ඉංග්‍රීසි භාෂාව ගැන මේ දේවල් දන්නවද?
6/07/2015 11:46:00 AM
Prageeth Liyanaarachchi
32 Comments
6/07/2015 11:46:00 AM Prageeth Liyanaarachchi 32 Comments
හැමෝටම ඇති නේද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ගිහිල්ලා යාන්තමට හරි ඇඬුණ යුගයක්? මට නම් තිබුණා. ඒ කාලේ මට ඉංග්‍රීසි තරම් අප්‍රියජනක වචනයක් හෝ කාල පරිච්ඡේදයක් පාසල් කාල සටහනේ වෙන තිබුණේම නැහැ. හැබැයි ඒ හැඟීම ඒ විදියට දිගටම තිබුණානම් අද මම කොහෙද කියලා හොයන්නත් නැහැ. ඉංග්‍රීසි භාෂාව අද ඒ තරම්ම අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වැදගත් අංගයක්.
ඒ දවස්වලම ඕක හොඳටම තේරුම් අරගෙන තිබුණා මගේ අම්මා. අම්මා මාව ගිහින් දැම්මා අම්මාගේ හොඳම යෙහෙළියක ළඟට. අම්මගේ මේ යෙහෙළිය තමන්ගේ පාඩුවේ ගෙදර වැඩක් කරගෙන හිටිය බර්ගර් ජාතික ගෘහණියක්. මගේ ඉංග්‍රීසි භාෂාව ඔපමට්ටම් කරලා හදන වැඩේ ඇය අම්මාගෙයි ඇයගෙයි මිත්‍රත්වය වෙනුවෙන් බාරගත්තා. ඇය මට ඉංග්‍රීසි දියකරලා පෙව්වේ නැති ටික විතරයි. හැම සතියකම දවස් දෙකක් ඒ බර්ගර් ගුරුවරියගේ ගෙදර මං වෙනුවෙන් අනිවාර්ය උපකාරක පන්ති. කිසියම්ම හෝ හේතුවක් නිසා යම් දවසක පන්තියට සහභාගි වෙන්න නොහැකිනම් නොපැමිණෙන වග දන්වලා ඉංග්‍රීසි භාෂාවෙන් ලිපියක් ලියලා වැඩිහිටියෙකුගේ අත ඒක ඇයට යවන්න ඕන. එහෙම යැව්වාම මගේ ගුරුතුමිය ඒක බලලා, රතු පෑනකින් හරි වැරදි ලකුණු කරලා, සතුටුදායක තරම් නිවැරදිව ලිපිය ලියලා තියෙනවනම් මම ඒ දවස්වල දකින්න ආසම කරපු Very good එකකුත් දාලා අර වැඩිහිටියාගේ අතේම ආපහු මට එවනවා.
අපි හැමෝම දන්නවනේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව කියලා. සැකයක් නෑ ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත්. ලෝකයේ රටවල්වලින් 1/4 ක් පමණ, ඒ කියන්නේ රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාවට තමන්ගේ රටේ නිල භාෂාවක තත්ත්වය ලබාදී තිබෙනවා. ඒත් ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂාව නෙවෙයි. චීන ජනතාව භාවිතා කරන මැන්ඩරීන් හෙවත් සම්ප්‍රදායික චීන භාෂාවත් ස්පඤ්ඤය සහ ලතින් ඇමරිකාවේ බහුලව භාවිතා වන ස්පාඤ්ඤ භාෂාවත් තමයි පිළිවෙලින් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන භාෂා අතරින් එක සහ දෙක. ඉංග්‍රීසි භාෂාවට හිමිවෙන්නේ මේ ලැයිස්තුවේ තුන්වෙනි තැන.
අවම වශයෙන් අකුරු 08 කට එක වරක් හෝ යෙදෙන නිසා ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම භාවිතා වෙන අකුර E අකුර කියලයි කියන්නේ. එතකොට වැඩිම වචන ගණනක් පටන්ගන්නේ S අකුරෙන්. අවම භාවිතයක් ඇති අක්ෂරය විදියට සැලකෙන්නේ Q අක්ෂරය.
එකම අකුර දෙපාරක් යොදන්නේ නැතිව ලියන්න පුළුවන් දිගම වචනය uncopyrightable. දැනට තියෙන දීර්ඝම වචනය pneumonoultramicroscopicsilicovolcanoconiosis. ඔව්, ඕක තමයි දීර්ඝම වචනය, උච්චාරණය කරලා බලන්න. ඔය වචනය උච්චාරණය කෙසේ වෙතත් මම මුලින්ම කළේ වචනයට තියෙන අකුරු ගණන ගැණලා බැලීම. මේ වචනය පෙනහලු ආශ්‍රීතව අැතිවෙන Silicosis කියන රෝගය හඳුන්වන්න භාවිතා කරන වචනයක් කියලයි සඳහන් වෙන්නේ. මෙච්චර සරල පොඩි වචනයක් තියෙද්දි මොකටද කාටවත් කියවගන්න බැරි අර තරම් දීර්ඝ වචනයක්? 1935 දි ඔය වචනය හඳුන්වා දෙන්න කලින් ඉංග්‍රීසි භාෂාවේ දීර්ඝම වචනය වශයෙන් තිබිලා තියෙන්නේ electrophotomicrographically.
ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා එහි අකුරු 26 ම යොදාගෙන ලියැවෙන වාක්‍ය. මේවගේ වාක්‍යවලට කියන්නේ pangram කියලා. ඔබ අතරින් බොහෝ දෙනෙක් pangram කියන වචනය අහලා නැති වෙන්න පුළුවන්, නමුත් හැමෝම වගේ pangram එකක් දැකලා තියෙනවා. මේ තියෙන්නේ ඒ හැමෝම දන්න pangram එක.
ක්‍රි.ව 1873 -1939 කාලයේ අර්නස්ට් වින්සන්ට් රයිට් කියලා ඇමරිකානු ජාතික ලේඛකයෙක් හිටියා. මෙයා රචනා කරලා තියෙනවා පොතක් Gadsby කියන නමින්. මේ පොතේ වචන 50,000 කට වඩා තියෙනවා, ඒ වගේම එය තරමක රසවත් කතාවක් අන්තර්ගත පිටු 282 කින් යුත් නවකතාවක්. නමුත් පොතේ කිසිම තැනක E අකුරක් සහිත එකම එක වචනයකවත් නැහැ. වින්සන්ට් රයිට් මේ පොත රචනා කරද්දි එයාට තිබුන ලොකුම ගැටලුව වුනා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ Regular verbs වශයෙන් හඳුන්වන ක්‍රියා පද. එවැනි ක්‍රියා පදවල අතීත ස්වරූපය ලියද්දි අගට -ed යෙදනෙවා. ඒ නිසා වින්සන්ට් රයිට් තමන්ගේ මේ පොත ලියලා තියෙන්නේ ඒ විදියේ Regular verbs මුලුමනින්ම මගහැරලා. මේ පොත බුද්ධිමය දේපළ අයිතියෙන් නිදහස් පොතක් (Public domain mark). කැමති කෙනෙක් ඉන්නවානම් archive.org වෙතින් පොතේ මෘදු පිටපතක් නොමිලයේම භාගතකරගෙන කියවන්න පුලුවන්.
Queueing කියන වචනය හැදෙන්නේ පෝලිම/පේළිය වගේ අර්ථයන් දෙන Queue කියන වචනයෙන්. හොඳට බලන්න Queueing කියන වචනය ඇතුළේ අඛණ්ඩව ස්වර අක්ෂර (Vowels) 05 ක් යෙදිලා තියෙනවා. ඒ තමයි ස්වර අක්ෂර වැඩිම ගණනක් අඛණ්ඩව යෙදෙන ඉංග්‍රීසි වචනය. එතකොට ස්වර අක්ෂර නැතිව ලියන්න පුළුවන් දීර්ඝම වචනය තමයි Rhythm. දන්නවනේ ඕනම භාෂාවක තියෙනවා එකම රිද්මයට ශබ්ද වෙන වචන. දැන් cat, bat සහ fat වගේ සරල වචන ඒ වගේ රිද්මය අතින් සමාන වචන. පුළුවන්ද ඒ විදියට orange කියන වචනයට රිද්මය අතින් සමාන ඉංග්‍රීසි වචනයක් කියන්න?
බෙල්ලට පොඩි ව්‍යායාමයක් එන්නත් එක්කලා SWIMS කියන වචනය උඩු යටිකුරු වෙන විදියට බලන්න. මොකද්ද පේන්නේ? එහෙම උඩින් බැලුවම ඒ විදියට පෙනෙන වෙනත් වචන ඉංග්‍රීසි භාෂාවේ තියෙනවද ?
ඇයි අපි අකුරු ටයිප් කරන්න භාවිතා කරන යතුරුපුවරුවේ ඉංග්‍රීසි අකුරු අපිළිවෙළට තියෙන්නේ ? අපි අද භාවිතා කරන යතුරුපුවරුවේ ආරම්භය පැරණි යතුරුලියන යන්ත්‍ර. ඒවායේ අකුරු පෙලගස්වලා තියෙන්නේ අකුරු ටයිප් වෙන්න ඒ තුළ සකස් කර තිබුණු යාන්ත්‍රික ක්‍රමය එකිනෙක අකුරු එක්ක පැටලෙන්නේ නැති වෙන විදියට. යතුරුලියනය වෙනුවට පරිගණකය ආදේශ වෙද්දි යතුරුලියනයේ මේ ක්‍රමය පරිගණක යතුරුපුවරුවෙත් භාවිතා වුණා. අද අපි භාවිතා කරන යතුරුපුවරුවට කියනවා නමක් QWERTY යතුරුපුවරුව කියලා. යතුරුපුවරුවේ තිබෙන ඉංග්‍රීසි අකුරු අතරින් මුල්ම පේළියේ මුලින්ම තියෙන්නේ ඔය අකුරු 06. ඒ වගේම TYPEWRITER කියන වචනය අත එහා මෙහා නොකර යතුරුපුවරුවේ මුල් පේළියෙන්ම ටයිප් කරන්නත් පුළුවන්.
කාටහරි කියන්න පුළුවන්ද ship shipping ship ships shipping ships කියන වාක්‍යයේ තේරුම? බැලූ බැල්මට මේක නිකන්ම වචන ටිකක්, ඒත් ඇත්තටම ගත්තොත් මේක පැහැදිලි අර්ථයක් තිබෙන නිවැරදි වාක්‍යයක්. හරියට 'නෝනා, නාන්න නම් නාන්න නෝනා. නොනා නොනා නේන්න නෝනා' වගේ. මේ වාක්‍ය මෙන්න මේ විදියට අරගෙන බලන්න, A ship shipping ship ships shipping-ships. දැන් පැහැදිලිද? ඒත් නැත්නම් මෙහෙම සටහන් කරොත් - A boat shipping boat transports shipping-boats. වාක්‍යයේ අර්ථය මෙහෙමයි - නැව් ප්‍රවාහනය කරන නෞකාවක් නාවික යාත්‍රා ප්‍රවාහනය කරමින් යාත්‍රා කරනවා.
ඒ විදියටම මේ වාක්‍යයේ තේරුම කියන්න උත්සාහ කරන්න - Will, will Will will Will Will's will? තේරුම මෙහෙමයි. විලියම් කියන නම තියෙන පුද්ගලයන්ට කවුරුත් පහසුවට කතා කරන්නේ විල් කියලා. Will (විලියම් - පළමු පුද්ගලයා), will (අනාගත කාලය හඟවන ක්‍රියා පදය) Will (විලියම් - දෙවැනි පුද්ගලයා) will (පවරයිද) Will (විලියම්ට - තුන්වන පුද්ගලයා) Will's (විලියම්ගේ - දෙවැනි පුද්ගලයාගේ) will (අන්තිම කැමැත්ත)? විලියම්, ඔයා මොකද හිතන්නේ, අපේ විලියම් එයාගේ අන්තිම කැමැත්ත අර එහා ගමේ විලියම්ට පවරයිද? ඔන්න ඔය වගේ දෙයක් තමයි ඒකේ තේරුම.
ඒ වාක්‍ය ටික නම් තේරුම් ගන්න අපහසු වාක්‍ය. ඒ වුණාට, ඒ වගේද ඉංග්‍රීසි භාෂාවේ කෙටිම වාක්‍ය? අකුරු තුනයි තියෙන්නේ. Are you aware of the shortest sentence of the English language? කියලා කවුරුහරි ඇහුවොත් I am කියලා උත්තර දුන්නම හරියටම හරි.
රෝම නීතිය වැඩිදුර අධ්‍යනය කරනකොට රෝම නීතියේ ප්‍රධාන කොටස් 03 ක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒ Ius naturale (Natural law), Ius gentium (Law of foreign people and nations), Ius civile (Law of roman citizens). ඔය පද තුනේම නීතිය කියන අර්ථය දෙන Ius කියන වචනයේ උච්චාරණ ශබ්දය 'jus' හෙවත් 'ජුස්' කියන ශබ්දය. ඇයි ඉතින් I අකුරෙන් ලියලා J අකුරෙන් ශබ්ද කරන්නේ? ඔය වගේම ජේසුස් කිස්තූන් වහන්සේට Jesus සහ Yesus කියලා නම් දෙකක් තියෙනවානේද? Hallelujah කියන වචනය ඇයි Ha-le-loo-Yah කියලා 'යා' ශබ්දයක් සහිතව උච්චාරණය වෙන්නේ? ඔය හැම තැනකම J ශබ්දය වෙනුවට යෙදිලා තියෙන්නේ Y හෝ I අකුරු දෙක. මේකට හේතුව තමයි දැනට වසර 500 කට පමණ ඉහතදී ඉංග්‍රීසි භාෂාවේ අකුරු අතර J යනුවෙන් අකුරක් නොතිබීම. ඒ නිසා J ශබ්දය බොහෝවිට පෙන්වලා තියෙන්නේ Iu, Ie, Ya විදියට.
එතකොට ඔය ගොඩක් දෙනෙක් දන්නේ නැහැනේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා Fuck කියලා වචනයක්. මේක අසභ්‍ය වචනයක්. හරි, දැන් තමයි දැන ගත්තේ නේද? මේ වචනයේ නිරුක්තිය (Etymology) ගැන එක එක කතන්දර තියෙනවා. ඒ එක කතාවක් තමයි මේ වචනය අයර්ලන්ත නීති පද්ධතියේ තියෙන එක්තරා නිර්වචනයකින් හැදුණ එකක් කියන එක. යම්කිසි යුවලක් අනාචාරයේ හැසිරීමේ චෝදනාවට වරදකරුවන් වුණොත් අයිරිෂ් නීතිය යටතේ ඔවුන්ට දෙන දඬුවම නිර්වචනය කරන්නේ For unlawful Carnal knowledge වශයෙන්. එ් පද 04 මුල් අකුරුවලින් Fuck කියන වචනය බිහිවුණා කියන එක එක් අදසක්.
තවත් අදහසක් තමයි මේ වචනයේ නිරුක්තිය මධ්‍යතන යුගයේ තිබුණ එක්තරා භාවිතයකින් සිදුවුණ එකක්යැයි කීම. මධ්‍යතන යුගයේ යුරෝපය පුරා මහාමාරිය වසංගතය පැතිර තිබුණ කාලයේ (Plague/Black death) බොහෝ යුරෝපා නගර රෝගය පැතිරීම පාලනය කිරීමේ අරමුනෙන් නව දරු උපත් සිදුකිරිම සම්බන්ධයෙන් නීති පනවලා තිබුණා. එකේ අරමුණ රෝගය පාලනය කරන්න ඒ යුගයේ තිබුණ සීමිත සම්පත් වඩාත් ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීම. මේ නීතියට අනුව යුවලක් ලිංගික සම්බන්ධතාවයක් පවත්වනවානම් මුලින්ම ගිහින් රජුගෙන් ඒ කාර්යයට අවසර ගැනීම අනිවාර්ය වෙලා තිබෙනවා. කෙළින්ම ගිහින් රජතුමාව මුණගැහිලා අවසර ඉල්ලුවා නෙවෙයි, ඒ ඒ නගරවල හිටිය නගර ප්‍රධානීන් තමයි රජු නියෝජනය කරමින් අවසරය දීලා තියෙන්නේ. ඉතින් මේ විදියට අවසර අරගන්න අයට කොන්දේසියකුත් අදාළ වෙනවා. ඒ කොන්දේසියට අනුව, ලිංගික කාර්යයේ යෙදෙනකොට පාරේ ඉඳලා නිවසට තිබෙන පිවිසුමේ යම් තැනක පැහැදිලිව පේන්න සඳහනක් තැබිය යුතුයි තමන් අවසර අරගෙනයි මේ කාර්යයේ යෙදී ඉන්නේ කියලා. නැත්නම් බලධාරීන් ඇවිත් අනාචාරයේ හැසිරෙනවා කියලා අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඔය විදියට දාපු සඳහන තමයි Fornication under the consent of King. මේ වාක්‍යයේ වචනවල මුල් අකුරු කිහිපය එකතුවෙලා Fuck කියන වචනය බිහිවුණා කියන එකයි දෙවැනි අදහස.
නමුත් සමහරුන්ට අනුව ඔය වචනයේ නිරුක්තිය සම්බන්ධයෙන් තිබෙන ඉහත සඳහන් අදහස් දෙකම 1960 දශකයෙන් පස්සේ හුදෙක් විනෝදය සඳහා නිර්මාණය කරගත් අදහස් (Urban legends). ඒ මතයට අනුව මේ අදහස් දෙකටම සැබෑ ඓතිහාසික පදනමක් නැහැ.
දැන් ඔය සිංහල භාෂාවේ තියෙනවානේ මෙන්න මේ වගේ වාක්‍ය - චූටි ටීචගේ චූටි ටෝච් එක. අර නව පුරපුරේ ගායකයෙක්ගේ සින්දුවකත් තියෙන්නේ අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරළිලා කියලා. මේවාට ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන්නේ tongue twisters කියන නම. කියවන්න බලන්න මෙන්න මේක දිව උලුක් කරගන්නේ නැතිව.
හරිද? කාටවත් මොකුත් කරදරයක් නෑ නේද? හරි එහෙනම් දැන් මේක.
sixth sick sheik’s sixth sheep’s sick.
කලින් එක තරම් දිග නැතිවුණාට ඕක තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන අමාරුම tongue twister එක.
ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි වචන ටිකක් ලංකාවේ භාවිතයේ තියෙනවා. මජ්ජාඩ් එක දන්නවද? ඔය යතුරුපැදිවල එහෙම තියෙන්නේ පාරේ යනකොට ධාවකයාගේ ඇඟට රෝදයෙන් මඩ විසිවෙන එක වළක්වන්න (Mud guard). තව ඔය මෝටර් වාහනවලම තියෙනවා ටේලයිට් එක (Tail light). වාහන පාවිච්චි කරන අය දන්නවා අැති සොකැබ්සෝබර් (Shock Absorbers). එතකොට අලුතෙන් හදන ගෙයක ඉස්සෙල්ලම කරන්නේ බවුන්ඩේෂන් එක දාන එක නේද (Foundation).
අපි පොඩි කාලේ ඉඳන්ම අද වෙනතුරුත් පුංචි දරුවන්ට අනිවාර්යයෙන් කියලා දෙන ඉංග්‍රීසි කවියක් තියෙනවා.
මේක ජේන් ටයිලර් කියන ඉංග්‍රීසි ජාතික කිවිඳිය විසින් රචනා කරලා 1806 වර්ෂයේ එළිදක්වපු කවියක්. වසර 200 කටත් වඩා පැරණි නිර්මාණයක්. බෙහෝමයක් දරුවන් දන්නේ ඔය උඩින් තියෙන පද 04 විතරයි, ඒත් ජේන් ටයිලර් මේක නිර්මාණය කළේ පේළි හතරේ කවි 05 ක් තියෙන කවි පංතියක් විදියට. මේ තියෙන්නේ ඒ කවි පංතියේ ඉතිරි කවි 04.
When the blazing sun is gone When he nothing shines upon,
මගේ ඉංග්‍රීසි ගුරුතුමියගෙන් ඉගෙනගන්න කලින් මම ඔය කවිය කිව්වේ මෙහෙමයි.
ට්විංකල් ට්විංකල් ලිට්ලිස්ටා හව් අයි වොන්ඩ වට්ටූආ
මහාචාර්ය ඒ.වී. සුරවිර මහත්මයාගේ 'අකුරට යන වෙලාවේ' කියන කෙටිකතාවේ ඉන්න මැණිකා ඕක ගායනා කරන්නේ මෙහෙමයි.
ටිංකල් ටිංකල් ලිට්ල් ලිට්ල් ස්ටා
අවුවයි වන්ඩ වට්යූ වට්යූ ආ
අප්පේ බව්දා බව්දා වෝල්සෝ හා
ලයිකේ ලයිමා ලයිමා ඉන්දස් කා
හැම වසරකම ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට දළ වශයෙන් අලුත් වචන 4,000 ක් විතර එකතු වෙන බව සඳහන්. මේ එකතුවෙන වචනවලින් බහුතරයක් වෛද්‍ය විද්‍යාවෙන් ඉංග්‍රීසි භාෂාවට එකතු වෙන වචන.
ඉංග්‍රීසි භාෂාවේ මිලියන ගණනක් වචන අතරෙන් මම කැමතිම වචනයක් තියෙනවා. හොරේෂියෝ වෝල්පෝල් (Horatio Wolpole) කියන ඉංග්‍රීසි ඉතිහාසඥයා තමයි මේ වචනය 1754 වර්ෂයේදී පළමු වතාවට භාවිතා කළා කියලා සැලකෙන්නේ. මේ තියෙන්නේ ඒ වචනය, ඒකට ගැලපෙනවා කියලා හිතුන ඡායාරූපයකුත් එක්ක.
ගබ්සාව - අනපේක්ෂිත ගැබ්ගැනීම්වලට නන්දිකඩාල් විසඳුමක්
5/12/2015 08:53:00 AM
Prageeth Liyanaarachchi
10 Comments
5/12/2015 08:53:00 AM Prageeth Liyanaarachchi 10 Comments
මරණය + මරණය = මරණ දඬුවම
5/09/2015 07:27:00 PM
Prageeth Liyanaarachchi
7 Comments
5/09/2015 07:27:00 PM Prageeth Liyanaarachchi 7 Comments
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට ගෙනියන්න පුලුවන් ද?
4/22/2015 01:00:00 PM
Prageeth Liyanaarachchi
0 Comments
4/22/2015 01:00:00 PM Prageeth Liyanaarachchi 0 Comments
හිටපු ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණ සමයේදි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට කැබිනට් අැමතිකමක් දීම අල්ලස් වරදක් වශයෙන් ගැනීම තමයි මේ සියලු කාරණාවලට මුල. කට්ටියක් මේ විදියට පාර්ලිමේන්තුවේ උපවාස කරද්දි තවත් පිරිසක් ෆේස්බුක් එකෙන් තර්ක කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාර්ශවයෙන් ඉදිරිපත්වන ප්‍රධානම තර්කය තමයි කුණුහරප. ඔව් ඒ හැරුනම කිහිප දෙනෙක් විතරක් තර්කයක් වශයෙන් ඉදිරිපත් කරනවා ජනාධිපතිවරයෙක් අධිකරණයක් හෝ වෙනයම් විනිශ්චය සභාවක් ඉදිරියට කැඳවන්න බැහැ කියන විධායකයේ මුක්තිය පිළිබඳ ප්‍රතිපාදනය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් එකේ අැදිලා ගිය පොඩි පහේ වාදයකට මාත් පැටලුනා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ මං ඉදිරිපත් කළ කරුණූ කිහිපයක් වඩාත් පිළිවෙලට සකස් කරලා කරන ඉදිරිපත්කිරීමක්.
මුක්තිය පිළිබඳ සංකල්පය (Doctrine of Immunity) වර්ධනය වෙන්නේ Crown Immunity එහෙමත් නැත්නම් රාජාණ්ඩු පාලනතන්ත්‍රයන් තුල කිරීටයට හිමිවන නිදහස හරහා. මේ රාජාණ්ඩු පාලනයන් තුල තිබුන විශේෂත්වය තමයි ඒවායේ අධිකරණ පද්ධතිය කිරීටය විසින්ම යටත් වැසියන් පාලනය කිරීම සඳහා ස්ථාපිත කරලා පවත්වාගෙන ගිය අායතන වීම. කිරීටය විසින් නිර්මාණය කළ මේ අධිකරණ පස්සෙන්පහු ලොකු උභතෝකෝටිකයකට මුහුණ දුන්නා කිරීටය - එහෙමත් නැත්නම් රජු හෝ රැජින වරදක් කරොත් මොකද කරන්නෙ කියලා.
මුල් කාලීන රාජණ්ඩු පාලනයන් තුල කිරීටයට තිබුන අසීමිත බලතල නිසා රජු හෝ රැජින සිවිල් හෝ අපරාධ වරදක් සම්බන්ධයෙන් අධිකරණයට කැඳවීම නිසැකවම අධිකරණයේ බෙල්ල ගහලා යන වැඩක්. ඒ නිසා Rex non potest peccare කියලා ලතින්වලින් කියලා දාලා (ඒකේ තේරුම The King can do no wrong) කිරීටය අධිකරණයේ විෂයපථයෙන් ඉවත් කරා. පසු කාලෙක එංගලන්තය වගේ යුරෝපියානු රටවල රාජාණ්ඩු ක්‍රමය ප්‍රජාතාන්ත්‍රීයකරණය කිරීමේදී මේ තත්ත්වය නිශ්චය කෙරුණා කිරීටයට හුදෙක්ම ව්‍යවස්ථාවෙන් පැවෙරන බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විතරයි එවැනි නිදහසක් පැවෙරන්නේ කියලා.
බොහෝ විට අපි දන්නේ ජනාධිපතිවරයාට නීතියෙන් හිමිවන මුක්තිය ගැන විතරක් වුනාට අැත්තටම දේශපාලන විධායකය සහ ස්ථිර විිධායකය (රාජ්‍ය සේවය) කියන කොටස් දෙකේම තෝරාගත් පුද්ගලයන්ට මුක්තිය හිමියි. උදාහරණයක් විදියට මෑතකදී ඉදිරිපත්වුන තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත ගමු. රාජ්‍ය රහස් පනතෙන් (Official Secrets Act No 32 of 1955) කියවෙනවා රාජ්‍ය සතු තොරතුරු රාජ්‍ය නිලධාරියෙකු විසින් තුන්වැනි පාර්ශවයකට හෙළි කිරීම වරදක් කියලා. නමුත් තොරතුරු දැනගැනීමේ පනත එයින් ස්ථාපිත කරන්නට යෝජිත තොරතුරු සැපයීමේ නිලධාරීන්ට (Information Officers) මුක්තියක් ලබා දෙමින් කියනවා රාජ්‍ය රහස් පනතේ කවරක් සඳහන් වුනත් මෙයාලා රාජ්‍ය තොරතුරු ජනතාවට ලබා දීමෙන් කරන්නේ වරදක් නෙවෙයි කියලා.
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාටත් ලෝකයේ සෙසු විධායක ජනාධිපති ක්‍රමයන් තුල වගේම මුක්තිය ලබාදී තිබෙනවා. අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ මුක්තිය නිර්වචනය කරලා තියෙන්නේ 35 වන ව්‍යවස්ථාවේ උපවගන්ති 03 කින්.
01. ව්‍යවස්ථාවේ පළමු උප වගන්තියෙන් කියනවා ජනාධිපතිවරයා ලෙස ධූරය දරන කිසිම අයෙකු පෞද්ගලිකව හෝ නිල තත්ත්වයෙන් කරන හෝ නොකරන කිසිම ක්‍රියාවක් සම්බන්ධයෙන් කවරම හෝ අධිකරණයකවත් විනිශ්චය සභාවකවත් නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම කළ නොහැකියි කියලා.
02. දෙවැනි උප වගන්තියෙන් සිවිල් හෝ අපරාධ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු කාල රාමුව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වන චෝදනාවලට අදාළ නොවන බව කියනවා. උදාහරණයක් විදියට පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩවීමකදි ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා නම් අදාළ සිද්ධීය සිදුවෙලා දින 30 ක් යන්නට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක්. අපි හිතමු රාජ්‍ය නිලධාරියෙක් ඔබේ අයිතිවාසිකම් කඩකරනවා. ඔබ අධිකරණය ඉදිරියට යන්න පෙර ඔහු රටේ විධායක ජනාධිපති වෙනවා. දැන් 35(1) ට අනුව ඔබට බැහැ මූලික අයිතිවාසිකම් නඩුවක් අාරම්භ කරන්න. නමුත් 35(2) වගන්තිය ඔබට නිදිහස දෙනවා අර පුද්ගලයා ජනාධිපතිධූරය දරලා අවසන්ව නැවත සිවිල් පුද්ගලයෙකුගේ තත්ත්වයට පත්වුනායින් පසුව ඔහුට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුව අාරම්භ කරන්න.
03. තුන්වැනි උපවගන්තියේ සඳහන් වෙනවා ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ අැමති තනතුරක් දරමින් ඒ අැමති තනතුරට හිමි කාර්යයන් ඉටු කිරීමකදී හෝ නොකර හැරීමකදී අන්න එවැනි ක්‍රියාවක් අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ හැකි බව. නමුත් මෙතැනදීත් වෙන්නේ ජනාධිපතිවරයා අැමති තනතුරක් දරමින් කළ/නොකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමට ඉඩ දීම පමණයි.
දැන් නීතිය සම්බන්ධයෙන් ඊලඟ වැදගත්ම ගැටලුව මතු වෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තිස්ස අත්තනායක මහතාට ජනාධිපතිවරණයක් අාසන්නයේ කැබිනට් අැමති තනතුරක් දීම අල්ලස් වරදක්ද? නැද්ද? කියන කාරණය. අපි පොඩ්ඩකට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියන එක අමතක කරමු, දැන් ඔහු හුදෙක් ජනාධිපතිධූර අපෙක්ෂකයෙක් විතරයි, ජනාධිපතිවරණය ඔන්න මෙන්න තියලා ඔහු තිස්ස අත්තනායකට තනතුරක් දෙනවා. ඒක පැහැදිලිවම අල්ලස් වරදක්.
ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් අල්ලස් වැරදි නිර්වචනය කිරීම ලංකා නීතිය තුල සිදුකරලා තියෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනතින්. මේ පනතේ 79 වන වගන්තියේ උප වගන්ති 09 ක් හරහා අතිශය දීර්ඝව සහ පුලුල්ව අල්ලස කියන වරද අර්ථනිරූපනය කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මේ අැතිවෙලා තිබෙන තත්ත්වයට මූලිකවම අදාළ වන උප වගන්තිය උපුටා ගැනීම මෙහෙමයි.
79. පහත සඳහන් තැනැත්තන් අල්ලස් වරදට වරදකරුවන් ලෙස සලකනු ලැබිය යුතුය : -
...
(අා). මේ පනත යටතේ වූ යම් තෝරා පත්කරගැනීමක දී ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීමට යම් ඡන්ද හිමියෙකු පෙළඹවීම සඳහා තමා විසින් හෝ තමා වෙනුවෙන් වෙනත් යම් තැනැත්තෙකු මගින් ඒ ඡන්ද හිමියාට හෝ ඒ ඡන්ද හිමියා සඳහා හෝ ඒ ඡන්ද හිමියා වෙනුවෙන් යම් තැනැත්තෙකුට හෝ යම් තැනැත්තෙකු සඳහා හෝ වෙනත් යම් තැනැත්තෙකු සඳහා නියම ලෙස හෝ අනියම් ලෙස, යම් නිලයක්, තනතුරක් හෝ රක්ෂාවක් ලබා දෙන හෝ ලබා නොදෙන, හෝ දීමට නැතහොත් ලබාදීමට එකඟ වන, හෝ අර්පනය කරන හෝ පොරොන්දු වන හෝ ලබාදීම නැතහොත් ලබාදීම පිණිස උත්සාහ කිරීමට පෙරාෙන්දු වන හෝ යම් ඡන්ද හිමියෙකු ඡන්දය දී තිබීම හෝ ඡන්ද දීමෙන් වැලකී සිටීම හේතුකොට ගෙන ඉහත කී යම් ක්‍රියාවක් දූෂිත ලෙස කරන සෑම තැනැත්තෙක් ;
...
අදාළ මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේදි සහයෝගය දෙන්නේ කුමන ජනාධිපති අපේක්ෂකයාටද කියන කාරණය වෙනස් කරන්න ඔහුව අැමතිකෙනෙක් වශයෙන් පත්කිරීම බලපෑවා නේද කියන සාධාරණ සැකය කෙනෙකුට අැතිවෙනවනම් එය අල්ලස් වරදක් යටතට දාන්න පුලුවන්. අධිකරණ අැමති විජයදාස රාජපක්ෂ හිතන්නෙත් එහෙමයි.
දැන් මෙතන තමයි අර්බුදය අැත්වෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැලූ බැල්මට අල්ලස් වරදක් සිදුකරලා තියෙනවා. නමුත් එහෙමයි කියලා ඔහුව විනිශ්චය සභාවක් ඉදිරියට ගෙනියන්න පුලුවන්ද? ජනාධිපතිවරයෙක් වශයෙන් ඔහුට තිබූ මුක්තිය මෙතනට අදාළ වෙනවාද? තිස්ස අත්තනායක අමාත්‍ය මණ්ඩලයට පත් කරලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා විදියට හිටපු ජනාධිපතිවරයා තමන් සතුව තිබූ විධායක බලය භාවිතා කරලා නිසා ඒක මුක්තියට යටත් විධායක ක්‍රියාවක් නෙවෙයිද? මහින්ද රාජපක්ෂ දුන්නේ අල්ලසක් නම් මෙෙත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහට දුන්නේ තෑගි ද? So on and so forth
ජනාධිපතිවරයෙකුගේ මුක්තිය පිළිබද මගේ අවබෝධය මෙහෙමයි. මම මෙතනින් එහාට කියන කරුණු කිසිවක් ලංකාවේ ජනාධිපතිධූරය සම්බන්ධයෙන් වන න්‍යායික කරුණු නෙවෙයි. මේවා සියල්ලම වෙනත් රටවල සිද්ධීන් අැසුරින් මම ගොඩනගා ගත්ත අදහස්.
නූතන ප්‍රජාතන්ත්‍රවාදය තුල ජනාධිපතිවරයෙකුට හෝ විධායක බලය හොබවන්නෙකුට මුක්තිය ලබා දීමේ හේතුව සිය ධූරයේ බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන්ට දවසක පුද්ගලිකව වගවීමට සිදුවේවිද කියන බියෙන් ඔහුව නිදහස් කිරීම (Ensuring that the President need not to fear for the personal liability for acts of office). උදාහරණයක් විදියට යුද්ධයක් ප්‍රකාශ කර පවත්වාගෙන යාමෙන් පසුකාලීනව තමන් අපරාධකාරයෙක් වේවිද කියන බය ජනාධිපතිවරයාට තිබෙනවා නම් ඔහු කවදාවත් යුද්ධයක් කරන්නේ නැහැනේ.
ඊලඟට වැදගත්ම කාරණය තමයි මුක්තිය හිමිවන්නේ ජනාධිපතිධූරය දරන පුද්ගලයාට නෙවෙයි ඔහු විසින් දරන ජනාධිපති තනතුරට. ඒක වැඩිදුරටත් පැහැදිලි කරනවා නම් මෙහෙමයි. අපි හිතමු ඔන්න පුද්ගලයෙක් ජනාධිපති ධූරයට පත්වෙනවා. එයා පත්වුනාට පස්සේ අැතිවෙන අවශ්‍යතාවයක් තමයි කැබිනට් මණ්ඩලයක් පත්කිරීම. ඒක ව්‍යවස්ථාවෙන්ම ඔහුට පැවරෙන පැහැර නොහැරිය යුතු වගකීමක්. විධායක ජනාධිපතිධුරයේ ක්‍රියාවක් හෙවත් A duty of the office of the President / A Presidential act / An official act. ඔහු ඒක කරනවා. කරන්නේ හුදෙකලා පුද්ගලයෙක් වශෙයන් නෙවෙයි රටේ ජනාධිපති වශයෙන්.
තවත් අවස්ථාවක ජනාධිපතිධූරය දරද්දිම මේ පුද්ගලයා ස්ත්‍රී දූෂණයක් සිදු කරනවා. එවැන්නක් කරන්න ඔහුට කිසිම අවස්ථාවක ව්‍යවස්ථාවෙන් කියලා නැහැනේ. ඒ නිසා ඒක ජනාධිපතිධූරය දරන්නාගේ පුද්ගලික ක්‍රියාවක් - හෙවත් සිවිල් ක්‍රියාවක් / A non-presidential act. දැන් මුලින් කියපු සිද්ධියට මුක්තිය හිමියි. නමුත් දෙවැනි සිද්ධියට මුක්තිය හිමි නැහැ. නමුත් ලංකාවේ නීතිය මෙතැනදි සුවිශේෂී බව සඳහන් කළ යුතුමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තියේ පළමු උප වගන්තිය දිහා අවධානය යොමු කළොත් ඔබට පැහැදිලි වේවි එහි පැහැදිලිවම දක්වලා තිබෙනවා ජනාධිපතිවරයෙකුට හිමි මුක්තිය ඔහු "පෞද්ගලිකව හෝ නිල තත්ත්වයෙන්" සිදුකරන/නොකරන කාර්යයන්ට අදාළවන බව.
ලංකාවේ නීතිය තුල මෙවැනි අවස්ථාවන්ට පූර්වාදර්ශ නැති නිසා අපිට අනිවාර්යයෙන්ම කරන්න සිදුවෙන දෙයක් තමයි වෙනත් නීති පද්ධතිවල පූර්වාදර්ශ සලකා බැලීම. අපිට ඒ විදියට සලකා බලන්න පුලුවන් අැමරිකානු නීති පද්ධතිය. පෝලා ජාේන්ස් කියන කාන්තාව අැමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ට එරෙහිව ලිංගික අතවර කිරීම කියන චෝදනාව යටතේ නඩු පවරනවා. මේක ඉතාම කුප්‍රකට සිද්ධියක්. ඒ වගේම එය අැමරිකානු අධිකරණ ඉතිහාසයේ අතිශය තීරණාත්මක නීති කෘත්‍යයක් (A landmark case) නඩුව Clinton v. Jones, 117 S. Ct. 1636 (1997).
ඊලඟ කාරණය අතිශය සුවිශේෂීයී. ජනාධිපතිවරයෙකුගේ නිල කාර්යයන් සම්බන්ධයෙන් වුනත් ඔහුට මුක්තිය අහිමිවන සංකීර්ණ අවස්ථාවක් මුක්තිය පිළිබද න්‍යායයේ සදහන්. ඒතමයි ජනාධිපතිවරයෙක් ඔහුගේ ධූරයේ බලතල අනර්ථකාරී අදහසකින් යුතුව භාවිතා කිරීම හෝ අයුතු ලෙස භාවිතා කිරීම හෝ ඔහුගේ බලතල හෝ විෂයපථය නොවන ක්‍රියාකාරකම්වලට මැදිහත් වීම තුල (such as when he has acted with malice and in bad faith, or beyond the scope of his authority or jurisdiction.) ඔහුට ඒ ක්‍රියාව සම්බන්ධයෙන් මුක්තිය අහිමි වන බව.
අපි දැනගත යුතු වැදගත්ම කාරණයක් තමයි ලෝකයේ ජනාධිපතිවරුන්ට මුක්තියක් ලබාදීලා තියෙන්නේ සාමාන්‍ය අධිකරණ පද්ධති සහ විනිශ්චය සභාවන්ගෙන් පමණයි කියන එක. ඒ හැර ජනාධිපතිවරයා ධූරයේ බලතල ක්‍රියාත්මක කරමින් කරන අයථා හෝ දූෂීථ ක්‍රියාවක් මත ඔහු වැරදිකරු කළ හැකි සම්මත පිළිගත් තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි දෝෂාභියෝගය. සාමාන්‍ය අධිකරණ පද්ධතියක් තුල ජනාධිපතිවරයාගේ නිල කාර්යයන් ප්‍රශ්න කරන්න බැරිවුනත් මෙතනදි ව්‍යවස්ථාදායකයට අධිකරණයක් වශයෙන් හැසිරෙමින් ඒක කරන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව මෙවැනි අවස්ථාවක සෘජුවම ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිට එල්ලවන චෝදනා විභාග කරන්න මැදිහත් වෙනවා. නමුත් ඉතින් රටේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන ආයතන අතර පැවතිය යුතු සංවරණ සහ තුලනය බිදවැටුන රටක මේක කොයිතරම් ප්‍රායෝගික නැති සංසිද්දියක්ද කියන දේ අපි හැමෝම දන්නවා.
මතක පොත වැසෙයි කාරියකරවන පෙරළා යයි
4/21/2015 09:24:00 PM
Prageeth Liyanaarachchi
1 Comments
4/21/2015 09:24:00 PM Prageeth Liyanaarachchi 1 Comments
ඩැනියෙල් ෆ්‍රැන්සිස් කාරියකරවන හෙවත් ඩී.එෆ් කාරියකරවන නම් චරිතය මට මුලින්ම දැන හඳුනාගන්න ලැබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාල පරිශ්‍රයේදී. ඒ මීට අවුරුදු පහකට විතර කලින්. නිර්දේශිත අධ්‍යාපන පත පොත අතරේ මට දැනුන අලසබව මගහැරවා ගන්න ක්‍රමයක් හොයමින් දෙවැනි තට්ටුවෙන් තුන්වැනි තට්ටුවට ගොඩවැදිලා එහි නවකතා පොත් ගොන්න අතරේ එහාට මෙහාට ගිය හැටිත්, දුහුවිලි බැඳුණ පොත් රාක්කයක කෙලවරම තිබුන 'මතක පොතෙන් තවත් ටිකක්' නමින් වූ පොතක් රැගෙන කියවපු හැටිත් මට අද වගේ මතකයි. ඒ මම ඔහුව මුණ ගැහුණ පළමු වතාව.
මීගමුවේ කුරණ ප්‍රදේශයේ ජීවිතයේ කුඩා අවදිය ගත කළ සමය, පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජීවිතය, දිණමිණ සිළුමිණ සහ ජනතා පත්‍රවල ඔහුගේ වෘත්තීය ජීවිතය වැනි අවස්ථාවල ඔහු ලැබූ අත්දැකීම්වලින් ඒ මතක පොත පිරිලා තිබුනා. ඔහුගේම වචනවලින් නම් ඒවා 'හොඳ රහට' කියවිය හැකි අත්දැකීම් ගොන්නක් ඒ වගේම රට තොට ගැන දැන ඉගෙනගත හැකි මාර්ගෝපදේශනයක්. 'මතක පොතෙන් තවත් ටිකක්' කියවීමෙන් අැරඹුන මතක කියවීම අවසන් වුනේ ඔහුගේ දසක සතක මතක, මතක පොතේ ඉතිරි හරිය, සහ තව තවත් මතක කියන පොත් තුනත් අැතුළත්ව මතක පොත් හතරම කියවීමෙන්.
මේ මහාචාර්ය සුචරිත ගම්ලත් මතක පොත් දැකපු විදිය.
"සමකාලීන සිංහල පොතක් අතට ගනිමි. දේශපාලනඥයකුගේ ආත්ම චරිත කතාවකි. ගන්ට පලක් නැත. පම්පෝරි විනා. තවත් පොතක් අතට ගතිමි. ඒ ද ආත්ම චරිත කතාවකි. ප්‍රවීණ මාධ්‍යවේදියකු ගේ ය. වත්මන් සිංහල සාහිත්‍යය නමැති නිරුදක කතරට වන් වතුර මලක් සදිසි ය. කතා නායකයා නම් ඩී.එෆ්. කාරියකරවන ය. කාරියකරවනයන් ගේ බස් වහර බෙහෙවින් අපූරු ය. කෙටි ය. වියත් ය. නිරවද්‍යය. හෘදය ග්‍රහනී ය. මෙවැනි කරුණු නිසාත් ඒවා කියන මනරම් ආකාරය නිසාත් දසක සතක මතක නමැති ළගන්නා මැයෙන් යුතු මේ කෘතිය අතට ගත් කල්හි බිම තැබීමට සිත් නොදේ. කාරියකරවනයන් ගේ ස්වයං ලිඛිත චරිතාපදානය කියවීමෙන් මහත් පල මහානිශංස ලද හැක."
ඩී.එෆ්. කාරියකරවන ශ්‍රී ලංකා පත්‍ර කලා ඉතිහාසය තුල අග්‍රගන්‍ය සලකුනක් ලෙස සදා සැලකෙනු අැත. ලංකාදීපයේ සිරි රණසිංහ මෙන්ම දිවයිනේ මෙරිල් පෙරේරාත් පත්‍ර කලා ලෝකයේ නම රැන්දූ තවත් බොහෝ දෙනෙකුටත් ඩී.එෆ්. කාරියකරවන සිය මුල් ගුරුවරයාය. ඔහු අාරම්භයේ සිට අවසානය දක්වාම සිංහල භාෂාවේ නිවැරදි ව්‍යවහාරය පිළිබඳ ප්‍රායෝගික දැක්මකින් යුතුව කටයුතු කළ අයෙකි. මීට කලකට ඉහතදී දිනමිණ පුවත්පත සමග සංවාදකදි සිංහල භාෂාවේ වර්තමාන ඉරණම ගැන ඔහු අතිශය නිවැරදි විග්‍රහයක් ඉදිරිපත් කළේය.
"ශ්‍රී ලංකාවේ හිටපු අවසාන සුදු අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා කනිෂ්ඨ විභාගයට අනිවාර්ය විෂයයන් දෙකක් වෙලා තිබුණු සිංහල හා ගණිතය වෛකල්පිත විෂයයන් බවට පත් කළා. එතැන් පටන් ළමයි වෙනත් විෂයයන් හදාරලා විභාග පාස් කළා. ඔවුන් ගුරුවරු වුණා. ඒ අය තමයි ඊළඟ පරම්පරාවලට උගන්වන්නේ. හරි විදිහට උගන්වන්න ගුරුවරුන්ටත් දැනුමක් නැතිකොට කොහොමද ළමයි හරි විදිහට ඉගෙන ගන්නේ. එතැනින් තමයි පිරිහීම පටන් ගත්තේ. ඒ පිරිහීම කොතරම්දැයි කියනවා නම් අද පත්තරේකට රස්සාව දෙන්න භාෂාව දන්න කෙනෙක් හොයා ගන්න බෑ. ඒ නිසා ඔය කාව හරි ගන්නවා. ඒ හින්දා අද මාධ්‍යයේ ඉන්න බොහෝ දෙනෙකුට භාෂාව බෑ. භාෂාව මරනවා. භාෂාව හදන්න ඕනෑ. ඒක අමාරු දෙයක්. අලුත් පත්තර රැල්ල විසින් අමුතු ම මාදිලියේ භාෂා භාවිතයකට ගිහිල්ලා. ඉතින් අපේ භාෂාව ඉතිරි වෙයි ද?"
උත්තරීතර ව්‍යවස්ථාදායකය අැතුලේ මහජන නියෝජිතයන් 'නයිට ගැසීම' වැනි හෝන්දු මාන්දු සිදුවීම්වලින් ගහණ දිනයක රටේ තව තවත් අලකලංචි දැකීමට පෙර ඔහු සියල්ල හැරදා ගියේය. එතෙක්ම ඔහු පත්‍ර කලා ලෝකය තුල සැලකුනේ ජීවමාන ජ්‍යේෂ්ඨතම ප‍්‍රවෘත්ති පත‍්‍ර කලාවේදියා වශයෙනි. මියයන විට ඔහුට වයස අවුරුදු 94 කි.
වයස 94 ක් යනු පෑනක් පැන්සලක් අතින් අල්ලන්නට හෝ වාරු නැති මහලු වයසකි. කාරියකරවනටද එය එසේම විය. අවසාන භාගයේ ඔහු ලියන දේ ඔහුටම කියවා ගත නොහැකි තරමට ඔහු දුර්වල වූ බව සඳහන්ය. එහෙත් ඔහුගේ ධෙෙර්යය එයින් දුර්වල නොවිනි. ලංකාදීප පුවත්පතට ‘කාරිගේ තීරුව’ නමින් ඔහු ලියූ කොලම අවසන් වරට ඊයේ (අප්‍රේල් 20 සඳුදා) පළවිය.
මාස්ටර් සර් නිර්මාණය කළ නිමල් මෙන්ඩිස් මීට දින කිහිපයකට පෙර ඔහුගේ ජීවිත ගමන අවසන් කළේය. හරූන් ලන්ත්‍රාද යන්නම ගියේය. +Maathalan නිමල් මෙන්ඩිස් ගැන ලියමින් Return If Possible යැයි සඳහන් කර තිබුනේය. ඩී.එෆ් කාරියකරවන ගැන මට කියන්නට අැත්තේද එයමය.
යළිත් ආ හැකි නිසා නොවේද ඔහු යන්නේ ? නොගියොත් යළිත් ආ නොහැකිය. යාම හොඳයි. ගොස් ඊම ද හොඳයි. ලොව ඇත්තේ යාම ඊමය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. ~ සරත්චන්ද්‍ර -මලවුන්ගේ අවුරුදුදා
කොත්තමල්ලි වගේද විස්කි බ්‍රැන්ඩි?
4/11/2015 06:03:00 PM
Prageeth Liyanaarachchi
4 Comments
4/11/2015 06:03:00 PM Prageeth Liyanaarachchi 4 Comments
වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවරයෙක් වන මහාචාර්ය කුමා ඩේවිඩ් ලංකාවේ සුප්‍රසිද්ධ දේශපාලන තීරු ලිපි රචකයෙක් - ඒ වගේම මම අහලා තියෙන විදියට එතුමා ලංකාවේ අංක එකේ බ්‍රැන්ඩි රසිකයෙක්. ඔහු ලඟ විවිධ බ්‍රැන්ඩි වර්ග රාශියකින් පිරුන සුවිශාල සහ හොඳ බ්‍රැන්ඩි එකතුවක් තිබෙන බවත් මම අහලා තියෙනවා.
19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සරලව
4/10/2015 12:29:00 PM
Prageeth Liyanaarachchi
20 Comments
4/10/2015 12:29:00 PM Prageeth Liyanaarachchi 20 Comments
ශිෂ්ඨත්වය යනු කුමක්ද ?
4/09/2015 03:19:00 PM
Prageeth Liyanaarachchi
0 Comments
4/09/2015 03:19:00 PM Prageeth Liyanaarachchi 0 Comments
04 things that are highly Sri Lankan
4/05/2015 07:47:00 AM
Prageeth Liyanaarachchi
0 Comments
4/05/2015 07:47:00 AM Prageeth Liyanaarachchi 0 Comments
වීදුරු බිඳුණු රාති‍්‍රය
4/02/2015 02:02:00 PM
Prageeth Liyanaarachchi
0 Comments
4/02/2015 02:02:00 PM Prageeth Liyanaarachchi 0 Comments
නාරීමේ ගර්මේ රකෝ
4/02/2015 11:07:00 AM
Prageeth Liyanaarachchi
0 Comments
4/02/2015 11:07:00 AM Prageeth Liyanaarachchi 0 Comments
ඩොලර් මිලියන 20 සමාජය
4/01/2015 09:40:00 PM
Prageeth Liyanaarachchi
2 Comments
4/01/2015 09:40:00 PM Prageeth Liyanaarachchi 2 Comments
නෑ නෑ එයාලා නෙවෙයි. එක චිත‍්‍රපටියක ඩොලර් මිලියන 20 ක් ගෙවීම් ලබන්න පුලුවන් නලු නිලියන් ඉන්නේ හොලිවුඩ්වල.
1910 දී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ජනපදයේ සැන්ටා මොනිකා කඳු පන්තියට උතුරෙන් තියෙන Cahuenga Valley කියන කෘෂිකාර්මික ජනපදය H.J. වයිට්ලි කියන දේපළ වෙළඳාම්කරුවා විසින් හොලිවුඞ් කියන නමින් නම් කරනවා. පස්සේ මේ වයිට්ලි සැලකෙන්නේ හොලිවුඞ්වල නිර්මාතෘවරයා එහෙම නැත්නම් Father of Hollywood වශයෙන්. කොහොම වුනත් ඒක තමයි නූතන ලෝකයේ තියෙන දැවැන්තම සහ ප‍්‍රමුඛතම සිනමා කර්මාන්තයක ආරම්භය. අද වනවිට හොලිවුඩය ලෝකයේ සිනමා කර්මාන්තයේ නියැලෙන්නන්ට සිහින පුරයක්. ඒ විතරක් නෙවෙයි සිනමා කර්මාන්තයට අදාළව බිහිවන නොයෙක් තාක්ෂණයන්ගේ තිඹිරි ගෙය. ඒත් හොලිවුඩයට ගැලපෙනම හැඳින්වීම තමයි ඒක මුදල් මත ගොඩනැගුන මුදල් නිසා පැවතෙන වෙනම ලෝකයක් කියන එක.
හොලිවුඩය කියන්නේ මුදල් සහ ආයෝජනවල එකතුවක්. තමන් පෙනී සිටින චිත‍්‍රපටියක් වෙනුවෙන් ඩොලර් මිලියන 20 ක් අයකරන්න පුලුවන් නලු නිලියන් හොලිවුඩ්වල ඉන්නවා කියලා අන්තර්ජාලයේ සඳහන් වෙලා තියෙනවා දැක්කම මට මුලින්ම මතක් වුනේ ටොම් කෲස්, ඊලඟට ඇන්ජලීනා ජොලී සහ විල් ස්මිත්. ඒත් ඇත්ත කතාව තමයි මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් විතරයි ඒ ලිස්ට් එකේ ඉන්නේ.
හොලිවුඩ් ඉතිහාසයේ මේ ඩොලර් මිලියන 20 ඉහළ සමාජයට එහෙම නැත්නම් Elite Group එකට මුලින්ම ඇතුල් වෙන්නේ ජිම් කාරේයි (Jim Carray) ඒ The Cable Guy කියන චිත‍්‍රපටියෙන්. ජිම්ව දන්නේ නැත්නම් The Cable Guy බලලා නැත්නම් වැඩක් නෑ කියලා තමයි කියන්න වෙන්නේ. 1990 දශකය වෙනකොට මෙල් ගිබ්සන්, ටොම් කෲස් සහ කෙවින් කොස්ට්නර් කියන සුපිරි රංගන ශිල්පීන් ජිම් කාරේයිට එකතු වෙනවා. හැබැයි ඒ වැඩි කාලයකට නෙවෙයි.
තවත් ඉදිරියට යන්න කලින් කාරණා තුනක් කියලා ඉන්නම්. එකක් තමයි හැම නලුවටම හැම නිලියටම හැම චිත‍්‍රපටියකටම ඩොලර් මිලියන 20 ක් ඉල්ලන්න බෑ. ඇත්තටම කිව්වොත් නලු නිලියෝ කියන්නේ හොලිවුඩ්වල අපි හිතන තරම් ලොකු ‘පොරවල්’ නෙවෙයි. නියම පොරවල් තමයි නිෂ්පාදක සමාගම් හෙවත් චිත‍්‍රපටියේ සල්ලි උල්පත. එතකොට මේ සමාගමක් හරි ඒවගේ සමාගමක් වෙනුවෙන් චිත‍්‍රපටියක් හදන නිෂ්පාදකවරයෙක් හරි හිතුවොත් අන්න අර නලුවනම් ඩොලර් මිලියන 20 ක් දිලා ගත්තත් පාඩු නෑ කියලා ඔන්න එතකොට ඒ නලුවා ඩොලර් මිලියන 20 ක්ලබ් එකේ සාමාජිකයෙක්. හැබැයි ඉතින් ඒ වගේ වෙන්න දක්ෂ සහ රංගන කුසලතාවයන්ගෙන් පරිපූර්ණ නලුවෙක් වෙලා ඉන්න ඕන.
දෙවැනි කතාව තමයි franchise චිත‍්‍රපට, මේක සිංහලෙන් කියන්නේ කොහොමද කියලා හරියට පැහැදිලි නැහැ. ඒකෙදි වෙන්නේ මෙහෙමයි, චිත‍්‍රපටියේ සංකල්ප අයිතිය සමාගමකට තියෙනවා, ඒ සමාගමත් එක්ක ගිවිසුම් ගතවෙලා හොලිවුඩ් නිෂ්පාදකයෙක් අර franchise එකට චිත‍්‍රපටියක් හදනවා. උදාහරණයක් විදියට Twilight, The Hunger Games වගේ චිත‍්‍රපටි. දැන් ඔය Perera and Sons කියන්නේ ඒ වගේ franchise එකක්. විශ්වවිද්‍යාලවල ඉස්කෝලවල කැන්ටින් තියෙන්නේ, ඒකත් franchise එකක්, අයිතිය තියෙන්නේ කැම්පස් එකට කරන්නේ කැන්ටිමේ අංකල්. තවත් කියනවනම් Iron Man චිත‍්‍රපටියේ සංකල්ප අයිතිය තියෙන්නේ Marvel universe සමාගමට. Toy Story චිත‍්‍රපටිවල අයිතිය තියෙන්නේ Pixar සහ Disney සමාගම්වලට. මේ වගේ චිත‍්‍රපටියක මුල් කොටස්වල පෙනී සිටිය නලුවෙක් හෝ නිලියක් කීයක් ගෙවලා හරි ඊලඟ කොටසටත් ගන්න නිෂ්පාදකවරයෙක්ට සිද්ධ වෙනවා. හිතලා බලන්න Iron Man චිත‍්‍රපටියේ ඊලඟ කතාව රොබර්ට් ඩොවුනි නැතිව වෙන නලුවෙක් දාගෙන ආවොත් මොනවා වෙයිද? එතකොට ඒක Iron Man නෙවෙයි.
තුන්වැනි කාරණය තමයි ඇයි මේ රංගන ශිල්පීන් ඩොලර් මිලියන 20 ක් අය කරන්න සමත්වෙන එක අපිට වැදගත් වෙන්නේ ? වැදගත් වෙන්නේ මේකයි Business Insider සහ Millionaire Corner වෙබ් අඩවි දෙක මේ ගොල්ලෝ ඒ වගේ මූල්‍යමය අතින් සාර්ථක තැනකට එන්න හේතු වුන කරුණු කිහිපයක් ඉදිරිපත් කරනවා. මම හිතනවා ඒ කරුණු අපි කවරු වුනත් - ව්‍යාපාරිකයෙක් වුනත්, වෘත්තිකයෙක් වුනත්, ශිෂ්‍යයෙක් වුනත් අපේ ජීවිතවල සාර්ථකත්වය ඇති කරගැනීමේදි සොයාගෙන යා යුතු කඩයිම් කිහිපයක් කියලා. ඒ නිසා දිගටම කියවන්න.
මුලින්ම කිව්ව විදියටම ටොම් කෲස්, ඇන්ජලීනා ජොලී සහ විල් ස්මිත් වගේ දැවැන්තයන් අතරින් ඩොලර් මිලියන 20 ක්ලබ් එකේ ඉන්නේ එක්කෙනයි. ඇත්තටම අද හොලිවුඞ්වල ඩොලර් මිලියන 20 ක්ලබ් එකේ ඉන්නේ ඔක්කොම 06 දෙනයි. මෙන්න ලිස්ට් එක.
1. සැන්ඩ‍්‍රා බුලොක්
කතා දෙකක් නෑ දක්ෂ නිලිය. මගේ Favorite. ඔබ මෑතකදි තිරගත වුන Gravity වගේ චිත‍්‍රපටි නරඹලා ඇති කියලා හිතනවා.
2. ලියනාර්ඩෝ ඩිකැප‍්‍රියෝ
මෙයා ඉතින් හොලිවුඩ් සිනමාවට ආස කරන ගොඩක් කෙල්ලන්ගේ සිහින කුමාරයා වගේ තමයි. බොහොම දක්ෂ නලුවෙක් කියන එක අමුතුවෙන් කියන්න ඕනද? හැබැයි වැඬේ තියෙන්නේ මෙයා ටිකක් අවාසනාවන්ත නලුවෙක්. කොච්චර දක්ෂ වුනත් මෙයාට තවමත් Grammy හෝ Academy වගේ ප‍්‍රධාන පෙළේ සම්මානයක් රඟපෑම වෙනුවෙන් දිනාගන්න ලැබිලා නැහැ. මෙයා මුලින්ම ලංකාවේ ප‍්‍රසිද්ධ වුනේ අර ලොකු නැවක් මුහුදේ ගිලෙන චිත‍්‍රපටියෙන් - ජේමිස් කැමරන්ගේ Titanic.
3. මැට් ඩෙමන්
මෙයාව නම් වැඩිය අහලා තියෙනවාද මන්දා. හැබැයි බෙන් ඇෆ්ලෙක් එක්ක මෙයා 1997 රඟපාපු Good will Hunting චිත‍්‍රපටිය බලලා තියනවනම්, එහෙම බලපු අයට මෙයා වීරයෙක්. මෙයා බොහොම දක්ෂ නලුවෙක්. ඉතිහාසය පුරාම ජීවත්වුන හොලිවුඩ් නලු නිලියන් අතරෙන් වැඩිම ආදායම් හිමිවෙලා තිබුන නලුවන් 40 දෙනාගෙන් කෙනෙක් විදියට මෙයාව Forbes සඟරාවෙන් නම් කරලත් තියෙනවා.
Bourne චිත‍්‍රපටි මාලාවේ Jason Bourne කියන රහස් පරීක්ෂකවරයාගේ චරිතය කරන්නේ මෙයා.
4. රොබර්ට් ඩොව්නි
දන්නවනේ Iron Man සහ The Sherlock Holmes. මෙයාගේ තාත්තාගේ නමත් රොබර්ට් ඩොව්නි. ඒ නිසා මෙයාගේ නම ලියවෙන්නේ පොඩි රොබර්ට් ඩොව්නි හෙවත් Junior Robert Downey හෙවත් Robert Downey Jr. විදියට.
5. ඇන්ජලීනා ජොලි
මෙයා ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් ඇත්තෙම නෑ. චිත‍්‍රපටි රසිකයෝ අනිවාර්යයෙන් දන්නවා. මෙයාගේ චිත‍්‍රපටි අතරින් මගේ පි‍්‍රයතම චිත‍්‍රපටිය Mr. and Mrs. Smith
6. ඩෙන්සල් වොෂින්ටන්
හොලිවුඞ්වල අතිශය සම්භාවනාවට පාත‍්‍රවුන විශිෂ්ඨ සහ ආදර්ශමත් නලූවෙක්. මගෙත් කැමතිම නලුවා. මම කියන්නේ මෙයාගේ The Pilot චිත‍්‍රපටිය අනිවාර්යයෙන් බලන්න කියලා.
මේ ගොල්ලො රඟපාන හැම චිත‍්‍රපටියකටම ඩොලර් මිලියන 20 ක් අයකරන අය නෙවෙයි. ඩොලර් මිලියන 20 ක් ඉල්ලන්න මෙයාලාට පුලුවන් කම ලැබුන චිත‍්‍රපටි තියෙනවා. මුලින් සඳහන් කළ විදියටම ඒවා බොහෝ විට franchise චිත‍්‍රපටි. මැතිව් ඩෙමන්ට Bourne චිත‍්‍රපටි මාලාව වෙනුවෙන් ඒ වගේ විශාල මුදලක් ගෙවීම් කරපු බව සඳහන්. රොබර්ට් ඩොවුනිටත් Iron Man චිත‍්‍රපටිය වෙනුවෙන් එහෙම ගෙවීම් කරනවා, ඒත් ඔහු රඟපෑ The Judge හෝ The Sherlock Holmes චිත‍්‍රපටි වෙනුවෙන් එහෙම ගෙවීමක් වුන බවක් සඳහන් නැහැ. ඒ කියන්නේ එතන තියෙන්නේ Right actor Right movie කියන සංයෝගය.
මීට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 15 ක පමණ වටිනාකමක් චිත‍්‍රපටයක පෙනී සිටීම ගෙවීම් ලැබිය හැකි නලු නිලියන් පිරිසකුත් ඉන්නවා.
1. බෙන් ඇෆ්ලෙක්
2. බ‍්‍රැඞ්ලි කූපර්
3. ඞ්වෙයින් ජොන්සන්
4. ජෙනිෆර් ලෝරන්ස්
5. මෙලිස්සා මැක්කාර්ති
6. චේනින්ග් ටැටුම්
හොලිවුඩ්වල නලූවෙක්ට හෝ නිලියෙක්ට ඩොලර් මිලියන 15 ක වටිනාකමක් ලැබෙන්න එහෙමත් නැත්නම් ඩොලර් මිලියන 20 ක් වගේ දැවැන්ත වටිනාකමක් ලැබෙන්න හේතුව මොකද්ද? මොකද්ද ඔවුන්ගේ විශේෂත්වය?
මම හිතන්නේ ඒ ප‍්‍රශ්නයට දෙන උත්තරය තුල අපි ඕනෑම කෙනෙක්කට ජීවිතයට මූල්‍යමය අතින් සාර්ථකත්වය අත් කරගන්න අවශ්‍ය මග පෙන්වීම ලැබෙයි. සාමාන්‍ය නගරයකින් ඇවිත්, ගොඩක් දුක් විඳගෙන චිත‍්‍රපටියක රඟපාන්න සිහින මවමින් ජීවත් වෙමින්, අතිශය තරඟකාරී සහ දක්ෂයන්ගෙන් පිරුන හොලිවුඞ් සිනමාවට ඇතුල් වෙලා ඒ තුල මුදල් අතින් මේ වගේ ඉහළ සාර්ථකත්වයකට එන්න මේ අයට ශක්තිය ලැබුනේ මොනවයින්ද ඒවා අපිටත් ඒ විදියටම වැදගත් වෙයි.
මිනිසුන් ධනවත් වීම අහම්බයක්ද ? ඔහේ ඉන්නවා මොනවා හරි එකක් පටන් ගන්නවා ඊට පස්සේ මෙන්න මිනිස්සු එක රැයින් ධනවත් වෙනවා. එහෙමද වෙන්නේ ? නැහැ කෙනෙක් ධනවත් වෙනවා කියන එක, එහෙම නැත්නම් මූල්‍යමය අතින් සාර්ථක වෙනවා කියන එක අහම්බයකට වඩා විද්‍යාත්මක දෙයක්. විද්‍යාත්මකයි කියන්නේ මේ නිසයි - මූල්‍යමය අතින් සාර්ථක වෙන්න නිරවද්‍යතාවය සහතික කළ නිසි පිළිවෙලක් තියෙනවා. ඔව් එහෙම ක‍්‍රමයක් කතියෙනවා, ඒ විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ට ඒක අනුගමනය කරලා සාර්ථක වෙන්න පුලූවන්.
2014 වර්ෂයේදී Spectrem’s Millionaire Corner විසින් කරපු සමීක්ෂණයකින් කෙනෙක්ගේ ජීවිතයේ මූල්‍යමය සාර්ථකත්වයක් ඇති වෙන්න බලපාන සාධක අනාවරණය කරගත්තා. ඒක තමයි මම කලින් කියපු විද්‍යාත්මක ක‍්‍රමය. ඒ සාධක හැඳින්වෙන්නේ Top wealth creation factors නමින්. මේ සාදක කිහිපය හරියට අනුගමනය කළොත් වැඩේ හරි.
ප‍්‍රස්තාර සටහන බැලුවම අදහස පැහැදිලි වෙනවා ඇති. ඩොලර් මිලියන 20 ක් එක චිත‍්‍රපටියකකට අයකරන්න සමත් වෙන රංගන ශිල්පියෙක් විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ පන්නරය වෙන්නෙත් මූල්‍ය සාර්ථකත්වය ඇති වෙන්නෙත් මූලිකවම ඒ පුද්ගලයා කොතරම් කැපවීමෙන් සහ මහන්සියෙන් වැඩ කරනවද කියන එක මතත.
Toy Story, Wall-E, Finding Nemo සහ Monster Inc. වගේ අතිශය ජනපි‍්‍රය චිත‍්‍රපටි හදපු Pixar Animations සමාගමේ සමාරම්භක, සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා තමයි එඞ්මන් කැට්මුල්. එයාගේ සිහිනයක් සැබෑවීමක් තමයි Toy Story චිත‍්‍රපටිය. එයාගේ විතරක් නෙවෙයි ඒක ලෝකයේ ති‍්‍රමාන සජීවීකරන කේෂ්ත‍්‍රයේ දැවැන්ත ජයග‍්‍රහණයක්. ලෝකයේ සම්පූර්ණයෙන්ම පරිඝනකය ආශ‍්‍රයෙන් සජීවීකරණය කරපු පළමු චිත‍්‍රපටිය Toy Story. ඒ විතරක් නෙවෙයි ඒක ති‍්‍රමාන රූප විසින් හැඟීම් පල කරන ආකාරය අන්තර්ගත වන පළමු සජීවීකරණ චිත‍්‍රපටිය. මේක හදන්න කලින් එඞ්මන් කැට්මුල් දශක තුනක් විතර ලොකයේ පරිඝනක භාවිතයෙන් පමණක් කරන පළමු සජීවීකරණ චිත‍්‍රපටියක හදනවාමයි කියන අරමුනින් පර්යේෂණ කරා. Pixar Image computer වගේ විවිධ තාක්ෂණයන් ලෝකයට හඳුන්වා දුන්නා. ඒ ගමනේදි එයා කොයිතරම් මහන්සි වුනාද කියනවනම් ඔහු පරිඝනක විද්‍යාව සඳහා ආචාර්ය උපාධියට ඉගෙන ගත් ඌටා විශ්වවිද්‍යාලයේ පරිඝනක පද්ධතිය වැඩිපුර පැය කිහිපයක් පාවිච්චි කරන්න ඉඩ ලබා ගන්න විශ්වවවිද්‍යාලයේ විද්‍යාගාරයේ සීතල පොලවේ වැතිරිලා රෑ නිදා ගත්තා.
රාත‍්‍රියට නවතින්න තැනක් නැතිව, තමන් රැකියාව කළ කර්මාන්ත ශාලාවේ පිටුපස ලෑලි කිහිපයක් දමාගෙන ඒ ලෑලි මත වැතිරිලා අපහසුවෙන් නිදිවර්ජිතව හිටිය මනුස්සයෙක් බිත්තියක් මත එහා මෙහා දුවන මීයෙක්ව දැකලා ඒක කඩදාසි කැබැල්ලක චිත‍්‍රයට නගනවා. එතනින් පටන් ගත්ත ගමනෙන් පස්සේ කාලෙක ඔහු ඉතිහාසයේ ජනප‍්‍රියම චරිතයක් සජීවීකරණය කරනවා. ඒ මිකී මවුස් සහ ඩිස්නි ඇනිමේෂන්ස් සමාගම නිර්මාණය කළ වෝල්ට් ඩිස්නි.
දෙවැනි සාධකය අධ්‍යාපනය. ඩොලර් මිලියන 20 ලිස්ට් එකේ උඩින්ම ඉන්න සැන්ඩ‍්‍රා බුලොක් අධ්‍යාපනය ලැබුවේ නැගෙනහිර කැරෝලිනා විශ්වවිද්‍යාලයෙන්, ලියර්නාඩෝ ඩිකැප්රියෝ ඉගෙන ගත්තේ් සුප‍්‍රසිද්ධ UCLA හෙවත් කැලිෆෝනියා ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයෙන්, ඩේමන් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ, වොෂින්ටන් ෆෝර්ඩ්හැම් විශ්වවිද්‍යාලයේ.
මෙතෙන්දි අධ්‍යාපනය කියන සාධකය ගැන තව ටිකක් කතා කරේ නැත්නම් වැරදි අදහසක් පාඨකයෙක්ගේ හිතේ මතුවෙන්න පුලුවන්. ඉහතින් නම් සඳහන් කරපු ගොඩාක් දෙනා උසස් විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත අය තමයි. නමුත් අධ්‍යාපනය කියන සාධකය ඇති වෙන්න උසස් විශ්වවිද්‍යාලයක ඉගෙන ගැනීම අනිවාර්ය මූලික කොන්දේසියක් නෙවෙයි. Iron Man රොබර්ට් ඩොවුනිගේ ජීවිතය අරගෙන බලන්න. මෙතෙන්දි ඔහු වෙනස්, එයා මුල් කාලේම සැන්ටා මොනිකා උසස් විද්‍යාලයේ ඉගෙනීම අත්හැරලා රස්සාවක් හොයාගෙන යනවා.
ප‍්‍රබලම උදාහරණ දෙකක් තමයි මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කරපු බිල් ගේට්ස්, සහ ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්. දෙන්නම College Dropouts ඒ කියන්නේ හාවර්ඩ් වගේ උසස් විශ්වවිද්‍යාලවල ඉගෙනීම ආරම්භ කරනවා, නමුත් උපාධිය සම්පූර්ණ කරන්න කලින් එයාලා ඒක දමලා ගහලා එලියට ඇවිත් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා.
දෙන්න පුලූවන් හොඳම උදාහරණය තමයි ස්ටීව් ජොබ්ස් - ඇපල් සමාගමේ නිර්මාතෘ, දක්ෂ විධායක නිලධාරියෙක්, හොඳ පරිපාලකයෙක් මිනිහගේ Imagination එක හෙවත් චින්තන පරාසයට කෙලවරක් තිබුනේ නෑ. ඒත් කවදාවත් විශ්වවිද්‍යාලයක ඉගෙන ගෙන නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අය අධ්‍යාපනයක් නොලබපු අය කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මේ අය විශ්වවිද්‍යාලයක උපාධියක් සම්පූර්ණ කළේ නැහැ කියන එක විතරයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබුවා වුනත් මේ අය තමන්ගේ කේෂ්ත‍්‍රය සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැනුම්වත්ව සිටි පත පොත ඇසුරින් ඒ ගැන හදාරපු අය. වෙන විදියකට කියනවනම් Learned by doing it කට්ටිය.
මේ සම්බන්ධයෙන් කෙනෙක් අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියක් තමයි ස්ටීව් ජොබ්ස් සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප‍්‍රධානෝත්සවයේදි කරපු ප‍්‍රධාන දේශනය. මම කරපු සිංහල පරිවර්තනයක් මෙතන තියෙනවා.
ඊලඟට බුද්ධිමත්ව ආයෝජනය කිරීම. ආයෝජනය කරන්න කියනවා වෙනුවට ඉතිරි කරන්න කියලා කියන එක වැඩියෙන්ම ඇහෙන ලංකාව වගේ රටක Smart Investment කියන්නේ අමුතු කතාවක්. ඒත් ඔබ දන්නවද සැන්ඩ‍්‍රා බුලොක් තමන්ට Gravity චිත‍්‍රපටියෙන් ලැබුන ආදායම ආයෝජන හරහා තුන් ගුනයක්, ඒ කියන්නේ ඩොලර් මිලියන 70 ක් දක්වා වැඩි කරගන්න සමත්වුනා කියලා.
මූල්‍ය ආයෝජන ගැන ඉතින් Marshal තමයි ඇමරිකානු ආයෝජක වෝරන් බුෆේට්. බුෆේට් සැලකෙන්නේ 20 වන සියවසේ හොඳම ආයෝජකයා කියලා. ඔහු බර්ක්ෂයර් හැතර්වේ කියන සමාගමේ සභාපති, ප‍්‍රධාන විධායක නිලධාරි සහ ප‍්‍රධානතම කොටස් හිමිකරු. වතාවක් බිල් ගේට්ස් පරදවමින් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වෙන්නත් ඔහුට හැකිවුනා. අදටත් ඔහු ලෝකයේ මුල් ධනවතුන් 05 දෙනා අතරේ ඉන්නවා. හැමදේටම වැඩියෙන්ම ප‍්‍රසිද්ධ කොච්චර සල්ලි තිබුනත් ඉතා අරපිරිමැස්මෙන් වැඩ කරන කෙනෙක් විදියට.
අද කොතරම් ධනවතෙක් වුනත් මේ මනුස්සයා වෘත්තීය ජීවිතේ ආරම්භ කළේ කුඩා ළමෙයක් කාලේ චුයින්ගම් සහ කොකා කෝලා විකුණන්නෙක් විදියට. ඊට පස්සේ ගෙවල් ගානේ ඇවිදිමින් සඟරා විකුනනවා, පින් බෝල් කියන කී‍්‍රඩාවට යොදා ගන්න යන්ත‍්‍රයක් යාලුවෙක් එක්ක එකතුවෙලා මිලදීගෙන ටවුමේ බාබර් සාප්පුවක් අයිනේ ඒක තියාගෙන යන එන මිනිස්සුන්ගෙන් මුදල් අයකරලා ඔවුන්ට පින් බෝල් ගහන්න දුන්නා, මාස දෙක තුනකට පස්සේ මුලු නගරේම තිබුන බාබර් සාප්පු ගණනාවක පින් බෝල් යන්ත‍්‍ර තියන්න බුෆේට්ට පුලුවන් වෙනවා. ඒ ලැබුන මුදල් බුෆේට් ගිහින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරනවා. ඔහු මේ හැම දේම කරන්නේ මුදල් අහේනියක් තිබුන නිසාවත් පවුලේ ආර්ථික ප‍්‍රශ්න නිසාවත් නෙවෙයි. බුෆේට්ගේ තාත්තා ඔහු කුඩා කාලේ ඉඳන්ම ඇමරිකා කොංග‍්‍රස් සභාවේ මන්ත‍්‍රීවරයෙක්.
අරපිරිමැස්ම සහ අවදානමක් ගැනීමේ හැකියාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එත් නිවැරදි තැන නිවැරදි වෙලාවට සිටීම සහ වාසනාව කියන්නේ එකක් ද දෙකක් ද ?
මම කියන්නේ මේ දෙක දෙකක්. වාසනාව කියන්නේ විශ්වාස කරන්න බැරි මිත‍්‍රයෙක් (බැලූවම ඉතින් ගොඩක් ‘මිත‍්‍රයෝ’ විශ්වාස කරන්න බැරි අය තමයි). වාසනාව තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් - ඒකයි ඒක විශ්වාස කරන්න බැරි. සමහරවිට ඔබට උපතින් ලැබුන යම් හැකියාවක්, ඔබේ පෙනුම මේ වගේ දේවල් වාසනාව කියලා ගන්න පුලූවන්. හැබැයි නිවැරදි වෙලාවට නිවැරදි තැන ඉන්නවා කියන එක නිකං ඉබේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක Opportunity meets the preparation අවස්ථාවක්. අවස්ථාවන් කියනදේ ඕනෑම මෙහොතක එන්න පුලුවන්. ඒ වෙලාවට ඔබ සූදානම් නම් ඔන්න එතකොට නිවැරදි වෙලාවේ නිවැරදි තැන හිටියා වෙනවා.
ඔහොම නිවැරදි අවස්ථාවේ නිවැරදි ස්ථානයේ සූදානම්ව සිටීමෙන් සාර්ථකත්වයට මග පාද ගන්න තරුණයෙක් ගැන කියවෙන හින්දි චිත‍්‍රපටියක් තියෙනවා. ඒක සෝයා අක්තාර් කියන ඉන්දියානු අධ්‍යක්ෂවරියගේ නිර්මාණයක්, රඟපාන්නේ ෆර්හාන් අක්තාර්. චිත‍්‍රපටියේ නම Luck by Chance.
ස්ටීව් ජාෙබ්ස් සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල දේශනය + කෙටි සටහන් 08 ක්
3/28/2015 10:21:00 PM
Prageeth Liyanaarachchi
0 Comments
3/28/2015 10:21:00 PM Prageeth Liyanaarachchi 0 Comments
Total reads
About
Few of the good articles I might translate shall go here as well. I hope you will find something useful on this blog. Lots of thanks.
Prageeth Liyanaarachchi
Search
Featured Post
ඉංග්‍රීසි භාෂාව ගැන මේ දේවල් දන්නවද?
හැමෝටම ඇති නේද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ගිහිල්ලා යාන්තමට හරි ඇඬුණ යුගයක්? මට නම් තිබුණා. ඒ කාලේ මට ඉංග්‍රීසි තරම් අප්‍රියජනක වචනයක් හ...

Popular Posts
Archive
-
▼
2015
(17)
-
►
April
(11)
- 1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන කාලරේඛාව (Time...
- මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට ගෙනියන්න පුලුවන් ද?
- මතක පොත වැසෙයි කාරියකරවන පෙරළා යයි
- මලක් නම් නුඹ මලක් වුව මැන
- කොත්තමල්ලි වගේද විස්කි බ්‍රැන්ඩි?
- 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සරලව
- ශිෂ්ඨත්වය යනු කුමක්ද ?
- 04 things that are highly Sri Lankan
- වීදුරු බිඳුණු රාති‍්‍රය
- නාරීමේ ගර්මේ රකෝ
- ඩොලර් මිලියන 20 සමාජය
-
►
April
(11)
4 comments: