ස්ත්‍රී දූෂකයන් සහ ලාංකීය සමාජය

6/05/2015 02:29:00 PM Prageeth Liyanaarachchi 3 Comments



තනි අතින් කාටවත් අප්පුඩි ගහන්න බෑනේ, ඒකට අත් දෙකක් ඕන. හැදිච්ච ගෑනු ළමයෙක් නම් මහ රෑ 9 ට පාරේ එහේ මෙහේ යන්නේ නෑ. ගෑණු ළමයෙක් දූෂණය වෙනවා කියන්නේ ඒක ඒ ගෑණු ළමයාගේ වැරැද්ද, පිරිමියාගේ නෙවෙයි. 

ගෑණුන්ට තියෙන්නේ ගෙදර ඉදන් ගෙදර වැඩකටයුතු බලාකියාගෙන ඉන්න. එහෙම නැතිව මහ රෑ ඩිස්කෝ නටන්නයි, බාර් ගානේ රස්තියාදු වෙවී වැරදි වැඩ කරන්නවත් ජරා අැඳුම් අැඳගෙන එහේ මෙහේ යන්නවත් නෙවෙයි. ඒවගේ ගෑනුන්ට පාඩමක් උගන්නන්නම ඕන. සීයට 20 ක් විතර ගෑණු අය  නම් හොඳ අය. 

දූෂණය වෙනකොට ඒ ගෑණි දැනගන්න ඕන සද්ද නැතිව කට වහගෙන ඉන්න. එහෙම හිටියොත් වැඩේ කරගත්තට පස්සේ අපි තවත් කරදර කරන්නේ නැතිව එයාව අතාරිනවා, කොල්ලට තමයි දෙකක් තුනක් ගැහුවත් ගහන්නේ. 

මේ කාලෙකට ඉහත අතිශය අාන්දෝලනයකට ලක්වූ ඉන්දීය වෙෙද්‍ය ශිෂ්‍යාවක දූෂණයකිරීමේ සිද්ධියට සම්බන්ධ මුකේෂ් සිං ස්ත්‍රී දුෂණය ගැන, වඩාත් නිවැරදිව කියනවනම් ස්ත්‍රිය ගැන හිතාගෙන ඉන්න විදිය.  මුකේෂ් අදාළ ස්ත්‍රී දූෂණයට වරදකරු බවත් ඔහුට මරණ දඬුවම පැමිණවිය යුතු බවත් ඉන්දීය අධිකරණය තීරණය කරලා තියෙවා.  BBC 04 වැනි නාලිකාවේ Storyville වැඩසටහන් මාලාව වෙනුවෙන් ලෙස්ලි උඩ්වින් නිර්මාණය කළ India's Daughter වාර්තා චිත්‍රපටිය පොඩ්ඩක් බැලුවොත් [1]  මුකේෂ්ගේ ඇඟ හිරි වට්ටන අදහස් තව දැනගන්න පුලුවන්.






බොහෝ දෙනා ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් කල්පනා කරන්නේ ඒක ලිංගිකත්වය මූලික කරගෙන ඇති වෙන සංසිද්ධියක් කියලයි. නමුත් ඇත්ත ඒක එහෙමම නෙවෙයි, බහුතරයක් ස්ත්‍රී දූෂණත් එක්ක දූෂණයට ලක්වන කාන්තාවට ශාරීරික තුවාල සිදුකිරීම, ඇයගේ ලිංගික අවයවවලට හානිකිරීම වගේම ඇයව මරා දැමීම වැනි සෘජු ශාරීරික කෘෘරකම් වගේම ඇයගේ ප්‍රතිරූපය විනාශකිරීම, ඇයගේ පවුලේ සාමාජිකයන්ගෙන් පළිගැනීම වැනි මානසික අඩන්තේට්ටම් කිරීමේ ක්‍රියාවනුත් සම්බන්ධයි. ඒකේ තේරුම ස්ත්‍රී දූෂණය කියන්නේ පිරිමියා විසින් කාන්තාව මත කෘෘරත්වය, බලහත්කාරය සහ අධිපතීත්වය මුදාහැරීමක්.

ඒ අනුව ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක කියවීම මුළුමනින්ම වෙනස් එකක්. India's Daughter වාර්තා චිත්‍රපටියේ මුකේෂ් දක්වන අදහස් දෙකක් අපි ආයෙත් මෙතනට ගමු

"...ඒවගේ ගෑනුන්ට පාඩමක් උගන්නන්නම ඕන. සීයට 20 ක් විතර ගෑණු අය  නම් හොඳ අය."
"...දූෂණය වෙනකොට ඒ ගෑණි දැනගන්න ඕන සද්ද නැතිව කට වහගෙන ඉන්න. එහෙම හිටියොත් වැඩේ කරගත්තට පස්සේ අපි තවත් කරදර කරන්නේ නැතිව එයාව අතාරිනවා..." 
මුකේෂ් මේ කියන අදහස් දෙක Rape culture එහෙම නැත්නම් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් සමාජයට තිබෙන වැරදි අදහස සහ කාන්තාව කියන්නේ පිරිමියාගේ කායික අවශ්‍යතා වෙනුවෙන් පවතින භාණ්ඩයක් ' කියන අදහසෙන් එන්නක්. ඒ අනුව, කාන්තාවට සම්ප්‍රදායිකව පැවරිලා තියෙන වැඩ ඉක්මවලා පිරිමින්ගේ වැඩ කරන්න එන ගැහැණුන්, නිදහස්ව හිතනපතන ගැහැණුන්, පිරිමින්ට වඩා ඉදිරියෙන් ඉන්න ගැහැණුන්ට 'පාඩමක්' උගන්වන්න තමයි ස්ත්‍රී දූෂණය තියෙන්නේ. ඒ අනුව කාන්තාවට සිදුවන ලිංගික බලහත්කාරකම් සියල්ල සුළුකර දක්වන (Trivializes), සාමාන්‍යකර දක්වන (Normalizes)  සහ අනුමතකර දක්වන (Endorses) මතවාදයකුත් අපි අතරම  තිබෙනවා. 

ඒ මතවාදයේම කොටසක් තමයි ගැහැණිය අඳින පළඳින විදිය, ඇය මිතුරන් ඇසුරුකරන ආකාරය හෝ ලිංගිකත්වය වැනි මාතෘකා ගැන ඇය දක්වන අදහස් ආදිය නිසා ස්ත්‍රී දූෂණයට පිරිමියාට 'පෙළඹවීමක්' ඇති වනවායැයි සමහරුන් විසින් සිතා සිටීම. 

ස්ත්‍රී දූෂණයක් සිදුවෙන්නේ නන්නාඳුනන පුද්ගලයෙක් අතින් යැයි සිතීම බොහෝ දෙනා ස්ත්‍රී දූෂණ ගැන දරණ තවත් වැරදි අදහසක් [2].  රෑ වෙලා තනියම ගමන් බිමන් යන්න එපා, සමහර ස්ථානවලට යනකොට කවුරුන් හෝ යාලුවෙක් එක්කන් යන්න වගේ උපදෙස් තරුණියන්ට නිතරම ලැබෙන්නේ මේ  වැරදි අදහසත් එක්ක. එහි සත්‍යයක් නොමැතිවාම නෙවෙයි, නමුත් සම්පූර්ණ සත්‍ය එය නෙවෙයි. ස්ත්‍රී දූෂණවලින් 30% කටත් අඩු ප්‍රමාණයක හැර සෙසු සියල්ලම වින්දිතයා හොඳින් දන්නා හඳුනන කෙනෙකු විසින් සිදු කරන ලද ක්‍රියාවන්

මේක ළමා අපචාරය ඇතුළු බොහෝ අපරාධවලට පොදු තත්ත්වයක්. බොහෝ විට ඇය මෙවැනි ක්‍රියාවක් තමන්ට සිදුකරයි කියලා නොහිතන අය  අතින් එවැන්නකට ලක්වීමේ සම්භාවිතාවය වැඩියි. පසුගිය කාලයේ ලංකාවේ වාර්තාවුන බාල වයස්කාර දැරියන් අපහරණයකිරීමේ හෝ දූෂණය කිරීමේ සිදුවීම් බහුතරයක් ඇයගේ පෙම්වතා හෝ කලින් පෙම්වතා අතින් සිදුවුන ක්‍රියාවන්. බොහෝ විට වින්දිතයන් දූෂණයට ලක් වෙන්නේත් ඇය හොඳින් දන්නා හඳුනනන - කාර්යාලයේදී, නිවසේදී, බස් නැවතුම සහ නිවස දක්වා අතර ඇති ගමන් මාර්ගය තුළ - වැනි පරිසර තත්ත්වයන් තුළ. 

මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් වික්ටර් ෆ්ලෙමින්ග් විසින් අධ්‍යක්ෂණය කළ Gone with the wind  නම් සම්භාව්‍ය සිනමා කෘතිය නරඹා ඇති. මේක ඒ නමින්ම මාගරට් මිෂෙල් නම් කතුවරිය ලියූ සම්මානිත ග්‍රන්ථය පාදක කරගෙන නිර්මාණය වූවක්. 

මේ චිත්‍රපටියේ මූලික චරිත දෙකක් තිබෙනවා - ස්කාර්ලට් ඔහාරා (Scarlet O'Hara) නම් තරුණිය සහ රෙහ්ට් බට්ලර් (Rhett Butler) නමැති තරුණයා. එක් දර්ශනයකදි බට්ලර් විසින් ස්කාර්ලට්ව ඔසවාගෙන උඩු මහලේ තමන්ගේ කාමරය වෙත යන ආකාරය පෙන්වනවා. බට්ලර්ගේ අරමුණ ස්කාර්ලට් සමග ලිංගිකව හැසිරීම. නමුත් ඇය ඒ වෙලාවේ දඟලමින් විරෝධයපාමින් තමන්ට බට්ලර් සමග ලිංගිකව එකතුවීමක් අවශ්‍ය නැති බව කියා සිටිනවා. එහෙම වුනත් බට්ලර් තමන්ගේ ක්‍රියාව නතර කරන්නෙත් නැහැ. 

චිත්‍රපටියේ ඊලඟ දර්ශනය පසුදින උදයේ ස්කාර්ලට් නින්දෙන් අවදිවන දර්ශනයක්. ඇයගේ මුහුණේ තෘප්තිමත් සහ ප්‍රේමාන්විත පෙනුමක් ගැබ්වෙලා තිබෙනවා. පෙර රාත්‍රියේදී පිරිමියකුගේ අතින් ලිංගික පීඩනයකට ලක්වූවෙක්ගේ පෙනුමක් නෙවෙයි එය. 






මේක ඉතාම සුළු සිද්ධියක් වෙන්න පුලුවන්, නමුත් ස්ත්‍රිය සහ ස්ත්‍රිය ලිංගිකත්වය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් සමාජය සිතන විදිය පිළිබඳ ගැබ්වුන විශාල කතාවක් මේ රූපරාමු තුළ තිබෙනවා. ඒ තමයි ලිංගික ඒක්වීමක් සඳහා කරන ආරාධනයක් ගැහැණියක විසින් ප්‍රතික්ෂේප කළා වුනත් ඇත්තටම ඇය යටි හිතින් ඒ එක්වීම අපේක්ෂා කරනවා කියන සමාජ මතය. වෙන විදියකට කියනවනම් ගෑණු 'බැහැ' කියන්නේ 'හා' කියන එකට තමයි කියන එක. තවත් මේ වගේම මතයක් තිබෙනවා. ඒ තමයි නිදි යහනේදි තමන්ගේ සැමියාගෙන් ලැබෙන නිරන්තර ප්‍රේමාලිංගන නිසා වෙනසකටත් එක්ක රළු ලිංගික පහසක් විඳගන්නට ගැහැණු යටිහිතෙන් කැමැත්තක් දක්වනවා කියන අදහස. මේ වැරදි මත දෙක නිසා ස්ත්‍රී දූෂකයන් හිතනවා මුලින් විරුද්ධ වුනාට දූෂණයට ලක්වෙන කාන්තාව පස්සේ දූෂණයට කැමති වෙලා ඒකෙන් සතුටු වෙනවා කියලා. 

අනෙක් අතට ස්වභාවයෙන්ම ස්ත්‍රී දූෂකයන් වශයෙන් සැලකිය හැකි පිරිමින් 'වර්ග' නැහැ. උතුරේ යුද්ධය තිබුන සමයේ LTTE සංවිධානය රජයේ ආරක්ෂක හමුදාවන් සහ දෙමළ ජනතාව එකිනෙකාගෙන් ඈත්කර තබන්න අනුගමනය කළ ප්‍රචාරණ උපක්‍රමයක් තමයි 'සිංහල හමුදාවට අහුවුනොත් දෙමළ ගෑණුන්ව දූෂණය කරලා මරලා දානවා' කියන කතාව. බොහෝ දෙමළ කාන්තාවන් මේක ඒ ආකාරයෙන්ම විශ්වාස කළ බවත් සඳහන්. මානසික ආබාධ ඇති පුද්ගලයන් සහ මත්පැන්/මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ස්ත්‍රී දූෂකයන් වෙනවා කියන එක තවත් අදහසක්. නමුත් බොහෝ විට සිදුවෙන්නේ මෙහිත් අනිත් පැත්ත. ගෝලීය සංඛ්‍යා දත්තවලට අනුව ස්ත්‍රී දූෂකයන්ගෙන් 05% ක් පමණයි මානසික ආබාධ හෝ විකෘතිතා සහිත අයවලුන් වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ [3]. සෙසු සියල්ලන්ම නිරවුල් මානසිකත්වයෙන් යුත් අපරාධකරුවන්. 

ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් මේ කරුණු කිහිපය හැරුණාම තවත් එක් විශේෂ කාරණයක් සම්බන්ධයෙනුත් යමක් ලියන්න ඕන කියල මම හිතුවා. 

මෑතක ඉදලා ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර එක්කම ලංකාවේ සමාජය එවැනි අපරාධවලට ප්‍රතිචාර දක්වන ආකාරයත් වෙනස් වෙලා කියන එක පැහැදිලියි. මේ තියෙන්නේ ලංකාවේ මෑතකදි සිද්ධ වුන ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සිද්ධි ගැන අන්තර්ජාලයේ ඇතැමුන් දක්වපු අදහස්. 

සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධිය. 2015 මැයි 19




රුණියකගේ නිරුවත් මළසිරුරක් මාදම්පේ  ප්‍රදේශයේ පොකුණක තිබී හමුවීමේ සිද්ධිය. 2015 අ‍ප්‍රේල් 08.
පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකු කුඩා දැරියක කැලෑවක් තුළට පැහැරගෙන යාමට උත්සාහකිරිමේ සිද්ධිය. 2015 ජූනි 01


ස්ත්‍රී දූෂකයන් සම්බන්ධයෙන් පොදු සමාජයෙන් එල්ලවිය හැකි කෝපය සාධාරණ විය හැකියි. නමුත් ඉහත අදහස්වලින් පෙන්වන්නේ එවැනි සාමාන්‍ය කෝපයක් නොවන බවයි මගේ විශ්වාසය. 

මේක එක් අතෙකට සමාජ සුරක්ෂිතතාවය තහවුරුකිරීමේ කාර්යයේදී ලංකාවේ නීතිය සහ නීතිය ක්‍රියාත්මකකිරිමට නියමිත ආයතන මුහුණදී තිබෙන අසාර්ථකභාවයේ ප්‍රතිඵලයක්. අනෙක් අතට මෙය නීතිය සහ දණ්ඩණය සම්බන්ධයෙන් සමාජය තුළ තිබිය යුතු ගෞරවය බිඳ වැටීමේ ප්‍රතිඵලයක්.

ලංකාවේ සමාජය තුළ මේ ආස්ථානය දශක ගණනාවක් තිස්සේ ක්‍රමාණුකූලව වර්ධනය වූවක්. එහි මුල්ම කලඑලි බැසීම වුනේ ජනවාර්ගික අර්බුදය ප්‍රචණ්ඩත්වයෙන් අවසන් කරදැමීම සාධාරණීකරණය වීම, එයින් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් පොලිස් අත්අඩංගුවේදීම මියයාම සමාජය විසින් අනුමතකරන්නට වුනා. බරපතල ගනයේ අපරාධ චෝදනා එල්ලවුන පුද්ගලයන්ව පොලිස් වෙඩි තැබීම්වලින් මියගියාම, සඟවන ලද ආයුධ පෙන්නන්න රැගෙන යන අතරතුර මාංචු පිටින් ගඟට පැනලා මියගියාම  මිනිස්සු ඇත්තටම සතුටු වුනා. මේ සියල්ලම නිසා මිනිසුන්ගේ දෛනික ජීවිතයේම කොටසක් වන තරමට  කෘෘරත්වය සාමාන්‍ය වුනා. කාන්තාවන්ට සහ ළමයින්ට බලහත්කාරකම් කරන්නන්ගේ 'අරක' කපාදැමීමට යෝජනා වීම මුල් කාරණා කිහිපයේම තවත් එක දිගුවක් නෙවෙයිද? 

සිද්ධ වෙලා තියෙන්නේ එක් පුද්ගලයෙකුගේ කෘෘරත්වයට සමාජයත් කෘෘරත්වයෙන්ම ප්‍රතිචාර දක්වන තැනට තල්ලු වීම. නැතිනම් නීතිය නොපවතින තත්ත්වයක් (Absence of Law) හමුවේ, නොපවතින නීතිය වෙනුවට කෘෘරත්වය ආදේශ කරගත් සමාජයක් බිහිවිම. එවැනි සමාජයක ස්ත්‍රී දූෂකයනුත් අහවල් එක කැපීමට යෝජනා කරන්නනුත් දෙපාර්ශවයම එකයි. ඒ දෙකම අතිශය අසාමාන්‍ය කෘෘරත්වයක දෙවිදියක ප්‍රකාශන, ඒ දෙපාර්ශවයම නීතියේ අදාළත්වය පිළිබ‍ඳ කිසියම්ම හෝ විශ්වාසයක් නොමැතිව පසුවෙන පිරිස්. වෙන විදියකට කියනවානම් ඕනෑම ස්ත්‍රී දූෂකයයෙකුට අහවල් එක කපන්න යෝජනා කරන්න‍ෙක් විය හැකියි, ඒ වගේම අහවල් එක කැපීමට යෝජනා කරන ඕනෑම අයෙකුට ස්ත්‍රී දූෂකයෙක් විය හැකියි. 

නීතිය සහ දණ්ඩනය කියන සංකල්ප දෙක සමාජයක් තුළ පවතින්නේම මිනිසුන් තුළ තිබෙන මේ ස්වභාවික කෘෘරත්වය පාලනය කරමින් සමාජය තුළ ප්‍රකෘත්තිය පවත්වාගෙන යාමට. නීතිය සහ දණ්ඩනය අක්‍රිය සමාජයක් තුළ අනිවාර්යයෙන්ම සිදුවන දේ පුද්ගලයන්ගේ අභිමතයට සීමාවක් නොමැතිවීම. ශ්‍රී ලංකාව තුළ වර්තමානය වනවිට ඇතිව තිබෙන ස්ත්‍රී දූෂණ වාර්තා වීමේ සම්භාවිතාව ඉහළයාමෙන් වගේම සමාජය ඒවාට ප්‍රතිචාර දක්වන කෘෘර ස්වභාවය තුළිනුත් පෙන්නුම් කරන්නේ අපි නීතිය පිළිබඳ විශ්වාසය අහිමි කරගත් විකෘතියක එළිපත්තේ ඉන්නවා කියන එක වෙන්න හොඳාකාරවම  ඉඩ තියෙනවා.

[1] . Delhi rapist says victim shouldn't have fought back, BBC, Link: http://www.bbc.com/news/magazine-31698154
[2] . List of rape myths, Sociology of Rape, University of Minnesota, Link: http://www.d.umn.edu/cla/faculty/jhamlin/3925/myths.html 
[3] . Common myths about Rape, rapecrisis.com, Link: http://www.rapecrisis.org.uk/commonmyths2.php

3 comments:

  1. අතිශයින්ම අගය කරනවා මේ ලිපිය. අගය කරන්නේ පහත දැක්වෙන හේතු නිසා.

    සංවර වචන යොදාගෙන, උද්වේගයෙන්, ආක්‍රෝෂයෙන් මිදී, තර්කානුකූලව සහ උදාහරණ සහිතව කරුණු පැහැදිලි කිරීම.

    යථාර්ථය පැහැදිලි කර තිබීම.

    තීරණ ගෙන නොතිබීම සහ පාඨක චින්තනයට යමක් ඉතිරි කිරීම.

    මේ ලිපිය මුද්‍රිත මාධ්‍ය වෙත යොමුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා බොහොම ස්තූතියි. ඔබේ මේ වචන මට සෑහෙන්න ලොකු සතුටක් සහ ධෛර්යයක්.

      Delete
  2. ගොඩාක් වෙනස් සමාජ විවරණයක්.. ස්තූතිය...

    ReplyDelete