කඳු මුදුනක සිහින තුනක්

10/18/2017 12:34:00 PM Prageeth Liyanaarachchi 0 Comments



බොහොම ඈත කාලයක, ඒ කියන්නේ අවුරුදු 2000 ගනනක් තරම් ඈත කාලයක එක්තරා කදුකරයක පුංචි ගස් තුනක් අතු ඇදෙමින් දලුළමින් වැඩෙමින් තිබුණා. මෙහෙම වැඩෙද්දි දවසක් මේ ගස් තුන අතරේ  එයාලා ලොකු වෙලා වෙන්න කැමති කවුද? එයාලාගේ ජීවිතවල සිහින මොනවද කියන එක ගැන කතා බහක් ඇතිවුණා. 

පළමු ගහ මෙන්න මෙහෙම තමන්ගේ සිහිනය ගැන කතාකරා. මට ආසයි ලොකුවෙලා ගොඩාක් වටිනා රන් ආභරණ මුතු මැණික් වගේ දේවල් ආරක්ෂාවට තියලා තියෙන Treasure box එකක් වෙන්න. මම එතකොට ලෝකේ වටිනාම දේවල් ආරක්ෂා කරන කෙනෙක් වේවි. අනේ මට එහෙම වෙන්න බැරි වුනොත් නම් මගේ ජීවිතෙන් තේරුමක් නැති වේවි. මේ තමයි පළවෙන් ගස තමන්ගේ ජීවිතයේ සිහිනය ගැන කතා කළ විදිය. 

මේ කතාව අහගෙන හිටිය දෙවැනි ගස තමන්ගේ සිහින ගැන මේ විදියට කතා කරන්න පටන් ගත්තා. මම කැමතියි ලොකුවෙද්දි ගොඩාක් ශක්තිමත් උස මහත ගහක් වෙන්න. මම ශක්තිමත් නිසාම මිනිස්සු මාව ගෙනියලා විශාල, ශක්තිමත් ඒ වගේම ගොඩක් ලස්සන නැවක් හදයි. මම එහෙම ශක්තිමත් ලස්සන නැවක් වුනාම රටේ රජතුමා පවා මාත් එක්ක යාත්‍රා කරන්න ඒවි. මගේ ජීවිතේ මම දකින්න කැමති එකම දේ තමයි ඒ විදියේ ශක්තිමත් නැවක් වෙලා රජතුමා එක්ක යාත්‍රා කරන එක. 

ඔය විදියට මුල් ගස් දෙකම තමන්ගේ ජීවිතයේ සිහින ගැන කතාකරාට පස්සේ තුන්වැනි ගසත් මේ කතාබහට එකතුවුණා. මම නම් කැමති නැහැ කවුරුවත් ඇවිත් මාව කපාගෙන යනවාට. මම කැමතියි හොඳට ශක්තිමත්ව දිව්‍ය ලෝකේ ගෑවෙන තරම් උසට හැදෙන්න. ඒ වගේම මම කැමතියි මිනිස්සුන්ගෙන් ගෞරවය ලැබෙන විදියට ජීවත් වෙන්න. මිනිස්සු සදහටම මට ගරුකරයි. එහෙම ජීවිතයක් ලබනවා හැරෙන්න මට ඕන නැහැ කවුරුහරි මනුස්සයෙක් ඇවිත් මාව ලීවලට ඉරලා අරගෙන ගිහින් ඔය මොනවාහරි හදනවා දකින්න. 

මේ විදියට මේ ගස් තුන හැමදාම වගේ තමන්ගේ සිහින ගැන කතා කරා. ඒවා ඉෂ්ඨ වෙන දවසක් වෙනුවෙන් පෙර මග බලමින්, තමන්ගේ සිහින ඉක්මනින් සැබෑවෙන්න ප්‍රාර්ථනා කරමින් කාලය ගෙව්වා. ඔහොම යද්දි මේ ගස් තුන හොඳ සාරවත්ව වැඩුණු ගස් තුනක් බවට පත්වුණා. 

එක දවසක් මේ සාරවත්ව වැඩුනු ගස් තුන ලගට ගස් කපන මිනිස්සු තුන්දෙනෙක් ආවා. ලොකුවෙලා Treasure box එකක් වෙන්න ප්‍රාර්ථනා කරපු ගහ ලඟට ආපු මේ මිනිස්සුන්ගෙන් එක් අයෙක්  හොඳට ගහ පරීක්ෂා කරලා මෙන්න මෙහෙම කිව්වා. 

මේක හොද ශක්තිමත් ගහක්. මේකෙන් ඕනෑම වටින දෙයක් දාන පෙට්ටයක් වුනත් හදන්න පුලුවන්. මම මේක කපනවා. මේ ගහේ ලී මට ලේසියෙන්ම නගරයේ වඩුවෙකුට විකුණගන්න පුලුවන්. පළවෙනි ගසේ සිහිනය සැබෑ වෙන්න වගේ. ගස තමන්ගේ සැබෑ වෙන සිහිනය ගැන තවත් සිහින දකිද්දි අර ගස් කපන්නා ඒ ගස කපා ගන්නවා. 

ඒ අතරේ ලොකුවෙලා ශක්තිමත් අලංකාර නැවක් වෙන්න සිහින දකින ගස ලඟට ආපු තවත් ගස් කපන්නෙක් මෙහෙම කිව්වා. මේකත් අරටුවේ ඉදන්ම හොඳ ගහක්. මුහුදු යන්න හරියන හොද හයිය ලීය. මේක මට යාත්‍රා හදන වඩුවෙකුට ලේසියෙන්ම විකුනගන්න පුලුවන්. තමන්ගේ සිහිනය සැබෑ වෙන්න යන බව දෙවැනි ගසට මේ මොහොතේ හිතෙන්න පටන් ගත්තා. ඒ අතරේ අර ගස් කපන්නා මේ ගස කපා ගන්නවා. 

ඔය අතරේ ලොකු වෙලා දිව්‍ය ලෝකයේ පවා ගෑවෙන උස ගහක් වෙන්න ප්‍රාර්ථනා කරපු, කවදාවත් කවුරුවත් ඇවිත් තමන්ව කපාගෙන යනවාට කැමති නොවුනු තුන්වෙනි ගස ලඟට අන්තිම ගස් කපන්නා ලං වෙනවා. එහෙම ලං වෙලා ඔහු මෙහෙම කියනවා. මේ ගහෙත් කිසිම වරදක් නෑ. ඕන වැඩකට ගන්න පුලුවන් හොඳ ලීය. මම මේක කපාගන්නවා. ඕන වඩුවෙක්ට මේක ලේසියෙන් විකුණගන්න පුලුවන්. 

මේ විදියට මේ ගස් කපන්නන් තුන්දෙනා අර ගස් තුනම බිම එලාගෙන ලීවලට ඉරනවා. දැන් මොකද වෙන්නේ? අර මුල් ගස් දෙකට නම් මේක තමන්ගේ සිහිනවලට ලංවෙන අවස්ථාවක්. තමන්ගේ සිහින ඉෂ්ඨ වෙන්නයි යන්නේ කියලා එයාලාට හොදටම විශ්වාසයි. ඒත් තුන්වෙනි ගහට? ලොකුවෙලා ගොඩාක් උස ගහක් වෙන්න, පරම්පරා ගාණක මිනිස්සු තමන්ට ගෞරව කරන විදියට ජීවත් වෙන්න බලාපොරොත්තුවන ගසට සිද්ධ වුනේ ඒ හීනයට ගව් ගණනක් මෙපිටින් තමන්ගේ සිහිනය විනාශවෙන දිහා බලාගෙන ඉන්න.

මේ කතාවේ ඊලඟට අර ගස් කපන්නන් තම තමන් ඒ ඒ ගසේ ඉරාගත් ලී වඩුවන්ට විකුණනවා. හැබැයි එතැනදි වෙන්නේ මේ ගස් වගේම අපිත් නොහිතන දෙයක්. 

පළමු ගස, ඒ කියන්නේ වැඩිමහලු ගසක් වෙලා දවසක Treasure box එකක් වෙන්න ප්‍රාර්ථනා කරපු ගස මිලදී ගන්න වඩුවා ඒකෙන් හදන්නේ ගොවිපළක අශ්වයන්ට කන්න පිදුරු දාන පිදුරු ඔරුවක්. පිදුරු කියන්නේ ලෝකයේ වටිනාම වස්තුව නෙවෙයිනේ. එතකොට ලෝකයේ වටිනාම වස්තූන් ආරක්ෂා කරන්න සිහින දැකපු ගස අන්තිමට නතර වෙන්නේ නිකන්ම නිකන් පිදුරු ඔරුවක් වෙලා. තමන්ගේ ජීවිතයේ තිබුණු එකම සිහිනය ඒ විදියට විනාශ වෙලා යද්දි පළමු ගස ජීවිතය ගැන කලකිරුනා. 

දෙවැනි ගස, ඒ කියන්නේ දවසක රජතුමා පවා යාත්‍ර කරන ශක්තිමත් නැවක් වෙන්න සිහින දැකපු ගසේ ලී මිලදි ගන්නේ නැව් තටාකයක වැඩ කරන වඩුවෙක්. හැබැයි එයා මේ ලී පාවිච්චි කරලා හදන්නේ හතර පස් දෙනෙකුට විතරක් යන්න පුලුවන් පොඩි ධීවර බෝට්ටුවක් - නැවක් නෙවෙයි. ඒ වගේ ධීවර බොට්ටුවක මොකටද රජතුමා යන්නේ? තමන්ගේ මිතුරු පළමු ගසට සිදුවුණු දේම දෙවැනි ගසටත් සිදුවුණා. තමන්ගේ ජීවිතයේ තිබුණ එකම සිහිනය කවදාවත් ඉටු නොවෙන බව දැන් මේ ගස් දෙකටම පැහැදිලියි. දැන් එයාලට ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. 

තුන්වැනි ගස දැන් කාලයක ඉඳලම තමන්ගේ සිහින බලාපොරොත්තු සියල්ල අත්හැරගෙන ජීවිතේ ගැන හොඳටම කලකිරිලයි හිටියේ. මතකනේ, එයාට ඕන වුනේ මිනිස්සු හැමෝම ගරු කරන ලොකු ගහක් වෙන්න. ඒත් දැන් කවුදෝ ගස් කපන්නෙක් එයාව බිම එලලා ලීවලට ඉරලා ඉවරයි. මේ ගහෙන් ඉරන ලීත් තවත් එක වඩුවෙක් මිලදී ගන්නවා. ඒත් ඒ වඩුවා ඒ ලීවලින් මොනවත් හදන්න යන්නේ නැහැ. කොහොමටත් බලාපොරොත්තු කඩවුනු ගසට වුනේ ඒ වඩුවාගේ ලී මඩුවේ මුල්ලක දූවිලි වැදෙමින් තිබෙන ලී කඳන් දෙකක් වෙන්න. 

මේ විදියට කාලය ගතවුණා. තමන්ගේ සිහින ඉටු කරනොගත් ගස් තුන අලුත් බලාපොරොත්තු මොනවත් නැතිව ජීවිතය ගත කරමින් දවස් ගෙවමින් සිටියා. ඒ අතරේ...

පළමු ගස, ඒ කියන්නේ Treasure box එකක් වෙන්න සිහින දැකපු ගස දැන් ගොවිපළක ඉස්තාලයක පිදුරු ඔරුවක්. ඔහොම දවස් ගතවෙද්දි දවසක් රාත්‍රියේ එතැනට එනවා මැදිවියේ පිරිමියෙක් සහ කාන්තාවක්. මේ කාන්තාව අර කියපු පිරිමියාගේ බිරිඳ. ඒ වගේම ඇය තමන්ගේ පළමු දරුවා ලබන්න බලාපොරොත්තුවෙන් සිටි ගැබ්බර මවක්. ලොකුම ප්‍රශ්නය නවතින්න කරන්න හරිහමන් තැනක් නැති වුනත් මේ මොහොතේ ඇයට දරුවා බිහිවෙන්න ආසන්නව ප්‍රසව වේදනාවෙන් සිටීම. කළ හැකි අන් යමක් නොතිබුණු මේ යුවළ කල්පනා කරනවා මේ ඉස්තාලය ඇතුලේ තමන්ගේ දරුවා බිහිකරන්න. ඒ විදියට බිහිවුණු දරුවා නිදි කරවන්න සුවපහසු ඇඳක් ඉස්තාලය ඇතුලේ කොයින්ද? මේ දෙන්නා අර දරුවාව තියනවා මුලින් කියපු ගසෙන් හදපු පිදුරු ඔරුවේ. 

ටික වේලාවකින් මේ පිදුරු ඔරුවේ හිටපු පුංචි බිලින්දාව බලන්න එනවා රජවරු වගේ හොඳින් ඇඳ පැලඳගත් තේජාන්විත මිනිස්සු තුන්දෙනෙක්. අර පුංචි බිලින්දාට වැද නමස්කාර කරන මේ තුන්දෙනා බොහෝ වටිනා තෑගි බෝග පුංචි බිලින්දාට පිරිනමනවා. අර කලින් සදහන් කළ යුවළ නමින් ජෝශප් සහ මේරි. ඒ දෙන්නාගේ පුංචි බිලින්දාගේ නම ජේසුස්. ඕන්න එතකොට අර Treasure box එකක් වෙන්න සිහින දැකපු ඒත් අන්තිමට ඉස්තාලයක පිදුරු ඔරුවක් වුන ගස තේරුම් ගන්නවා අන්තිමේදි ලෝකයේ වටිනාම වස්තුව තමන් මත තබපු බව. එතකොට එයාගේ සිහිනය ගොඩාක් කල් ගිහින්, ඒ ගස තමන්ගේ සිහින අමතක කරාටත් පස්සේ දවසක හිතුවාටත් වඩා හොඳ විදියකට සැබෑ වුණා. 

තවත් කාලයක් ගිහින් තවත් එක දවසක් උදා වුණා. මේ වෙද්දි අර මුලින් කී ගස් අතරින් දෙවැනි ගස, ඒ කියන්නේ ලොකුවෙලා රජතුමා පවා යාත්‍රා කරන ශක්තිමත් ගසක් වෙන්න සිහින දැකපු ගස පුංචි ධීවර වරායක මසුන් මරන්නන් දියට ගෙනයන බෝට්ටුවක්. එක්තරා දවසක මේ බෝට්ටුවට මිනිසුන් කිහිප දෙනෙක් ගොඩවෙලා යාත්‍රාව ගැඹුරු ජලයට ගෙනියනවා. ඒ මිනිසුන් සියලු දෙනා බෝට්ටුව හසුරුවමින් මාලු දැල් එලමින් කාර්යබහුල වෙද්දි එක්තරා පුද්ගලයෙක් බෝට්ටුවේ එක් මුල්ලක නින්දට වැටෙනවා. 

වැඩිවෙලා යන්න කලින් අහස අඳුරු වෙලා දැවැන්ත වර්ෂාවක් ඇද හැලෙනවා. මේ වර්ෂාව සහ ඒත් එක්ක එන සුලඟ‍ෙන් කැලඹෙන ජලාශයේ කුනාටුවක් ඇතිවෙනවා. ධීවර බෝට්ටුව පොඩියි, කුනාටුව හිතාගන්නත් බැරි තරම් දරුණුයි, බෝට්ටුවේ සිටි සියල්ලත් සමග බෝට්ටුව ජලාශය ඇතුළට ගිලීයන්න ඕන්න මෙන්න. ඒ අතරේ පිරිසෙන් එක් අයෙක් අර මුලින් සඳහන් කළ, බෝට්ටුව කෙලවර නින්දට වැටුණු පුද්ගලයාව අවදි කරනවා. "අපි විනාශ වෙන්න යන්නේ" තමන්ගේ මිතුරාගේ හඬින් අවදි වෙන ඒ පුද්ගලයා බෝට්ටුව කෙලවරට ගිහින් ප්‍රචණ්ඩ අහස දිහාවට දෑත් දිගුකර "සන්සුන් වෙන්න" යැයි මුමුණනවා. ඒත් සමගම වැස්සත් සුලඟත් පහව ගිහින් ප්‍රචණ්ඩ කුනාටුව සමනය වෙලා ජලය සන්සුන් වෙනවා. මේ විදියට කුනාටුව සන්සුන් කළ පුද්ගලයා නමින් ජේසුස් ක්‍රිස්තූන්. ඔන්න එතකොට අර රජතුමා පවා යාත්‍රා කරන ශක්තිමත් නෞකාවක් වෙන්න සිහින දැකපු, ඒත් අන්තිමට පොඩි ධීවර බොට්ටුවක් වෙන්න සිදුවීමෙන් තමන්ගේ සිහින අහිමි කරගත් ගස තේරුම් ගන්නවා තමන්ගේ සිහිනය මෙච්චර කාලයකට පස්සේ සැබෑ වුනා නේද කියලා. සියල්ලන්ම අවනත වෙන රජුන්ගෙත් රජුවන පුද්ගලයා තමන් මත යාත්‍රා කරනවා. 

තවත් කාලයක් ගිහින් තවත් එක දවසක් උදා වුණා. මේ වෙද්දි අර මුලින් කී ගස් අතරින් තුන්වැනි ගස, ඒ කියන්නේ ලොකුවෙලා දිව්‍ය ලෝකයේ ගෑවෙන්න තරම් උස යන සියලු දෙනා ගරුකරන ගසක් වෙන්න සිහින දැකපු ගස නිකන්ම නිකන් ලී කඳන් දෙකක් වෙලා වඩුවෙකුගේ වඩු මඩුවක දූවිලිවලින් වැසෙමින් තිබුණා. දවසක් මෙතනට එන සොල්දාදුවන් කිහිප දෙනෙක් අර වඩුවාට මුදල්දීලා මේ ලී කඳන් දෙක රැගෙන යනවා. කඳන් දෙක එකිනෙක හරස්වන සේ තබා ගැට ගසන සොල්දාදුවන් ඉන් අනතුරුව ඒක කටු ඔටුන්නක් හිසේ රුවාගෙන සිටි හීන්දෑරි මනුස්සයෙක්ගේ උරමත තබනවා. ඊට පස්සේ ඒ මනුස්සයා මග දෙපස මිනිසුන් රැස්වෙලා බලා හිටපු මාවතක් දිගේ මේ බර ලී කඳන් දෙක ඇදගෙන යන්න පටන්ගත්තා. ඒ යද්දි ඔහුට කසයෙන් තලමින් සොල්දාදුවන් කිහිප දෙනෙක් ඔහු පසුපස ඇදුනා. උස කන්දක මුදුනට මේ විදියට ගමන් කළාට පස්සේ අර සොල්දාදුවන් එක් වෙලා මුලින් කී මිනිසාව අර ලී කඳන් දෙක මත තබලා ඇණ ගසනවා. ඊට පස්සේ අමාරුවෙන් ලී කඳන් දෙක ඔසවපු සොල්දාදුවෝ කන්ද මත අහස දෙසට යොමුවෙන විදියට ඒක හිටවනවා. සොල්දාදුවන් එහෙ මෙහෙ වෙද්දි ඒ වටා එකතුවන මිනිසුන් කිහිප දෙනෙක් වේදනාවෙන් බරිතව අහස දෙසට යොමුවුණු මේ ගස දිහාත් ඒ මත මරණාසන්නව සිටින මිනිසා දිහාත් බලාගෙන ඉන්නවා. ගස පාමුල දණ ගසාගත් ඒ මිනිසුන් දුකෙන් පීඩිතව යාඥාවක ස්වරෑපයෙන් යමක් මුමුණන්න පටන් ගත්තා. මේ විදියට ඒ ගස මත ඇණ ගසා සිටි මිනිසාගේ නම ඔබ දන්නවා. ඒත් එක්කම අර දිව්‍ය ලෝකය පවා ස්පර්ශ කරන සියලු මිනිසුන් ගරුකරන ගසක් වෙන්න ප්‍රාර්ථනා කරපු ගස තේරුම් ගත්තා ගස් කපන්නෙකු අතින් බිම ඇදවැටිලා කාලයක් තිස්සේ වඩුවෙකුගේ මඩුවක දුහුවිලි පහර විඳිමින් ජීවත් වෙන්න වුනත් අන්තිමට තමන්ගේ සිහිනය සැබෑ වුනා නේද කියලා. සදාකාලයටම මිනිසුන්ගේ ගෞරවය ලබන ගසක් වෙන්න ඒ ගසට අන්තිමට පුලුවන් වුණා. 

මේ කතාව Christmas Story එකක්. මේ කතාව ලියන මට වගේම කියවන ඔබටත් සිහින රාශියක් තිබෙනවා. මම හිතන විදියට ඒ සිහින තමයි ජීවිතයේ අර්ථය. අපිට ජීවත්වෙන්න ආශාව දෙන්නේ අපි විසින් ඉෂ්ඨ කරගන්න බලාපොරොත්තුවෙන මේ සිහින එහෙමත් නැත්නම් ප්‍රාර්ථනාවන් කියලා මම විශ්වාස කරනවා. 

ඒත් ජීවිතය කියන්නේ සරල ගමනක් නෙවෙයි. ඒක බාධාවන් පිරුණු අනපේක්ෂිත නිම්න හරහා ගලන විටෙක සිඳීයන තවත් විටෙක නැවත පිරී ඉතිරි යන ගංගාවක් හා සමානයි. මේ ජීවිත ගමන පුරාවට අපි දකින සිහින එක්තරා මොහොතක අත්හැර දාන්න අපිටම හිතෙයි. හරියට අර Treasure box එකක් වෙන්න හිතපු ගසට අන්තිමට පිදුරු ඔරුවක් වෙන්න වුණා වගේ. කාලයක් ගත වෙලා අපේ සිහින සැබෑ වෙන්න ඕන්න මෙන්න තියෙද්දි ඒවා මගහැරෙයි. හරියට ශක්තිමත් නැවක් වෙන්න සිහින දැකපු ගස පුංචි ධීවර බෝට්ටුවක් වුණා වගේ.  එහෙමත් නැත්නම් අපේ සිහින දකින්න පටන්ගත් තැනම අපිටත් නොදැනීම අපේ අතින් අත්හැරෙයි. හරියට අර දිව්‍ය ලෝකයේ පවා ගෑවෙන සියලු මිනිසුන් ගරු කරන ගසක් වෙන්න සිහින දැකපු ගස ගස් කපන්නෙක් අතින් කැපිලා බිම ඇදහැලුන මොහොත වගේ. 

ඒත්  සිහින දකින එක වැදගත්. දිගටම සිහින දකින එක අත් නොහැර කරන එක වැදගත්. මොකද කාලයකට ඉස්සර අපි දැකපු සිහින අපි ඒ සිහින දැක්කාටත් වඩා හොද විදියට සැබෑ වෙලා අපි ඉස්සරහාට එන දවසක් නොවැරදීම එනවා. ඒක ජීවිතයේ තවත් එක ස්වභාවයක්. 

කලිනුත් සඳහන් කළ විදියට මේක Christmas Story එකක්. මේ කතාවෙන්ම හදපු බොහොම ලස්සන වීඩියෝ එකක් බලන්න පුලුවන් මෙතනින්. 

0 comments: