ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ගැඹුර තේරුම් ගනිමු.

2/11/2018 08:35:00 PM Prageeth Liyanarachchi 0 Comments



ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දිග පලල ගැන නොව ගැඹුර ගැන කියවෙන අතිශයින්ම  ඓතිහාසික දවසක් අවසන් වී ඇත. 2015 ජනවාරි මස 08 වන දින මුලු දෙන ලදුව 2018 පළාත් පාලන මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය නිකුත්වීමෙන් කූඨප්‍රාප්තිය සටහන් කළ දේශපාලන සංසිද්ධි මාලාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන අතිශය පැහැදිලි කියවීමකට අපට ඉඩ සලසා දේ. 

2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පත්වීම තේරුම් ගත යුත්තේ සහ ඉතාම හොඳින් තේරුම් ගත හැක්කේ 2016 වසරේ අප්‍රේල් මාසයේදී පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා බවට පත්වීමත් ඒ හා බැඳුණු මෙරට ජන විඥානයේ ආස්ථානයන් කිහිපයකිනුත්ය. 

ශ්‍රී ලංකා පොලීසිය නමැති අතිශය දූෂිත සහ දේශපාලන බලය මත හැසිරවෙන ආයතනයෙන් පීඩාවට පත්ව සිටි මෙරට සාමාන්‍ය ජනතාව වනාහී පොලිස් සේවාවක පැවතිය යුතු ස්වාධීනත්වය, පාරදෘශ්‍යතාවය හෝ වගවීමේ ගුණය වැනි කිසි‍වක් හෝ පිළිබඳ  අවබෝධයක් නැති පුද්ගලයන්ය, නැතහොත් ඒවා පිළිබද විශේෂ ඉගෙනීමක් සහ විශ්වාසයක් නොමැතිවූවන්ය. දැන් මේ පොලීසිය ස්වාධීනකර ගුණාත්මක තත්ත්වයෙන් යුතු ආයතනයක් බවට එය පත්කිරීමට කල්පනා කළ මෙරට බහුතරයකගේ තේරීම වූයේ පූජිත ජයසුන්දර නමැති කාර්යක්ෂම, ස්වාධීන, හා වෙනස් පොලිස් නිලධාරියා පොලිස්පති පුටුවේ වාඩිකරවීමේ කම්මැලි ක්‍රමය හරහා පොලිස් සේවය වෙනස්වනු ඇතැයි බලාපොරොත්තුවීමය. ඒ අර්ථයෙන් ලංකාවේ පොලිස් සේවයේ දූෂිත අකාර්යක්ෂම පොලිස්කාරයන් පමණක් දකින ජනතාවට පූජිත ජයසුන්දර මැජික් එකක් විය. ඒ අනුව ෆේස්බුක් පේජ්කාරයන් පූජිත ජයසුන්දරගේ ෆොටෝ දමා පොලිස් සේවයේ වෙනසක් උදෙසා ව්‍යවස්ථාදායක සභාව විසින් පූජිත ජයසුන්දර පොලිස්පති කරවිය යුතුයැයි කැම්පේන් කරන්නට විය. මෙරට බොහෝ ජනමාධ්‍යද මේ හා සමාන කැම්පේන්වල කොටස් කාරයන් වූ අතර රථවාහන පොලීසියේ පොලිස් කොස්තාපල්වරු පගා ගහන්නේදැයි බැලීමට කැළණිය පාළම උඩ පූජිත සැගවී බලා සිටි ආකාරය ගැන වීර කතා පත්තරවලත් සමාජ මාධ්‍යවලත් වේගෙයෙන් පැතිරෙන්නට විය. 

ලංකාවේ ජනතාවගේ මේ ෆැන්ටසිය අවසන් වූයේ පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් අවුරුද්දක් ගත වෙන කාලයේදී ඔහු  විදුලි සෝපානයකදී කවුදෝ මිනිසෙකුට පහර දෙන වීඩියෝවක් සාමාජ මාධ්‍ය තුළ පැතිරෙන්නට වීමෙනි. තමන් විශ්වාස කළ මිනිසා තමන් බලාපොරොත්තුවූ චරිතයම නොවන වග මිනිසුන් එතැනදී තේරුම්ගන්නා ලදි. දැන් පූජිත තවදුරටත් මැජික් එකක් නොවන අතර ඔහුව පහසුවෙන් රීප්ලේස් වීමේ ඉඩක් නිර්මාණයව ඇත. 

මෛත්‍රීපාල සිරිසේන සංසිද්ධියද මේ ආකාරමය. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වීම යනු මෙරට දේශපාලනයේ කලෙකින් දක්නට නොලැබුනු මැජික් එකකි. එය ලංකා දේශපාලනයේ බල අරගලයේ ප්‍රභූන් කිහිප දෙනෙක් විසින් සැලසුම් කර මහජනතාවට ඉදිරිපත් කරන ලද අතර, ලංකාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ වනවිට දශකයක පමණ කාලයක් කිසිඳු පැහැදිලි ජයග්‍රහණයකින් තොර සටනක නිරතව සිටි සිවිල් සමාජය එය තම අවස්ථාව කරගත්තේය. පෙරකී දේශපාලන ප්‍රභූන්ටත් සිවිල් සමාජයටත් මෛත්‍රීපාල සිරිසේන නමැති මැජික් එක පහසුවෙන් ජනතාවගෙන් අනුමත කරගත හැකි සමාජයක් මෙරට තුළ ඒ වනවිට පැවතිණි. 

ඒ වනවිට පැවතිණියි කී ඒ සමාජය යනු පීඩිත එකකි. කවුරුන් කෙසේ තර්ක කළද නොකළද මහින්ද රාජපක්ෂ යනු වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම පීඩක චරිතයකි. දෙමළ ජනතාවගේ දේශපාලන උවමනාවන්හි මිලිටරි ප්‍රකාශනයන් මිලිටරි ක්‍රමයෙන්ම විසදන්නට ගොස් ඔහු දෙමළ ජනතාව පීඩාවට පත්කර තිබිනි. අසාර්ථක සංවර්ධන ක්‍රමවලින්ද ඉහවහා ගිය සොරාකෑම්වලින්ද ඔහු මෙරට මුදල් උත්පාදකයන් පීඩාවට පත්කර තිබිණි. ශ්‍රී ලාංකිකයන් බෙදා වෙන්කර පාලනයකිරීමේ උත්සාහයන්ගෙන්ද සිංහල බෞද්ධ නායකයාවීමෙන් සිය සුජාතභාවය ආරක්ෂාකරගැනීමේ උවමනාවෙන්ද කටයුතු කරමින් ඔහු මෙරට වාර්ගික සහ ආගමික සුලුතරය පීඩාවට පත්කරමින් සිටියහ. ඥාතී සංග්‍රහයෙන්ද තමන් යටතේ සිටි බල්ලන් බැද දැමීමට කටයුතු නොකරමින් ඔවුන් පිනවීමට කටයුතුකිරීමෙන්ද ඔහු මෙරට කවර හෝ තරමේ හොද සිහියකින් සිටි හුදී මිනිසුන්ද පීඩාවට පත්කර තිබිනි. 

මේ පීඩිත ජන කොටස් විසින් මෛත්‍රීපාල සිරිසේන සංසිද්ධිය ඉත සිතින් සමාජගත කරන ලදි. එය ජයග්‍රහණය කරවන ලදි. මෛත්‍රීපාල සිරිසේනද තමන්ම සිතා බලා හෝ වෙනත් මෙහෙයවීමකින් හෝ ශ්‍රී ලංකාව එතෙක් දැක නොතිබූ ප්‍රගතිශීලී වෙනස්කම් කිහිපයක් නිර්මාණය කරමින් මිනිසුන්ගේ ෆැන්ටසිය පෝෂණය කර දෙන ලදි. නමුත් පූජිත ජයසුන්දර මැජික් එක අවසන් වූවාක් සේම, සියලු හොද දේවල් යම් කලෙක අවසානයකට පැමිණෙන්නා සේම ඔහු වටා ඇතිවූ ෆැන්ටසිය තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙන්ම හැකියාවද මෛත්‍රීපාල සිරිසේනට අහිමිවිය. තමන්ගේ මැජික් එක නැවත වතාවක් කැඩුණු බව මිනිසුන් හොරු ඇල්ලීමේ නාට්‍ය එකින් එක අසාර්ථ වෙද්දී තේරුම්ගන්නට ඇත, විමල් වීරවංශ හෝ මහින්දානන්ද අලුත්ගම වැන්නන් නිරුපදිතව සිටියදී ඩිල්රුක්ෂි ඩයස්ට ගෙදර යන්නට සිදුවෙද්දී තේරුම්ගන්නට ඇත, නැතහොත් බැදුම්කර සිද්ධිය අතරතුර තේරුම්ගන්නට ඇත. 

පීඩකයන්ගේ පීඩනය මැඩ පැවැත්වීමේ ක්‍රියාකාරී නැගිටීම් සහ මතවාදී වෙනස්කම් ඇතිකරගැනීම් සදහා ලෝකය තුළ නිදසුන් පවතින්නේ යම් පමණකින්ද එපමණ ප්‍රමාණයක් තමන් වෙනස් නොවී සිටිමින් වෙන වෙන ගේම් හරහා පීඩකයන්ගේ පීඩනය මැඩ පැවැත්වීමට ජනතාව කම්මැලි ට්‍රයි එකක් දීමේ නිදසුන්ද ලෝකය තුළ ඇත. ඉරාකයේ පීඩක සදාම් හුසේන්ගේ පාලනය අවසන්කිරීමට, නැතහොත් ලිබියාවේ ගාඩාෆි පාලනය අවසන්කිරීමට පැමිණෙන ඇමරිකානු හමුදා සාදරයෙන් පිළිගන්නා ජනතාව ඒ ඒ රටවල සිටියේය. ආර්ථික අභිවෘද්ධිය, මහජන මුදල් කාර්යක්ෂමව යොදවා සිදුකරන ඵලදායී සංවර්ධන ව්‍යාපෘති, සිය දරුවන්දිට යුණු අධ්‍යාපන ක්‍රමයක් ආදිය ලංකාවේ මිනිස්සුන්ට අවශ්‍යය. එහෙත් රටක් තුළ ඒවා ගොඩනැංවිය හැක්කේ ව්‍යවස්ථානුකූලවාදය, නීතියේ ආධිපත්‍ය, හෝ දේශපාලනයේ පුලුල් සහභාගීත්වය ඇතිකිරීමෙන්ය, තමන් මතවාදීව වෙනස්වීමෙන්ය යන දේවල් තේරුම්ගැනීමට මෝරපු මිනිස්සු ලංකාවේ තවම මදිය. බහුතරයකට ඒවා බර වචනය. දිගු කලක් අල්ලාගෙන සිටීමට අමාරුය. ඒ නිසාම ඉරාකයේත් ලිබියාවේත් මිනිසුන් තරමටම ලංකාවේ මිනිසුන්ටද අලුත් මැජික් එක ඉක්මනටම එපා විය. තම අලුත් පෙම්වතිය යම් යම් වැරදි කරද්දි කලින් එක්කෙනා නම් එහෙම කළේ නෑනේ දෙයියනේ යැයි සිතන තරුණ පෙම්වතෙකු පරිද්දෙන්ම මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනතාවට නැවත මතක් වෙන්නට විය. 

මහින්ද රාජපක්ෂද එයටම හරියන මිනිසෙකි. මෛත්‍රීපාල සිරිසේනට හෝ රනිල් වික්‍රමසිංහට යළි තමන් වටා මිනිසුන් එක් කරගන්නවාට වඩා පහසුවෙන් තමන් වටා මිනිස්සු එක් කරගැනිමට මහින්දට අදටත් හැකියාව ඇත. ඔහු දුටුගැමුණු වැනි වංශ කතාවල පමණක් කියවෙන නායකයන්ගෙන් පසු සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය හොඳටම උඩට එසවූ නායකයාය. ඔහු ලංකා ඉතිහාසයේ හොදම Public Relation එක නඩත්තු කළ ජනාධිපතිවරයාය. ලංකා ඉතිහාසයේ පහළවූ අතිශය දූෂිතම ජනාධිපතිවරයා වුවද මහින්ද රාජපක්ෂ කිසිදා ජනාධිපති කොමිසමක් දමා ඒ වැරදි හෙළි කරන්නට තරම් "ගොන් නොවිනි". ලංකාවේ ඉතිහාසයේ පහළවූ අතිශය දූෂිතම මහජන නියෝජිතයන් රොත්තක්ම තමා යටතේ තබාගෙන ෆයිල් ද හංගා ඔවුන් ආරක්ෂා කළ ජනාධිපතිවරයා වුවද විපක්ෂයට ඒවා අල්ලාගෙන ඩෙගා නටන්නට ඉඩ තැබීමේ "වරද" මහින්ද විසින් කිසිදා සිදු නොකළහ. තමන්ට ලැබුණු බලයෙන් තමන්ගේ පුතුන්ද ගෙදර හාමිනේද මල්ලිලාද බෑණාවරුන්ද වරප්‍රසාද භුක්ති විඳිද්දි යුද්ධය ඉවර කළ සිංහල බෙද්ධ නායකයා ලෙස පෙනී සිටීමෙන් ඒවා සෙට්ල් කරගැනීමට මහින්ද පුදුම දක්ෂයෙක් විය. ඔහු නිසා ගෝඨාභය, විමල්, බැසිල්, පවිත්‍රා, වාසුදේව සහ ගම්මන්පිල වැනි අටෝරාශියක් සෙසු මිනිසුන්ගේ දේශපාලන පැවැත්ම තහවුරැව ඇත. මේ සටහන ලියන මගේ ගමෙන් ඡන්දයට තරග කළ අතිශය උගත් දිගු කලක් ගමේ පොදු වැඩවලට මූලිකත්වය ගත් මිනිසෙකු පරදවා පළාත් පාලන මැතිවරණය දිනන්නට තග් ලයිෆ් හිස්ටරි එකක් ඇති නූගත් පුද්ගලයෙකුට හැකියාව දෙන්නට මහින්දට ශක්තිය තිබිණි. ඕනෑම කසිප්පුකාරයෙකුට, පල් සොරෙකුට හෝ ස්ත්‍රී දූෂකයෙකුට ලංකාවේ ඕනෑම තැනෙක මැතිවරණයක් දිනාගැනීමේ ඉඩ සැලසීමට මහින්දගේ ෆොටෝ එකක් දමා තාප්පයක අලවන ෆෝස්ටරයකට හැකියාව ඇත. ලංකාවේ නොමේරූ දේශපාලන සත්ත්වයන්ට ඇවැසි දේ දෙන්නට මහින්ද දැන සිටියේය. 

මේ වනවිට අවසන්ව ඇති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ලංකාවේ අනාගත දේශපාලන දිශානතිය තීරණය කරනු නිසැකය. එහි අවසාන ප්‍රතිඵලය කියවිය යුත්තේ මෛත්‍රීපාලගේ රනිල්ගේ අසමත්වීම් නිසා, තමන් ගෙන ආ මැජික් එක තවදුරටත් නඩත්තු කරගත නොහැකිව මහජනතාව තමන්ගෙන් ඉවතට තල්ලු කළ නායකයන් නිසා මහින්ද ලැබූ ජයග්‍රහණයක් වශයෙනි. දැන් සිදුවීම් සිදුවෙන වේගය හා බැලූ කළ බොහෝ විට ඊයේ පැවති පළාත් පාලන මැතිවරණය අවසන්වනු ඇත්තේ පවතින ආණ්ඩුව විසින් සිදුකළ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ කිහිපය 2020 වර්ෂය හෝ ඒ අවට කාලය වනවිට ආපසු හැරවීමෙනි. එය මහින්ද අතින් හෝ ගෝඨාභය අතින් හෝ ඒ කල්ලියේ වෙනත් කෙනෙකු අතින් සිදුවනු ඇත. 

එහිලා වඩාත්ම ඛේදාන්තය තිබෙනුයේ ඔබත් මමත් අයත් වන පොදු මහජනතාව තුළය. ශිෂ්ඨාචාරයක පැහැදිලිම ලකුණ වන දියුණු මිනිසුන් ලංකාව තුළ දකින්නට තවත් කාලයක් අපට ගතවෙනු ඇත. දේශපාලන වහල් බව වෙනුවට නිරීක්ෂණ, මතවාදී ගැටීම් හෝ  සංවාදයන් හරහා සිතුවිලි නිදහස් කරගත් දේශපාලනය ක්‍රමානුකූලව අවබෝධ කරගත් මිනිසුන් බහුතරය වන ජාතියක් බවට අප පත්වීම තවත් දිග්ගැස්සෙනු ඇත. 

0 comments: