Showing posts with label Random thoughts. Show all posts

කඳු මුදුනක සිහින තුනක්



බොහොම ඈත කාලයක, ඒ කියන්නේ අවුරුදු 2000 ගනනක් තරම් ඈත කාලයක එක්තරා කදුකරයක පුංචි ගස් තුනක් අතු ඇදෙමින් දලුළමින් වැඩෙමින් තිබුණා. මෙහෙම වැඩෙද්දි දවසක් මේ ගස් තුන අතරේ  එයාලා ලොකු වෙලා වෙන්න කැමති කවුද? එයාලාගේ ජීවිතවල සිහින මොනවද කියන එක ගැන කතා බහක් ඇතිවුණා. 

පළමු ගහ මෙන්න මෙහෙම තමන්ගේ සිහිනය ගැන කතාකරා. මට ආසයි ලොකුවෙලා ගොඩාක් වටිනා රන් ආභරණ මුතු මැණික් වගේ දේවල් ආරක්ෂාවට තියලා තියෙන Treasure box එකක් වෙන්න. මම එතකොට ලෝකේ වටිනාම දේවල් ආරක්ෂා කරන කෙනෙක් වේවි. අනේ මට එහෙම වෙන්න බැරි වුනොත් නම් මගේ ජීවිතෙන් තේරුමක් නැති වේවි. මේ තමයි පළවෙන් ගස තමන්ගේ ජීවිතයේ සිහිනය ගැන කතා කළ විදිය. 

මේ කතාව අහගෙන හිටිය දෙවැනි ගස තමන්ගේ සිහින ගැන මේ විදියට කතා කරන්න පටන් ගත්තා. මම කැමතියි ලොකුවෙද්දි ගොඩාක් ශක්තිමත් උස මහත ගහක් වෙන්න. මම ශක්තිමත් නිසාම මිනිස්සු මාව ගෙනියලා විශාල, ශක්තිමත් ඒ වගේම ගොඩක් ලස්සන නැවක් හදයි. මම එහෙම ශක්තිමත් ලස්සන නැවක් වුනාම රටේ රජතුමා පවා මාත් එක්ක යාත්‍රා කරන්න ඒවි. මගේ ජීවිතේ මම දකින්න කැමති එකම දේ තමයි ඒ විදියේ ශක්තිමත් නැවක් වෙලා රජතුමා එක්ක යාත්‍රා කරන එක. 

ඔය විදියට මුල් ගස් දෙකම තමන්ගේ ජීවිතයේ සිහින ගැන කතාකරාට පස්සේ තුන්වැනි ගසත් මේ කතාබහට එකතුවුණා. මම නම් කැමති නැහැ කවුරුවත් ඇවිත් මාව කපාගෙන යනවාට. මම කැමතියි හොඳට ශක්තිමත්ව දිව්‍ය ලෝකේ ගෑවෙන තරම් උසට හැදෙන්න. ඒ වගේම මම කැමතියි මිනිස්සුන්ගෙන් ගෞරවය ලැබෙන විදියට ජීවත් වෙන්න. මිනිස්සු සදහටම මට ගරුකරයි. එහෙම ජීවිතයක් ලබනවා හැරෙන්න මට ඕන නැහැ කවුරුහරි මනුස්සයෙක් ඇවිත් මාව ලීවලට ඉරලා අරගෙන ගිහින් ඔය මොනවාහරි හදනවා දකින්න. 

මේ විදියට මේ ගස් තුන හැමදාම වගේ තමන්ගේ සිහින ගැන කතා කරා. ඒවා ඉෂ්ඨ වෙන දවසක් වෙනුවෙන් පෙර මග බලමින්, තමන්ගේ සිහින ඉක්මනින් සැබෑවෙන්න ප්‍රාර්ථනා කරමින් කාලය ගෙව්වා. ඔහොම යද්දි මේ ගස් තුන හොඳ සාරවත්ව වැඩුණු ගස් තුනක් බවට පත්වුණා. 

එක දවසක් මේ සාරවත්ව වැඩුනු ගස් තුන ලගට ගස් කපන මිනිස්සු තුන්දෙනෙක් ආවා. ලොකුවෙලා Treasure box එකක් වෙන්න ප්‍රාර්ථනා කරපු ගහ ලඟට ආපු මේ මිනිස්සුන්ගෙන් එක් අයෙක්  හොඳට ගහ පරීක්ෂා කරලා මෙන්න මෙහෙම කිව්වා. 

මේක හොද ශක්තිමත් ගහක්. මේකෙන් ඕනෑම වටින දෙයක් දාන පෙට්ටයක් වුනත් හදන්න පුලුවන්. මම මේක කපනවා. මේ ගහේ ලී මට ලේසියෙන්ම නගරයේ වඩුවෙකුට විකුණගන්න පුලුවන්. පළවෙනි ගසේ සිහිනය සැබෑ වෙන්න වගේ. ගස තමන්ගේ සැබෑ වෙන සිහිනය ගැන තවත් සිහින දකිද්දි අර ගස් කපන්නා ඒ ගස කපා ගන්නවා. 

ඒ අතරේ ලොකුවෙලා ශක්තිමත් අලංකාර නැවක් වෙන්න සිහින දකින ගස ලඟට ආපු තවත් ගස් කපන්නෙක් මෙහෙම කිව්වා. මේකත් අරටුවේ ඉදන්ම හොඳ ගහක්. මුහුදු යන්න හරියන හොද හයිය ලීය. මේක මට යාත්‍රා හදන වඩුවෙකුට ලේසියෙන්ම විකුනගන්න පුලුවන්. තමන්ගේ සිහිනය සැබෑ වෙන්න යන බව දෙවැනි ගසට මේ මොහොතේ හිතෙන්න පටන් ගත්තා. ඒ අතරේ අර ගස් කපන්නා මේ ගස කපා ගන්නවා. 

ඔය අතරේ ලොකු වෙලා දිව්‍ය ලෝකයේ පවා ගෑවෙන උස ගහක් වෙන්න ප්‍රාර්ථනා කරපු, කවදාවත් කවුරුවත් ඇවිත් තමන්ව කපාගෙන යනවාට කැමති නොවුනු තුන්වෙනි ගස ලඟට අන්තිම ගස් කපන්නා ලං වෙනවා. එහෙම ලං වෙලා ඔහු මෙහෙම කියනවා. මේ ගහෙත් කිසිම වරදක් නෑ. ඕන වැඩකට ගන්න පුලුවන් හොඳ ලීය. මම මේක කපාගන්නවා. ඕන වඩුවෙක්ට මේක ලේසියෙන් විකුණගන්න පුලුවන්. 

මේ විදියට මේ ගස් කපන්නන් තුන්දෙනා අර ගස් තුනම බිම එලාගෙන ලීවලට ඉරනවා. දැන් මොකද වෙන්නේ? අර මුල් ගස් දෙකට නම් මේක තමන්ගේ සිහිනවලට ලංවෙන අවස්ථාවක්. තමන්ගේ සිහින ඉෂ්ඨ වෙන්නයි යන්නේ කියලා එයාලාට හොදටම විශ්වාසයි. ඒත් තුන්වෙනි ගහට? ලොකුවෙලා ගොඩාක් උස ගහක් වෙන්න, පරම්පරා ගාණක මිනිස්සු තමන්ට ගෞරව කරන විදියට ජීවත් වෙන්න බලාපොරොත්තුවන ගසට සිද්ධ වුනේ ඒ හීනයට ගව් ගණනක් මෙපිටින් තමන්ගේ සිහිනය විනාශවෙන දිහා බලාගෙන ඉන්න.

මේ කතාවේ ඊලඟට අර ගස් කපන්නන් තම තමන් ඒ ඒ ගසේ ඉරාගත් ලී වඩුවන්ට විකුණනවා. හැබැයි එතැනදි වෙන්නේ මේ ගස් වගේම අපිත් නොහිතන දෙයක්. 

පළමු ගස, ඒ කියන්නේ වැඩිමහලු ගසක් වෙලා දවසක Treasure box එකක් වෙන්න ප්‍රාර්ථනා කරපු ගස මිලදී ගන්න වඩුවා ඒකෙන් හදන්නේ ගොවිපළක අශ්වයන්ට කන්න පිදුරු දාන පිදුරු ඔරුවක්. පිදුරු කියන්නේ ලෝකයේ වටිනාම වස්තුව නෙවෙයිනේ. එතකොට ලෝකයේ වටිනාම වස්තූන් ආරක්ෂා කරන්න සිහින දැකපු ගස අන්තිමට නතර වෙන්නේ නිකන්ම නිකන් පිදුරු ඔරුවක් වෙලා. තමන්ගේ ජීවිතයේ තිබුණු එකම සිහිනය ඒ විදියට විනාශ වෙලා යද්දි පළමු ගස ජීවිතය ගැන කලකිරුනා. 

දෙවැනි ගස, ඒ කියන්නේ දවසක රජතුමා පවා යාත්‍ර කරන ශක්තිමත් නැවක් වෙන්න සිහින දැකපු ගසේ ලී මිලදි ගන්නේ නැව් තටාකයක වැඩ කරන වඩුවෙක්. හැබැයි එයා මේ ලී පාවිච්චි කරලා හදන්නේ හතර පස් දෙනෙකුට විතරක් යන්න පුලුවන් පොඩි ධීවර බෝට්ටුවක් - නැවක් නෙවෙයි. ඒ වගේ ධීවර බොට්ටුවක මොකටද රජතුමා යන්නේ? තමන්ගේ මිතුරු පළමු ගසට සිදුවුණු දේම දෙවැනි ගසටත් සිදුවුණා. තමන්ගේ ජීවිතයේ තිබුණ එකම සිහිනය කවදාවත් ඉටු නොවෙන බව දැන් මේ ගස් දෙකටම පැහැදිලියි. දැන් එයාලට ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. 

තුන්වැනි ගස දැන් කාලයක ඉඳලම තමන්ගේ සිහින බලාපොරොත්තු සියල්ල අත්හැරගෙන ජීවිතේ ගැන හොඳටම කලකිරිලයි හිටියේ. මතකනේ, එයාට ඕන වුනේ මිනිස්සු හැමෝම ගරු කරන ලොකු ගහක් වෙන්න. ඒත් දැන් කවුදෝ ගස් කපන්නෙක් එයාව බිම එලලා ලීවලට ඉරලා ඉවරයි. මේ ගහෙන් ඉරන ලීත් තවත් එක වඩුවෙක් මිලදී ගන්නවා. ඒත් ඒ වඩුවා ඒ ලීවලින් මොනවත් හදන්න යන්නේ නැහැ. කොහොමටත් බලාපොරොත්තු කඩවුනු ගසට වුනේ ඒ වඩුවාගේ ලී මඩුවේ මුල්ලක දූවිලි වැදෙමින් තිබෙන ලී කඳන් දෙකක් වෙන්න. 

මේ විදියට කාලය ගතවුණා. තමන්ගේ සිහින ඉටු කරනොගත් ගස් තුන අලුත් බලාපොරොත්තු මොනවත් නැතිව ජීවිතය ගත කරමින් දවස් ගෙවමින් සිටියා. ඒ අතරේ...

පළමු ගස, ඒ කියන්නේ Treasure box එකක් වෙන්න සිහින දැකපු ගස දැන් ගොවිපළක ඉස්තාලයක පිදුරු ඔරුවක්. ඔහොම දවස් ගතවෙද්දි දවසක් රාත්‍රියේ එතැනට එනවා මැදිවියේ පිරිමියෙක් සහ කාන්තාවක්. මේ කාන්තාව අර කියපු පිරිමියාගේ බිරිඳ. ඒ වගේම ඇය තමන්ගේ පළමු දරුවා ලබන්න බලාපොරොත්තුවෙන් සිටි ගැබ්බර මවක්. ලොකුම ප්‍රශ්නය නවතින්න කරන්න හරිහමන් තැනක් නැති වුනත් මේ මොහොතේ ඇයට දරුවා බිහිවෙන්න ආසන්නව ප්‍රසව වේදනාවෙන් සිටීම. කළ හැකි අන් යමක් නොතිබුණු මේ යුවළ කල්පනා කරනවා මේ ඉස්තාලය ඇතුලේ තමන්ගේ දරුවා බිහිකරන්න. ඒ විදියට බිහිවුණු දරුවා නිදි කරවන්න සුවපහසු ඇඳක් ඉස්තාලය ඇතුලේ කොයින්ද? මේ දෙන්නා අර දරුවාව තියනවා මුලින් කියපු ගසෙන් හදපු පිදුරු ඔරුවේ. 

ටික වේලාවකින් මේ පිදුරු ඔරුවේ හිටපු පුංචි බිලින්දාව බලන්න එනවා රජවරු වගේ හොඳින් ඇඳ පැලඳගත් තේජාන්විත මිනිස්සු තුන්දෙනෙක්. අර පුංචි බිලින්දාට වැද නමස්කාර කරන මේ තුන්දෙනා බොහෝ වටිනා තෑගි බෝග පුංචි බිලින්දාට පිරිනමනවා. අර කලින් සදහන් කළ යුවළ නමින් ජෝශප් සහ මේරි. ඒ දෙන්නාගේ පුංචි බිලින්දාගේ නම ජේසුස්. ඕන්න එතකොට අර Treasure box එකක් වෙන්න සිහින දැකපු ඒත් අන්තිමට ඉස්තාලයක පිදුරු ඔරුවක් වුන ගස තේරුම් ගන්නවා අන්තිමේදි ලෝකයේ වටිනාම වස්තුව තමන් මත තබපු බව. එතකොට එයාගේ සිහිනය ගොඩාක් කල් ගිහින්, ඒ ගස තමන්ගේ සිහින අමතක කරාටත් පස්සේ දවසක හිතුවාටත් වඩා හොඳ විදියකට සැබෑ වුණා. 

තවත් කාලයක් ගිහින් තවත් එක දවසක් උදා වුණා. මේ වෙද්දි අර මුලින් කී ගස් අතරින් දෙවැනි ගස, ඒ කියන්නේ ලොකුවෙලා රජතුමා පවා යාත්‍රා කරන ශක්තිමත් ගසක් වෙන්න සිහින දැකපු ගස පුංචි ධීවර වරායක මසුන් මරන්නන් දියට ගෙනයන බෝට්ටුවක්. එක්තරා දවසක මේ බෝට්ටුවට මිනිසුන් කිහිප දෙනෙක් ගොඩවෙලා යාත්‍රාව ගැඹුරු ජලයට ගෙනියනවා. ඒ මිනිසුන් සියලු දෙනා බෝට්ටුව හසුරුවමින් මාලු දැල් එලමින් කාර්යබහුල වෙද්දි එක්තරා පුද්ගලයෙක් බෝට්ටුවේ එක් මුල්ලක නින්දට වැටෙනවා. 

වැඩිවෙලා යන්න කලින් අහස අඳුරු වෙලා දැවැන්ත වර්ෂාවක් ඇද හැලෙනවා. මේ වර්ෂාව සහ ඒත් එක්ක එන සුලඟ‍ෙන් කැලඹෙන ජලාශයේ කුනාටුවක් ඇතිවෙනවා. ධීවර බෝට්ටුව පොඩියි, කුනාටුව හිතාගන්නත් බැරි තරම් දරුණුයි, බෝට්ටුවේ සිටි සියල්ලත් සමග බෝට්ටුව ජලාශය ඇතුළට ගිලීයන්න ඕන්න මෙන්න. ඒ අතරේ පිරිසෙන් එක් අයෙක් අර මුලින් සඳහන් කළ, බෝට්ටුව කෙලවර නින්දට වැටුණු පුද්ගලයාව අවදි කරනවා. "අපි විනාශ වෙන්න යන්නේ" තමන්ගේ මිතුරාගේ හඬින් අවදි වෙන ඒ පුද්ගලයා බෝට්ටුව කෙලවරට ගිහින් ප්‍රචණ්ඩ අහස දිහාවට දෑත් දිගුකර "සන්සුන් වෙන්න" යැයි මුමුණනවා. ඒත් සමගම වැස්සත් සුලඟත් පහව ගිහින් ප්‍රචණ්ඩ කුනාටුව සමනය වෙලා ජලය සන්සුන් වෙනවා. මේ විදියට කුනාටුව සන්සුන් කළ පුද්ගලයා නමින් ජේසුස් ක්‍රිස්තූන්. ඔන්න එතකොට අර රජතුමා පවා යාත්‍රා කරන ශක්තිමත් නෞකාවක් වෙන්න සිහින දැකපු, ඒත් අන්තිමට පොඩි ධීවර බොට්ටුවක් වෙන්න සිදුවීමෙන් තමන්ගේ සිහින අහිමි කරගත් ගස තේරුම් ගන්නවා තමන්ගේ සිහිනය මෙච්චර කාලයකට පස්සේ සැබෑ වුනා නේද කියලා. සියල්ලන්ම අවනත වෙන රජුන්ගෙත් රජුවන පුද්ගලයා තමන් මත යාත්‍රා කරනවා. 

තවත් කාලයක් ගිහින් තවත් එක දවසක් උදා වුණා. මේ වෙද්දි අර මුලින් කී ගස් අතරින් තුන්වැනි ගස, ඒ කියන්නේ ලොකුවෙලා දිව්‍ය ලෝකයේ ගෑවෙන්න තරම් උස යන සියලු දෙනා ගරුකරන ගසක් වෙන්න සිහින දැකපු ගස නිකන්ම නිකන් ලී කඳන් දෙකක් වෙලා වඩුවෙකුගේ වඩු මඩුවක දූවිලිවලින් වැසෙමින් තිබුණා. දවසක් මෙතනට එන සොල්දාදුවන් කිහිප දෙනෙක් අර වඩුවාට මුදල්දීලා මේ ලී කඳන් දෙක රැගෙන යනවා. කඳන් දෙක එකිනෙක හරස්වන සේ තබා ගැට ගසන සොල්දාදුවන් ඉන් අනතුරුව ඒක කටු ඔටුන්නක් හිසේ රුවාගෙන සිටි හීන්දෑරි මනුස්සයෙක්ගේ උරමත තබනවා. ඊට පස්සේ ඒ මනුස්සයා මග දෙපස මිනිසුන් රැස්වෙලා බලා හිටපු මාවතක් දිගේ මේ බර ලී කඳන් දෙක ඇදගෙන යන්න පටන්ගත්තා. ඒ යද්දි ඔහුට කසයෙන් තලමින් සොල්දාදුවන් කිහිප දෙනෙක් ඔහු පසුපස ඇදුනා. උස කන්දක මුදුනට මේ විදියට ගමන් කළාට පස්සේ අර සොල්දාදුවන් එක් වෙලා මුලින් කී මිනිසාව අර ලී කඳන් දෙක මත තබලා ඇණ ගසනවා. ඊට පස්සේ අමාරුවෙන් ලී කඳන් දෙක ඔසවපු සොල්දාදුවෝ කන්ද මත අහස දෙසට යොමුවෙන විදියට ඒක හිටවනවා. සොල්දාදුවන් එහෙ මෙහෙ වෙද්දි ඒ වටා එකතුවන මිනිසුන් කිහිප දෙනෙක් වේදනාවෙන් බරිතව අහස දෙසට යොමුවුණු මේ ගස දිහාත් ඒ මත මරණාසන්නව සිටින මිනිසා දිහාත් බලාගෙන ඉන්නවා. ගස පාමුල දණ ගසාගත් ඒ මිනිසුන් දුකෙන් පීඩිතව යාඥාවක ස්වරෑපයෙන් යමක් මුමුණන්න පටන් ගත්තා. මේ විදියට ඒ ගස මත ඇණ ගසා සිටි මිනිසාගේ නම ඔබ දන්නවා. ඒත් එක්කම අර දිව්‍ය ලෝකය පවා ස්පර්ශ කරන සියලු මිනිසුන් ගරුකරන ගසක් වෙන්න ප්‍රාර්ථනා කරපු ගස තේරුම් ගත්තා ගස් කපන්නෙකු අතින් බිම ඇදවැටිලා කාලයක් තිස්සේ වඩුවෙකුගේ මඩුවක දුහුවිලි පහර විඳිමින් ජීවත් වෙන්න වුනත් අන්තිමට තමන්ගේ සිහිනය සැබෑ වුනා නේද කියලා. සදාකාලයටම මිනිසුන්ගේ ගෞරවය ලබන ගසක් වෙන්න ඒ ගසට අන්තිමට පුලුවන් වුණා. 

මේ කතාව Christmas Story එකක්. මේ කතාව ලියන මට වගේම කියවන ඔබටත් සිහින රාශියක් තිබෙනවා. මම හිතන විදියට ඒ සිහින තමයි ජීවිතයේ අර්ථය. අපිට ජීවත්වෙන්න ආශාව දෙන්නේ අපි විසින් ඉෂ්ඨ කරගන්න බලාපොරොත්තුවෙන මේ සිහින එහෙමත් නැත්නම් ප්‍රාර්ථනාවන් කියලා මම විශ්වාස කරනවා. 

ඒත් ජීවිතය කියන්නේ සරල ගමනක් නෙවෙයි. ඒක බාධාවන් පිරුණු අනපේක්ෂිත නිම්න හරහා ගලන විටෙක සිඳීයන තවත් විටෙක නැවත පිරී ඉතිරි යන ගංගාවක් හා සමානයි. මේ ජීවිත ගමන පුරාවට අපි දකින සිහින එක්තරා මොහොතක අත්හැර දාන්න අපිටම හිතෙයි. හරියට අර Treasure box එකක් වෙන්න හිතපු ගසට අන්තිමට පිදුරු ඔරුවක් වෙන්න වුණා වගේ. කාලයක් ගත වෙලා අපේ සිහින සැබෑ වෙන්න ඕන්න මෙන්න තියෙද්දි ඒවා මගහැරෙයි. හරියට ශක්තිමත් නැවක් වෙන්න සිහින දැකපු ගස පුංචි ධීවර බෝට්ටුවක් වුණා වගේ.  එහෙමත් නැත්නම් අපේ සිහින දකින්න පටන්ගත් තැනම අපිටත් නොදැනීම අපේ අතින් අත්හැරෙයි. හරියට අර දිව්‍ය ලෝකයේ පවා ගෑවෙන සියලු මිනිසුන් ගරු කරන ගසක් වෙන්න සිහින දැකපු ගස ගස් කපන්නෙක් අතින් කැපිලා බිම ඇදහැලුන මොහොත වගේ. 

ඒත්  සිහින දකින එක වැදගත්. දිගටම සිහින දකින එක අත් නොහැර කරන එක වැදගත්. මොකද කාලයකට ඉස්සර අපි දැකපු සිහින අපි ඒ සිහින දැක්කාටත් වඩා හොද විදියට සැබෑ වෙලා අපි ඉස්සරහාට එන දවසක් නොවැරදීම එනවා. ඒක ජීවිතයේ තවත් එක ස්වභාවයක්. 

කලිනුත් සඳහන් කළ විදියට මේක Christmas Story එකක්. මේ කතාවෙන්ම හදපු බොහොම ලස්සන වීඩියෝ එකක් බලන්න පුලුවන් මෙතනින්. 

ඉංග්‍රීසි භාෂාව ගැන මේ දේවල් දන්නවද?




හැමෝටම ඇති නේද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ගිහිල්ලා යාන්තමට හරි ඇඬුණ යුගයක්? මට නම් තිබුණා. ඒ කාලේ මට ඉංග්‍රීසි තරම් අප්‍රියජනක වචනයක් හෝ කාල පරිච්ඡේදයක් පාසල් කාල සටහනේ වෙන තිබුණේම නැහැ. හැබැයි ඒ හැඟීම ඒ විදියට දිගටම තිබුණානම් අද මම කොහෙද කියලා හොයන්නත් නැහැ. ඉංග්‍රීසි භාෂාව අද ඒ තරම්ම අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වැදගත් අංගයක්. 

ඒ දවස්වලම ඕක හොඳටම තේරුම් අරගෙන තිබුණා මගේ අම්මා. අම්මා මාව ගිහින් දැම්මා අම්මාගේ හොඳම යෙහෙළියක ළඟට. අම්මගේ මේ යෙහෙළිය තමන්ගේ පාඩුවේ ගෙදර වැඩක් කරගෙන හිටිය බර්ගර් ජාතික ගෘහණියක්. මගේ ඉංග්‍රීසි භාෂාව ඔපමට්ටම් කරලා හදන වැඩේ ඇය අම්මාගෙයි ඇයගෙයි මිත්‍රත්වය වෙනුවෙන් බාරගත්තා. ඇය මට ඉංග්‍රීසි දියකරලා පෙව්වේ නැති ටික විතරයි. හැම සතියකම දවස් දෙකක් ඒ බර්ගර් ගුරුවරියගේ ගෙදර මං වෙනුවෙන් අනිවාර්ය උපකාරක පන්ති. කිසියම්ම හෝ හේතුවක් නිසා යම් දවසක පන්තියට සහභාගි වෙන්න නොහැකිනම් නොපැමිණෙන වග දන්වලා ඉංග්‍රීසි භාෂාවෙන් ලිපියක් ලියලා වැඩිහිටියෙකුගේ අත ඒක ඇයට යවන්න ඕන. එහෙම යැව්වාම මගේ ගුරුතුමිය ඒක බලලා, රතු පෑනකින් හරි වැරදි ලකුණු කරලා, සතුටුදායක තරම් නිවැරදිව ලිපිය ලියලා තියෙනවනම් මම ඒ දවස්වල දකින්න ආසම කරපු Very good එකකුත් දාලා අර වැඩිහිටියාගේ අතේම ආපහු මට එවනවා. 

අපි හැමෝම දන්නවනේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව කියලා. සැකයක් නෑ ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත්. ලෝකයේ රටවල්වලින් 1/4 ක් පමණ, ඒ කියන්නේ රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාවට තමන්ගේ රටේ නිල භාෂාවක තත්ත්වය ලබාදී තිබෙනවා. ඒත් ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂාව නෙවෙයි. චීන ජනතාව භාවිතා කරන මැන්ඩරීන් හෙවත් සම්ප්‍රදායික චීන භාෂාවත් ස්පඤ්ඤය සහ ලතින් ඇමරිකාවේ බහුලව භාවිතා වන ස්පාඤ්ඤ භාෂාවත් තමයි පිළිවෙලින් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන භාෂා අතරින් එක සහ දෙක. ඉංග්‍රීසි භාෂාවට හිමිවෙන්නේ මේ ලැයිස්තුවේ තුන්වෙනි තැන. 

අවම වශයෙන් අකුරු 08 කට එක වරක් හෝ යෙදෙන නිසා ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම භාවිතා වෙන අකුර E අකුර කියලයි කියන්නේ. එතකොට වැඩිම වචන ගණනක් පටන්ගන්නේ S අකුරෙන්. අවම භාවිතයක් ඇති අක්ෂරය විදියට සැලකෙන්නේ Q අක්ෂරය. 

එකම අකුර දෙපාරක් යොදන්නේ නැතිව ලියන්න පුළුවන් දිගම වචනය uncopyrightable. දැනට තියෙන දීර්ඝම වචනය pneumonoultramicroscopicsilicovolcanoconiosis. ඔව්, ඕක තමයි දීර්ඝම වචනය, උච්චාරණය කරලා බලන්න. ඔය වචනය උච්චාරණය කෙසේ වෙතත් මම මුලින්ම කළේ වචනයට තියෙන අකුරු ගණන ගැණලා බැලීම. මේ වචනය පෙනහලු ආශ්‍රීතව අැතිවෙන Silicosis කියන රෝගය හඳුන්වන්න භාවිතා කරන වචනයක් කියලයි සඳහන් වෙන්නේ. මෙච්චර සරල පොඩි වචනයක් තියෙද්දි මොකටද කාටවත් කියවගන්න බැරි අර තරම් දීර්ඝ වචනයක්? 1935 දි ඔය වචනය හඳුන්වා දෙන්න කලින් ඉංග්‍රීසි භාෂාවේ දීර්ඝම වචනය වශයෙන් තිබිලා තියෙන්නේ electrophotomicrographically

ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා එහි අකුරු 26 ම යොදාගෙන ලියැවෙන වාක්‍ය. මේවගේ වාක්‍යවලට කියන්නේ pangram කියලා. ඔබ අතරින් බොහෝ දෙනෙක් pangram කියන වචනය අහලා නැති වෙන්න පුළුවන්, නමුත් හැමෝම වගේ pangram එකක් දැකලා තියෙනවා. මේ තියෙන්නේ ඒ හැමෝම දන්න pangram එක. 


Lipogram කියලා ඉංග්‍රීසි වචනයක් තියෙනවා. එ් වචනයේ අර්ථය කිසියම් නිශ්චිත අකුරක් හෝ අකුරු කිහිපයක් නොයෙදෙන විදියට ලියූ වාක්‍ය/ජේදය කියන එක. අපි දැන් දන්නවනේ ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම යෙදෙන අක්ෂරය E කියලා. පුලුවන්ද E අකුර යොදාගන්නේ නැතිව වාක්‍යයක් හදන්න? 

ක්‍රි.ව 1873 -1939 කාලයේ අර්නස්ට් වින්සන්ට් රයිට් කියලා ඇමරිකානු ජාතික ලේඛකයෙක් හිටියා. මෙයා රචනා කරලා තියෙනවා පොතක් Gadsby කියන නමින්. මේ පොතේ වචන 50,000 කට වඩා තියෙනවා, ඒ වගේම එය තරමක රසවත් කතාවක් අන්තර්ගත පිටු 282 කින් යුත් නවකතාවක්. නමුත් පොතේ කිසිම තැනක E අකුරක් සහිත එකම එක වචනයකවත් නැහැ. වින්සන්ට් රයිට් මේ පොත රචනා කරද්දි එයාට තිබුන ලොකුම ගැටලුව වුනා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ Regular verbs වශයෙන් හඳුන්වන ක්‍රියා පද.  එවැනි ක්‍රියා පදවල අතීත ස්වරූපය ලියද්දි අගට -ed යෙදනෙවා. ඒ නිසා වින්සන්ට් රයිට් තමන්ගේ මේ පොත ලියලා තියෙන්නේ ඒ විදියේ Regular verbs මුලුමනින්ම මගහැරලා. මේ පොත බුද්ධිමය දේපළ අයිතියෙන් නිදහස් පොතක් (Public domain mark). කැමති කෙනෙක් ඉන්නවානම් archive.org වෙතින් පොතේ මෘදු පිටපතක් නොමිලයේම භාගතකරගෙන කියවන්න පුලුවන්. 


Queueing කියන වචනය හැදෙන්නේ පෝලිම/පේළිය වගේ අර්ථයන් දෙන Queue කියන වචනයෙන්. හොඳට බලන්න Queueing කියන වචනය ඇතුළේ අඛණ්ඩව ස්වර අක්ෂර (Vowels) 05 ක් යෙදිලා තියෙනවා. ඒ තමයි ස්වර අක්ෂර වැඩිම ගණනක් අඛණ්ඩව යෙදෙන ඉංග්‍රීසි වචනය. එතකොට ස්වර අක්ෂර නැතිව ලියන්න පුළුවන් දීර්ඝම වචනය තමයි Rhythm. දන්නවනේ ඕනම භාෂාවක තියෙනවා එකම රිද්මයට ශබ්ද වෙන වචන. දැන් cat, bat සහ fat වගේ සරල වචන ඒ වගේ රිද්මය අතින් සමාන වචන. පුළුවන්ද ඒ විදියට orange කියන වචනයට රිද්මය අතින් සමාන ඉංග්‍රීසි වචනයක් කියන්න? 

බෙල්ලට පොඩි ව්‍යායාමයක් එන්නත් එක්කලා SWIMS කියන වචනය උඩු යටිකුරු වෙන විදියට බලන්න. මොකද්ද පේන්නේ? එහෙම උඩින් බැලුවම ඒ විදියට පෙනෙන වෙනත් වචන ඉංග්‍රීසි භාෂාවේ තියෙනවද 

ඇයි අපි අකුරු ටයිප් කරන්න භාවිතා කරන යතුරුපුවරුවේ ඉංග්‍රීසි අකුරු අපිළිවෙළට තියෙන්නේ ? අපි අද භාවිතා කරන යතුරුපුවරුවේ ආරම්භය පැරණි යතුරුලියන යන්ත්‍ර. ඒවායේ අකුරු පෙලගස්වලා තියෙන්නේ අකුරු ටයිප් වෙන්න ඒ තුළ සකස් කර තිබුණු යාන්ත්‍රික ක්‍රමය එකිනෙක අකුරු එක්ක පැටලෙන්නේ නැති වෙන විදියට. යතුරුලියනය වෙනුවට පරිගණකය ආදේශ වෙද්දි යතුරුලියනයේ මේ ක්‍රමය පරිගණක යතුරුපුවරුවෙත් භාවිතා වුණා. අද අපි භාවිතා කරන යතුරුපුවරුවට කියනවා නමක් QWERTY යතුරුපුවරුව කියලා. යතුරුපුවරුවේ තිබෙන ඉංග්‍රීසි අකුරු අතරින් මුල්ම පේළියේ මුලින්ම තියෙන්නේ ඔය අකුරු 06. ඒ වගේම TYPEWRITER කියන වචනය අත එහා මෙහා නොකර යතුරුපුවරුවේ මුල් පේළියෙන්ම ටයිප් කරන්නත් පුළුවන්. 

කාටහරි කියන්න පුළුවන්ද ship shipping ship ships shipping ships කියන වාක්‍යයේ තේරුම? බැලූ බැල්මට මේක නිකන්ම වචන ටිකක්, ඒත් ඇත්තටම ගත්තොත් මේක පැහැදිලි අර්ථයක් තිබෙන නිවැරදි වාක්‍යයක්. හරියට 'නෝනා, නාන්න නම් නාන්න නෝනා. නොනා නොනා නේන්න නෝනා' වගේ. මේ වාක්‍ය මෙන්න මේ විදියට අරගෙන බලන්න, A ship shipping ship ships shipping-ships. දැන් පැහැදිලිද? ඒත් නැත්නම් මෙහෙම සටහන් කරොත් - A boat shipping boat transports shipping-boats. වාක්‍යයේ අර්ථය මෙහෙමයි - නැව් ප්‍රවාහනය කරන නෞකාවක් නාවික යාත්‍රා ප්‍රවාහනය කරමින් යාත්‍රා කරනවා. 


ඒ විදියටම මේ වාක්‍යයේ තේරුම කියන්න උත්සාහ කරන්න - Will, will Will will Will Will's will? තේරුම මෙහෙමයි. විලියම් කියන නම තියෙන පුද්ගලයන්ට කවුරුත් පහසුවට කතා කරන්නේ විල් කියලා. Will (විලියම් - පළමු පුද්ගලයා), will (අනාගත කාලය හඟවන ක්‍රියා පදය) Will (විලියම් - දෙවැනි පුද්ගලයා) will (පවරයිද) Will (විලියම්ට - තුන්වන පුද්ගලයා) Will's (විලියම්ගේ - දෙවැනි පුද්ගලයාගේ) will (අන්තිම කැමැත්ත)? විලියම්, ඔයා මොකද හිතන්නේ, අපේ විලියම් එයාගේ අන්තිම කැමැත්ත අර එහා ගමේ විලියම්ට පවරයිද? ඔන්න ඔය වගේ දෙයක් තමයි ඒකේ තේරුම.

ඒ වාක්‍ය ටික නම් තේරුම් ගන්න අපහසු වාක්‍ය. ඒ වුණාට, ඒ වගේද ඉංග්‍රීසි භාෂාවේ කෙටිම වාක්‍ය? අකුරු තුනයි තියෙන්නේ. Are you aware of the shortest sentence of the English language? කියලා කවුරුහරි ඇහුවොත් I am කියලා උත්තර දුන්නම හරියටම හරි.

රෝම නීතිය වැඩිදුර අධ්‍යනය කරනකොට රෝම නීතියේ ප්‍රධාන කොටස් 03 ක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒ Ius naturale (Natural law), Ius gentium (Law of foreign people and nations), Ius civile (Law of roman citizens). ඔය පද තුනේම නීතිය කියන අර්ථය දෙන Ius කියන වචනයේ උච්චාරණ ශබ්දය 'jus' හෙවත් 'ජුස්' කියන ශබ්දය. ඇයි ඉතින් I අකුරෙන් ලියලා J අකුරෙන් ශබ්ද කරන්නේ? ඔය වගේම ජේසුස් කිස්තූන් වහන්සේට Jesus සහ Yesus කියලා නම් දෙකක් තියෙනවානේද? Hallelujah කියන වචනය ඇයි Ha-le-loo-Yah කියලා 'යා' ශබ්දයක් සහිතව උච්චාරණය වෙන්නේ? ඔය හැම තැනකම J ශබ්දය වෙනුවට යෙදිලා තියෙන්නේ Y හෝ I අකුරු දෙක. මේකට හේතුව තමයි දැනට වසර 500 කට පමණ ඉහතදී ඉංග්‍රීසි භාෂාවේ අකුරු අතර J යනුවෙන් අකුරක් නොතිබීම. ඒ නිසා J ශබ්දය බොහෝවිට පෙන්වලා තියෙන්නේ Iu, Ie, Ya විදියට. 

එතකොට ඔය ගොඩක් දෙනෙක් දන්නේ නැහැනේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා Fuck කියලා වචනයක්. මේක අසභ්‍ය වචනයක්. හරි, දැන් තමයි දැන ගත්තේ නේද? මේ වචනයේ නිරුක්තිය (Etymology) ගැන එක එක කතන්දර තියෙනවා. ඒ එක කතාවක් තමයි මේ වචනය අයර්ලන්ත නීති පද්ධතියේ තියෙන එක්තරා නිර්වචනයකින් හැදුණ එකක් කියන එක. යම්කිසි යුවලක් අනාචාරයේ හැසිරීමේ චෝදනාවට වරදකරුවන් වුණොත් අයිරිෂ් නීතිය යටතේ ඔවුන්ට දෙන දඬුවම නිර්වචනය කරන්නේ For unlawful Carnal knowledge වශයෙන්. එ් පද 04 මුල් අකුරුවලින් Fuck කියන වචනය බිහිවුණා කියන එක එක් අදසක්. 

තවත් අදහසක් තමයි මේ වචනයේ නිරුක්තිය මධ්‍යතන යුගයේ තිබුණ එක්තරා භාවිතයකින් සිදුවුණ එකක්යැයි කීම. මධ්‍යතන යුගයේ යුරෝපය පුරා මහාමාරිය වසංගතය පැතිර තිබුණ කාලයේ (Plague/Black death) බොහෝ යුරෝපා නගර රෝගය පැතිරීම පාලනය කිරීමේ අරමුන‍ෙන් නව දරු උපත් සිදුකිරිම සම්බන්ධයෙන් නීති පනවලා තිබුණා. එකේ අරමුණ රෝගය පාලනය කරන්න ඒ යුගයේ තිබුණ සීමිත සම්පත් වඩාත් ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීම. මේ නීතියට අනුව යුවලක් ලිංගික සම්බන්ධතාවයක් පවත්වනවානම් මුලින්ම ගිහින් රජුගෙන් ඒ කාර්යයට අවසර ගැනීම අනිවාර්ය වෙලා තිබෙනවා. කෙළින්ම ගිහින් රජතුමාව මුණගැහිලා අවසර ඉල්ලුවා නෙවෙයි, ඒ ඒ නගරවල හිටිය නගර ප්‍රධානීන් තමයි රජු නියෝජනය කරමින් අවසරය දීලා තියෙන්නේ. ඉතින් මේ විදියට අවසර අරගන්න අයට කොන්දේසියකුත් අදාළ වෙනවා. ඒ කොන්දේසියට අනුව, ලිංගික කාර්යයේ යෙදෙනකොට පාරේ ඉඳලා නිවසට තිබෙන පිවිසුමේ යම් තැනක  පැහැදිලිව පේන්න සඳහනක් තැබිය යුතුයි තමන් අවසර අරගෙනයි මේ කාර්යයේ යෙදී ඉන්නේ කියලා. නැත්නම් බලධාරීන් ඇවිත් අනාචාරයේ හැසිරෙනවා කියලා අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඔය විදියට දාපු සඳහන තමයි Fornication under the consent of King. මේ වාක්‍යයේ වචනවල මුල් අකුරු කිහිපය එකතුවෙලා Fuck කියන වචනය බිහිවුණා කියන එකයි දෙවැනි අදහස. 

නමුත් සමහරුන්ට අනුව ඔය වචනයේ නිරුක්තිය සම්බන්ධයෙන් තිබෙන ඉහත සඳහන් අදහස් දෙකම 1960 දශකයෙන් පස්සේ හුදෙක් විනෝදය සඳහා නිර්මාණය කරගත් අදහස් (Urban legends). ඒ මතයට අනුව මේ අදහස් දෙකටම සැබෑ ඓතිහාසික පදනමක් නැහැ. 

දැන් ඔය සිංහල භාෂාවේ තියෙනවානේ මෙන්න මේ වගේ වාක්‍ය - චූටි ටීචගේ චූටි ටෝච් එක. අර නව පුරපුරේ ගායකයෙක්ගේ සින්දුවකත් තියෙන්නේ අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරළිලා කියලා. මේවාට ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන්නේ tongue twisters කියන නම. කියවන්න බලන්න මෙන්න මේක දිව උලුක් කරගන්නේ නැතිව. 


Peter Piper picked a peck of pickled peppers.
How many peck of pickled peppers did Peter Piper pick?
If Peter Piper picked a peck of pickled peppers,
Where's the peck of pickled peppers Peter Piper picked?

හරිද? කාටවත් මොකුත් කරදරයක් නෑ නේද? හරි එහෙනම් දැන් මේක. 

sixth sick sheik’s sixth sheep’s sick.

කලින් එක තරම් දිග නැතිවුණාට ඕක තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන අමාරුම tongue twister එක. 

ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි වචන ටිකක් ලංකාවේ භාවිතයේ තියෙනවා. මජ්ජාඩ් එක දන්නවද? ඔය යතුරුපැදිවල එහෙම තියෙන්නේ පාරේ යනකොට ධාවකයාගේ ඇඟට රෝදයෙන් මඩ විසිවෙන එක වළක්වන්න (Mud guard). තව ඔය මෝටර් වාහනවලම තියෙනවා ටේලයිට් එක (Tail light). වාහන පාවිච්චි කරන අය දන්නවා අැති සොකැබ්සෝබර් (Shock Absorbers). එතකොට අලුතෙන් හදන ගෙයක ඉස්සෙල්ලම කරන්නේ බවුන්ඩේෂන් එක දාන එක නේද (Foundation)

අපි පොඩි කාලේ ඉඳන්ම අද වෙනතුරුත් පුංචි දරුවන්ට අනිවාර්යයෙන් කියලා දෙන ඉංග්‍රීසි කවියක් තියෙනවා. 
Twinkle, twinkle, little star             How I wonder what you are!
Up above the world so high              Like a diamond in the sky.

මේක ජේන් ටයිලර් කියන ඉංග්‍රීසි ජාතික කිවිඳිය විසින් රචනා කරලා 1806 වර්ෂයේ එළිදක්වපු කවියක්. වසර 200 කටත් වඩා පැරණි නිර්මාණයක්. බෙහෝමයක් දරුවන් දන්නේ ඔය උඩින් තියෙන පද 04 විතරයි, ඒත් ජේන් ටයිලර් මේක නිර්මාණය කළේ පේළි හතරේ කවි 05 ක් තියෙන කවි පංතියක් විදියට. මේ තියෙන්නේ ඒ කවි පංතියේ ඉතිරි කවි 04.

When the blazing sun is gone      When he nothing shines upon,
Then you show your little light      Twinkle, twinkle, all the night.

 Then the traveler in the dark     Thanks you for your tiny sparks;
     He could not see which way to go     If you did not twinkle so.

In the dark blue sky you keep       And often through my curtains peep
     For you never shut your eye      Till the sun is in the sky.

As your bright and tiny spark      Lights the traveler in the dark,
     Though I know not what you are        Twinkle, twinkle, little star.

මගේ ඉංග්‍රීසි ගුරුතුමියගෙන් ඉගෙනගන්න කලින් මම ඔය කවිය කිව්වේ මෙහෙමයි. 
  
  ට්විංකල් ට්විංකල් ලිට්ලිස්ටා          හව් අයි වොන්ඩ වට්ටූආ
          අප්අ බවුද වල්සෝ හයි           ලයික ඩයමන් ඉන්දස්කයි

මහාචාර්ය ඒ.වී. සුරවිර මහත්මයාගේ 'අකුරට යන වෙලාවේ' කියන කෙටිකතාවේ ඉන්න මැණිකා ඕක ගායනා කරන්නේ මෙහෙමයි.

                              ටිංකල් ටිංකල් ලිට්ල් ලිට්ල්               ස්ටා
                              අවුවයි වන්ඩ වට්යූ වට්යූ                      
                              අප්පේ බව්දා බව්දා වෝල්සෝ             හා
                              ලයිකේ ලයිමා ලයිමා ඉන්දස්              කා

හැම වසරකම ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට දළ වශයෙන් අලුත් වචන 4,000 ක් විතර එකතු වෙන බව සඳහන්. මේ එකතුවෙන වචනවලින් බහුතරයක් වෛද්‍ය විද්‍යාවෙන් ඉංග්‍රීසි භාෂාවට එකතු වෙන වචන. 

ඉංග්‍රීසි භාෂාවේ මිලියන ගණනක් වචන අතරෙන් මම කැමතිම වචනයක් තියෙනවා. හොරේෂියෝ වෝල්පෝල් (Horatio Wolpole) කියන ඉංග්‍රීසි ඉතිහාසඥයා තමයි මේ වචනය 1754 වර්ෂයේදී පළමු වතාවට භාවිතා කළා කියලා සැලකෙන්නේ. මේ තියෙන්නේ ඒ වචනය, ඒකට ගැලපෙනවා කියලා හිතුන ඡායාරූපයකුත් එක්ක



මතක පොත වැසෙයි කාරියකරවන පෙරළා යයි



මං දිනමිණට ආව මුල් කාලෙදි, පත්තර කාර්යාලයේ හිටිය ලොක්කන්ට සිංහල හොඳට බෑ. ඩී.එස්. සේනානායක මහත්තයා මියගිය ගමන් ම සෝල්බරි සාමිවරයා අගමැති ලෙස ඩඩ්ලි සේනානායක මහත්තයව පත් කළා. ඒ වෙලාවෙ ඒ සඳහා හිටිය සුදුස්සා වුණේ ජෝන් කොතලාවල මහත්තයා. මේ තනතුර ඩඩ්ලිට දීම නිසා අවුල් සහගත තත්ත්වයක් ඇති වුණා. මේ කාලෙදිම ‘අගමැති පොරය’ කියලා කොතලාවල මහත්තයා ඩඩ්ලිට විරුද්ධව කැළෑ පත්තරයක් ගැහුවා. ඒත් පස්සෙ දෙන්නම යාළු වුණා. පස්සෙ ජෝන් කොතලාවල ඕස්ට්‍රේලියාවට ගියා. ටික කාලෙකට පස්සෙ නැවැත ආවා.

ඒ කාලෙ දිනමිණ ප්‍රධාන උප කර්තෘ වුණේ මං. කොතලාවලගේ පැමිණීම ගැන ‘සර් ජෝන් පෙරළා පැමිණේ’ යනුවෙන් ශීර්ෂ පාඨයක් යොදලා, මං ප්‍රවෘත්තිය ඉදිරිපත් කළා. ඒ කාලෙ දිනමිණ පළමු මුද්‍රණය හවස 6.30 වන විට සූදානම් කරනවා. එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයා ‘පෙරළා පැමිණේ’ කියන වචනය දැකලා බයවෙලා. 

ඩැනියෙල් ෆ්‍රැන්සිස් කාරියකරවන හෙවත් ඩී.එෆ් කාරියකරවන නම් චරිතය මට මුලින්ම දැන හඳුනාගන්න ලැබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ  ප්‍රධාන පුස්තකාල පරිශ්‍රයේදී. ඒ මීට අවුරුදු පහකට විතර කලින්. නිර්දේශිත අධ්‍යාපන පත පොත අතරේ මට දැනුන අලසබව මගහැරවා ගන්න ක්‍රමයක් හොයමින් දෙවැනි තට්ටුවෙන් තුන්වැනි තට්ටුවට ගොඩවැදිලා එහි නවකතා පොත් ගොන්න අතරේ එහාට මෙහාට ගිය හැටිත්, දුහුවිලි බැඳුණ පොත් රාක්කයක කෙලවරම තිබුන 'මතක පොතෙන් තවත් ටිකක්' නමින් වූ පොතක් රැගෙන කියවපු හැටිත් මට  අද වගේ මතකයි. ඒ මම ඔහුව මුණ ගැහුණ පළමු වතාව. 

මීගමුවේ කුරණ ප්‍රදේශයේ ජීවිතයේ කුඩා අවදිය ගත කළ සමය, පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජීවිතය, දිණමිණ සිළුමිණ සහ ජනතා පත්‍රවල ඔහුගේ වෘත්තීය ජීවිතය වැනි අවස්ථාවල ඔහු ලැබූ අත්දැකීම්වලින් ඒ මතක පොත පිරිලා තිබුනා.  ඔහුගේම වචනවලින් නම් ඒවා 'හොඳ රහට' කියවිය හැකි අත්දැකීම් ගොන්නක් ඒ වගේම රට තොට ගැන දැන ඉගෙනගත හැකි මාර්ගෝපදේශනයක්. 'මතක පොතෙන් තවත් ටිකක්' කියවීමෙන් අැරඹුන මතක කියවීම අවසන් වුනේ ඔහුගේ දසක සතක මතක, මතක පොතේ ඉතිරි හරිය, සහ තව තවත් මතක කියන පොත් තුනත් අැතුළත්ව මතක පොත් හතරම කියවීමෙන්. 

මේ මහාචාර්ය සුචරිත ගම්ලත් මතක පොත් දැකපු විදිය.

"සමකාලීන සිංහල පොතක් අතට ගනිමි. දේශපාලනඥයකුගේ ආත්ම චරිත කතාවකි. ගන්ට පලක් නැත. පම්පෝරි විනා. තවත් පොතක් අතට ගතිමි. ඒ ද ආත්ම චරිත කතාවකි. ප්‍රවීණ මාධ්‍යවේදියකු ගේ ය. වත්මන් සිංහල සාහිත්‍යය නමැති නිරුදක කතරට වන් වතුර මලක් සදිසි ය. කතා නායකයා නම් ඩී.එෆ්. කාරියකරවන ය. කාරියකරවනයන් ගේ බස් වහර බෙහෙවින් අපූරු ය. කෙටි ය. වියත් ය. නිරවද්‍යය. හෘදය ග්‍රහනී ය. මෙවැනි කරුණු නිසාත් ඒවා කියන මනරම් ආකාරය නිසාත් දසක සතක මතක නමැති ළගන්නා මැයෙන් යුතු මේ කෘතිය අතට ගත් කල්හි බිම තැබීමට සිත් නොදේ. කාරියකරවනයන් ගේ ස්වයං ලිඛිත චරිතාපදානය කියවීමෙන් මහත් පල මහානිශංස ලද හැක."

ඩී.එෆ්. කාරියකරවන ශ්‍රී ලංකා පත්‍ර කලා ඉතිහාසය තුල අග්‍රගන්‍ය සලකුනක් ලෙස සදා සැලකෙනු අැත. ලංකාදීපයේ සිරි රණසිංහ මෙන්ම දිවයිනේ මෙරිල් පෙරේරාත් පත්‍ර කලා ලෝකයේ නම රැන්දූ තවත් බොහෝ දෙනෙකුටත් ඩී.එෆ්. කාරියකරවන සිය මුල් ගුරුවරයාය. ඔහු අාරම්භයේ සිට අවසානය දක්වාම සිංහල භාෂාවේ නිවැරදි ව්‍යවහාරය පිළිබඳ  ප්‍රායෝගික දැක්මකින් යුතුව කටයුතු කළ අයෙකි. මීට කලකට ඉහතදී දිනමිණ පුවත්පත සමග සංවාදකදි සිංහල භාෂාවේ වර්තමාන ඉරණම ගැන ඔහු අතිශය නිවැරදි විග්‍රහයක් ඉදිරිපත් කළේය. 

"ශ්‍රී ලංකාවේ හිටපු අවසාන සුදු අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා කනිෂ්ඨ විභාගයට අනිවාර්ය විෂයයන් දෙකක් වෙලා තිබුණු සිංහල හා ගණිතය වෛකල්පිත විෂයයන් බවට පත් කළා. එතැන් පටන් ළමයි වෙනත් විෂයයන් හදාරලා විභාග පාස් කළා. ඔවුන් ගුරුවරු වුණා. ඒ අය තමයි ඊළඟ පරම්පරාවලට උගන්වන්නේ. හරි විදිහට උගන්වන්න ගුරුවරුන්ටත් දැනුමක් නැතිකොට කොහොමද ළමයි හරි විදිහට ඉගෙන ගන්නේ. එතැනින් තමයි පිරිහීම පටන් ගත්තේ. ඒ පිරිහීම කොතරම්දැයි කියනවා නම් අද පත්තරේකට රස්සාව දෙන්න භාෂාව දන්න කෙනෙක් හොයා ගන්න බෑ. ඒ නිසා ඔය කාව හරි ගන්නවා. ඒ හින්දා අද මාධ්‍යයේ ඉන්න බොහෝ දෙනෙකුට භාෂාව බෑ. භාෂාව මරනවා. භාෂාව හදන්න ඕනෑ. ඒක අමාරු දෙයක්. අලුත් පත්තර රැල්ල විසින් අමුතු ම මාදිලියේ භාෂා භාවිතයකට ගිහිල්ලා. ඉතින් අපේ භාෂාව ඉතිරි වෙයි ද?"


උත්තරීතර ව්‍යවස්ථාදායකය අැතුලේ මහජන නියෝජිතයන් 'නයිට ගැසීම' වැනි හෝන්දු මාන්දු සිදුවීම්වලින් ගහණ දිනයක රටේ තව තවත් අලකලංචි දැකීමට පෙර ඔහු සියල්ල හැරදා ගියේය. එතෙක්ම ඔහු පත්‍ර කලා ලෝකය තුල සැලකුනේ ජීවමාන ජ්‍යේෂ්ඨතම ප‍්‍රවෘත්ති පත‍්‍ර කලාවේදියා වශයෙනි. මියයන විට ඔහුට වයස අවුරුදු 94 කි. 

වයස 94 ක් යනු පෑනක් පැන්සලක් අතින් අල්ලන්නට  හෝ වාරු නැති මහලු වයසකි. කාරියකරවනටද එය එසේම විය. අවසාන භාගයේ ඔහු ලියන දේ ඔහුටම කියවා ගත නොහැකි තරමට ඔහු  දුර්වල වූ බව සඳහන්යඑහෙත් ඔහුගේ ධෙෙර්යය එයින් දුර්වල නොවිනි. ලංකාදීප පුවත්පතට ‘කාරිගේ තීරුව’ නමින් ඔහු ලියූ කොලම අවසන් වරට ඊයේ (අප්‍රේල් 20 සඳුදා) පළවිය.  

මාස්ටර් සර් නිර්මාණය කළ නිමල් මෙන්ඩිස් මීට දින කිහිපයකට පෙර ඔහුගේ ජීවිත ගමන අවසන් කළේය. හරූන් ලන්ත්‍රාද යන්නම ගියේය. +Maathalan නිමල් මෙන්ඩිස් ගැන ලියමින් Return If Possible යැයි සඳහන් කර තිබුනේය. ඩී.එෆ් කාරියකරවන ගැන මට කියන්නට අැත්තේද එයමය. 

යළිත් ආ හැකි නිසා නොවේද ඔහු ‍යන්නේ ? නොගියොත් යළිත් ආ නොහැකිය. යාම හොඳයි. ගොස් ඊම ද හොඳයි. ලොව ඇත්තේ යාම ඊමය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. ~ සරත්චන්ද්‍ර -මලවුන්ගේ අවුරුදුදා

04 things that are highly Sri Lankan




Those who have ever been outside the country will tell you how strong the bond between the country and its men and women. Surely this is a land like no other.

Now here is a list of few only in Sri Lanka things.