර් මිලියන 20  ක් දිලා ගත්තත් පාඩු නෑ කියලා ඔන්න එතකොට ඒ නලුවා ඩොලර් මිලියන 20 ක්ලබ් එකේ සාමාජිකයෙක්. හැබැයි ඉතින් ඒ වගේ වෙන්න දක්ෂ සහ රංගන කුසලතාවයන්ගෙන් පරිපූර්ණ නලුවෙක් වෙලා ඉන්න  ඕන.
දෙවැනි කතාව තමයි franchise චිත‍්‍රපට, මේක සිංහලෙන් කියන්නේ කොහොමද කියලා හරියට පැහැදිලි නැහැ. ඒකෙදි වෙන්නේ මෙහෙමයි, චිත‍්‍රපටියේ සංකල්ප අයිතිය සමාගමකට තියෙනවා, ඒ සමාගමත් එක්ක ගිවිසුම් ගතවෙලා හොලිවුඩ් නිෂ්පාදකයෙක් අර franchise එකට චිත‍්‍රපටියක් හදනවා. උදාහරණයක් විදියට Twilight, The Hunger Games වගේ චිත‍්‍රපටි. දැන් ඔය Perera and Sons කියන්නේ ඒ වගේ franchise එකක්. විශ්වවිද්‍යාලවල ඉස්කෝලවල කැන්ටින් තියෙන්නේ, ඒකත් franchise එකක්, අයිතිය තියෙන්නේ කැම්පස් එකට කරන්නේ කැන්ටිමේ අංකල්. තවත් කියනවනම් Iron Man චිත‍්‍රපටියේ සංකල්ප අයිතිය තියෙන්නේ Marvel universe සමාගමට. Toy Story චිත‍්‍රපටිවල අයිතිය තියෙන්නේ Pixar  සහ Disney සමාගම්වලට. මේ වගේ චිත‍්‍රපටියක මුල් කොටස්වල පෙනී සිටිය නලුවෙක් හෝ නිලියක් කීයක් ගෙවලා හරි ඊලඟ කොටසටත් ගන්න නිෂ්පාදකවරයෙක්ට සිද්ධ වෙනවා. හිතලා බලන්න Iron Man චිත‍්‍රපටියේ ඊලඟ කතාව රොබර්ට් ඩොවුනි නැතිව වෙන නලුවෙක් දාගෙන ආවොත් මොනවා වෙයිද? එතකොට ඒක Iron Man නෙවෙයි.

තුන්වැනි කාරණය තමයි ඇයි මේ රංගන ශිල්පීන් ඩොලර් මිලියන 20 ක් අය කරන්න සමත්වෙන එක අපිට වැදගත් වෙන්නේ ? වැදගත් වෙන්නේ මේකයි Business Insider සහ Millionaire Corner වෙබ් අඩවි දෙක මේ ගොල්ලෝ ඒ වගේ මූල්‍යමය අතින් සාර්ථක තැනකට එන්න හේතු වුන කරුණු කිහිපයක් ඉදිරිපත් කරනවා. මම හිතනවා ඒ කරුණු අපි කවරු වුනත් - ව්‍යාපාරිකයෙක් වුනත්, වෘත්තිකයෙක් වුනත්, ශිෂ්‍යයෙක් වුනත් අපේ ජීවිතවල සාර්ථකත්වය ඇති කරගැනීමේදි සොයාගෙන යා යුතු කඩයිම් කිහිපයක් කියලා. ඒ නිසා දිගටම කියවන්න.

මුලින්ම කිව්ව විදියටම ටොම් කෲස්, ඇන්ජලීනා ජොලී සහ විල් ස්මිත් වගේ දැවැන්තයන් අතරින් ඩොලර් මිලියන 20 ක්ලබ් එකේ ඉන්නේ එක්කෙනයි. ඇත්තටම අද හොලිවුඞ්වල ඩොලර් මිලියන 20  ක්ලබ් එකේ ඉන්නේ ඔක්කොම 06 දෙනයි. මෙන්න ලිස්ට් එක.



1. සැන්ඩ‍්‍රා බුලොක්
කතා දෙකක් නෑ දක්ෂ නිලිය. මගේ Favorite. ඔබ මෑතකදි තිරගත වුන Gravity වගේ චිත‍්‍රපටි නරඹලා ඇති කියලා හිතනවා. 

2. ලියනාර්ඩෝ ඩිකැප‍්‍රියෝ
මෙයා ඉතින් හොලිවුඩ් සිනමාවට ආස කරන ගොඩක් කෙල්ලන්ගේ සිහින කුමාරයා වගේ තමයි. බොහොම දක්ෂ නලුවෙක් කියන එක අමුතුවෙන් කියන්න  ඕනද? හැබැයි වැඬේ තියෙන්නේ මෙයා ටිකක් අවාසනාවන්ත නලුවෙක්. කොච්චර දක්ෂ වුනත් මෙයාට තවමත් Grammy හෝ Academy වගේ ප‍්‍රධාන පෙළේ සම්මානයක් රඟපෑම වෙනුවෙන් දිනාගන්න ලැබිලා නැහැ. මෙයා මුලින්ම ලංකාවේ ප‍්‍රසිද්ධ වුනේ අර ලොකු නැවක් මුහුදේ ගිලෙන චිත‍්‍රපටියෙන් - ජේමිස් කැමරන්ගේ Titanic. 

3. මැට් ඩෙමන් 
මෙයාව නම් වැඩිය අහලා තියෙනවාද මන්දා. හැබැයි බෙන් ඇෆ්ලෙක් එක්ක මෙයා 1997 රඟපාපු Good will Hunting චිත‍්‍රපටිය බලලා තියනවනම්, එහෙම බලපු අයට මෙයා වීරයෙක්. මෙයා බොහොම දක්ෂ නලුවෙක්. ඉතිහාසය පුරාම ජීවත්වුන හොලිවුඩ් නලු නිලියන් අතරෙන් වැඩිම ආදායම් හිමිවෙලා තිබුන නලුවන් 40 දෙනාගෙන් කෙනෙක් විදියට මෙයාව Forbes සඟරාවෙන් නම් කරලත් තියෙනවා.

Bourne චිත‍්‍රපටි මාලාවේ Jason Bourne කියන රහස් පරීක්ෂකවරයාගේ චරිතය කරන්නේ මෙයා.

4. රොබර්ට් ඩොව්නි
දන්නවනේ Iron Man සහ The Sherlock Holmes. මෙයාගේ තාත්තාගේ නමත් රොබර්ට් ඩොව්නි. ඒ නිසා මෙයාගේ නම ලියවෙන්නේ පොඩි රොබර්ට් ඩොව්නි හෙවත් Junior Robert Downey හෙවත් Robert Downey Jr. විදියට.

5. ඇන්ජලීනා ජොලි
මෙයා ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් ඇත්තෙම නෑ. චිත‍්‍රපටි රසිකයෝ අනිවාර්යයෙන් දන්නවා. මෙයාගේ චිත‍්‍රපටි අතරින් මගේ පි‍්‍රයතම චිත‍්‍රපටිය Mr. and Mrs. Smith

6. ඩෙන්සල් වොෂින්ටන්
හොලිවුඞ්වල අතිශය සම්භාවනාවට පාත‍්‍රවුන විශිෂ්ඨ සහ ආදර්ශමත් නලූවෙක්. මගෙත් කැමතිම නලුවා. මම කියන්නේ මෙයාගේ The Pilot  චිත‍්‍රපටිය අනිවාර්යයෙන් බලන්න කියලා. 

මේ ගොල්ලො රඟපාන හැම චිත‍්‍රපටියකටම ඩොලර් මිලියන 20 ක් අයකරන අය නෙවෙයි. ඩොලර් මිලියන 20 ක් ඉල්ලන්න මෙයාලාට පුලුවන් කම ලැබුන චිත‍්‍රපටි තියෙනවා. මුලින් සඳහන් කළ විදියටම ඒවා බොහෝ විට franchise චිත‍්‍රපටි. මැතිව් ඩෙමන්ට Bourne චිත‍්‍රපටි මාලාව වෙනුවෙන් ඒ වගේ විශාල මුදලක් ගෙවීම් කරපු බව සඳහන්. රොබර්ට් ඩොවුනිටත් Iron Man චිත‍්‍රපටිය වෙනුවෙන් එහෙම ගෙවීම් කරනවා, ඒත් ඔහු රඟපෑ The Judge  හෝ The Sherlock Holmes චිත‍්‍රපටි වෙනුවෙන් එහෙම ගෙවීමක් වුන බවක් සඳහන් නැහැ. ඒ කියන්නේ එතන තියෙන්නේ Right actor Right movie කියන සංයෝගය.

මීට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 15 ක පමණ වටිනාකමක් චිත‍්‍රපටයක පෙනී සිටීම ගෙවීම් ලැබිය හැකි නලු නිලියන් පිරිසකුත් ඉන්නවා.

1. බෙන් ඇෆ්ලෙක්
2. බ‍්‍රැඞ්ලි කූපර්
3. ඞ්වෙයින් ජොන්සන්
4. ජෙනිෆර් ලෝරන්ස්
5. මෙලිස්සා මැක්කාර්ති
6. චේනින්ග් ටැටුම්

හොලිවුඩ්වල නලූවෙක්ට හෝ නිලියෙක්ට ඩොලර් මිලියන 15  ක වටිනාකමක් ලැබෙන්න එහෙමත් නැත්නම් ඩොලර් මිලියන 20 ක් වගේ දැවැන්ත වටිනාකමක් ලැබෙන්න හේතුව මොකද්ද? මොකද්ද ඔවුන්ගේ විශේෂත්වය? 

මම හිතන්නේ ඒ ප‍්‍රශ්නයට දෙන උත්තරය තුල අපි  ඕනෑම කෙනෙක්කට ජීවිතයට මූල්‍යමය අතින් සාර්ථකත්වය අත් කරගන්න අවශ්‍ය මග පෙන්වීම ලැබෙයි. සාමාන්‍ය නගරයකින් ඇවිත්, ගොඩක් දුක් විඳගෙන චිත‍්‍රපටියක රඟපාන්න සිහින මවමින් ජීවත් වෙමින්, අතිශය තරඟකාරී සහ දක්ෂයන්ගෙන් පිරුන හොලිවුඞ් සිනමාවට ඇතුල් වෙලා ඒ තුල මුදල් අතින් මේ වගේ ඉහළ සාර්ථකත්වයකට එන්න මේ අයට ශක්තිය ලැබුනේ මොනවයින්ද ඒවා අපිටත් ඒ විදියටම වැදගත් වෙයි. 

මිනිසුන් ධනවත් වීම අහම්බයක්ද ? ඔහේ ඉන්නවා මොනවා හරි එකක් පටන් ගන්නවා ඊට පස්සේ මෙන්න මිනිස්සු එක රැයින් ධනවත් වෙනවා. එහෙමද වෙන්නේ ? නැහැ කෙනෙක් ධනවත් වෙනවා කියන එක, එහෙම නැත්නම් මූල්‍යමය අතින් සාර්ථක වෙනවා කියන එක අහම්බයකට වඩා විද්‍යාත්මක දෙයක්. විද්‍යාත්මකයි කියන්නේ මේ නිසයි - මූල්‍යමය අතින් සාර්ථක වෙන්න නිරවද්‍යතාවය සහතික කළ නිසි පිළිවෙලක් තියෙනවා. ඔව් එහෙම ක‍්‍රමයක් කතියෙනවා, ඒ විතරක් නෙවෙයි  ඕනම කෙනෙක්ට ඒක අනුගමනය කරලා සාර්ථක වෙන්න පුලූවන්.

2014 වර්ෂයේදී Spectrem’s Millionaire Corner විසින් කරපු සමීක්ෂණයකින් කෙනෙක්ගේ ජීවිතයේ මූල්‍යමය සාර්ථකත්වයක් ඇති වෙන්න බලපාන සාධක අනාවරණය කරගත්තා. ඒක තමයි මම කලින් කියපු විද්‍යාත්මක ක‍්‍රමය. ඒ සාධක හැඳින්වෙන්නේ Top wealth creation factors නමින්. මේ සාදක කිහිපය හරියට අනුගමනය කළොත් වැඩේ හරි.



ප‍්‍රස්තාර සටහන බැලුවම අදහස පැහැදිලි වෙනවා ඇති. ඩොලර් මිලියන 20 ක් එක චිත‍්‍රපටියකකට අයකරන්න සමත් වෙන රංගන ශිල්පියෙක් විතරක් නෙවෙයි  ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ පන්නරය වෙන්නෙත් මූල්‍ය සාර්ථකත්වය ඇති වෙන්නෙත් මූලිකවම ඒ පුද්ගලයා කොතරම් කැපවීමෙන් සහ මහන්සියෙන් වැඩ කරනවද කියන එක මතත. 

Toy Story, Wall-E, Finding Nemo සහ Monster Inc. වගේ අතිශය ජනපි‍්‍රය චිත‍්‍රපටි හදපු Pixar Animations  සමාගමේ සමාරම්භක, සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා තමයි එඞ්මන් කැට්මුල්. එයාගේ සිහිනයක් සැබෑවීමක් තමයි Toy Story චිත‍්‍රපටිය. එයාගේ විතරක් නෙවෙයි ඒක ලෝකයේ ති‍්‍රමාන සජීවීකරන කේෂ්ත‍්‍රයේ දැවැන්ත ජයග‍්‍රහණයක්. ලෝකයේ සම්පූර්ණයෙන්ම පරිඝනකය ආශ‍්‍රයෙන් සජීවීකරණය කරපු පළමු චිත‍්‍රපටිය Toy Story. ඒ විතරක් නෙවෙයි ඒක ති‍්‍රමාන රූප විසින් හැඟීම් පල කරන ආකාරය අන්තර්ගත වන පළමු සජීවීකරණ චිත‍්‍රපටිය. මේක හදන්න කලින් එඞ්මන් කැට්මුල් දශක තුනක් විතර ලොකයේ පරිඝනක භාවිතයෙන් පමණක් කරන පළමු සජීවීකරණ චිත‍්‍රපටියක හදනවාමයි කියන අරමුනින් පර්යේෂණ කරා. Pixar Image computer වගේ විවිධ තාක්ෂණයන් ලෝකයට හඳුන්වා දුන්නා. ඒ ගමනේදි එයා කොයිතරම් මහන්සි වුනාද කියනවනම් ඔහු පරිඝනක විද්‍යාව සඳහා ආචාර්ය උපාධියට ඉගෙන ගත් ඌටා විශ්වවිද්‍යාලයේ පරිඝනක පද්ධතිය වැඩිපුර පැය කිහිපයක් පාවිච්චි කරන්න ඉඩ ලබා ගන්න විශ්වවවිද්‍යාලයේ විද්‍යාගාරයේ සීතල පොලවේ වැතිරිලා රෑ නිදා ගත්තා. 

රාත‍්‍රියට නවතින්න තැනක් නැතිව, තමන් රැකියාව කළ කර්මාන්ත ශාලාවේ පිටුපස ලෑලි කිහිපයක් දමාගෙන ඒ ලෑලි මත වැතිරිලා අපහසුවෙන් නිදිවර්ජිතව හිටිය මනුස්සයෙක් බිත්තියක් මත එහා මෙහා දුවන මීයෙක්ව දැකලා ඒක කඩදාසි කැබැල්ලක චිත‍්‍රයට නගනවා. එතනින් පටන් ගත්ත ගමනෙන් පස්සේ කාලෙක ඔහු ඉතිහාසයේ ජනප‍්‍රියම චරිතයක් සජීවීකරණය කරනවා. ඒ මිකී මවුස් සහ ඩිස්නි ඇනිමේෂන්ස් සමාගම නිර්මාණය කළ වෝල්ට් ඩිස්නි.

දෙවැනි සාධකය අධ්‍යාපනය. ඩොලර් මිලියන 20 ලිස්ට් එකේ උඩින්ම ඉන්න සැන්ඩ‍්‍රා බුලොක් අධ්‍යාපනය ලැබුවේ නැගෙනහිර කැරෝලිනා විශ්වවිද්‍යාලයෙන්, ලියර්නාඩෝ ඩිකැප්රියෝ ඉගෙන ගත්තේ් සුප‍්‍රසිද්ධ UCLA හෙවත් කැලිෆෝනියා ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයෙන්, ඩේමන් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ, වොෂින්ටන් ෆෝර්ඩ්හැම් විශ්වවිද්‍යාලයේ. 

මෙතෙන්දි අධ්‍යාපනය කියන සාධකය ගැන තව ටිකක් කතා කරේ නැත්නම් වැරදි අදහසක් පාඨකයෙක්ගේ හිතේ මතුවෙන්න පුලුවන්. ඉහතින් නම් සඳහන් කරපු ගොඩාක් දෙනා උසස් විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත අය තමයි. නමුත් අධ්‍යාපනය කියන සාධකය ඇති වෙන්න උසස් විශ්වවිද්‍යාලයක ඉගෙන ගැනීම අනිවාර්ය මූලික කොන්දේසියක් නෙවෙයි. Iron Man රොබර්ට් ඩොවුනිගේ ජීවිතය අරගෙන බලන්න. මෙතෙන්දි ඔහු වෙනස්, එයා මුල් කාලේම සැන්ටා මොනිකා උසස් විද්‍යාලයේ ඉගෙනීම අත්හැරලා රස්සාවක් හොයාගෙන යනවා.

ප‍්‍රබලම උදාහරණ දෙකක් තමයි මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කරපු බිල් ගේට්ස්, සහ ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්. දෙන්නම College Dropouts ඒ කියන්නේ හාවර්ඩ් වගේ උසස් විශ්වවිද්‍යාලවල ඉගෙනීම  ආරම්භ කරනවා, නමුත් උපාධිය සම්පූර්ණ කරන්න කලින් එයාලා ඒක දමලා ගහලා එලියට ඇවිත් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා. 

දෙන්න පුලූවන් හොඳම උදාහරණය තමයි ස්ටීව් ජොබ්ස් - ඇපල් සමාගමේ නිර්මාතෘ, දක්ෂ විධායක නිලධාරියෙක්, හොඳ පරිපාලකයෙක් මිනිහගේ Imagination එක හෙවත් චින්තන පරාසයට කෙලවරක් තිබුනේ නෑ. ඒත් කවදාවත් විශ්වවිද්‍යාලයක ඉගෙන ගෙන නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අය අධ්‍යාපනයක් නොලබපු අය කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මේ අය විශ්වවිද්‍යාලයක උපාධියක් සම්පූර්ණ කළේ නැහැ කියන එක විතරයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබුවා වුනත් මේ අය තමන්ගේ කේෂ්ත‍්‍රය සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැනුම්වත්ව සිටි පත පොත ඇසුරින් ඒ ගැන හදාරපු අය. වෙන විදියකට කියනවනම් Learned by doing it කට්ටිය.

මේ සම්බන්ධයෙන් කෙනෙක් අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියක් තමයි ස්ටීව් ජොබ්ස් සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප‍්‍රධානෝත්සවයේදි කරපු ප‍්‍රධාන දේශනය. මම කරපු සිංහල පරිවර්තනයක් මෙතන තියෙනවා.

ඊලඟට බුද්ධිමත්ව ආයෝජනය කිරීම. ආයෝජනය කරන්න කියනවා වෙනුවට ඉතිරි කරන්න කියලා කියන එක වැඩියෙන්ම ඇහෙන ලංකාව වගේ රටක Smart Investment කියන්නේ අමුතු කතාවක්. ඒත් ඔබ දන්නවද සැන්ඩ‍්‍රා බුලොක් තමන්ට Gravity චිත‍්‍රපටියෙන් ලැබුන ආදායම ආයෝජන හරහා තුන් ගුනයක්, ඒ කියන්නේ ඩොලර් මිලියන 70 ක් දක්වා වැඩි කරගන්න සමත්වුනා කියලා.

මූල්‍ය ආයෝජන ගැන ඉතින් Marshal තමයි ඇමරිකානු ආයෝජක වෝරන් බුෆේට්. බුෆේට් සැලකෙන්නේ 20 වන සියවසේ හොඳම ආයෝජකයා කියලා. ඔහු බර්ක්ෂයර් හැතර්වේ කියන සමාගමේ සභාපති, ප‍්‍රධාන විධායක නිලධාරි සහ ප‍්‍රධානතම කොටස් හිමිකරු. වතාවක් බිල් ගේට්ස් පරදවමින් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වෙන්නත් ඔහුට හැකිවුනා. අදටත් ඔහු ලෝකයේ මුල් ධනවතුන් 05 දෙනා අතරේ ඉන්නවා. හැමදේටම වැඩියෙන්ම ප‍්‍රසිද්ධ කොච්චර සල්ලි තිබුනත් ඉතා අරපිරිමැස්මෙන් වැඩ කරන කෙනෙක් විදියට. 

අද කොතරම් ධනවතෙක් වුනත් මේ  මනුස්සයා වෘත්තීය ජීවිතේ ආරම්භ කළේ කුඩා ළමෙයක් කාලේ චුයින්ගම් සහ කොකා කෝලා විකුණන්නෙක් විදියට. ඊට පස්සේ ගෙවල් ගානේ ඇවිදිමින් සඟරා විකුනනවා, පින් බෝල් කියන කී‍්‍රඩාවට යොදා ගන්න යන්ත‍්‍රයක් යාලුවෙක් එක්ක එකතුවෙලා මිලදීගෙන ටවුමේ බාබර් සාප්පුවක් අයිනේ ඒක තියාගෙන යන එන මිනිස්සුන්ගෙන් මුදල් අයකරලා ඔවුන්ට පින් බෝල් ගහන්න දුන්නා, මාස  දෙක තුනකට පස්සේ මුලු නගරේම තිබුන බාබර් සාප්පු ගණනාවක පින් බෝල් යන්ත‍්‍ර තියන්න බුෆේට්ට පුලුවන් වෙනවා. ඒ ලැබුන මුදල් බුෆේට් ගිහින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරනවා. ඔහු මේ හැම දේම කරන්නේ මුදල් අහේනියක් තිබුන නිසාවත් පවුලේ ආර්ථික ප‍්‍රශ්න නිසාවත් නෙවෙයි. බුෆේට්ගේ තාත්තා ඔහු කුඩා කාලේ ඉඳන්ම ඇමරිකා කොංග‍්‍රස් සභාවේ මන්ත‍්‍රීවරයෙක්. 

අරපිරිමැස්ම සහ අවදානමක් ගැනීමේ හැකියාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එත් නිවැරදි තැන නිවැරදි වෙලාවට සිටීම සහ වාසනාව කියන්නේ එකක් ද දෙකක් ද ? 

මම කියන්නේ මේ දෙක දෙකක්. වාසනාව කියන්නේ විශ්වාස කරන්න බැරි මිත‍්‍රයෙක් (බැලූවම ඉතින් ගොඩක් ‘මිත‍්‍රයෝ’ විශ්වාස කරන්න බැරි අය තමයි). වාසනාව තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් - ඒකයි ඒක විශ්වාස කරන්න බැරි. සමහරවිට ඔබට උපතින් ලැබුන යම් හැකියාවක්, ඔබේ පෙනුම මේ වගේ දේවල් වාසනාව කියලා ගන්න පුලූවන්. හැබැයි නිවැරදි වෙලාවට නිවැරදි තැන ඉන්නවා කියන එක නිකං ඉබේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක Opportunity meets the preparation අවස්ථාවක්.  අවස්ථාවන් කියනදේ  ඕනෑම මෙහොතක එන්න පුලුවන්. ඒ වෙලාවට ඔබ සූදානම් නම්  ඔන්න එතකොට නිවැරදි වෙලාවේ නිවැරදි තැන හිටියා වෙනවා. 

ඔහොම නිවැරදි අවස්ථාවේ නිවැරදි ස්ථානයේ සූදානම්ව සිටීමෙන් සාර්ථකත්වයට මග පාද ගන්න තරුණයෙක් ගැන කියවෙන හින්දි චිත‍්‍රපටියක් තියෙනවා. ඒක සෝයා අක්තාර් කියන ඉන්දියානු අධ්‍යක්ෂවරියගේ නිර්මාණයක්, රඟපාන්නේ ෆර්හාන් අක්තාර්. චිත‍්‍රපටියේ නම Luck by Chance. 

2 comments:

  1. Aha. you finally started a one thing you are best at. Should have do this a long ago pragiya. nice blog, keep this up. good luck.
    Chathuri

    ReplyDelete
    Replies
    1. Buwahaha, thanks chathu. blogging is still nowhere near my strong suites. lets see.

      Delete