මලක් නම් නුඹ මලක් වුව මැන

4/19/2015 03:24:00 PM Prageeth Liyanaarachchi 2 Comments




"ඔයාට මතකද ඔයයි මමයි  ඉස්සෙල්ලම කතා කරපු දවස? "

"ඔව් මතකයි. අර අපේ ඔෆිස් එකෙන් කදීර්ගාමර් එකේ කරපු event එක දවසෙනේ? "

මලීව මුලින්ම දැකපු දවස තව කාලයක් යනකන් මගේ හිතේ තියෙයි. මම මලීට කිව්ව විදියටම එදා මම ඒ කාලේ වැඩ කරපු අායතනය විසින් කොළඹ සංවිධානය කරපු විශේෂ වැඩසටහනක් පැවැත්වුන දවසක්. රතු පැහැති සාරියකින් සැරසිලා අඩි උස පාවහන් යුවලක් දාගෙන කොණ්ඩය පිට දිගේ කඩාදාලා මලී දිග අඩි තියමින් වැඩසටහන පැවැත්වුන ශාලාව දිහාවට අැවිදගෙන අාවා. අමුත්තන්ගේ නාම ලේඛණයේ නමට ඉදිරියෙන් පොඩි අත්සනක් දාලා අැය කලින් වගේම දිගු අඩි තබමින් ශාලාව අැතුලට අැවිදගෙන ගියා. මලීගේ සිහින් උස හැඩරුව දිහා ඒ මොහොතේ ලොබියේ හිටපු හැමෝම බලාගෙන හිටියා. ඒත් ඒ අපි එදිනෙදා දකින යුවතියකගේ දිහා බලන බැල්මෙන්ම නෙවෙයි. 

"හ්ම්ම්ම්...මතකද එදා ප්‍රෝග්‍රෑම් එක ඉවරවෙලා අාපහු යද්දි අර නිතරම ඔයාගේ ලඟටම වෙලා හිටිය ගර්ල්ව පෙන්නලා මං අැහුවා ඒ ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද කියලා? ඔයා ටක්ගාලා කිව්වා නෑ නෑ එයා නෙවෙයි කියලා. ඒ කියන්නේ  එයා නෙවෙයි වෙන කෙනෙක් කියන එකනේ. එතෙන්දි තමයි මං ඔයා ගැන හිතේ තිබුන අාදරේ හිතින් අයින් කරගත්තේ. "

මම කලබල වුනා. මලීගේ හිතේ එහෙම දෙයක් තිබුන බවක් මම දැනගෙන හිටියේ නෑ. එදා ඒ වැඩසටහන ඉවරවුනාම ඒ වැඩසටහනේ එක් දේශනයක ලිඛිත පිටපතක් ලබා ගන්න මලීට උවමනා වෙලා තිබුනා. සංවිධායක මණ්ඩලයේ සගයෙක් අැයව ඒ සඳහා යොමු කළේ මං ලඟට. මම මලී හඳුනාගත්තෙත් අැය සමග පළමු වතාවට කතාබහ කළෙත් ඒ අවස්ථාවෙදි. අැය රැකියාව කරන තැන, අැය පදිංචිවෙලා ඉන්න තැන පවා මලී ඒ පළමු කතා බහේදිම මට කියලා දැම්මා. අැයත් සමග කළ ඒ දීර්ඝ කතාබහ අැදීයන අතරේත් අැය ගැන විශ්වාස කළ නොහැකි පුදුමයක් මගේ හිතේ අැඳිලා තිබුනා මට  මතකයි.

"මට ඔයාව දැක්ක ගමන්ම හිතුනා ඔයා වගේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් මට ඉන්නවනම් කියලා. Don't panic හොඳද...මං දැන් ඔයා ගැන ඒ විදියට හිතන එක නවත්තලා."

මලී අන්තිමට එහෙමත් කිව්වේ මං වචනයක්වත් කතා නොකර ඔහේ බලන් හිටිය නිසා වෙන්න අැති. 

"මං බබෙක් නෙවෙයිනේ. මං දන්නවා ලෝකේ මිනිස්සු මං දිහා බලන විදිය. මං  වාසනාවන්තයි, මට මුණගැහිලා තියෙනවා මං දිහා අමුතු විදියට බලන්නේ නැති මට සාමාන්‍ය විදියට සලකන මිනිස්සු කිහිප දෙනෙක්ම. ඔයා ඒ  අතරින් එක්කෙනෙක්."

මගේ පිළිතුර වුනේ නිෂ්ශබ්දතාවය.

"ඔයා එක්ක මුලින්ම කතා කරපු දවසේම මට තේරුණා ඔයා අපි වගේ අය ගැන open mind බලන්න පුලුවන් කෙනෙක් කියලා. දැන් වුනත් මං ඔයාට මගේ හිතේ තිබුන දේවල් කියන්නේ ඒ දෙවල් අහලා ඔයා මාව disgust කරන්නේවත් ඒකෙන් අපේ යාලුකම ඉවරවෙන්නෙවත් නැහැ කියලා දන්න නිසයි."

"අැත්තටම එදා ඔයා මාත් එක්ක මුලින්ම කතා කළ දවසේ ඉඳන් මගේ හිතේ ගොඩක් වෙලාවට ඔයා ගැන තිබුනේ පුදුමයක්."

ගොඩක් වෙලාවකට පස්සේ මං මලී ඉස්සරහා කියන්න දෙයක් හොයා ගත්තා. සති අන්තයේ ඒ හැන්දෑවේ ගාලු මුවදොර බිම්කඩ ගැහැණු, මිනිස්සු, සහ ළමයි දහස් ගණනකගෙන් පිරිලා ඉතිරිලා තිබුනා. නානාගේ කඩේ කොත්තු හදන්නන්, අයිස්ක්‍රිම් වෙළෙන්ඳන්, එකිනෙකා එක්ක තරහාවෙලා අහක බලාගෙන ඉන්න පෙම්වතුන් පෙම්වතියන් මේ හැම ජාතියකම මිනිස්සු. ජීවිතේ හැම තප්පරයක්ම අනුන්ගේ දේවල් හොයමින් වැය කරන්න දක්ෂ, අනුන්ට හිනාවීමේ තෘප්තිය ලබන්න දක්ෂ මේ මිනිස් කන්දරාව ඉස්සරහා මලී කොහොමද මෙච්චර ධෙෙර්යවන්ත කෙනෙක් වුනේ? එයාට මොන විදියට දැනෙනවා අැත්ද? 

"ඔයාට මං ගැන පුදුම හිතෙන එක එච්චර දෙයක් නෙවෙයි. සමහර වෙලාවට මටත් මං අාපු ගමන ගැන පුදුමයි."

අපි අතරට නැවත දිගු නිහැඬියාවක් ගලාගෙන අාවා. ඒ අතරේ මම මලී ගැන කල්පනා කරන්න ගත්තා. මේ හැන්දෑවේ ගාලුමුවදොරදි මලීව මුණ ගැහෙන්න මං බලාපොරොත්තු වුනේ නැහැ. ඒත් හදිසියේ හලෝ කියාගෙන අාපු මලීගේ සමාගමය මේ මොහොතෙත් මට කරදරයක් විදියට දැනුනේ නැහැ. මට අනුව අැය ප්‍රියමනාපයි, විවෘතයි. නමුත් අපි ජීවත්වන සමාජයට අනුව අැය 'වෙනස්'. මලී 'අපි වගේ අය' කියන නමින් අැයවම හඳුන්වා ගත්තේ මේ සමාජය අැය දකින විදිය නිසා. අැය Transgender කෙනෙක්. ඒක සිංහල භාෂාවෙන් හඳුන්වන්නේ කොහොමද? GLAAD හෙවත් Gay and Lesbian Alliance against Defamation සංවිධානය Transgender වශයෙන් දකින්නේ මෙයා ගැහැණු මෙයා පිරිමි කියලා පුද්ගලයෙකුට උපතේදී ලැබෙන අනන්‍යතාවය තුළ ජීවත්වීම ප්‍රශ්නකාරීවුන අයව (the state of one's gender identity or gender expression not matching his/her assigned sex). බොහොමයක් ලංකාවේ පුවත්පත්වල නැත්නම් සිංහල භාෂාවෙන් පළවෙන ලිපි ලේඛණවල මේ අයව හඳුන්වන්නේ 'ලිංගික පරිවර්තනයවූ පුද්ගලයන්' කියන නමින්. ඒත් ඒක හරිද? සමහරවිට මලීව විස්තර කරන්න පුලුවන් නමක් මුලු සිංහල භාෂාවෙම නැතුව අැති, ඒ තරමට මලී ගැන අපිට තිබෙන අාස්ථානය දුර්වලයි. 

Transgender වශයෙන් හැඳින්වෙන අය අපි සමලිංගික පිරිමින් හෝ ගැහැණුන් ලෙස  හඳුනාගන්නා අයට වඩා සංකීර්ණයි. ඒක එහෙම වෙන්න හේතුව තමයි මේ අය උපතේදි ජනනේන්ද්‍රිය අනුව ගැහැණු හෝ පිරිමි වශයෙන් වර්ගකරන (Assumed sex/Assigned gender) පිළිගත් තත්ත්වය නොඉවසන අය වීම. අැතැම් විට Transgender අයට අවශ්‍යයි තමන්ට උපතේදී ලැබුන ස්ත්‍රි හෝ පුරුෂ අනන්‍යතාවයෙන් මුලුමනින්ම ඉවත්වෙලා ප්‍රතිවිරුද්ධ ලිංගික තත්ත්වයට සංක්‍රමණය වීමට හෝ ලිංගික තත්ත්ව දෙකෙහිම ජීවත් වීමට. Transgender පුද්ගලයන් බොහෝ විට තමන්ට උපතේදී ලැබුන ලිංගික අනන්‍යතාවය වැරදි සහගත එකක් ලෙස දකින එහෙමත් නැත්නම් තමන් අභිමත ජීවිතයට නොගැලපෙන එකක් විදියට දකින්නන්. 

"මට පුංචි කාලේ ඉඳන්ම ඒ විදියට හිතුනා. මං ඉපදුනේ හැදුනේ වැඩුනේ මේ කොළඹමයි. මගේ අම්මටයි තාත්තටයි හිටියේ මං විතරයි. මම ඉගෙන ගත්තේ ------ එකේ."

මලී තදාසන්න කොළඹ නගරයේ පිරිමි පාසලක නමක් කියනවා. 

"දන්න කියන කාලේ ඉඳන් මට ඕන වුනේ මධුරි ඩික්සිත් වෙන්න, එයා වගේ අැඳුම් අඳින්න, සින්දු කියන්න, නටන්න. පිරිමි ළමයි එක්ක සෙල්ලම් කරන්න යන්නේ නැතුව ගෑණු ළමයි සෙල්ලම් කරන පැත්තට යන්න මට ගොඩක් වෙලාවට හිතුනා. ගෑණු ළමයි එක්ක ඉන්න එක පිරිමි ළමයි එක්ක සෙල්ලම් කරන එක තරම් අමාරු වුනේ නෑ."

ඉස්කෝලේ 05 වෙනි වසරට එනකන් මලීගේ ජීවිතය ගොඩක් සරල එකක්. හැබැයි ඊට පස්සේ ටික ටික අැයට තේරුම් යන්න පටන් අරගෙන තිබුනා අැය පන්තියේ අනිත් පිරිමි ළමයින්ගෙන් කොන් වෙනවා වගේ කියලා. සමාජය අැය වෙනස් කෙනෙක් වශයෙන් දැකීම අාරම්භ කරලා තිබුනා.

"මට ඉස්සර ඉඳන්ම හරි සිහින් කටහඬක් තිබුනා, ඒ කටහඬ පිරිමි ළමයෙක් වගේ නෙවෙයි. ඉස්කොලේ කොන්සර්ට්වලට එහෙම මාව ගන්නවා. හැබැයි ස්ටේජ් එකේ සින්දු කියන්න මාව කවදාවත් යැව්වේ නෑ, මාව ගත්තේ ටීචර්ස්ලා එක්ක බැක් ස්ටේජ් සින්ග් කරන්න."

"ටීචර්ස්ලා මට අාදරෙයි."

ඒ අාදරේ නිසාම වෙන්න අැති මලීගේ ගුරුවරු අැයව වෙනස් කරන්න උත්සාහ කළේ. ගොඩක් වෙලාවට ගුරුවරු මලීව සෙසු පිරිමි ළමයින්ගේ අාශ්‍රයට තල්ලු කරන්න උත්සාහ කරා. 

"ඒත්  මට එහෙම ඕන වුනේ නෑ."

"06 වසරේදි විතර ඉඳන් මං අපේ ඉස්කෝලේ කොල්ලෙක්ට කැමැත්තෙන් හිටියා. ඒක අාදරයක් නෙවෙයි, නිකං ඒ වයසට අපේ හිතේ අැතිවෙනවානේ එක එක අදහස්. කෙල්ලෙක් නම් කැමතිම කොල්ලෙක් ඉන්නවා, කොල්ලෙක් නම් එයා කැමතිම කෙල්ලෙක් ඉන්නවා. අන්න ඒ වගේ දෙයක්.  ඒ පිරිමි ළමයා  ඔය දේවල් දැනං හිටියේ නෑ. ඒත් 11 වසරෙදි දවසක් එයා මට පන්තියම ඉස්සරහා ලැජ්ජා කරා. එයා කිව්වා මං කොල්ලෙක් නෙවෙයි, කොල්ලොන්ට තියෙන්න ඕන එක මට..."

මේ මලීගේ ජිවිතයේ කටුක සමයක අාරම්භයේ එක් සිද්ධියක් විතරයි. ප්‍රශ්න හැම දෙයක්ම වැඩි වෙන්න ගත්තේ මලී උසස් පෙළ අවසන් කරලා පාසලෙන් පිටවුනාම. අැය යුවතියක මෙන් තමන්ගේ හිසකෙස් දිගට වවන්නටත් දෑතේ නියපොතු සකස් කරන්නටත් පටන් ගෙන තිබුනා. 

"මං මේකප් කරන්නත් පටන් ගත්තා. මගේ අම්මාට ඒවා බලං ඉන්න බැරිවුනා. අම්මා මට නිතරම වගේ බැන්නා, බැනලා බැනලා මට එයා කියනවා එයාලාගේ ගෙදරින් යන්න කියලත්. මට ඒ කාලේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවුනා. මට මතකයි මං දෙවියන්ට යාඥා කළා මොකක් හරි ප්‍රාතිහාර්යයක් කරලා මාව කෙල්ලෙක් කරන්න කියලා. ඒ කාලෙම තමයි මට අාක්ෂා මුණ ගැහුනේ"

අාක්ෂාගෙත් මලීගෙත් දෙන්නගේම දෙෙවය එක  වගේ. ඒ දෙන්නම ඔවුන්ට ඒවනවිට ලැබී තිබුන ලිංගික අනන්‍යතාවය ප්‍රතික්ෂේප කළ, එයින් නිදහස් වෙන්නට උත්සාහ කළ අය. 

"අාක්ෂාව දැන අඳුන ගත්තට පස්සේ මේ දේවල්වලට මුහුණ දෙන එක ඉස්සරට වඩා ලේසිවුනා. අාක්ෂා මගේ හොඳම යාලුවා වුනා. එයා ඉන්න නිසා මට ඉස්සර වගේ තනියක් දැනුනේ නෑ, මට හිතෙන දේවල් දැනෙන දේවල් අාක්ෂා එක්ක බය නැතිව නිදහසේ කතා කරන්න පුලුවන්. දැන් අාක්ෂා මගේ සහෝදරියක් තරම් මගේ ජීවිතේට සමීපයි."

ටික කාලෙකට පස්සේ අාක්ෂාගේ උදව්වෙන් මලී ලංකාවේ LGBT rights (මම කැමතියි Lesbian, Gay, Bi-sexual and Transgender කියන ප්‍රජාව විශේෂ ලිංගික අනන්‍යතාවයන් සහිත ප්‍රජාව විදියට හඳුන්වන්න) වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සංවිධානය කළ වැඩමුලුවකට සහභාගී වෙනවා. ස්ත්‍රී-පුරුෂභාවය, ලිංගිකත්වය සහ ස්ත්‍රී-පුරුෂභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ වැඩසටහනක් වූ එයින් මලී තමන්ගේ ජිවිතයේ අරමුණ හෙයා ගන්න සමත් වෙනවා. අැය මෙන්ම හිතන පතන අය වගේම අැය මෙන් හිතන පතන අයවලුන් වෙනස් වර්ගයක් ලෙස නොසලකන මිනිසුන් සහ ගැහැණුන් අැයට හමුවන්නේ ඉන් අනතුරුව. 

"ඔය කාලේම එක දවසක් මං මගේ ගැන කතා කරන ඉන්ටර්වීව් එකකට හිටියා. ඒකේ මගේ මූණ කවර් කරලා තිබුනේ නෑ. ඒ ඉන්ටර්වීව් එක අපේ අම්මයි, ගමේ අයයි හැමෝම දැකලා තිබුනා. ගමේ කෝවිලට එන යන අය පවා ඒක දැකලා තිබුනා. ඒ හැමෝම මං ගැන වැරදියට කතා කරන්නත් මගේ අම්මටයි තාත්තටයි අපහාස කරන්නත් පටන් අරං තිබ්බා. අම්මට ගොඩක් තරහ ගිහිං හිටියේ. එයා එදා මාව ගෙයින් එලියට අැදලා දැම්මා."

මේ සිද්ධිය සිද්ධවුන දවස්වල මලී අාදරවන්තියක්. තමන්ගේම ගෙදරින් යන්න සිද්ධවුනාම මලී ගිහින් නතරවුනේ තමන්ගේ පෙම්වතාගේ ගෙදර. ඊටත් පසුව අැය රාජගිරියේ වෙනම නවාතැනකට යනවා. 

"මුල් කාලේ මාරයි හොඳද. මට බෝඩිමක් හොයා ගන්න හරිම අමාරුවුනා. බෝඩිං කාමර තියෙනවා කියන තැන්වලට මම කෝල් කරනවා. මගේ කටහඬ ගර්ල් කෙනෙක්ගේ වගේනේ. ඉතින් එයාලා මට බෝඩිමේ විස්තර කියලා බලන්න එන්න කියනවා. හැබැයි මම එතනට ගියාම එයාලට අවුල්."

මේ කාලය වනවිට මලීට බාහිරින් ඒ තරම්ම යුවතියකගේ වගේ පෙනුමක් තිබිලා නැහැ. ඒ නිසා සාමන්‍ය පුද්ගලයෙකුට මෙන් පිළිගැනීමක් අැයට නිවෙස් හිමියන්ගෙන් ලැබිලා නැහැ. අනිත් අතට අැය තමන් යුවතියක් බවට පත්වන්න බලාපොරොත්තු වෙන කෙනෙක් කියලා නිවෙස් හිමියන්ට කිව්වාම ඒක භාරගන්න තරම් ඒ මිනිස්සු විවෘත වෙලත් නැහැ. 

"රාජගිරියේ ඉන්න එක ටිකක් අමාරුවුනා. ඒ පැත්තේ ත්‍රීවිල් ඩ්‍රයිවර්ලා වගේ අය හැසිරුනේ මහ ලැජ්ජා නැති අය විදියට. අද වුනත් සමහරු මං දිහා බලන්නේ එක්කෝ පිළිකුලෙන්, නැත්නම් වෙන වෙන දේවල් හිතේ තියාගෙන. ඒත් මං එහෙම  කෙනෙක් නෙවෙයි. මාත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්."

මලී 2011 අවුරුද්දේ තමන්ගේ වෘත්තීය ජීවිතය අාරම්භ කරනවා. ඒ කලින් කියපු රාජ්‍ය නොවන සංවිධානයේම කේෂ්ත්‍ර නිලධාරිනියක් විදියට. ඒ වගේම අැය විශේෂ ලිංගික අනන්‍යතාවයන් සහිත පුද්ගලයන් වෙනුවෙන් උපදේශන සේවා සපයන්නියක් විදියටත් සම්බන්ධීකාරකවරියක් විදියටත් කටයුතු කරනවා. 

මලීගේ දෙමව්පියන් දැන් ඉස්සර තරම්ම මලී එක්ක තරහා නැති බව මම දන්නවා. පහුගිය දවසක මලී එයාගේ තාත්තාගේ බර්ත්ඩේ එකට ගෙදර ගිහින් එයාගේ පවුලේ අයත් එක්ක සතුටෙන් කාලය ගතකරලා අැවිත් තිබුනා. අැය ඒ වෙලාවේ ගත්ත ෆොටෝස් මම ෆේස්බුක් එකෙන් දැක්කා. සාමාන්‍ය විදියට  ජීවිතය ගත කරන සතුටෙන් ඉන්න පවුලකට වඩා මලීගේ පවුල පොඩ්ඩක්වත් වෙනස් නැහැ නේද කියලා මම ඒ මොහොතෙත් කල්පනා කරා. 

"අප්පා දවසක් කිව්වා මං කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක එයාට වැදගත් නෑ කියලා."

මලී ජීවත් වෙන්නේ ගැහැණිය පිරිමියා  තරම්ම  අයිතිවාසිකම්  හෝ වරප්‍රසාද භුක්ති නොවිඳින රටක සමාජයක. නමුත් මේ සමාජයේ අඩුම වශයෙන් ගැහැණියට ගැහැණියක වශයෙන් හෝ පෙනී සිටීමට නිදහස තිබෙනවා. ඒත් මලීගේ තත්ත්වය වෙනස්. ලංකාවේ මලී වගේ තවත් අය 8000 ක් විතර ඉන්න බව සඳහන්. මේ කිසිවෙකුට තමන් අභිමත ලිංගික අනන්‍යතාවයෙන් යුතුව සමාජය ඉදිරියේ පෙනී සිටීමට නිදහසක් නැහැ. ඒ තියා මේක එවැන්නන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන සාමාන්‍ය පිරිමින් පවා නපුංසක හෝ 'ඌත් ඒ ජාතියෙම වෙන්න අැති' වශයෙන් වර්ගකර දමන අාකාරයේ සමාජයක්. 

"එක පාරක් මම හොඳටම අසනීප වෙලා හොස්පිට්ල් එකට ගියා බෙහෙත් ගන්න. හොස්පිට්ල් එකේ කවුන්ටර් එකේ හිටපු කෙනා මාව දැකලා ඉක්මනට කාටදෝ කෝල් කරලා මගේ දිහා හොරෙන් බලබල හිමිහිට කියනවා එන්නකෝ මාර මැජික් එකක් පෙන්නන්න කියලා. මට ගොඩක් ලැජ්ජා හිතුනා. ඒ වගේ වෙලාවට මට හිතෙනවා අසනීප වෙලා හිටියත් කමක් නෑ බෙහෙත් ගන්නනම් යන්නේ නෑ කියලා. මේ ලඟදි මං දැක්කා අපේ ඉස්කෝලේ බිග් මැච් එකට යන පැරේඩ් එක. මට දුවලා ගිහින් ඒකට එකතු වෙන්න හිතුනා. ඒත් මං දැන් ඉස්සර හිටිය කෙනා නෙවෙයි. මං දැන් අලුත් කෙනෙක්. මං මේ විදයට ජීවත් වෙන්නේ මං අාස නිසා, මගේම කැමැත්තට නම් අැයි අනිත් මිනිස්සුන්ට බැරි අලුත් මාව පිළිගන්න? අැයි මිනිස්සු එයාලා කැමති කෙනාවම මං තුලින් බලාපොරාෙත්තු වෙන්නේ? ඒක වැරදියි."

සමාජය අපිව දකින විදිය අපි හැමෝටම ප්‍රශ්නයක්. තරුණ කාලේ කොල්ලෝ කොන්ඩේ කොටට කපලා පිළිවෙලට පීරලා ඉන්නේ නැතිව දිගට වැව්වොත් සමාජයට ඒක වැරදියි, තරුණියක් දණහිසෙන් පහලට දිග නැති අැඳුමක් අැන්දොත් ඒකත් වැරදියි. මලී තමන්ට උපතින් ලැබුන අනන්‍යතාවයන් ප්‍රතික්ෂේප කරලා තමන්ට අවශ්‍ය විදියට ජීවත් වෙනකාෙට සමාජය මලීට බල කරනවා ඔවුන්ට අවශ්‍ය විදියට ජීවත් වෙන්න කියලා. ඒත් මේ සේරම මැද්දේ මලී එදත් තමන් අාසම කරන අැඳුමකින් සැරසිලා ගාලුමුවදොරට අැවිත් තිබුනා. මම මලීගේ ඒ ධෙෙර්යයට ගරු කරනවා. 

මීට වසර දෙකකට පමණ උඩදි මලී තමන්ගේ ශරීරයේ තිබෙන ස්ත්‍රී හෝර්මෝන පරාසයන් වැඩි කරගැනීමේ වෙෙද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබුනා. ඒ වගේම අැය බලාපොරොත්තු වෙනවා දවසක ලිංගික පද්ධතිය වෙනස්කර නව ලිංගික අනන්‍යතාවයක් ලබාගැනීමේ පූර්ණ සැත්කමකට (Sex Reassignment Surgery - SRS)  සහභාගී වීමෙන් මුලුමනින්ම ස්ත්‍රියක බවට පත්වෙන්න. අැය ඒ ගමනේ බොහෝ දුර දැන් අැවිත් අවසන්. මීට ටික කාලයකට පෙර ස්ත්‍රී පියයුරු බද්ධ කිරීමේ සැත්කමකට (Breast implant surgery) සාර්ථක ලෙස මුහුණ දෙන්න මලීට පුලුවන් වුනා.  

"SRS සර්ජරි එකේ ටෙක්නොලොජි එක දවසින් දවස වෙනස් වෙනවා. ඔයා දන්නවද දැන් ඒක ගොඩක් දියුණු සර්ජරි එකක්. දවසක මට අම්මා කෙනෙක් වෙන්නත් පුලුවන් වෙයි"

මම හුරුපුරුදු පුදුමයෙන් මලී දිහාම බලාගෙන හිටියා. 

2 comments:

  1. සම්මතයට එහා ගිය හැම දෙයක්ම වැරදියි කියලා හිතන මිනිස්සු ඉන්න රටක...
    ප්‍රබුද්ධ පුද්ගලයින්ට වඩා වෙනස් දෙවල් කරන එක වැරදියි කියලා කියන මිනිස්සු ඉන්න රටක...
    මේ වගේ අයට සමානව තමන් කැමති විදියට ජීවත් වෙන්ඩ හැකියාවක් ලැබෙන්ඩ තව සෑහෙන කාලයක් යයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබේ කතාව හරි. මේ වගේ කාරණා සම්බන්ධයෙන් විතරක් නෙවෙයි තවත් බෙහාේමයක් 'වෙනස්' දේවල් සම්බන්ධයෙන් අපේ අය හරිම පසුගාමීයි. ස්තූතියි මේ පැත්තේ අැවිත් අදහසක් පළකරාට.

      Delete