කොත්තමල්ලි වගේද විස්කි බ්‍රැන්ඩි? 

4/11/2015 06:03:00 PM Prageeth Liyanaarachchi 4 Comments



වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවරයෙක් වන මහාචාර්ය කුමා ඩේවිඩ් ලංකාවේ සුප්‍රසිද්ධ දේශපාලන තීරු ලිපි රචකයෙක් - ඒ වගේම මම අහලා තියෙන විදියට එතුමා ලංකාවේ අංක එකේ බ්‍රැන්ඩි රසිකයෙක්. ඔහු ලඟ විවිධ බ්‍රැන්ඩි වර්ග රාශියකින් පිරුන සුවිශාල සහ හොඳ බ්‍රැන්ඩි එකතුවක් තිබෙන බවත් මම අහලා තියෙනවා. 

මගේ වෘත්තීය සගයෙක් ඉන්නවා සුරේන් සිවසුබ්‍රමනියම් කියලා. මෙයා කුමා ඩේවිඩ්ගේ අනුගාමිකයෙක් වගේ, හැබැයි විස්කිවලට තමයි මෙයාගේ කැමැත්ත තියෙන්නේ. මිනිහා දවසක් අපේ ඔපිස් එකේ සාදයක් වෙලාවේ විස්කි ටිකක් වීදුරුවකට හලාගෙන ඊට පස්සේ යටින් ගිනිකූරක් ගහලා වීදුරුව රත් කරා. මට එකපාරටම හිතුනේ මේ යකාට බොන්නත් කලින්ම වැඩිවෙලා කියලා. හබැයි ඒ වෙලාවේම මිනිහ මට පොඩිවට Whisky Knowledge එකක් දිලා කිව්වා බ්‍රැන්ඩි, විස්කි සහ රම් වගේ මත්පැන් පානය කරන්න ඕන කාමර උෂ්ණත්වයේදි බවත්, විස්කි එකක සැබෑ රසය සහ සුවඳ විඳගන්න පුලුවන් එතකොට බවත් (ඒ වෙලාවේ සාදය පැවැත්වුන ශාලාවේ තිබුන සීතල නිසා තමයි මිනිහා පොඩ්ඩක් විස්කි එක රත් කළේ). 

ගල් බාගයක් හෝ අති විශේෂ එකක් නවාගෙන ගහනවා වගේ නෙවෙයි විස්කි, බ්‍රැන්ඩි සහ රම් මත්පැන් වර්ග රස විඳිනවා කියන එක. විශේෂයෙන් විස්කි. මේ තියෙන්නේ විස්කි පෙම්වතෙක් (a whisky lover) quoraවල සටහන් කරපු පෙම් පණිවිඩයක්. 

"Drinking whiskey is a lot like getting into a romantic relationship. Your question leads me to believe you're looking for a mature, long lasting relationship with your whiskey, not just a quick shot. Do remember that you're not in a hurry to get drunk, you want to taste everything this drink has to offer. Take your time and get to know your drink."

හරි, ඉතින් සුනිල් පෙරේරා මොනවා කිව්වා වුනත්, එයාගේ අම්මා සුනිල් පෙරේරා පොඩිකාලේ එයාටයි පියල්ටයි හැදුන හැම ලෙඩටම කොත්තමල්ලි පෙව්වා වුනත්, දන්න අය දන්නවා විස්කිවල (සහ බ්‍රැන්ඩිවල) රසය. මේ ලිපියෙන් කතා කරන්නේ විස්කි ගැන. අපි හිතන්නෙවත් නැතිවුනාට විස්කි කියන්නේ එයටම අෑඳුන සංස්කෘතියක්, නිෂ්පාදන සුවිශේෂතාවන්, සාහිත්‍යයක් විතරක් නෙවෙයි නීති රෙගුලාසි පවා තියෙන මාර බීමක්. 


විස්කි සැලකෙන්නේ Distilled spirit වර්ගයක් හෙවත් පෙරන ලද ස්ප්‍රිත්තු/මධ්‍යසාර වර්ගයක් වශයෙන්. විස්කිවලට වඩා වෙනස් බියර් කියන්නේ Saccharification හෙවත් සැකරීකරණය කරන ලද මත්පැන් වර්ගයක්. බියර් නිෂ්පාදනයේදි වෙන්නේ මෝල්ට් බාර්ලි හෝ මෝල්ට් තිරිඟු වගේ මිශ්‍රණයක් (Ingredients) පැසවීමට ලක් කිරීම (Brewing) හරහා මධ්‍යසාර ද්‍රාවණයක් (Fermentation) නිෂ්පාදනය කරගැනීම. විස්කි නිෂ්පාදනය වෙන්නේ බියර් නිෂ්පාදනයේදි වගේම ධාන්‍යවලින් සකස් කරගත් මිශ්‍රණයක් පැසවීමට ලක්කරලා මධ්‍යසාර ද්‍රාවණයක් ලබාගැනීමෙන්. හැබැයි එතැනින් නොනාවතී ඊලඟට ඒ ද්‍රාවණය පෙරීමට ලක් කරනවා (Distillation). මේ පෙරීමේ ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රමයක්. ඒකෙදි කරන්නේ මධ්‍යසාර ද්‍රාවණයට බාහිර උෂ්ණත්වය සැපයීමෙන් එහි තිබෙන අතිරේක ජල පරිමාවන් ඉවත් කිරීම වගේ රසායන විද්‍යාත්මක කාර්යයන්. ඉන් අනතුරුව ඕක් ලීයෙන් හෝ වෙනත් ලීවලින් නිම කළ බැරල්වල දාලා නිශ්චිත කාලයක් තැබීමෙන් මධ්‍යසාර ද්‍රාවණය පදම් කරගැනීමෙන් (Maturation/Aging) තමයි විස්කි නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ

සරලව කිව්වොත් බියර් වගේ මත්පැන් නිෂ්පාදනය වෙන්නේ අදියර 03 ක් සහිත ක්‍රියාවලියකින්. 


Ingredients→Brewing→Fermentation 

විස්කි කියන්නේ බියර් නිෂ්පාදනයට සාපේක්ෂව දීර්ඝ ක්‍රියාවලිය හරහා නිෂ්පාදනයවන මත්පැන් වර්ගයක්.


Ingredients→Brewing →Fermentation→ Maturation 

තවත් ඕනනම් විස්කි කියන්නේ පෙරන ලද බියර් විශේෂයක් කියන්නත් පුලුවන්. දැන් මෙහෙම නිෂ්පාදනය කරන ලද විස්කි සාරයක් නැවත පෙරීමේ ක්‍රියාවලියට ලක්කරාම ලැබෙන්නේ Double distilled whisky හෙවත් දෙවරක් පෙරන ලද විස්කි. මේ ක්‍රියාවලියම තුන්වාරයක් කරාම ලැබෙනවා Triple distilled whisky. මෙහෙම නැවත නැවත පෙරීමට ලක්කිරීමෙන් වෙන්නේ වඩාත් හොඳම සහ පිරිසිඳුම මධ්‍යසාර කොටස (Spirit) වෙන්කර ගන්න ලැබීම. තඹ වලින් නිර්මාණය කළ දැවැන්ත පෝචිචිවලට උෂ්ණත්වය සපයමින් පෙරන අයිරිෂ් පොට් විස්කි (Irish Pot whisky) කියන්නේ තෙවරක් පෙරන ලද විස්කි විශේෂ. පෙරන ලද විස්කි ද්‍රාවණය වෙනත් ස්කාගාරයක නිපදවූ විස්කි ද්‍රාවණයක් සමග, නැතිනම් වෙනත් ධාන්‍ය ස්ප්‍රිත්තු, වර්ණකාරක හෝ රසකාරක සමග මිශ්‍රකිරීමෙන් නිෂ්පාදනය කරන විස්කි හඳුන්වන්නේ Blended Whisky නමින්. ඔය තෙවරක් පෙරන ලද විස්කි ගැන විද්‍යාත්මක විස්තර ටිකක් දැනගන්න පුලුවන් Whisky Science කියන බ්ලොග් පිටුවට ගියොත්. 

  
මේ තියන්නේ අයර්ලන්තයේ විස්කි නිෂ්පාදනය කරන පැරණිම අායතනයක් වන Midleton Distilleries  අායතනයේ තියෙන කලින් කියපු විදියේ තඹ පෝච්චියක්.

විස්කි කියන වචනය ඉංශ්‍රීසියෙන් ලියන්නේ කොහොමද? කෙනෙක් කියයි Whisky කියලා, තව කෙනෙක් කියයි Whiskey කියලා. තවත් කෙනෙක් කියන්න ඉඩ තියෙනවා 'ඔය දෙකම හරිනේ බං. එක e අකුරනේ වෙනස්' කියලා. නෑ Whisky සහ Whiskey කියන්නේ විස්කි වර්ග දෙකක්. Whisky කියන නම භාවිතා කරන්නේ ස්කොට්ලන්ත වාසීන්, ඒ අනුව ස්කොච් විස්කිවලට තමයි e අකුර නැති Whisky කියන පදය ව්‍යවහාර වෙන්නේ. ස්කොච් නොවන සෙසු සියලුම විස්කි වර්ග Whiskey. මේක වෙලා තියෙන්නේ පොඩි පහේ සම්ප්‍රදායක් නිසා. ස්කොට්ලන්ත ජාතිකයෝ හිතනවලු අනවශ්‍ය විදියට කියවන්න ගියාම බොන්න තියෙන වෙලාව අඩුවෙනවා කියලා (More vowels waste good drinking time). ඉතින් ඔවුන් සාපෙක්ෂව කෙටි පදය තමයි විස්කි හඳුන්වන්න භාවිතා කරන්නේ. 

ලෝකයේ විස්කි නිෂ්පාදනය සඳහාම සුවිශේෂීවූ කලාප තිබෙනවා. 

1. අැමරිකාවේ කෙන්ටුකී ප්‍රාන්තයේ බර්බන් නගරය
මේ බර්බන් විස්කි එක වරක් පමණක් පෙරන ලද විස්කි විශේෂයක්. බොහෝවිට බර්බන් විස්කි නිෂ්පාදනය වෙන්නේ තිරිඟුවලින් නිසා මේ විස්කිවල රසය අනිත් ඒවාට වඩා තරමක් මිහිරියි කියලා තමයි කියන්නේ. හොඳම වැඩේ තමයි බර්බන් කියන්නේ අැමරිකාවේ Dry district එකක් වශයෙන් සැලකෙන - ඒ කියන්නේ මත්පැන් අලෙවිය මුලුමනින්ම තහනම්ව තිබෙන නගරයක්. ඒ නිසා බර්බන් විස්කි නිෂ්පාදනය සිදුවෙන්නේ අපනයනය වෙනුවෙන් පමණයි. 

2. නිරිතදිග අැමරිකාවේ ටෙනස්සී ප්‍රාන්තය
ටෙනස්සී විස්කි වර්ග දෙකයි තියෙන්නේ. මේ පෝස්ට් එකේ තිබෙන පළමු ඡායාරූපයේ තියෙන Jack Daniel's ඉන් එකක්, අනෙත් එක George Dickel. පොඩි නයෙක් අරින්නද? - මම අැත්තටම විස්කි වර්ග කිහිපයක් බීලා තියෙනවා. ඒ අතරින් මගේ ප්‍රියතම  එක තමයි ඔය Jack Daniel's. නයා ඉවරයි. ජැක් ඩැනියෙල් මහත්මයා 1875 මුලින්ම නිෂ්පාදනය කළ මේ විස්කි වර්ගය අද වෙනකොට ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන අැමරිකානු විස්කි නිෂ්පාදනය වශයෙන් සැලකෙනවා. හැම මාසෙකම පළවෙනි සිකුරාදා  Jack Daniel's සමාගමේ සේවකයන් සියලුම දෙනාට එක ගානේ Jack Daniel's බෝතලයක් නොමිලයේම ලැබෙනවා ලු. 

3.කැනඩාව
සාමාන්‍යයෙන් කැනේඩියානු විස්කි අවස්ථා කිහිපයක්ම දිගින් දිගටම පෙරණ ලද විස්කි. කැනේඩියානු Seagram's & Sons සහ Crown Royal ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ විස්කි වර්ග දෙකක් වශයෙන් සැලකෙනවා. 

4.අයර්ලන්තය
අයර්ලන්තය (සහ ස්කොට්ලන්තය) විස්කි නිෂ්පාදනය සම්බන්ධයෙන් දීර්ඝතම ඉතිහාසයන් තිබෙන රටවල්. කලින් කිව්වා වගේම අයර්ලන්තයේ විස්කි හෙවත් Irish Whiskey තෙවරක් පෙරන ලද ඒවා සහ බොහෝ විට විශාල තඹ පෝචිචිවල පෙරන ලද විස්කි. 

අයර්ලන්තයට බලපැවැත්වෙන විදියට සම්මත කරගත් පනතක් තියෙනවා අයර්ලන්ත විස්කි පනත කියලා. 1980 දි සම්මත කරගත් මේ පනතෙන් අයර්ලන්ත විස්කි නිෂ්පාදනය ප්‍රමිති පද්ධතියකට සහ රෙගුලාසිවලට අනුගත කරලා තියෙනවා. උදාහරණයක් විදියට අයිරිෂ් විස්කි අවමය වසර 03 ක් ලී බැරල්වල පදම්විය යුතු බව මේ පනෙත් එක් වගන්තියක සඳහන්

Jameson's සහ Michael Collins විස්කි වර්ග දෙක සුප්‍රසිද්ධම අයර්ලන්ත විස්කි වර්ග.

5.ස්කොට්ලන්තය
ස්කොච් විස්කි හෙවත් ස්කොච් ලෝකය්‍ෙ විස්කි වර්ග අතරින් බොහෝම ජනප්‍රියයි. ස්කොට්ලන්තයටත් විස්කි නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉතාම මෑතකදි සම්මත කරගත් නීතියක් තිබෙනවා. ඒ 2009 ස්කොච් විස්කි රෙගුලාසි. මේ නීතියේ තිබෙන ප්‍රධානම කොන්දේසියක් තමයි ස්කොච් විස්කි හැම එකක්ම අවම වශයෙන් වසර 03 ක් සහ තවත් එක දිනයක් ලී බැරල්වල පදම් කර තිබිය යුතුයි කියන එක. ඒ වගේම ඒ නීතියට අනුව විස්කි බෝතල්ගතකිරීමේදි අන්තර්ගත විස්කි කොයිතරම් පරණද කියන එක අනිවාර්යයෙන්ම ලේබලයේ සඳහන් විය යුතුයි. 

ස්කොච් නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධ ස්කොට්ලන්ත කලාප 05 ක් තිබෙනවා: ඒ Lowland, Speyside, Highland, Campbeltown, සහ Isley වශයෙන්. ගොඩාක් වෙලාවට ශ්‍රී ලාංකිකයන් පානය කරලා තිබෙන ස්කොච් වර්ගයක් තමයි Chivas Regal. Macallan සහ Glenlivit විස්කි වර්ග දෙක ලෝකය පුරාම ජනප්‍රියයි. අැයි එතකොට Ballentine's.  ඔය හැම වර්ගයකටම වැඩිය ලෝකය පුරාම ජනප්‍රියතම ස්කොච් විස්කි වර්ගය තමයි Johnnie Walker. මේ වර්ගයේ Red Label, Black Label, Double black Label සහ Green Label කියන විස්කි වර්ග ලංකාවේත් ප්‍රසිද්ධයි. මේ Johnnie Walker නිෂ්පාදන ලෝකය පුරාම වැඩිම අලෙවියක් තිබෙන ස්කොච් විස්කි වර්ගය විදියට සැලකෙනවා - දළ වශයෙන් වසරකට බෝතල් මිලියන 130 ක් විතර අලෙවි වෙන බව සඳහන්. 

විස්කි බොනවා කියන එක 'විද්‍යාත්මක' වැඩක්. නියම විස්කි පානය කරන ක්‍රමය මේකයි - මුලින්ම වෙනත් මත්පැන්වලදි වගේ විස්කි බොනකොට අයිස් පාවිච්චි කරන්න එපා. ඒකෙන් වෙන්නේ විස්කි එකේ රසය අඩුවීම සහ අයිස් කැටවල සීතල නිසා විස්කිවල සුවඳ මතුවීම නැවතීම. මගේ අර කලින් කියපු යාලුවා කරපු ගිනිකූරක් ගහලා විස්කි එක රත් කරලා බීමත් හැමවිටම කළ යුතු වැඩක් නොවන බව තමයි මට පස්සේ අන්තර්ජාලයෙන් කියවන්න ලැබුනේ. අධික ශීතල අවස්ථාවක ඔබේ විස්කි  එක යථාතත්ත්වයට ගන්න ඒ විදියට පොඩ්ඩක් රත් කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ඉන්න අතරතුර ඔබේ අතින් විස්කි වීදුරුව අල්ලගෙන ඉදිද්දි එයට ශරීරයෙන් ලැබෙන උෂ්ණත්වය විස්කි එකේ රස සහ සුවඳ 'සක්‍රීය' වෙන්න ප්‍රමාණවත්. 

විස්කි වෙනත් මත්පැන් වගේ පැණි බීම හෝ සෝඩා වර්ගවලින් සැන්ඩි කරන්නෙත් නැහැ, හැබැයි එහෙමයි කියලා විස්කි 'නීට්' ගහන්නත් එපා. කරන්න ඕන පිරිසිඳු වතුර බින්ඳු කිහිපයක් විස්කි එකට එකතු කිරීම. හැබැයි පිරිසිඳු ස්වභාවික වතුර.  අපි බොන ටැප් වතුරවල තිබෙන ක්ලෝරීන් මිශ්‍රණය නිසා විස්කිවල රසයට සහ සුවඳට හානි වෙන්න පුලුවන්. ඔබ විස්කිවලට එක් කරන  වතුර බින්ඳු කිහිපයට පුලුවන් විස්කිවල තියෙන ප්‍රබල මධ්‍යසාර සාරයෙන් ඔබේ රස සංවේදිබව අහෝසි වීම තරමක් වෙලා යනකන් පාලනය කරන්න. ප්‍රතිපලය වෙන්නේ 'හොඳට වදින්න' කලින් ලෝකයේ තිබෙන අතිශය සුවිශේෂී පානයක රසය විඳින්න ඔබට අවස්ථාව ලැබීම. 

4 comments:

  1. Replies
    1. මොනවද maxxa ? විස්කිද ලිපියද ? :D

      Delete
    2. විස්කි කොහොමත් maxxa නේ බන් :P ලිපිය ගැන මම කිව්වේ , උඹේ ලිපි කියවල සැහෙන දේවල් ටිකක් ඉගෙන ගත්තා , අර ජනාධිපති ට තියෙන immunity ගැන එහෙම කියල තියෙන එක එල :) අනික උඹේ බස් වහරත් එල , සමහර ඒවා සිංහලෙන් කියනවට වඩා කඩ්ඩෙන් කියන එක ලේසි නේ , උඹ ඒ වගේ තැන් වල කඩ්ඩට මාරු වෙලා තියෙන එක හොඳයි ( මට හිතෙන විදියට ) . දිගටම ලියපන් ජයවේවා !

      Delete
    3. එල මචං. තෑන්ක්යූ මේ වචන ටිකට

      Delete