ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයට විසඳුම ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තුළමය



ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ඉතිහාසය 1930 දශකය දක්වා දිවයන්නකි. 1931 වසරේ මෙරට ක්‍රියාත්මකවීම ඇරඹූ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අවශ්‍යතාවය වන සර්වජන ඡන්ද බලය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතකරනු ලැබිනි. එනයින් ගත්කල ශ්‍රී ලංකාව යනු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයි. 

කෙසේ වුවද ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම මෑතකාලීනව බරපතල පරීක්ෂාවන්ට ලක්වනු දැකිය හැකිය. බලය දැරූ ආණ්ඩුවක් ව්‍යවස්ථාවට පටහැණිව යමින් පෙරළා දමා රාජ්‍ය බලය අත්පත්කරගැනීමට විපක්ෂය උත්සාහ කළ දේශපාලන කුමන්ත්‍රනය අවසන්ව තවමත් වසර 02 ක් හෝ ගතව නොමැත. අනෙක් අතට දැන් අලුතෙන් ඇතිව තිබෙන දේශපාලන යථාර්ථය තුළ රටෙහි ප්‍රජාතාන්ත්‍රීය යාන්ත්‍රණයන් කොතෙක්දුරට ආරක්ෂා වනු ඇත්දැයි සිවිල් සමාජයත් මැදහත් පුරවැසියනුත් බිය පළකරමින් සිටී. ව්‍යවස්ථාපිතව රටේ ව්‍යවස්ථාදායක විසුරුවා හැර ඇති සමයක මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විෂයෙහි නවතම  අභියෝගයක් වර්ධනය  වනු දැකිය හැක. මේ වර්ධනය වන නව අභියෝගය විසින් ඉල්ලා සිටිනුයේ ශ්‍රි ලංකාවට පාර්ලිමේන්තුවක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් අනවශ්‍ය බවත් පළාත් 09ට මේජර් ජෙනරාල්වරුන් 09 ක් පත්කර හමුදා මැදිහත්වීමක් හරහා දැනට වඩා ප්‍රශංසනීය ලෙස රට පාලනය හැකි බවත්ය. 

සමාජ මාධ්‍ය තුළ ප්‍රබලවත් එකී ප්‍රබලත්වය නිසාම මහජන අවකාශය තුළත් දැන් දැන් මතුවන සිවිල් පාලනය විෂයෙහි හමුදා මැදිහත්වීමක් ඉල්ලාසිටීම අතිශය භයානක මතවාදයකි. එය වඩාත් භයානක වනුයේ මෙකී මතවාදය යථාර්ථයක් වුවහොත් මිනිස් නිදහස සහ මානව අයිතිවාසිකම් මුලිනුපුටා දමන පාලනයන් බිහිවීම වැලැක්වීමට මිනිසා සතු එකම ආරක්ෂක කපාටය (ී්fැඑහ ඩ්කඩැ) වන ප්‍රජාතන්ත්‍රවාදය අහෝසිව ගොස් මිනිසාගේ නිදහස අවිනිශ්චිතව යන පාලනයක් බිහිවනු ඇති බැවිනි. එසේ හෙයින් මේ මතවාදය මෙන්ම එහි ඇති භායානකත්වයද  අප විසින් නිවැරදිව අවබෝධ කරගත යුතුය. එහිලා ප්‍රජාතන්ත්‍රවාදය නැවත කියවා ගැනිම, සිවිල් පාලය විෂයෙහි හමුදා මැදිහත් වීමෙහි ප්‍රතිඵල විග්‍රහ කිරීම මෙන්ම හමුදා පාලනයක් අන් පාලන ක්‍රමවලට වඩා සාර්ථකද යන වග විමසා බැලීම ද වැදගත් වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නැවත කියවමු. 
ප්‍රජාතන්ත්‍රවාදයේ එක් වැදගත් ස්වභාවයක් නම් රාජ්‍යයේ ගාමක බලය හුදෙක් තනි පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අභිමතය මත තීරණයවීමෙන් ඇතිවන  අවදානම මගහැරීමට එයට ඇති හැකියාවයි. ප්‍රජාතන්ත්‍රවාදය නමැති  සංකල්පය ප්‍රචලිත වනුයේම රාජ්‍යයක  දිශානතිය තීරණය  කරන වඩාත් සංවේදී තින්දු තීරණ තනි පුද්ගලයෙකු විසින් සිය අභිමතය  පරිදි ගනු ලබන  රාජාණ්ඩු ක්‍රමයට හෝ ෆැසිස්ට් ක්‍රමයට විකල්පයක් වශයෙනි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නිර්මාණය වීම පිණිස මගපෑදූ  මූලික සාධකය නම් රාජ්‍යයක ප්‍රගමනය සම්බන්ධයෙන්  ගනු ලබන තීන්දු විවිධ කෝණවලින් සැලකිල්ලට ගැනීම මෙන්ම එකී තීරණවල ඇති මානව හිතවාදී නොවන ලක්ෂණ පෙරා ඉවත්කර එම තීරණ ක්‍රියාත්මක කරවීමේ අවශ්‍යතාවයයි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ මුඛ්‍ය අරමුණ රාජ්‍ය පාලනයේ මානවීය ගුණය ආරක්ෂා කර ගැනීමයි. මෙකී අවශ්‍යතාවය ඉටු කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය විසින් ස්ථාපිත කරන ප්‍රවේශය වනුයේ රාජ්‍යයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ස්ථර කිහිපයක් හරහා සාකච්ඡාවට සහ අනුමැතියට ලක්කිරීම සහ එකී ඒ ඒ ස්ථර නියෝජනය කරන්නන් පුළුල් මහජන සහභාගීත්වයක් හරහා තෝරා ගැනීමයි. 

ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති මේ පුළුල් මහජන සහභාගීත්වය හේතුවෙන්ම එය ස්වභාවයෙන්ම අකාර්යක්ෂම පාලන ක්‍රමයකැයි (Inherently Risky) දේශපාලන විද්‍යාවේදී හැඳින්වේ. විසඳිය යුතු ගැටලුවල ඇති සංකීර්ත්වය වැඩිවීමට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය තුළ පොදුවේ සියලු දෙනාටම පිළිගත හැකි විසදුමක් ඇති කරගැනීම වඩ වඩාත් ප්‍රමාද වනු ඇත. මේ ස්වභාවයෙන්ම එන අකාර්යක්ෂමභාවය නිසාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් වැඩි දෙනාගේ කැමැත්ත මත නුසුදුස්සන්  තනතුරුවලට පත්ව දූෂිත සහ  අකාර්යක්ෂම පාලනයන් ඒ තුලින් බිහිවිය හැක. එහෙත් අප විසින් අමතක නොකල යුතු ඉතාම වැදගත් කරුණක් නම් ප්‍රජාතන්ත්‍රවාදය යනු පාලකයා සිය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මහජනතාවට වගකියන මහජනතාවගේ ප්‍රශ්නකිරීම්වලට ලක් කෙරෙන ක්‍රමයක්ය (Rulers are held accountable) යන්නයි. තොරතුරු දැනගැනීමේ අයිතියෙහි පටන් කලින් කලට පවත්වන නිදහස් හා සාධාරණ මැතිවරණද මහජනතාවට සිය පාලකයා  ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබාදෙන ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණයන්ය. ඉක්මනින් හෝ  ප්‍රමාද වී හෝ අතිශය දූෂිත මානව  විරෝධී පාලනයක් වුව ද ප්‍රජාතන්ත්‍රවාදය හරහා මහජනතාවගේ විනිශ්චයට ලක්වනු ඇත. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වඩාත් සාධනීයම ලක්ෂණය නම් අතිශය දූෂිත සහ මානව විරෝධී පාලනයක් වුව රුධිරය වගුරවන ගැටුමකට නොයා අවසන් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදයම භාවිත කළ හැකි වීමයි. 


"හොඳ ජෙනරාල්වරුන් දෙදෙනෙකුට වඩා එක් නරක ජෙනරාල්වරයෙකු යහපත්ය"
සන්නද්ධ හමුදාවක ඇති මූලිකම ලක්ෂණය නම් තමන් වෙත ලැබෙන නියෝග වඩාත් කාර්යක්ෂම ලෙස ඉටුකිරීම ඉලක්කය වශයෙන් ගනිමින් එහි ඇති  සියලු  යාන්ත්‍රණ නිර්මාණය වී තිබීමයි. මෙය රාජ්‍ය විසින් පවත්වාගෙන යන වෛද්‍ය සේවාව හෝ වෙනත් එවැනි සේවාවකට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. මේ දෙවැනියට සඳහන් කළ සේවාවක  නිරත වන්නෙකුට තමන් විසින් ඉටු කළ යුතු රාජකාරී සම්බන්ධයෙන් මානුෂීය මුහුණුවරකින් බැලීමට බාධාවක් නොමැත. නමුත් හමුදා සේවයේ නිරත සෙබලෙකුට එවැනි නිදහසක් නොමැත. හමුදාවේ මාධ්‍යය වනුයේ මානූෂීය තත්ත්ව සලකා බැලීම නොව නොව බලය යෙදවීමයි. හමුදා සෙබලෙකුට ලැබෙන දීර්ඝ සහ වෙහෙසකර පුහුණුවක පවා අර්ථය වනුයේ කවර හෝ තත්ත්වයක් යටතේ වුව නියෝග සඳහා අවනතවීම සෙබලාගේ මූලික විනය බව ඔහුට ඒත්තු ගැන්වීමටයි. සන්නද්ධ  හමුදාවන්හි සංයුතිය පුද්ගල කේන්ද්‍රීය සහ නිශ්චිත  ධුරාවලියකට යටත්ව ගොඩනැගී ඇත්තේද සාකච්ඡාවන් ද ප්‍රශ්න කිරීම් ද හැකිතාක් බැහැර කර තමන්ට ලැබෙන නියෝග කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන  පිණිසය.  ර්‍ණහොඳ ජෙනරාල්වරුන් දෙදෙනෙකුට වඩා එක් නරක ජෙනරාල්වරයෙකු යහපත්ය” යැයි සුප්‍රසිද්ධ ප්‍රංශ අධිරාජ්‍ය නැපෝලියන් විසින් වරක් සඳහන් කර ඇත. ඔහුගේ එකී ප්‍රකාශයේ යටිපෙළ අරුත නම් ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇති තැන එන සංවාද සහ එකිනෙකා ප්‍රශ්න කරගැනීම් කිසිවක් නොමැතිව තනි ජෙනරාල්වරයෙකුට කටයුතු කළ හැකිය යන්නයි. සන්නද්ධ සේවාවන් තුළ විරුද්ධ මතවාද හෝ ප්‍රශ්න කිරීම් ප්‍රතික්ෂේපකිරීමේ නැඹුරුව එතරම්ම බලවත්ය.  

ඒ අනුව කවර හෝ නියෝගයක් වුව ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින, බලය යෙදවීම භාවිතය කරගත්, ප්‍රශ්න නොකිරීමට  පුහුණුව ලැබූවෙකු සිවිල් ගැටලු නිරාකරණය සඳහා යෙදවීම කොතරම් දුරට ප්‍රායෝගිකද? අවාසනාවකට මෙන් එවැනි තත්ත්වයක් විසින් ඇති කළ හැකි ඛේදනීය ප්‍රතිඵල සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ට මෑත කාලීන අත්දැකීම් ඇත. 

2019 සැප්තැම්බර් මස 11 වනදා නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විශේෂ ත්‍රි-පුද්ගල මහාධිකරණයක් ඉදිරියේ අධිචෝදනා ගෙනු කරන ලදි. නීතිපතිවරයා  විසින් ගොනුකරන ලද අධිචෝදනා තුළ සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කර සිදුකරන ලද වෙඩි තැබීමකින් පාසල් සිසුන් දෙදෙනෙකු ද ඇතුලුව පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය  කිරීම, පුද්ගලයන් 16  දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම සහ තවත් පුද්ගලයන් 21 දෙනෙකුට සුලු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඉහත කී හමුදා නිලධාරීන්  සිව්දෙනා හට චෝදනා එල්ලව තිබිණි. ඊට අමතරව ඉහත සඳහන් චෝදනා ලත්  හමුදා නිලධාරීන් විසින් අදාළ වෙඩි තැබීම්වලින් පසුව භූමියේ  විසිරී තිබූ හිස් පතරොම් කොපු ඉවත් කර මරණ සහ තුවාල නිසා ගලාගිය රුධිරය  සෝදා දැමීමට ද කටයුතු කර තිබිනි. ඒ අනුව සිද්ධිය පිළිබඳව පසු අවස්ථාවක සිදුවිය හැකි නිල පරීක්ෂණ සම්බන්ධයෙන් වැදගත් විය හැකි  සාක්ෂි ඉවත්  කිරීමට කටයුතු කළේ යැයිද අදාළ හමුදා නිලධාරීන් සිව්දෙනා හට නීතිපතිවරයා විසින් චෝදනා එල්ලකර තිබිණි. 

ඉහත චෝදනා සඳහා පදනම්  වූ ඛේදනීය සිදුවීම් සමූහය 2013 වසරේ අගෝස්තු මස 01 වැනි දා සිදුවූ  ර්‍ණරතුපස්වල වෙඩිතැබීම්” වශයෙන් ඔබ අසා ඇති බව නිසැකය. රජයේ හමුදා විසින් නිරායුධ සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීමක් දක්වා දුරදිග ගිය සිද්ධීන් සමූහයක ආරම්භය වූයේ සන්නද්ධ හමුදා අනුඛණ්ඩයක මැදිහත්වීමක් කිසිසේත් අවශ්‍ය නොමැති පරිපාලන ගැටලුවකි. සිද්ධිය සිදුවූ ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ රතුපස්වල ග්‍රාමයේ ස්වභාවික ජල මූලාශ්‍ර ගමෙහි පිහිටි  කර්මාන්ත ශාලාවකින් බැහැර  කළ අපද්‍රව්‍ය හේතුවෙන් භාවිතයට නුසුදුසුව තිබිණි. මේ පිළිබඳ දිගු කලක් තිස්සේ ගම්වැසියන් විසින් අදාළ බලධාරීන් වෙත සිදුකළ පැමිණිලි  කිරීම්වලින් ද ප්‍රයෝජනයක් ඇතිව නොතිබිණි. බලධාරීන් වෙතින් තමන්ගේ ගැටලුවට කිසියම් හෝ පිළියමක් නොතිබූ තැන ගම්වැසියන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට රැස්ව බාධාකාරි ලෙස හැසිරුණු අතර මාර්ගයේ ගමනාගමනයට අවහිරතා සිදුකර ඇත. මෙවැනි අවස්ථාවක මහජනතාව පාලනයට සහ සාමය ආරක්ෂා කිරීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට ගනු ලැබිය හැකි පියවර ගණනාවක් වුව නම් කළ හැක. එහෙත් සන්නද්ධ  හමුදා කණ්ඩායමක් සිද්ධිය සිදුවන ප්‍රදේශයට මුදාහැර සිවිල් වැසියන්ට වෙඩි තැබීමෙන් කලහයක් "පාලනය" කිසිසේත් මෙවැනි අවස්ථාවක් සම්බන්ධයෙන් යොදාගත හැකි පියවරක් නොවේ. 



රතුපස්වල වෙඩිතැබීම් විසින් අපට පෙන්වා සිටිනුයේ සිවිල්  ජන ජීවිතය සහ සන්නද්ධ  හමුදා අතර තිබිය යුතු අත්‍යව්‍යශ විභේදන රේඛාව ඉක්මවා යාමෙන් ඇතිවන, නිවැරදි කළ නොහැකි ප්‍රතිවිපාකයන්හි තරමයි. රතුපස්වල ගැටුමේ ඇතැම් තැනෙක හමුදා සෙබලුන් විසින් සිදුකළ තාඩන ඉවසා ගත නොහැකිවූ සමහර වයස්ගත මව්වරුන්  ර්‍ණඅනේ පුතේ අපි මේ අත්දෙකෙන් යුද්දේ අන්තිම කාලේ උඹලට බෝධි පූජා තිබ්බා” යැයි වේදනාවෙන් යුතුව කියා සිටි බවක් එකළ කුප්‍රකටව තිබිණි. මෙවැනි ප්‍රකාශ අතිශයෝක්තීන් යැයි යමෙකුට බැහැර කළ හැකි මුත් ඒ මොහොතේ මරණය  පෙනි පෙනී සිටි මිනිසුන්ගෙන් එවැනි වේදනාවන් නොනැගුනායැයි සැබැවින්ම සිතිය හැකිද? එහෙත් එවැනි විලාපයන් හමුවේ පවා තමන්ට ලැබී තිබූ  නියෝග ක්‍රියාත්මකකිරිම කෙරෙහි අදාළ හමුදා අනුඛණ්ඩයට තිබූ උනන්දුව බිඳකින් හෝ අඩු නොවූ බව නීතිපතිවරයාගේ ඉහත අධිචෝදනා සාක්ෂි දරයි.  

රතුපස්වල වෙඩි තැබීම්වලින් පසුව එම වෙඩි තැබීම් සඳහා වගකිවයුතුයැයි චෝදනාවට ලක්වූ කිසිවෙකුත් අත්අඩංගුටව පත්නොවුනි. ඒ වෙනුවට අදාළ වෙඩි තැබීමට මූලික වූ හමුදා අනුඛණ්ඩයට අණදෙන ලද බි්‍රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන යටකී සිදුවීමෙන් මාස 07 ක් ගතවූ තැන තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික  තනතුරකට පත්කර යවන්නට එවකට පැවති පාලනය කටයුතු කළහ. එකී පත්වීම සිදුකළ පාලනය එයින් වසර කිහිපයකට පසුව මැතිවරණයකින් පරාජයට පත්වීම නොවන්නට අදාළ සිදුවීමට වගකිවයුත්තන් අත්ඩංගුවට ගැනීම සහ ඔවුනට එරෙහිව අධිචෝදනා ගොනුකිරීම කිසිදා සිදු නොවනු ඇත. ඒ අනුව බැලූ කල හමුදාව යොදාගනිමින් සිදුවන රාජ්‍ය පාලනය කිසිසේත්ම මහජනතාවට වගකියන එකක් නොවන බව මනාව පැහැදිලි වේ.

සිවිල්  පාලනය පිළිබඳ මූලධර්මය
 "සාමය පවතින කාලයක සන්නද්ධ හමුදාවන්හි භාවිතය ජනරජයක ක්‍රියාකාරීත්ය සම්බන්ධයෙන් වන මූලික ප්‍රතිපත්තීන්ට පටහැනිය. එය මිනිස් නිදහසට හානි කරවන අතර බොහෝ විට එවැනි භාවිතයක් අවසන් වනුයේ ඒකාධිපතීත්වයන් ගොඩනගන විනාශකාරී ප්‍රවේශයන් තුළිනි."

එල්බ්‍රි ගැරී - ඇමරිකා එක්සත් ජනපදයේ 05 වන උප ජනාධිපති

සන්නද්ධ  හමුදාවන් විසින් ඉටුකරන ජාතික ආරක්ෂාව සහතිකකිරීමේ කාර්යය රටක ස්වාධිපත්‍ය සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය වේ. එහෙත් සන්නද්ධ හමුදාවන් රාජ්‍ය පාලනය විෂයෙහි නිසි සීමාව ඉක්මවා භාවිත කිරීම රටකට අන්තරායකර ප්‍රතිඵල ගෙන  එනු ඇත. එමනිසා රාජ්‍ය පාලනය විෂයෙහි හමුදාව භාවිත විය යුතු ආකාරය දේශපාලන ඉතිහාසය තුළ දීර්ඝ කාලීනව සාකච්ඡාවට ලක්ව ඇත. මේ සාකච්ඡවන්හි ප්‍රතිඵලයක් වශයෙන් වර්ධනය  වී ඇති සන්නද්ධ හමුදා විෂයෙහි සිවිල් පාලනය පිළිබඳ මූලධර්මය (Doctrine of Civilian control of the military)  මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප වඩාත් සැලකිල්ලෙන් යුතුව අධ්‍යයනය කළ යුතු සංකල්පයක්ව ඇත. 

එක්සත් ජනපදයේ නෝර්ත් කැරොලිනා විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය රිචඞ් H. කොහ්න් විසින් සම්පාදිත An essay on civilian control of the military  නම් ලිපිය තුළ සන්නද්ධ හමුදා විෂයෙහි සිවිල් පාලනය පිළිබඳ මූලධර්මය පැහැදිලි කර ඇති ආකාරය වඩාත් පුලුල් අර්ථ දැක්වීමක් වශයෙන් දැකිය හැක. සිවිල් පාලනය පිළිබඳ මහාචාර්යවරයාගේ වඩාත්ම වැදගත් අර්ථ දැක්වීම පහත පරිදි උපුටා දක්වමි. 

 “The point of civilian control is to make security subordinate to the larger purposes of a nation, rather than the other way around. The purpose of the military is to defend society, not to define it.”

මහාචාර්ය කෝහ්න් ට අනුව සන්නද්ධ හමුදා විෂයෙහි සිවිල් පාලනය පිළිබඳ මූලධර්මයේ අර්ථය රටක ආරක්ෂක අංශ ඒ රටෙහි ප්‍රතිපත්ති සහ අරමුණුවලට යටත්ව ක්‍රියාත්මක වන එකක් විමේ අවශ්‍යතාවය තහවුරු කිරීමයි. සිවිල් පාලනය පිළිබඳ මූලධර්මයට අනුව සන්නද්ධ හමුදාවන්හි පැවැත්මේ අරමුණ රාජ්‍යයේ ආරක්ෂාව සහතික  කිරීම මිස රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය  හෝ එහි ස්වභාවය තීරණය කිරීම නොවේ. එසේ හෙයින් හමුදාවක් විසින් ඉටු කළ යුතු ආරක්ෂාව හා බැදුනු  මූලික කාර්යය ඉක්මවා රටක රාජ්‍ය පාලනයට හමුදාව හවුල් කරගැනීම එතරම් ඥානාන්විත නොවේ. 

ඉහතකී පරිදි නියෝග ක්‍රියාත්මක කිරීමට පුහුණුව ලැබූ හමුදාව රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ කල ප්‍රජාතන්ත්‍රවාදී  තීරණ ගැනීමේ ක්‍රියාවලිය  මුලුමනින්ම නොතකා හැර කටයුතු කිරීම හෝ රතුපස්වලදි මෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ආදේශකයක් ලෙස බලය යොදවා තමන්ට අවශ්‍ය විසදුම ක්‍රියාත්මක කිරීම සිදුවනු ඇත. මේ ක්‍රියාවලිය එතැනින් අවසන් නොවන බව ලෝකය පුරා හමුදා බලය සිවිල් පාලනය  ඉක්මවා වර්ධනය වූ රටවල එකී වර්ධනය ක්‍රමානුකූලව අධ්‍යනය  කිරිමෙදි පැහැදිලි වේ. හමුදා පාලනයක් යෝජනා වනුයේම ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇති වෙනස් මත ගරුකිරීමේ ගුණය ඉවසා සිටිමේ නොහැකියාව නිසා බැවින් වෙනස් මතවලට ඉඩ සලසන ප්‍රජාතන්ත්‍රවාදය  මුලුමනින්ම අහෝසි කර දැමීමේ උත්සාහයන් ඉන් අනතුරුව ස්වභාවිකවම පැන නගිනු ඇත. ඒ අනුව බලය භාවිත  කර විරුද්ධ මතධාරී කණ්ඩායම් මර්දනය කර දැමීම, ජනමාධ්‍ය පාලනය, වාරණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සිමාකිරිම, සහ නිදහස් සහ සාධාරණ මැතිවරණ අහෝසි  කර දැමිම යනාදිය ඉන් අනතුරුව සිදුවනු ඇත. මේ සියල්ල හරහා පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අභිමතය මත රටක් පාලනය වන හමුදා පාලනයක් දක්වා තත්ත්වය වර්ධනය වනු ඇත. අපගේ ආරක්ෂාව පිණිස අප විසින්ම බිහිකරගන්නා  ආයතනවලටම යම් දිනෙක අපම බියවෙනු ඇතැයි පීටර් D. ෆීවර් විසින් සඳහන් කරන විරුද්ධාභාසය (Paradox) යථාරථය වනුයේ එවැනි තැන්හි දී ය.   

හමුදා පාලනය අප සතුව ඇති හොඳම විකල්පයද? 

සිවිල් පාලනය විෂයෙහි හමුදා මැදිහත්වීමක් යෝජනා කරන මතවාදයේ ඇති වැදගත් තර්කයක් නම් හමුදා පාලනයක් විසින් රටක ඇති දූෂණ සහ වංචා මුලුමනින්ම පාහේ අවසන් කර දමනු ඇත යන්නයි. නමුත් සත්‍යය නම් දූෂණ සහ වංචාවන්ට ගොදුරු වීමේ සම්භාවිතාවය අතින් හමුදා පාලනයක් අනෙක් ඕනෑම පාලන ක්‍රමයකට සමානය යන්නයි. මෙහිලා පැහැදිලි නිදසුනක් වශයෙන් 2014 තායිලන්තයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් බලයට පැමිණි තායිලන්ත මිලිටරි ජුන්ටාව හැඳින්විය හැක.  

2014 මැයි මස 22 වන දා ජෙනරාල් ප්‍රයුත් චන්-ඕ-චා විසින් මෙහෙයවන ලද තායිලන්ත රාජකීය හමුදාව විසින් එවකට තායිලන්තයේ පැවති භාරකාර රජය පෙරලා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද මුලිනුපුටා දමා නීතිය සහ සාමය සඳහා වන ජාතික කවුන්සිලය නමින් මිලිටරි ජුන්ටා පාලනයක් පිහිටුවා ගන්නා ලදි. රටේ පවතින දූෂණ වංචා සහ දේශපාලන අස්ථාවරභාවය මුලුමනින්ම අවසන් කර දමා ඉන් පසුව පමණක් මැතිවරණයකට යාමේ අරමුණින් තමන් මේ පියවර ගත් බව හමුදා ජුන්ටාව පසුව ප්‍රකාශ  කරන ලදි. ප්‍රජාතන්ත්‍රවාදීව පත්ව තිබූ රජයේ නියෝජිතයන් විසින්  සිදුකළ අතිමහත් දූෂණ සහ වංචා පිළිබඳව ද එකිනෙක ඉන් අනතුරුව අවධානය යොමුවිය. එහෙත් වසර 04 ක් ගතවීමටත් මත්තෙන් මිලිටරි ජුන්ටාවේ උප අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ධුර දැරූ, එමෙන්ම  2004 - 2005 කාලය තුළ තායිලන්ත රාජකීය හමුදාවේ හමුදාපතිවරයාව සිටි ප්‍රවීත් වොන්ග්සුවාන් ඇමරිකානු ඩොලර් මිලියන භාගයකට අධික වටිනාකමින් යුත් අත් ඔරලෝසුවක්ද දියමන්ති එබ්බවූ මුදුද පැළඳ සිටින ඡායාරූප ප්‍රසිද්ධියට පත්විය. එපමණකි - දූෂණ වංචා අවසන්කරනවායැයි සඳහන් කරමින් දේශපාලන බලය පැහැරගත් මිලිටරි ජුන්ටාවක සුජාතභාවය ද එනයින්ම අවසන්විය.  

හමුදාව විසින් ඇතිකරන ක්‍රමානුකූල පාලනය රටක ආර්ථික වර්ධනය සඳහා හේතුවනු ඇත යන්න සිවිල් පාලනය විෂයෙහි හමුදා මැදිහත්වීම ඉල්ලා සිටින මතවාදය විසින් ඉදිරිපත් කරන තවත් අදහසකි. මෙය ආර්ථිකය පිළිබඳ ප්‍රවීණයන්ගේ උපක්‍රමික සහභාගීත්වය සහ මහජනතාවගේ අඛණ්ඩ දායකත්වය හරහා මිස විසඳා ගත නොහැකි සංකූලතා ගණනාවක් නිසාවෙන් ඔද්දල්වූ  මෙරට ආර්ථිකය පිළිබඳ අවම හෝ අවබෝධයක් නොමැතිව ඉදිරිපත්කරන අදහසකි. හමුදා පාලනය රටක ආර්ථික දියුණුව සම්බන්ධයෙන් විශේෂ බලපෑමක් ඇති නොකරන බව දීර්ඝ කාලයක් පුරා මිලිටරි ජුන්ටාවන් හරහා පාලනය වූ නයිජීරියාව සහ පාකිස්ථානය වැනි රටවල සන්දර්භයන්  අධ්‍යයනයේදී පැහැදිලිව පෙනේ. අනෙක් අතට ඒක කේන්ද්‍රීය පාලනයක් හරහා ආර්ථික වර්ධනය අත්පත් කරගත හැක යන අදහසට නිදසුන් වශයෙන් පෙන්වා දෙන චීනයේ ආර්ථික ක්‍රියාකාරීත්වය ලංකාව වැනි රටවකට වඩා හාත්පසින්ම වෙනස්ය. දැවැන්ත ශ්‍රම වෙළඳපොලක්ද නිෂ්පාදන සම්පත්වලින්ද සපිරි චීනයේ ආර්ථික දියුණුවට හේතුව සමාජවාදී වෙළඳපොල ආර්ථිකය වශයෙන් චීනය විසින් හදුන්වන නිශ්චිත ආර්ථික ඒකක (උදා - බලශක්තිය, බැංකු) තවදුරටත් රජයේ පාලනය යටතේ තබාගනිමින් පුද්ගලික ව්‍යවසාය දියුණුකිරීමේ ක්‍රමය මිස ආර්ථිකය මුලුමනින්ම කේන්ද්‍රීය පාලනයකට නතුකිරීම නොවේය. 

එසේ හෙයින්, රටක දූෂණ හෝ වංචාවන් මෙන්ම පාලකයන්ගේ අකාර්යක්ෂමතාවය පවා ඔඩු දුවා යෑමට හේතුව ඒ රටේ භාවිතය ප්‍රජාතන්ත්‍රවාදය වීම නොවන බව මෙහිලා සඳහන් කර තැබිය යුතුය. ප්‍රශ්නය ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ නොව ඔබ පත් කරගන්නා පාලකයන්ගේ හැසිරීම විවේචනය කිරීමට සහ ප්‍රශ්න කිරීමට ඔබ කොතෙක් දුරට කටයුතු කරනවාද යන්න තුළය. පාලකයාගේ ඕනෑම හැසිරීමක් සාධාරණීකරණය කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීටමට ඔබ දැනටමත් තීරණය කර ඇත්නම් රටේ ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ද මිලිටරි පාලනය ද යන්න කිසිසේත්ම අදාළ කාරණයක් නොවනු ඇත. නමුත් අනෙක්  අතට, පාලකයාගේ හැසිරීම විවේචනය කිරිමට තරම් ඔබ දේශපාලනිකව ස්වාධීන වන්නට තීරණය කළහොත් එතැනදී රටේ ඇත්තේ අදහස්  ප්‍රකාශකිරීමේ නිදහස අගයන ප්‍රජාතන්ත්‍රවාදය ද නැතහොත් විරුද්ධ මත දැරීම මරණයෙන් වුව අවසන් විය හැකි ඒකාධිපති පාලනයක්ද යන්න මුලුමනින්ම අදාළ කරුණක් වනු ඇත. 

ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ තීරකයා ඹබය.  

අප ප්‍රජාතන්ත්‍රවාදය දකිනුයේ මනෝරාජිකයක් වශයෙනි. එය පරිපූර්ණ විය යුතුයැයි අප සිතයි. නමුත්  එය එසේ පරිපූර්ණ නැත. අන් ඕනෑම මිනිස් භාවිතයක් මෙන් එහිද දෝෂ සහ දුර්වලතා ඇත. මෙකී fදා්ෂ මහජනතාව විසින් අනුක්‍රමයෙන් නිවැරදි කරගත යුතුය. මේ තත්ත්වය 19 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම්  ඇසුරෙන් පැහැදිලි කළ හැක. 19 වන සංශෝධනය විසින් ආපසු හරවා දමනු ලැබුවේ ලැබූවේ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය ද අධිකරණයේ සහ රාජ්‍ය තන්ත්‍රයේ ස්වාධීනත්වයද මුලුමනින්ම පාහේ අහෝසි කර දැමා ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා රට යොමු වෙමින් තිබූ ගමනයි. එය ඒ අවස්ථාවේ  රට ලැබූ දැවැන්තම  ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයයි. එහෙත්  දැන් අප 19 වන සංශෝධනයේ දුර්වලතා ද දකින අතර ඉන් එහා ගිය වඩාත්  පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙත ද අවධානය යොමු කරමින් සිටී. ප්‍රජාතන්ත්‍රවාදය යනු සජීවී  පද්ධතියක් වන අතර එය භාවිතයෙන් සහ අත්හදාබැලීම් හරහා පවත්වාගෙන යා යුතුය. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය නම් ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කිරීමට තරම් ප්‍රමාණවත් වගකීම් සම්පන්න පුරවැසියන් හිඟවීමයි. 

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අතිශය විශ්වීය නිර්වචනයක් ලබාදෙමින් ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනතාව විසින් මහජනතාව උදෙසා ගෙනයන මහජනතාවගේ පාලනය යැයි හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් කළ ප්‍රකාශය ඔබ අසා ඇත. මෙහි අර්ථය හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනතාව විසින් ආණ්ඩු පත් කරගැනීම නොවන බව අප අවබෝධ කරගත  යුතුය. එහි අර්ථය ඊට වඩා ගැඹුරු සහ රාජ්‍ය පාලනය විෂයෙහි පුරවැසි වගකීමේ අවශ්‍යතාවය මත ගොඩනැගුනකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනතාවගේ සහභාගීත්වය මත මුලුමනින්ම රඳාපවතින පාලනයක්ය යන්න එහි වඩාත් සුපැහැදිලි අර්ථයයි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මහජන වගකිම ආණ්ඩු පත්කිරිමෙන්  අවසන් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වනුයේ ආණ්ඩු පත්කිරීමෙන් පසු ඔබ සිදුකරන වැඩකොටස තුළය. සරලව සඳහන්  කරන්නේ  නම් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වන එකම අවස්ථාව ඉහත සමීකරණය තුළ මහජනතාව නොමැතිවූ කල්හි පමණි. 

ලංකාවේ දැනට ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආසර්ථක යැයි ඔබට හැඟෙන්නේ නම් ඒ වෙනුවට හමුදාව සිවිල් පාලනයට යොදාගැනීම යෝජනා කිරීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදයෙහි පැවැත්ම වෙනුවෙන් ඔබගේ වැඩ කොටස නිසි පරිදි සිදුකරන ලද්දේ දැයි නැවත සිතා බැලිය යුතුයැයි මම ඔබට යෝජනා කරනුයේ එබැවිනි. 

මෙම ලිපිය ප්‍රජතන්ත්‍රවාදයේ ගැටලුවලට විසදුම ප්‍රජාතන්ත්‍රවාදයමය නමින් මා විසින් සමබිම වෙබ් අඩවියට ලියන  ලද ලිපිය නැවත පළකිරීමකි.

කොරෝනා අස්සේ පැතිරෙන දේශපාලන වයිරස්



ගෝලීය වසංගතයකට මොහොතකට පෙර.

වෛද්‍ය ලී වෙන්ලියැං මධ්‍යම චීනයේ හුබෙයි නම් පළාතෙහි අග නගරය ලෙස සැලකෙන වූහාන්හි මධ්‍යම රෝහලේ සේවය කළ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. 2019 වසරේ දෙසැම්බර් 30  වනදා සිය රෝහල්  රාජකාරි අතරතුර මියගිය රෝගියෙකුගේ වාර්තාවක් කියවිමට  වෛද්‍ය වෙන්ලියැං හට අවස්ථාව ලැබිණි.  මෙම වාර්තාව උග්‍ර ස්වශන සින්ඩ්‍රෝම රෝගය හෙවත් සාර්ස් කොරෝනා වෛරසය (සාර්ස් කොරෝනා වෛරසය යනු සාර්ස් රෝගය වශයෙන් ප්‍රචලිතව ඇති වෛරස් රෝගයේ වෛද්‍ය විද්‍යාත්මක නාමයකි) හේතුවෙන් මියගියායැයි සැලකුණු රෝගියෙකු සම්බන්ධ එකක් විය. වෛද්‍ය වෙන්ලියැං සේවය කළ මධ්‍යම වූහාන් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ අධ්‍යක්ෂවරයා විසින් සකස්කරන ලද මෙම වාර්තාවේ දැක්වුණු ආකාරයට අදාළ රෝගියා සිය මරණයට පෙර ඉන්ෆ්ලුවන්සා රෝගයට සමාන රෝග ලක්ෂණ දැක්වූ මුත් සාමාන්‍ය ප්‍රතිකාර කිසිවකට හෝ නිසි පරිදි ප්‍රතිචාර දක්වා නොතිබිණි. මෙම වාර්තාව සම්බන්ධයෙන් වෛද්‍ය කාර්යමණ්ඩලය අතර සංවාදයන් ඇති වෙමින් තිබූ අතරතුර වෛද්‍ය වෙන්ලියැං විසින් තම ජංගම දුරකථනයේ WeChat පණිවුඩ යෙදවුමෙහි පණිවුඩ සමූහයක් (Message group) භාවිත කර මේ පිළිබඳ සිය මිතුරු වෛද්‍යවරුන් පිරිසකට දැනුම්දී ඇත. එයින් නොබෝ වෙලාවකට පසුව තවත් එවැනිම පණිවුඩයක් සිය මිතුරන් වෙත යවන වෛද්‍යවරයා ඉහතකී රෝගියා මියගොස් ඇත්තේ සාර්ස් රෝගය නිසා බව තහවුරුව ඇති මුත් වෛරසය යම් නව උප ප්‍රභේදයකට අයත් එකක් බවට සැක පහළවී ඇතැයි කියා සිටියි. සිය පවුල්වල සාමාජිකයන්ට වඩාත් ප්‍රවේශම් වන්නැයි දැනුම් දෙන ලෙස ද වෛද්‍ය වෙන්ලියැං මේ පණිවිඩ හරහා සිය මිතුරු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි. මෙයින් සුලු මොහොතකට පසු වෛද්‍ය වෙන්ලියැං විසින් යවනු ලබන මෙම පණිවුඩ චීන සමාජ මාධ්‍ය හරහා ද ප්‍රසිද්ධ වේ.


2020 ජනවාරි මස 03 වැනි දා වූහාන්හි මහජන ආරක්ෂාව පිළිබඳ කාර්යංශයේ ඇති විශේෂ පොලිස් කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙස වෛද්‍ය වෙන්ලියැං හට කැඳවීමක් ලැබිණි. මෙම නියෝගය අනුව යමින් අදාළ පොලිස් කාර්යාලයේ පෙනී සිටි වෛද්‍යවරයා ඔහු සිය මිතුරු වෛද්‍යවරයන්ට යැවූ ඉහත සඳහන් කළ පණිවුඩ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පොලිස් ප්‍රශ්නකිරීම්වලට ලක්වේ. ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව අන්තර්ජාලය භාවිත කර වැරදි තොරතුරු ප්‍රචාරයකිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයාට අවවාද කෙරෙන අතර තමන් විසින් සිදුකළේ වරදක් බව පිළිගන්නා බවත් නැවත එවැනි වැරදි සිදු නොකරන බවත් සදහන් කෙරෙන පොරොන්දු පත්‍රයකට අත්සන්කිරීමට ද ඔහුට සිදුවේ. මෙම ප්‍රකාශය සිදුකිරීමෙන් අනතුරුව නැවත රෝහල් රාජකාරී සඳහා වාර්තා කරන වෛද්‍ය වෙන්ලියැං ඉහත සඳහන් කළ රෝගයටම ගොදුරුවීමෙන් අනතුරුව පෙබරවාරි 07 වනදා මරණයට පත්වේ.

2019 දෙසැම්බර් මස 30 වන දා වෛද්‍ය වෙන්ලියැං විසින් මෙම නව වෛරස රෝගය පිළිබඳ මුල්වරට පුද්ගලයන් දැනුවත්කිරිම සහ ඔබ මේ සටහන කියවන මේ මොහොත අතර බරපතල සිදුවීම් ගණනාවක් සිදුව ඇත. එයින් පළමු සහ අතිශය වැදගත්ම සිදුවීම නම් චීන බලධාරීන් විසින් ලෝකය එතෙක් හදුනාගෙන නොතිබූ වෛරස රෝගයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එරට වෘත්තිකයෙකු සතුව තිබූ නිදහස අත්තනෝමතික ලෙස අහිමිකිරීම විය. එයින් අනතුරුව අදාළ රෝගය COVID 19 රෝගය වශයෙන් නම් ලැබීමත්, වෛරසය නිසා ලෝකය පුරා රටවල් 205 ක ආසාධිතයන් 1,138,598 ක් සහ මරණ 61,141 ක් වාර්තාවීම ද පිළිවෙලින් සිදුව ඇත.

වෛද්‍ය ලී වෙන්ලියැං අද සැලකෙනුයේ COVID 19 වසංගත තත්ත්වය පිළිබඳ මුල්වරට ලෝකයට හෙළිකිරීමට උත්සාහ දැරූ වෛද්‍යවරයෙකු වශයෙනි. මෙම වෛරසය වසංගත තත්ත්වයක් බවට පත්වීමට සැලකියයුතු තරම් කාලයකට පෙරම ඒ පිළිබඳව පුලුල් අවධානයක් යොමුකරවීමට වෛද්‍ය වෙනිලැන්ග් විසින් අසාර්ථක කරන ලද උත්සාහයක් දරන ලදි. අනෙක් අතට අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සහ මහජන ආරක්ෂාව පිණිස යැයි කියාගනිමින් එම නිදහස සිමාකිරීමේ අනිටු ප්‍රතිවිපාක සම්බන්ධයෙන් මෙන්ම ව්‍යසනකාරී අවස්ථාවක මහජන විවේචන මර්දනය සඳහා දේශපාලන අධිකාරීන් විසින් ගනු ලබන විවිධ ප්‍රවේශයන් නැවත විමසා බැලීමට අවස්ථාවක් ද වෛද්‍ය ලී වෙන්ලියැං විසින් සලසා දේ.



කොරෝනා වසංගතය, ආණ්ඩුව සහ විවේචන

කොරෝනා රෝගය පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දැක්විය යුතුයැයි මතයක් අද වනවිට සමාජගතව ඇත. මේ සම්බන්ධයෙන් කිසිදු හෝ සැකයක් නොමැත. ලෝක ඉතිහාසය පුරාම තමන් විසින් මුහුණ දුන් නොයෙක් ව්‍යසනයන් මිනිස් වර්ගයා විසින් ජයග්‍රහණය කරනු ලැබුවේ සිය සමාජ-දේශපාලන විෂමතා ඉවත දමා එකාවන්ව එවැනි ව්‍යසනයන්ට මුහුණ දීමෙනි. එහෙත් මේ අවස්ථාවේ රජයට සහයෝගය දියයුතුයැයි ඉල්ලා සිටීමෙන් පසු ඇතැමුන් විසින් ඉදිරියට ගෙන එන ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩසටහනට විවේචනයෙන් තොරව සහයෝගය දිය යුතුය යන මතය පිළිබඳ බරපතල සැකයක් ඇත.


පළමුව සඳහන් කළ යුත්තේ විවේචන යනු ද සහයෝගය දැක්වීමේ තවත් එක් ක්‍රමයක් වන බවය. ඔබ විශාල නැවක නැගි මුහුදේ සංචාරය කරද්දි නැවේ කපිතාන්වරයාගේ නියෝග සහ නීතිරීතිවලට අවනතව කටයුතු කළ යුතු බව පැහැදිලිය. එහෙත් ඔහුගේ කාර්යයට බාධාවේයැයි සිතා හෝ කපිතාන්වරයා ලැජ්ජාවට පත්වේ යැයි සිතා හෝ අහම්බයකින් නැවේ ඇතිව තිබෙන සිදුර ගැන ඔහුට නොකියා සිටින්නේ මන්ද? එවැන්නකින් කපිතාන්වරයාටත් ඔබටත් නැවේ සිටින සෙසු සියල්ලන්ටමත් ඔබ විසින් සිදුකරනුයේ බරපතල අනර්ථයකි. අනෙක් අතට මෙවැනි අතිශය සංකීර්ණ, නිශ්චිත වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර නොමැති ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ කවර හෝ අඩුපාඩුවකට හෝ ඉඩ නොතබා රට පාලනයකිරීමට මෙතෙක් කිසිදු හෝ රටක් සමත්ව නොමැත. ඉදිරියේදීද එවැනි රටවල් නොතිබෙනු ඇත. ශ්‍රී ලංකාව වැනි ඌන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත තුන්වැනි ලෝකයේ රටකට කිසිසේත් එවැන්නක් කළ නොහැකිවනු ඇත. එබැවින් මේ මොහොතේ විවේචන බලාපොරොත්තු විය යුතුය. විවේචනයන්ට නිසි පරිදි විවෘතවීම තුළ අර්බුදය පාලනයකිරීමට තමන් විසින් ගනු ලැබූ පිළියම්හි අඩුපාඩු හදුනාගැනීමට මෙන්ම එවැනි පිළියම් අතිශය පුලුල් ලෙස මහජන සාකච්ඡාවන්ට ලක්කිරීමේ අවස්ථාවද ආණ්ඩුවකට හිමිවේ. එනයින් ද ගත් කල මහජනතාවගේ සහ සංවිධිත කණ්ඩායම්හි විවේචන යනු මේ මොහොතේ ආණ්ඩුවට තම කටයුතු සඳහා බලාපොරොත්තු විය හැකි ඉහළම සහයෝගයයි.

එහෙත් ශ්‍රී ලංකාව තුළ අද අප විසින් දකිනුයේ විවේචන ප්‍රතික්ෂේප කිරිමට සහ මහජන අවධානය බරපතල ලෙස වෙනස්කිරීමේ උත්සාහයන්ය. මේ උත්සාහයන්හි පළමු අර්ධය වශයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් මීට දින කිහිපයකට ඉහතදී නිකුත් කරන ලද විශේෂ නියෝගය දැක්විය හැක. එහි අනෙක් අර්ධය නම් රටේ සුලුතර ජන කණ්ඩායම් ඉලක්ක කරගනිමින් දැන් අලුතෙන් ඇතිකර තිබෙන එදිරිවාදීත්වයයි.


වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය සහ අදහස් ප්‍රකාශකිරීමේ නිදහස

වැඩබලන පොලිස්පති C.D. වික්‍රමරත්න මහතා විසින් පසුගිය අප්‍රේල් පළමුවැනිදා රහස් පොලීසියට සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුනට නිකුත් කර ඇති නියෝගය මෙරට අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සම්බන්ධයෙන් ගත්කල අතිශය නිශේධනීය වේ. රජයේ නිලධාරීන් ද අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්හි නිරතවන්නන්ද කොරෝනා වසංගත තත්ත්වය රට තුල පැතිරිම පාලනයකිරීමට දැඩිසේ වෙහෙසවී ක්‍රියාකාරන බව අදාළ නියෝගයේ දැක්වේ. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලියේ ඇති ‘සුලු අඩුපාඩු’ විවේචනයකිරීමට ඇතැමුන් කටයුතු කර තිබෙන බව දක්වන වැඩබලන පොලිස්පතිවරයා එසේ හෙයින් සමාජ මාධ්‍ය හරහා රජයේ නිලධාරින් විවේචනය කරන සහ ඔවුනට බාධා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවිය යුතුයැයි නියෝග කරයි.


මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක අදහස් ප්‍රකාශකිරීමේ නිදහස අනිසි ලෙස භාවිතකිරීම හරහා මහජන ආරක්ෂාව සැලසීමේ රජයේ වගකීමට බරපතල තර්ජන එල්ලවිය හැකි බව අප විසින්ද පිළිගන්නා කාරණයකි. විශේෂයෙන් සමාජ මාධ්‍ය අත්තනෝමතික ලෙස භාවිතය ජාතීන් අතර ගැටුම් වර්ධනයකිරීමට සහ මහජන ව්‍යාකූලතා ඇතිකිරීමට හේතුවූ ආකාරය අප පසුගිය සිංහල-මුස්ලිම් ගැටුම් සමයේ මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවද පැහැදිලිවම නිරීක්ෂණය කරන ලදි. එසේ වුවද එවැනි භාවිතයන්හි වර්ධනයක් පිළිබඳ පැහැදිලි සාක්ෂි නොමැති මේ අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ ඉහත ප්‍රකාශය බරපතල ලෙස සැකයට තුඩු දේ. මෙම වසංගත තත්ත්වය අතරතුර ශ්‍රී ලංකාව මහජනතාවගේ අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමාකරන්නට කටයුතු කර ඇතැයි වැඩබලන පොලිස්පතිවරයාගේ යටකී නියෝගය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් Human Rights Watch සංවිධානය ප්‍රකාශකරනුයේ එබැවිනි.

අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සහ මහජන ආරක්ෂාව යන සංකල්ප දෙක අතර අතිශය සියුම් සම්බන්ධතාවයක් ඇති බව අප මෙහිලා නැවත අවධාරණය කර සිටින අතර චීනයේ වෛද්‍ය ලී වෙන්ලියැං හා සම්බන්ධ සිද්ධි දාමය දෙස නැවත අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටිමු. මේ එක් එක් සංකල්පය අනෙක් සංකල්පයේ ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රියාවේ යෙදවිය යුතුව ඇත. එකක් පරයා අනෙක ආරක්ෂාකිරීමට උත්සාහ දැරීම අවසන්වනු ඇත්තේ බරපතල ව්‍යසනයකිනි.


ව්‍යසනකාරී අවස්ථා සහ නිරවද්‍ය තොරතුරුවල වැදගත්භාවය

ව්‍යසනකාරී කාලයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන ආරක්ෂාව යන මේ ද්විත්වයම වඩාත් හොදින් ආරක්ෂා කර ප්‍රවර්ධනය කළ හැකි වන්නේ ඒවා පාලනයෙන් නොව වඩාත් නිවැරදි තොරතුරු සමාජගත කිරීම හරහා ය. මෙවැනි අවස්ථාවක ආණ්ඩුවක් විසින් ඉටු කළ යුතු පළමු වගකීම නම් නිරවද්‍ය නොවන හානිකර තොරතුරු සමාජගත වීමට ඇති ඉඩකඩ අහෝසිවී යන පරිදි නිවැරදි තොරතුරු සමාජය තුළ සුලබ කිරිමයි. ඩිජිටල් තාක්ෂණික යුගයක ඉහත වගකීම අන් කවරදාකටත් වඩා හොදින් ඉටුකිරීමට ආණ්ඩුවකට හැකියාව ඇති බව පැහැදිලිය. තාක්ෂණය භාවිත කර ජනතාව වෙත නිවැරදි තොරතුරු සම්ප්‍රේෂනය කිරීමේ අතිශය සාධනීය උත්සාහයන් කිහිපයක් පවතින ඛේදජනක කාලසීමාවෙහි පවා නිරීක්ෂණය කළ හැකිවිය.


මේ වර්ගයේ පළමු උත්සාහය දැකිය හැකිවූයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් පවත්වාගෙන යන වෙබ් අඩවිය තුළිනි. අන් කිසිදු රාජ්‍ය වෙබ් අඩවියක දැකිය නොහැකි ආකාරයට සිය වෙබ් අඩවිය තුළ COVID 19 වසංගතය පිළිබඳ දේශීය දත්ත සපයන යෙදවුම් ක්‍රමලේඛණ අතුරුමුහුණතක් (Application Programming Interface – API) ස්ථාපනයකිරීමට තරම් අදාළ කාර්යාංශයේ බලධාරීන් බුද්ධිමත් සහ නව්‍යවී ඇත. යෙදවුම් ක්‍රමලේඛණ අතුරුමුහුණතක් හෙවත් API පහසුකමක් භාවිතකිරීම හරහා වෙබ් අඩවි ආශ්‍රිත ක්‍රමලේඛණ ශිල්පීන් හට යම් දත්ත සමූහයකට ප්‍රවේශවීමටත් එම දත්ත වඩාත් නිර්මාණශීළී ලෙස වෙනත් විවිධ නව මාධ්‍ය හරහා ඉදිරිපත්කිරීමටත් අවස්ථාව ලැබේ. මෙහිදී අදාළ දත්ත ආකර්ෂණීය ක්‍රම හරහා යළි ඉදිරිපත්කිරීමට ඉඩ ලැබෙනවා විනා දත්ත සමූහයේ ඇති දත්ත වෙනස්කිරීමට අවස්ථාවක් එම ශිල්පින් හට නොලැබෙන බැවින් අදාළ තොරතුරුවල නිරවද්‍යතාවය මුලුමනින්ම ආරක්ෂාවේ. අනෙක් අතට මුල් දත්ත සමූහයේ ඇති තොරතුරු යාවත්කාලීනවන සැනින්ම ඉහතකී යෙදවුම් ක්‍රමලේඛණ අතුරුමුහුණත භාවිතකර දත්ත ඉදිරිපත්කරන නව මාධ්‍ය තුළ ඇති දත්තද ස්වයංක්‍රීයව යාවත්කාලීන වන බැවින් අදාළ තොරතුරුවල කාලීන බව පිළිබඳවද ගැටලු ඇති නොවේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් ලබාදි ඇති ක්‍රමලේඛ අතුරුමුහුණත භාවිතය හරහා COVID 19 වසංගතය පිළිබඳ තොරතුරු වඩාත් ආකාර්ෂණීය ලෙස සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ගෙන් ඉදිරිපත් කළ බ්ලොග් සහ වෙනත් වෙබ් අඩවි 23 ක සංඛ්‍යාවක් පසුගිය සති දෙකක කාලය තුළ නිරීක්ෂණය කළ හැකිවිය. ඊට අමතරව මෙම ක්‍රමලේඛ අතුරුමුහුණත භාවිතය හරහා නිර්මාණය වූ ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් දුරකථන සඳහා වන යෙදවුමක් ද ස්වයංක්‍රීය ටිවිටර් ගිනුම් (Twitter bots) තුනක් ද මේ මොහෙතේ ක්‍රියාත්මකය. මේ සියල්ල මෙම ව්‍යසනකාරී අවස්ථාවේ සිය දැනුම භාවිතකර සමාජයට යම් සේවාවක් ඉටුකිරීමේ අභිමතයෙන් පෙළුණු තනි පුද්ගලයන්ගේ උත්සාහයන්හි ප්‍රතිඵලයන්ය. මෙවැනි තවත් නිදසුනක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) ශ්‍රී ලංකා කාර්යාලය විසින් පුද්ගලික මෘදුකංග සංවර්ධන සමාගමක් හා එක්ව නිර්මාණය කර ඇති වඩාත් පුලුල් තාක්ෂණික යෙදවුමක් දැක්විය හැක. එය ෆේස්බුක් යෙදවුම හා සම්බන්ධිත මැසෙන්ජර් පණිවුඩ සේවාව හරහා ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය සංවාද යෙදවුමකි (Messenger bot). වසංගතය පිළිබඳ දේශීය සහ ගෝලීය සංඛ්‍යා දත්ත සැපයීම, පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂාව පිලිබඳ උපදෙස් ලබාදීම, ප්‍රවාහන මාධ්‍ය භාවිතයේදී වෛරසයෙන් ආරක්ෂාවීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සහ වසංගතය සම්බන්ධයෙන් මහජන ගැටලුවලට උපදෙස් ලබාදීම යන සියලුම කාර්යයන් භාවිතයට අතිශය පහසු ක්‍රියාවලියක් හරහා ස්වයංක්‍රීයව සිදුකෙරේ. මේ සියල්ල හැරුණුකොට අපගේ අවධානයට ලක් නොවූ නමුත් වෙනත් මෙවැනි අතිශය සාධනීය ක්‍රියාමාර්ගයන් ගණනාවක් වුව පැවතිය හැක.


මේ සියල්ල හරහා ප්‍රකට වනුයේ අර්බුදකාරී සමයක වුව අදහස් ප්‍රකාශකිරීමේ නිදහස වඩාත් සාධනීය සහ ප්‍රගතිශීලී එකක් කරනු පිණිස තොරතුරු සුලබකිරීමේ අවශ්‍යතාවය ඉටුකිරීම යනු එතරම් සංකීර්ණ නොවන උපක්‍රම හරහා පහසුවෙන් එළැඹිය හැකි කඩඉමක් වන බව නොවේද? එනයින් අප නැවතත් එළැඹෙනුයේ මෙවැනි අවස්ථාවක රටේ අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමාකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගනු ලැබිය හැකි අර්ථවිරහිත උත්සාහය සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාවය වෙතය.

කොරෝනා වසංගතය සහ වාර්ගික එදිරිවාදීතා

කොරෝනා වසංගතය හා සමගාමීව මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් දැන් ඇතිව තිබෙන සමාජ එදිරිවාදීත්වය අපට සිහිපත් කරනුයේ ශ්‍රී ලංකාව තුළ එල්ටීටීය සමග සන්නද්ධ ගැටුම් පැවති සමය තුළ මෙරට සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉදිරිපත්වූ දේශපාලන අදහස්ය.


ඒ සමය තුළ දේශපාලකයන් අපට කියා සිටියේ ශ්‍රී ලංකාවේ දුර්වල යටිතල පහසුකම් සහ ප්‍රගතියකින් තොර සංවර්ධනය යනු හුදෙක්ම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ප්‍රතිඵලයක් බවය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පැහැදිලි සංවර්ධනයක් ඇතිකිරීම සම්බන්ධයෙන් දේශපාලඥයන් දැක්වූ අසමත්භාවය ත්‍රස්තවාදය නමැති සතුරා මත පටවා තිබිනි. එනයින් එකල අපට තිබුනේ දේශපාලකයන්ගේ අසමත්භාවය පිළිබඳ විවේචනයක් නොව දෙමළ සතුරා පිළිබඳ එදිරිවාදීකමකි. 2009 මැයි මාසයේදී දෙමළ සතුරා අවසන් කර දැමිමෙන් අනතුරුව සමාජයට මුස්ලිම් සතුරෙකු නිර්මාණය කර දෙන ලදි. එබැවින් මේ මොහොතේ පවතින ඕනෑම විවේචනයක් ආපසු හැරවීමේ හොඳම මාර්ගය නම් එම විවේචන මුස්ලිම් සතුරා වෙත හැරවිමයි. ශ්‍රී ලංකාව මහ මැතිවරණය වෙත යොමුවෙමින් තිබෙන මෙවැනි අවස්ථාවක මෙකී හැරවීම දේශපාලනික වශයෙන් කොතරම් වාසි සහගතදැයි කල්පනා කර බැලීම එතරම් අපහසු නොවනු ඇත. කොරෝනා රෝගය සහ මෙරට මුස්ලිම් ජන කණ්ඩායම් සම්බන්ධයෙන් දැන් ඇතිව තිබෙන සමාජ එදිරිවාදීත්වය තේරුම්ගත යුත්තේ ඉහත පසුබිමෙනි.

කොරෝනා රෝගය ආසාදිත මුස්ලිම් රෝගීන්ගේ මරණ සම්බන්ධයෙන් ඉස්ලාම් ධර්මයේ කියැවෙන පිළිවෙලට කටයුතු කිරීමට ඉල්ලා සිටීම අපට තේරුම්ගත හැකිවිය යුතුය. මිනිසෙකු සිය ජීවිත කාලය පුරාම විශ්වාස කළ ආගමික සංකල්ප මත ඔහුගේ මරන මංචකයේ කටයුතු සිදුවිය යුතු යැයි කියා සිටීම අදාළ පුද්ගලයන්ගේ විශ්වාසය පිළිබඳ කාරණයකි. අනෙක් අතට වෛරස් රෝගයක් ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරිම පිළිබඳ, විශේෂයෙන් මුල් ආසාදිත පුද්ගලයා මියගිය අවස්ථාවකදී පවා ඔහු වාහකයෙකු විය හැකිය යන්න පැහැදිලි ජීව විද්‍යාත්මක පර්යේෂණ හරහා ඔප්පුවී තිබීම ද බරපතල කාරණයකි. ඇත්ත වශයෙන්ම මේ දෙක අතරින් වඩාත්ම බරපතල තත්ත්වයේ ලා සැලකිය යුතු කාරණය දෙවැන්නයි. පොදු යහපත අතින් ගත්කල ද එහි අදාළත්වය පළමුවැන්නට වඩා බොහෝ සෙයින් වැඩිය. මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවලට පැහැදිලි මාර්ගෝපදේශ සපයා දී තිබිනි. එබැවින් එය හුදෙක්ම පරිපාලනමය තීරණ හා බැදුණු තත්ත්වයක් වූ අතර පොදු යහපත පිළිබද අවධානය දැක්වීමෙන් වඩාත් පහසුවෙන් විසඳා ගත හැකිව තිබුණි. නමුත් දැන් මෙම ගැටලුව දේශපාලනීකරණය වී ඇති අතර විවේචන පසෙකට දමා වාර්ගික එදිරිවාදිකම් පෙරට ගැනීමට එය සමත්ව ඇත.

ජන කණ්ඩායමක ආගමික අයිතිවාසිකම් දේශපාලන වශයෙන් භාවිත නොකිරීමට තරම් ශිෂ්ඨසම්පන්න වූ රටවල් මෙවැනි සිද්ධින්වලදි අනුගමනය කළ පිළිවෙත දෙස බලා හෝ ශ්‍රී ලාංකිකයන් විසින් පාඩම් උගතයුතුව ඇත. නිදසුනක් වශයෙන් මීට දින කිහිපයකට පෙර මියගිය ඉස්මයිල් මොහොමඞ් අබ්දුල්වහාම් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා දැක්විය හැක. වයස අවුරුදු 13 ක් වූ ඉස්මයිල්ගේ මරණය බ්‍රිතාන්‍ය තුළ COVOID 19 වසංගතය හේතුවෙන් මෙතෙක් සිදුව ඇති ලාබාලතම මරණයයි. අප්‍රේල් 03 වැනිදා ඉස්මයිල්ගේ සිරුර දකුනු ලන්ඩනයේ මුස්ලිම් සොහොන් බිමක භූමදානය කෙරුණි. මෙම අවස්ථාවට පවුලේ ඥාතීන් කිසිවෙකුටත් සහභාගීවීමට ඉඩදි නොතිබූ නමුත් ඉස්මයිල්ගේ දේහය වෙනුවෙන් සිදුකෙරුණු මුස්ලිම් ආගමික වතාවත් ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා දැකගැනීමට තවමත් නිරෝධායනය වෙමින් සිටින පවුලේ ඥාතීන්ට ඉඩ සලසා දී තිබිනි.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩසටහනෙහි ඇති ප්‍රධානතම දුර්වලතාවය මුස්ලිම් ජන කණ්ඩායම් ස්වයං නිරෝධායනයට හෝ රෝගය පාලනයකිරීමේ සෙසු සමාජ වගකීම් සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියා නොකිරීම යැයි මතයක් සමාජගත වෙමින් තිබීමය. ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඉහළට ඔසවාගෙන කොරෝනා රෝගයෙන් ආරක්ෂාකරන්නට උත්සාහ දරද්දි මුස්ලිම් ජාතිකයෙකු කොරෝනා වෛරසය කර තබාගෙන එයට ජනාධිපතිවරයා විසින් ඔසවාගෙන සිටින ශ්‍රී ලංකාවට ලඟාවීමට උපකාර කරනු දැක්වෙන කාටූනයක් සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබේ. සමස්ත මහනුවර නගරයම කොරෝනා වසංගතයට නිරාවරණයකිරීමේ චෝදනාව සමාජ මාධ්‍ය හරහා එක් මුස්ලිම් ජාතිකයෙකුට එල්ලවන අතර වාර්තාවන රෝගීන් සහ මරණ මුස්ලිම් ජාතිකයන් වන විට ඒ බව විශේෂයෙන් සඳහන්කිරීමේ උත්සාහයන්ද අඛණ්ඩව දැකිය හැක. ඊයේ උදෑසන සිට ෆේස්බුක් මැසෙන්ජර් සේවා හරහා හුවමාරු වන හඩ පණිවුඩයකින් කියා මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මගහරින ලෙසත් කොරෝනා ආසාධිත මුස්ලිම් තරුණියන් සිංහල තරුණියන් හා සම්බන්ධකරවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවත් පවසා ඇත.

මේවා පැහැදිලිවම අවශේෂ සිදුවීම් අතිශයෝක්තියෙන් යුතුව දක්වා වාර්ගික එදිරිවාදිකම් මතුකරලීමේ උත්සාහයන්ය. අනෙක් අතට මෙම සංසිද්ධීන් උලුප්පා දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයන් තුළ මුස්ලිම් ප්‍රජාව මේ මොහොතේ වෛරසය පාලනයට රජයට සහ සෞඛ්‍ය අංශවලට ලබාදෙන මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහයෝගය මුලුමනින්ම පාහේ අවතක්සේරු කර ඇත. ඒ අතරම, ඇතැම් මුස්ලිම් දේශපාලකයන් සිදුකරන ප්‍රකාශ මෙම ව්‍යාකූලතා තවදුරටත් වැඩිකිරීමට හේතුවක් වනු ද දැකිය හැක.

ඒ අනුව දැන් රට තුළ ඇතිව තිබෙන තත්ත්වය පැහැදිලිවම කියා පානුයේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අවිනිශ්චිතතාවය දේශපාලනිකව නිර්මාණය කළ සතුරෙකු ගිණුමට බැරකිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. ඒ වසංගතය පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විවේචන නොඉවසමින් ක්‍රියාත්මක වන අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමාකිරීමේ නැඹුරුවට අතිරේකවය. මෙකී අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමාකිරිම සහ වාර්ගික එදිරිවාදීත්වයන් මේ මොහොතේ කිසිසේත්ම රටට ඵලදායක නොවනු ඇති අතර ඒවා විසින් වඩාත් භයානක ප්‍රතිඵල අප හමුවට ගෙන එනු ඇත. පළමුව, කොරෝනා පලනය සම්බන්ධයෙන් රටක් වශයෙන් වන අපගේ උත්සාහයන්ට එයින් බරපතල ලෙස හානිවනු ඇත. එසේම ජාතික ව්‍යසන අවස්ථාවක අත්‍යන්තයෙන්ම ක්‍රියාත්මක විය යුතු රටේ පොදු සමගිය කඩාදමන්නට ද එය හේතුවනු ඇත. අනෙක් අතට මෙම තත්ත්වය වෛරසය පැතිරයාම වැලැක්වීමට මහජනයා විසින් ස්වේච්ඡාවෙන් අනුගමනය කළ යුතු රීතීන් නොතකා හැර කටයුතු කිරීමට මුස්ලිම් ජනතාව පෙළඹවනවා ද ඇත. මේ සියල්ල අතරින් වඩාත් භයානකම ප්‍රතිඵලය ලෙස අසල්වැසි මුස්ලිම් මිනිසෙකු හා ගැටුමකට ඔබ යොමුවන අතරවාරයේ ඔබේ පාලකයන්ට ඔවුනට ඇවැසි ඕනෑම දෙයක් කිරීමට හැකි වනු ඇත.


මෙම  ලිපිය කොරෝනා අස්සේ පැතිරෙන දේශපාලන වෛරස් නමින්  සමබිම වෙබ් අඩවියට මා විසින් ලියන ලද ලිපිය නැවත පළකිරීමකි.

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ගැඹුර තේරුම් ගනිමු.



ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දිග පලල ගැන නොව ගැඹුර ගැන කියවෙන අතිශයින්ම  ඓතිහාසික දවසක් අවසන් වී ඇත. 2015 ජනවාරි මස 08 වන දින මුලු දෙන ලදුව 2018 පළාත් පාලන මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය නිකුත්වීමෙන් කූඨප්‍රාප්තිය සටහන් කළ දේශපාලන සංසිද්ධි මාලාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන අතිශය පැහැදිලි කියවීමකට අපට ඉඩ සලසා දේ. 

2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පත්වීම තේරුම් ගත යුත්තේ සහ ඉතාම හොඳින් තේරුම් ගත හැක්කේ 2016 වසරේ අප්‍රේල් මාසයේදී පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා බවට පත්වීමත් ඒ හා බැඳුණු මෙරට ජන විඥානයේ ආස්ථානයන් කිහිපයකිනුත්ය. 

ශ්‍රී ලංකා පොලීසිය නමැති අතිශය දූෂිත සහ දේශපාලන බලය මත හැසිරවෙන ආයතනයෙන් පීඩාවට පත්ව සිටි මෙරට සාමාන්‍ය ජනතාව වනාහී පොලිස් සේවාවක පැවතිය යුතු ස්වාධීනත්වය, පාරදෘශ්‍යතාවය හෝ වගවීමේ ගුණය වැනි කිසි‍වක් හෝ පිළිබඳ  අවබෝධයක් නැති පුද්ගලයන්ය, නැතහොත් ඒවා පිළිබද විශේෂ ඉගෙනීමක් සහ විශ්වාසයක් නොමැතිවූවන්ය. දැන් මේ පොලීසිය ස්වාධීනකර ගුණාත්මක තත්ත්වයෙන් යුතු ආයතනයක් බවට එය පත්කිරීමට කල්පනා කළ මෙරට බහුතරයකගේ තේරීම වූයේ පූජිත ජයසුන්දර නමැති කාර්යක්ෂම, ස්වාධීන, හා වෙනස් පොලිස් නිලධාරියා පොලිස්පති පුටුවේ වාඩිකරවීමේ කම්මැලි ක්‍රමය හරහා පොලිස් සේවය වෙනස්වනු ඇතැයි බලාපොරොත්තුවීමය. ඒ අර්ථයෙන් ලංකාවේ පොලිස් සේවයේ දූෂිත අකාර්යක්ෂම පොලිස්කාරයන් පමණක් දකින ජනතාවට පූජිත ජයසුන්දර මැජික් එකක් විය. ඒ අනුව ෆේස්බුක් පේජ්කාරයන් පූජිත ජයසුන්දරගේ ෆොටෝ දමා පොලිස් සේවයේ වෙනසක් උදෙසා ව්‍යවස්ථාදායක සභාව විසින් පූජිත ජයසුන්දර පොලිස්පති කරවිය යුතුයැයි කැම්පේන් කරන්නට විය. මෙරට බොහෝ ජනමාධ්‍යද මේ හා සමාන කැම්පේන්වල කොටස් කාරයන් වූ අතර රථවාහන පොලීසියේ පොලිස් කොස්තාපල්වරු පගා ගහන්නේදැයි බැලීමට කැළණිය පාළම උඩ පූජිත සැගවී බලා සිටි ආකාරය ගැන වීර කතා පත්තරවලත් සමාජ මාධ්‍යවලත් වේගෙයෙන් පැතිරෙන්නට විය. 

ලංකාවේ ජනතාවගේ මේ ෆැන්ටසිය අවසන් වූයේ පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් අවුරුද්දක් ගත වෙන කාලයේදී ඔහු  විදුලි සෝපානයකදී කවුදෝ මිනිසෙකුට පහර දෙන වීඩියෝවක් සාමාජ මාධ්‍ය තුළ පැතිරෙන්නට වීමෙනි. තමන් විශ්වාස කළ මිනිසා තමන් බලාපොරොත්තුවූ චරිතයම නොවන වග මිනිසුන් එතැනදී තේරුම්ගන්නා ලදි. දැන් පූජිත තවදුරටත් මැජික් එකක් නොවන අතර ඔහුව පහසුවෙන් රීප්ලේස් වීමේ ඉඩක් නිර්මාණයව ඇත. 

මෛත්‍රීපාල සිරිසේන සංසිද්ධියද මේ ආකාරමය. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වීම යනු මෙරට දේශපාලනයේ කලෙකින් දක්නට නොලැබුනු මැජික් එකකි. එය ලංකා දේශපාලනයේ බල අරගලයේ ප්‍රභූන් කිහිප දෙනෙක් විසින් සැලසුම් කර මහජනතාවට ඉදිරිපත් කරන ලද අතර, ලංකාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ වනවිට දශකයක පමණ කාලයක් කිසිඳු පැහැදිලි ජයග්‍රහණයකින් තොර සටනක නිරතව සිටි සිවිල් සමාජය එය තම අවස්ථාව කරගත්තේය. පෙරකී දේශපාලන ප්‍රභූන්ටත් සිවිල් සමාජයටත් මෛත්‍රීපාල සිරිසේන නමැති මැජික් එක පහසුවෙන් ජනතාවගෙන් අනුමත කරගත හැකි සමාජයක් මෙරට තුළ ඒ වනවිට පැවතිණි. 

ඒ වනවිට පැවතිණියි කී ඒ සමාජය යනු පීඩිත එකකි. කවුරුන් කෙසේ තර්ක කළද නොකළද මහින්ද රාජපක්ෂ යනු වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම පීඩක චරිතයකි. දෙමළ ජනතාවගේ දේශපාලන උවමනාවන්හි මිලිටරි ප්‍රකාශනයන් මිලිටරි ක්‍රමයෙන්ම විසදන්නට ගොස් ඔහු දෙමළ ජනතාව පීඩාවට පත්කර තිබිනි. අසාර්ථක සංවර්ධන ක්‍රමවලින්ද ඉහවහා ගිය සොරාකෑම්වලින්ද ඔහු මෙරට මුදල් උත්පාදකයන් පීඩාවට පත්කර තිබිණි. ශ්‍රී ලාංකිකයන් බෙදා වෙන්කර පාලනයකිරීමේ උත්සාහයන්ගෙන්ද සිංහල බෞද්ධ නායකයාවීමෙන් සිය සුජාතභාවය ආරක්ෂාකරගැනීමේ උවමනාවෙන්ද කටයුතු කරමින් ඔහු මෙරට වාර්ගික සහ ආගමික සුලුතරය පීඩාවට පත්කරමින් සිටියහ. ඥාතී සංග්‍රහයෙන්ද තමන් යටතේ සිටි බල්ලන් බැද දැමීමට කටයුතු නොකරමින් ඔවුන් පිනවීමට කටයුතුකිරීමෙන්ද ඔහු මෙරට කවර හෝ තරමේ හොද සිහියකින් සිටි හුදී මිනිසුන්ද පීඩාවට පත්කර තිබිනි. 

මේ පීඩිත ජන කොටස් විසින් මෛත්‍රීපාල සිරිසේන සංසිද්ධිය ඉත සිතින් සමාජගත කරන ලදි. එය ජයග්‍රහණය කරවන ලදි. මෛත්‍රීපාල සිරිසේනද තමන්ම සිතා බලා හෝ වෙනත් මෙහෙයවීමකින් හෝ ශ්‍රී ලංකාව එතෙක් දැක නොතිබූ ප්‍රගතිශීලී වෙනස්කම් කිහිපයක් නිර්මාණය කරමින් මිනිසුන්ගේ ෆැන්ටසිය පෝෂණය කර දෙන ලදි. නමුත් පූජිත ජයසුන්දර මැජික් එක අවසන් වූවාක් සේම, සියලු හොද දේවල් යම් කලෙක අවසානයකට පැමිණෙන්නා සේම ඔහු වටා ඇතිවූ ෆැන්ටසිය තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙන්ම හැකියාවද මෛත්‍රීපාල සිරිසේනට අහිමිවිය. තමන්ගේ මැජික් එක නැවත වතාවක් කැඩුණු බව මිනිසුන් හොරු ඇල්ලීමේ නාට්‍ය එකින් එක අසාර්ථ වෙද්දී තේරුම්ගන්නට ඇත, විමල් වීරවංශ හෝ මහින්දානන්ද අලුත්ගම වැන්නන් නිරුපදිතව සිටියදී ඩිල්රුක්ෂි ඩයස්ට ගෙදර යන්නට සිදුවෙද්දී තේරුම්ගන්නට ඇත, නැතහොත් බැදුම්කර සිද්ධිය අතරතුර තේරුම්ගන්නට ඇත. 

පීඩකයන්ගේ පීඩනය මැඩ පැවැත්වීමේ ක්‍රියාකාරී නැගිටීම් සහ මතවාදී වෙනස්කම් ඇතිකරගැනීම් සදහා ලෝකය තුළ නිදසුන් පවතින්නේ යම් පමණකින්ද එපමණ ප්‍රමාණයක් තමන් වෙනස් නොවී සිටිමින් වෙන වෙන ගේම් හරහා පීඩකයන්ගේ පීඩනය මැඩ පැවැත්වීමට ජනතාව කම්මැලි ට්‍රයි එකක් දීමේ නිදසුන්ද ලෝකය තුළ ඇත. ඉරාකයේ පීඩක සදාම් හුසේන්ගේ පාලනය අවසන්කිරීමට, නැතහොත් ලිබියාවේ ගාඩාෆි පාලනය අවසන්කිරීමට පැමිණෙන ඇමරිකානු හමුදා සාදරයෙන් පිළිගන්නා ජනතාව ඒ ඒ රටවල සිටියේය. ආර්ථික අභිවෘද්ධිය, මහජන මුදල් කාර්යක්ෂමව යොදවා සිදුකරන ඵලදායී සංවර්ධන ව්‍යාපෘති, සිය දරුවන්දිට යුණු අධ්‍යාපන ක්‍රමයක් ආදිය ලංකාවේ මිනිස්සුන්ට අවශ්‍යය. එහෙත් රටක් තුළ ඒවා ගොඩනැංවිය හැක්කේ ව්‍යවස්ථානුකූලවාදය, නීතියේ ආධිපත්‍ය, හෝ දේශපාලනයේ පුලුල් සහභාගීත්වය ඇතිකිරීමෙන්ය, තමන් මතවාදීව වෙනස්වීමෙන්ය යන දේවල් තේරුම්ගැනීමට මෝරපු මිනිස්සු ලංකාවේ තවම මදිය. බහුතරයකට ඒවා බර වචනය. දිගු කලක් අල්ලාගෙන සිටීමට අමාරුය. ඒ නිසාම ඉරාකයේත් ලිබියාවේත් මිනිසුන් තරමටම ලංකාවේ මිනිසුන්ටද අලුත් මැජික් එක ඉක්මනටම එපා විය. තම අලුත් පෙම්වතිය යම් යම් වැරදි කරද්දි කලින් එක්කෙනා නම් එහෙම කළේ නෑනේ දෙයියනේ යැයි සිතන තරුණ පෙම්වතෙකු පරිද්දෙන්ම මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනතාවට නැවත මතක් වෙන්නට විය. 

මහින්ද රාජපක්ෂද එයටම හරියන මිනිසෙකි. මෛත්‍රීපාල සිරිසේනට හෝ රනිල් වික්‍රමසිංහට යළි තමන් වටා මිනිසුන් එක් කරගන්නවාට වඩා පහසුවෙන් තමන් වටා මිනිස්සු එක් කරගැනිමට මහින්දට අදටත් හැකියාව ඇත. ඔහු දුටුගැමුණු වැනි වංශ කතාවල පමණක් කියවෙන නායකයන්ගෙන් පසු සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය හොඳටම උඩට එසවූ නායකයාය. ඔහු ලංකා ඉතිහාසයේ හොදම Public Relation එක නඩත්තු කළ ජනාධිපතිවරයාය. ලංකා ඉතිහාසයේ පහළවූ අතිශය දූෂිතම ජනාධිපතිවරයා වුවද මහින්ද රාජපක්ෂ කිසිදා ජනාධිපති කොමිසමක් දමා ඒ වැරදි හෙළි කරන්නට තරම් "ගොන් නොවිනි". ලංකාවේ ඉතිහාසයේ පහළවූ අතිශය දූෂිතම මහජන නියෝජිතයන් රොත්තක්ම තමා යටතේ තබාගෙන ෆයිල් ද හංගා ඔවුන් ආරක්ෂා කළ ජනාධිපතිවරයා වුවද විපක්ෂයට ඒවා අල්ලාගෙන ඩෙගා නටන්නට ඉඩ තැබීමේ "වරද" මහින්ද විසින් කිසිදා සිදු නොකළහ. තමන්ට ලැබුණු බලයෙන් තමන්ගේ පුතුන්ද ගෙදර හාමිනේද මල්ලිලාද බෑණාවරුන්ද වරප්‍රසාද භුක්ති විඳිද්දි යුද්ධය ඉවර කළ සිංහල බෙද්ධ නායකයා ලෙස පෙනී සිටීමෙන් ඒවා සෙට්ල් කරගැනීමට මහින්ද පුදුම දක්ෂයෙක් විය. ඔහු නිසා ගෝඨාභය, විමල්, බැසිල්, පවිත්‍රා, වාසුදේව සහ ගම්මන්පිල වැනි අටෝරාශියක් සෙසු මිනිසුන්ගේ දේශපාලන පැවැත්ම තහවුරැව ඇත. මේ සටහන ලියන මගේ ගමෙන් ඡන්දයට තරග කළ අතිශය උගත් දිගු කලක් ගමේ පොදු වැඩවලට මූලිකත්වය ගත් මිනිසෙකු පරදවා පළාත් පාලන මැතිවරණය දිනන්නට තග් ලයිෆ් හිස්ටරි එකක් ඇති නූගත් පුද්ගලයෙකුට හැකියාව දෙන්නට මහින්දට ශක්තිය තිබිණි. ඕනෑම කසිප්පුකාරයෙකුට, පල් සොරෙකුට හෝ ස්ත්‍රී දූෂකයෙකුට ලංකාවේ ඕනෑම තැනෙක මැතිවරණයක් දිනාගැනීමේ ඉඩ සැලසීමට මහින්දගේ ෆොටෝ එකක් දමා තාප්පයක අලවන ෆෝස්ටරයකට හැකියාව ඇත. ලංකාවේ නොමේරූ දේශපාලන සත්ත්වයන්ට ඇවැසි දේ දෙන්නට මහින්ද දැන සිටියේය. 

මේ වනවිට අවසන්ව ඇති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ලංකාවේ අනාගත දේශපාලන දිශානතිය තීරණය කරනු නිසැකය. එහි අවසාන ප්‍රතිඵලය කියවිය යුත්තේ මෛත්‍රීපාලගේ රනිල්ගේ අසමත්වීම් නිසා, තමන් ගෙන ආ මැජික් එක තවදුරටත් නඩත්තු කරගත නොහැකිව මහජනතාව තමන්ගෙන් ඉවතට තල්ලු කළ නායකයන් නිසා මහින්ද ලැබූ ජයග්‍රහණයක් වශයෙනි. දැන් සිදුවීම් සිදුවෙන වේගය හා බැලූ කළ බොහෝ විට ඊයේ පැවති පළාත් පාලන මැතිවරණය අවසන්වනු ඇත්තේ පවතින ආණ්ඩුව විසින් සිදුකළ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ කිහිපය 2020 වර්ෂය හෝ ඒ අවට කාලය වනවිට ආපසු හැරවීමෙනි. එය මහින්ද අතින් හෝ ගෝඨාභය අතින් හෝ ඒ කල්ලියේ වෙනත් කෙනෙකු අතින් සිදුවනු ඇත. 

එහිලා වඩාත්ම ඛේදාන්තය තිබෙනුයේ ඔබත් මමත් අයත් වන පොදු මහජනතාව තුළය. ශිෂ්ඨාචාරයක පැහැදිලිම ලකුණ වන දියුණු මිනිසුන් ලංකාව තුළ දකින්නට තවත් කාලයක් අපට ගතවෙනු ඇත. දේශපාලන වහල් බව වෙනුවට නිරීක්ෂණ, මතවාදී ගැටීම් හෝ  සංවාදයන් හරහා සිතුවිලි නිදහස් කරගත් දේශපාලනය ක්‍රමානුකූලව අවබෝධ කරගත් මිනිසුන් බහුතරය වන ජාතියක් බවට අප පත්වීම තවත් දිග්ගැස්සෙනු ඇත. 

කඳු මුදුනක සිහින තුනක්



බොහොම ඈත කාලයක, ඒ කියන්නේ අවුරුදු 2000 ගනනක් තරම් ඈත කාලයක එක්තරා කදුකරයක පුංචි ගස් තුනක් අතු ඇදෙමින් දලුළමින් වැඩෙමින් තිබුණා. මෙහෙම වැඩෙද්දි දවසක් මේ ගස් තුන අතරේ  එයාලා ලොකු වෙලා වෙන්න කැමති කවුද? එයාලාගේ ජීවිතවල සිහින මොනවද කියන එක ගැන කතා බහක් ඇතිවුණා. 

පළමු ගහ මෙන්න මෙහෙම තමන්ගේ සිහිනය ගැන කතාකරා. මට ආසයි ලොකුවෙලා ගොඩාක් වටිනා රන් ආභරණ මුතු මැණික් වගේ දේවල් ආරක්ෂාවට තියලා තියෙන Treasure box එකක් වෙන්න. මම එතකොට ලෝකේ වටිනාම දේවල් ආරක්ෂා කරන කෙනෙක් වේවි. අනේ මට එහෙම වෙන්න බැරි වුනොත් නම් මගේ ජීවිතෙන් තේරුමක් නැති වේවි. මේ තමයි පළවෙන් ගස තමන්ගේ ජීවිතයේ සිහිනය ගැන කතා කළ විදිය. 

මේ කතාව අහගෙන හිටිය දෙවැනි ගස තමන්ගේ සිහින ගැන මේ විදියට කතා කරන්න පටන් ගත්තා. මම කැමතියි ලොකුවෙද්දි ගොඩාක් ශක්තිමත් උස මහත ගහක් වෙන්න. මම ශක්තිමත් නිසාම මිනිස්සු මාව ගෙනියලා විශාල, ශක්තිමත් ඒ වගේම ගොඩක් ලස්සන නැවක් හදයි. මම එහෙම ශක්තිමත් ලස්සන නැවක් වුනාම රටේ රජතුමා පවා මාත් එක්ක යාත්‍රා කරන්න ඒවි. මගේ ජීවිතේ මම දකින්න කැමති එකම දේ තමයි ඒ විදියේ ශක්තිමත් නැවක් වෙලා රජතුමා එක්ක යාත්‍රා කරන එක. 

ඔය විදියට මුල් ගස් දෙකම තමන්ගේ ජීවිතයේ සිහින ගැන කතාකරාට පස්සේ තුන්වැනි ගසත් මේ කතාබහට එකතුවුණා. මම නම් කැමති නැහැ කවුරුවත් ඇවිත් මාව කපාගෙන යනවාට. මම කැමතියි හොඳට ශක්තිමත්ව දිව්‍ය ලෝකේ ගෑවෙන තරම් උසට හැදෙන්න. ඒ වගේම මම කැමතියි මිනිස්සුන්ගෙන් ගෞරවය ලැබෙන විදියට ජීවත් වෙන්න. මිනිස්සු සදහටම මට ගරුකරයි. එහෙම ජීවිතයක් ලබනවා හැරෙන්න මට ඕන නැහැ කවුරුහරි මනුස්සයෙක් ඇවිත් මාව ලීවලට ඉරලා අරගෙන ගිහින් ඔය මොනවාහරි හදනවා දකින්න. 

මේ විදියට මේ ගස් තුන හැමදාම වගේ තමන්ගේ සිහින ගැන කතා කරා. ඒවා ඉෂ්ඨ වෙන දවසක් වෙනුවෙන් පෙර මග බලමින්, තමන්ගේ සිහින ඉක්මනින් සැබෑවෙන්න ප්‍රාර්ථනා කරමින් කාලය ගෙව්වා. ඔහොම යද්දි මේ ගස් තුන හොඳ සාරවත්ව වැඩුණු ගස් තුනක් බවට පත්වුණා. 

එක දවසක් මේ සාරවත්ව වැඩුනු ගස් තුන ලගට ගස් කපන මිනිස්සු තුන්දෙනෙක් ආවා. ලොකුවෙලා Treasure box එකක් වෙන්න ප්‍රාර්ථනා කරපු ගහ ලඟට ආපු මේ මිනිස්සුන්ගෙන් එක් අයෙක්  හොඳට ගහ පරීක්ෂා කරලා මෙන්න මෙහෙම කිව්වා. 

මේක හොද ශක්තිමත් ගහක්. මේකෙන් ඕනෑම වටින දෙයක් දාන පෙට්ටයක් වුනත් හදන්න පුලුවන්. මම මේක කපනවා. මේ ගහේ ලී මට ලේසියෙන්ම නගරයේ වඩුවෙකුට විකුණගන්න පුලුවන්. පළවෙනි ගසේ සිහිනය සැබෑ වෙන්න වගේ. ගස තමන්ගේ සැබෑ වෙන සිහිනය ගැන තවත් සිහින දකිද්දි අර ගස් කපන්නා ඒ ගස කපා ගන්නවා. 

ඒ අතරේ ලොකුවෙලා ශක්තිමත් අලංකාර නැවක් වෙන්න සිහින දකින ගස ලඟට ආපු තවත් ගස් කපන්නෙක් මෙහෙම කිව්වා. මේකත් අරටුවේ ඉදන්ම හොඳ ගහක්. මුහුදු යන්න හරියන හොද හයිය ලීය. මේක මට යාත්‍රා හදන වඩුවෙකුට ලේසියෙන්ම විකුනගන්න පුලුවන්. තමන්ගේ සිහිනය සැබෑ වෙන්න යන බව දෙවැනි ගසට මේ මොහොතේ හිතෙන්න පටන් ගත්තා. ඒ අතරේ අර ගස් කපන්නා මේ ගස කපා ගන්නවා. 

ඔය අතරේ ලොකු වෙලා දිව්‍ය ලෝකයේ පවා ගෑවෙන උස ගහක් වෙන්න ප්‍රාර්ථනා කරපු, කවදාවත් කවුරුවත් ඇවිත් තමන්ව කපාගෙන යනවාට කැමති නොවුනු තුන්වෙනි ගස ලඟට අන්තිම ගස් කපන්නා ලං වෙනවා. එහෙම ලං වෙලා ඔහු මෙහෙම කියනවා. මේ ගහෙත් කිසිම වරදක් නෑ. ඕන වැඩකට ගන්න පුලුවන් හොඳ ලීය. මම මේක කපාගන්නවා. ඕන වඩුවෙක්ට මේක ලේසියෙන් විකුණගන්න පුලුවන්. 

මේ විදියට මේ ගස් කපන්නන් තුන්දෙනා අර ගස් තුනම බිම එලාගෙන ලීවලට ඉරනවා. දැන් මොකද වෙන්නේ? අර මුල් ගස් දෙකට නම් මේක තමන්ගේ සිහිනවලට ලංවෙන අවස්ථාවක්. තමන්ගේ සිහින ඉෂ්ඨ වෙන්නයි යන්නේ කියලා එයාලාට හොදටම විශ්වාසයි. ඒත් තුන්වෙනි ගහට? ලොකුවෙලා ගොඩාක් උස ගහක් වෙන්න, පරම්පරා ගාණක මිනිස්සු තමන්ට ගෞරව කරන විදියට ජීවත් වෙන්න බලාපොරොත්තුවන ගසට සිද්ධ වුනේ ඒ හීනයට ගව් ගණනක් මෙපිටින් තමන්ගේ සිහිනය විනාශවෙන දිහා බලාගෙන ඉන්න.

මේ කතාවේ ඊලඟට අර ගස් කපන්නන් තම තමන් ඒ ඒ ගසේ ඉරාගත් ලී වඩුවන්ට විකුණනවා. හැබැයි එතැනදි වෙන්නේ මේ ගස් වගේම අපිත් නොහිතන දෙයක්. 

පළමු ගස, ඒ කියන්නේ වැඩිමහලු ගසක් වෙලා දවසක Treasure box එකක් වෙන්න ප්‍රාර්ථනා කරපු ගස මිලදී ගන්න වඩුවා ඒකෙන් හදන්නේ ගොවිපළක අශ්වයන්ට කන්න පිදුරු දාන පිදුරු ඔරුවක්. පිදුරු කියන්නේ ලෝකයේ වටිනාම වස්තුව නෙවෙයිනේ. එතකොට ලෝකයේ වටිනාම වස්තූන් ආරක්ෂා කරන්න සිහින දැකපු ගස අන්තිමට නතර වෙන්නේ නිකන්ම නිකන් පිදුරු ඔරුවක් වෙලා. තමන්ගේ ජීවිතයේ තිබුණු එකම සිහිනය ඒ විදියට විනාශ වෙලා යද්දි පළමු ගස ජීවිතය ගැන කලකිරුනා. 

දෙවැනි ගස, ඒ කියන්නේ දවසක රජතුමා පවා යාත්‍ර කරන ශක්තිමත් නැවක් වෙන්න සිහින දැකපු ගසේ ලී මිලදි ගන්නේ නැව් තටාකයක වැඩ කරන වඩුවෙක්. හැබැයි එයා මේ ලී පාවිච්චි කරලා හදන්නේ හතර පස් දෙනෙකුට විතරක් යන්න පුලුවන් පොඩි ධීවර බෝට්ටුවක් - නැවක් නෙවෙයි. ඒ වගේ ධීවර බොට්ටුවක මොකටද රජතුමා යන්නේ? තමන්ගේ මිතුරු පළමු ගසට සිදුවුණු දේම දෙවැනි ගසටත් සිදුවුණා. තමන්ගේ ජීවිතයේ තිබුණ එකම සිහිනය කවදාවත් ඉටු නොවෙන බව දැන් මේ ගස් දෙකටම පැහැදිලියි. දැන් එයාලට ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. 

තුන්වැනි ගස දැන් කාලයක ඉඳලම තමන්ගේ සිහින බලාපොරොත්තු සියල්ල අත්හැරගෙන ජීවිතේ ගැන හොඳටම කලකිරිලයි හිටියේ. මතකනේ, එයාට ඕන වුනේ මිනිස්සු හැමෝම ගරු කරන ලොකු ගහක් වෙන්න. ඒත් දැන් කවුදෝ ගස් කපන්නෙක් එයාව බිම එලලා ලීවලට ඉරලා ඉවරයි. මේ ගහෙන් ඉරන ලීත් තවත් එක වඩුවෙක් මිලදී ගන්නවා. ඒත් ඒ වඩුවා ඒ ලීවලින් මොනවත් හදන්න යන්නේ නැහැ. කොහොමටත් බලාපොරොත්තු කඩවුනු ගසට වුනේ ඒ වඩුවාගේ ලී මඩුවේ මුල්ලක දූවිලි වැදෙමින් තිබෙන ලී කඳන් දෙකක් වෙන්න. 

මේ විදියට කාලය ගතවුණා. තමන්ගේ සිහින ඉටු කරනොගත් ගස් තුන අලුත් බලාපොරොත්තු මොනවත් නැතිව ජීවිතය ගත කරමින් දවස් ගෙවමින් සිටියා. ඒ අතරේ...

පළමු ගස, ඒ කියන්නේ Treasure box එකක් වෙන්න සිහින දැකපු ගස දැන් ගොවිපළක ඉස්තාලයක පිදුරු ඔරුවක්. ඔහොම දවස් ගතවෙද්දි දවසක් රාත්‍රියේ එතැනට එනවා මැදිවියේ පිරිමියෙක් සහ කාන්තාවක්. මේ කාන්තාව අර කියපු පිරිමියාගේ බිරිඳ. ඒ වගේම ඇය තමන්ගේ පළමු දරුවා ලබන්න බලාපොරොත්තුවෙන් සිටි ගැබ්බර මවක්. ලොකුම ප්‍රශ්නය නවතින්න කරන්න හරිහමන් තැනක් නැති වුනත් මේ මොහොතේ ඇයට දරුවා බිහිවෙන්න ආසන්නව ප්‍රසව වේදනාවෙන් සිටීම. කළ හැකි අන් යමක් නොතිබුණු මේ යුවළ කල්පනා කරනවා මේ ඉස්තාලය ඇතුලේ තමන්ගේ දරුවා බිහිකරන්න. ඒ විදියට බිහිවුණු දරුවා නිදි කරවන්න සුවපහසු ඇඳක් ඉස්තාලය ඇතුලේ කොයින්ද? මේ දෙන්නා අර දරුවාව තියනවා මුලින් කියපු ගසෙන් හදපු පිදුරු ඔරුවේ. 

ටික වේලාවකින් මේ පිදුරු ඔරුවේ හිටපු පුංචි බිලින්දාව බලන්න එනවා රජවරු වගේ හොඳින් ඇඳ පැලඳගත් තේජාන්විත මිනිස්සු තුන්දෙනෙක්. අර පුංචි බිලින්දාට වැද නමස්කාර කරන මේ තුන්දෙනා බොහෝ වටිනා තෑගි බෝග පුංචි බිලින්දාට පිරිනමනවා. අර කලින් සදහන් කළ යුවළ නමින් ජෝශප් සහ මේරි. ඒ දෙන්නාගේ පුංචි බිලින්දාගේ නම ජේසුස්. ඕන්න එතකොට අර Treasure box එකක් වෙන්න සිහින දැකපු ඒත් අන්තිමට ඉස්තාලයක පිදුරු ඔරුවක් වුන ගස තේරුම් ගන්නවා අන්තිමේදි ලෝකයේ වටිනාම වස්තුව තමන් මත තබපු බව. එතකොට එයාගේ සිහිනය ගොඩාක් කල් ගිහින්, ඒ ගස තමන්ගේ සිහින අමතක කරාටත් පස්සේ දවසක හිතුවාටත් වඩා හොඳ විදියකට සැබෑ වුණා. 

තවත් කාලයක් ගිහින් තවත් එක දවසක් උදා වුණා. මේ වෙද්දි අර මුලින් කී ගස් අතරින් දෙවැනි ගස, ඒ කියන්නේ ලොකුවෙලා රජතුමා පවා යාත්‍රා කරන ශක්තිමත් ගසක් වෙන්න සිහින දැකපු ගස පුංචි ධීවර වරායක මසුන් මරන්නන් දියට ගෙනයන බෝට්ටුවක්. එක්තරා දවසක මේ බෝට්ටුවට මිනිසුන් කිහිප දෙනෙක් ගොඩවෙලා යාත්‍රාව ගැඹුරු ජලයට ගෙනියනවා. ඒ මිනිසුන් සියලු දෙනා බෝට්ටුව හසුරුවමින් මාලු දැල් එලමින් කාර්යබහුල වෙද්දි එක්තරා පුද්ගලයෙක් බෝට්ටුවේ එක් මුල්ලක නින්දට වැටෙනවා. 

වැඩිවෙලා යන්න කලින් අහස අඳුරු වෙලා දැවැන්ත වර්ෂාවක් ඇද හැලෙනවා. මේ වර්ෂාව සහ ඒත් එක්ක එන සුලඟ‍ෙන් කැලඹෙන ජලාශයේ කුනාටුවක් ඇතිවෙනවා. ධීවර බෝට්ටුව පොඩියි, කුනාටුව හිතාගන්නත් බැරි තරම් දරුණුයි, බෝට්ටුවේ සිටි සියල්ලත් සමග බෝට්ටුව ජලාශය ඇතුළට ගිලීයන්න ඕන්න මෙන්න. ඒ අතරේ පිරිසෙන් එක් අයෙක් අර මුලින් සඳහන් කළ, බෝට්ටුව කෙලවර නින්දට වැටුණු පුද්ගලයාව අවදි කරනවා. "අපි විනාශ වෙන්න යන්නේ" තමන්ගේ මිතුරාගේ හඬින් අවදි වෙන ඒ පුද්ගලයා බෝට්ටුව කෙලවරට ගිහින් ප්‍රචණ්ඩ අහස දිහාවට දෑත් දිගුකර "සන්සුන් වෙන්න" යැයි මුමුණනවා. ඒත් සමගම වැස්සත් සුලඟත් පහව ගිහින් ප්‍රචණ්ඩ කුනාටුව සමනය වෙලා ජලය සන්සුන් වෙනවා. මේ විදියට කුනාටුව සන්සුන් කළ පුද්ගලයා නමින් ජේසුස් ක්‍රිස්තූන්. ඔන්න එතකොට අර රජතුමා පවා යාත්‍රා කරන ශක්තිමත් නෞකාවක් වෙන්න සිහින දැකපු, ඒත් අන්තිමට පොඩි ධීවර බොට්ටුවක් වෙන්න සිදුවීමෙන් තමන්ගේ සිහින අහිමි කරගත් ගස තේරුම් ගන්නවා තමන්ගේ සිහිනය මෙච්චර කාලයකට පස්සේ සැබෑ වුනා නේද කියලා. සියල්ලන්ම අවනත වෙන රජුන්ගෙත් රජුවන පුද්ගලයා තමන් මත යාත්‍රා කරනවා. 

තවත් කාලයක් ගිහින් තවත් එක දවසක් උදා වුණා. මේ වෙද්දි අර මුලින් කී ගස් අතරින් තුන්වැනි ගස, ඒ කියන්නේ ලොකුවෙලා දිව්‍ය ලෝකයේ ගෑවෙන්න තරම් උස යන සියලු දෙනා ගරුකරන ගසක් වෙන්න සිහින දැකපු ගස නිකන්ම නිකන් ලී කඳන් දෙකක් වෙලා වඩුවෙකුගේ වඩු මඩුවක දූවිලිවලින් වැසෙමින් තිබුණා. දවසක් මෙතනට එන සොල්දාදුවන් කිහිප දෙනෙක් අර වඩුවාට මුදල්දීලා මේ ලී කඳන් දෙක රැගෙන යනවා. කඳන් දෙක එකිනෙක හරස්වන සේ තබා ගැට ගසන සොල්දාදුවන් ඉන් අනතුරුව ඒක කටු ඔටුන්නක් හිසේ රුවාගෙන සිටි හීන්දෑරි මනුස්සයෙක්ගේ උරමත තබනවා. ඊට පස්සේ ඒ මනුස්සයා මග දෙපස මිනිසුන් රැස්වෙලා බලා හිටපු මාවතක් දිගේ මේ බර ලී කඳන් දෙක ඇදගෙන යන්න පටන්ගත්තා. ඒ යද්දි ඔහුට කසයෙන් තලමින් සොල්දාදුවන් කිහිප දෙනෙක් ඔහු පසුපස ඇදුනා. උස කන්දක මුදුනට මේ විදියට ගමන් කළාට පස්සේ අර සොල්දාදුවන් එක් වෙලා මුලින් කී මිනිසාව අර ලී කඳන් දෙක මත තබලා ඇණ ගසනවා. ඊට පස්සේ අමාරුවෙන් ලී කඳන් දෙක ඔසවපු සොල්දාදුවෝ කන්ද මත අහස දෙසට යොමුවෙන විදියට ඒක හිටවනවා. සොල්දාදුවන් එහෙ මෙහෙ වෙද්දි ඒ වටා එකතුවන මිනිසුන් කිහිප දෙනෙක් වේදනාවෙන් බරිතව අහස දෙසට යොමුවුණු මේ ගස දිහාත් ඒ මත මරණාසන්නව සිටින මිනිසා දිහාත් බලාගෙන ඉන්නවා. ගස පාමුල දණ ගසාගත් ඒ මිනිසුන් දුකෙන් පීඩිතව යාඥාවක ස්වරෑපයෙන් යමක් මුමුණන්න පටන් ගත්තා. මේ විදියට ඒ ගස මත ඇණ ගසා සිටි මිනිසාගේ නම ඔබ දන්නවා. ඒත් එක්කම අර දිව්‍ය ලෝකය පවා ස්පර්ශ කරන සියලු මිනිසුන් ගරුකරන ගසක් වෙන්න ප්‍රාර්ථනා කරපු ගස තේරුම් ගත්තා ගස් කපන්නෙකු අතින් බිම ඇදවැටිලා කාලයක් තිස්සේ වඩුවෙකුගේ මඩුවක දුහුවිලි පහර විඳිමින් ජීවත් වෙන්න වුනත් අන්තිමට තමන්ගේ සිහිනය සැබෑ වුනා නේද කියලා. සදාකාලයටම මිනිසුන්ගේ ගෞරවය ලබන ගසක් වෙන්න ඒ ගසට අන්තිමට පුලුවන් වුණා. 

මේ කතාව Christmas Story එකක්. මේ කතාව ලියන මට වගේම කියවන ඔබටත් සිහින රාශියක් තිබෙනවා. මම හිතන විදියට ඒ සිහින තමයි ජීවිතයේ අර්ථය. අපිට ජීවත්වෙන්න ආශාව දෙන්නේ අපි විසින් ඉෂ්ඨ කරගන්න බලාපොරොත්තුවෙන මේ සිහින එහෙමත් නැත්නම් ප්‍රාර්ථනාවන් කියලා මම විශ්වාස කරනවා. 

ඒත් ජීවිතය කියන්නේ සරල ගමනක් නෙවෙයි. ඒක බාධාවන් පිරුණු අනපේක්ෂිත නිම්න හරහා ගලන විටෙක සිඳීයන තවත් විටෙක නැවත පිරී ඉතිරි යන ගංගාවක් හා සමානයි. මේ ජීවිත ගමන පුරාවට අපි දකින සිහින එක්තරා මොහොතක අත්හැර දාන්න අපිටම හිතෙයි. හරියට අර Treasure box එකක් වෙන්න හිතපු ගසට අන්තිමට පිදුරු ඔරුවක් වෙන්න වුණා වගේ. කාලයක් ගත වෙලා අපේ සිහින සැබෑ වෙන්න ඕන්න මෙන්න තියෙද්දි ඒවා මගහැරෙයි. හරියට ශක්තිමත් නැවක් වෙන්න සිහින දැකපු ගස පුංචි ධීවර බෝට්ටුවක් වුණා වගේ.  එහෙමත් නැත්නම් අපේ සිහින දකින්න පටන්ගත් තැනම අපිටත් නොදැනීම අපේ අතින් අත්හැරෙයි. හරියට අර දිව්‍ය ලෝකයේ පවා ගෑවෙන සියලු මිනිසුන් ගරු කරන ගසක් වෙන්න සිහින දැකපු ගස ගස් කපන්නෙක් අතින් කැපිලා බිම ඇදහැලුන මොහොත වගේ. 

ඒත්  සිහින දකින එක වැදගත්. දිගටම සිහින දකින එක අත් නොහැර කරන එක වැදගත්. මොකද කාලයකට ඉස්සර අපි දැකපු සිහින අපි ඒ සිහින දැක්කාටත් වඩා හොද විදියට සැබෑ වෙලා අපි ඉස්සරහාට එන දවසක් නොවැරදීම එනවා. ඒක ජීවිතයේ තවත් එක ස්වභාවයක්. 

කලිනුත් සඳහන් කළ විදියට මේක Christmas Story එකක්. මේ කතාවෙන්ම හදපු බොහොම ලස්සන වීඩියෝ එකක් බලන්න පුලුවන් මෙතනින්. 

බිලියන 7.5 ක් මිනිසුන් ගැන.


 

ඔය ඩැනියෙල් බ්‍රවුන් කියන ඇමරිකානු ලේඛකයා තමයි මගේ ප්‍රියතම ප්‍රබන්ධ කතා රචකයා. බොහේ දෙනෙක් මේ ලේඛකයාගේ The Da Vinci Code පොත කියවා ඇති. අවසානයට නිකුත් වුන ඩැනියෙල් බ්‍රවුන් නවකතාව Inferno කියවලා තියෙනවනම් ඔබ දන්නවා ඇති ඒකේ මූලික තේමාව ලෝක ජනගහන අර්බුදය බව. 

ලෝකයේ වේගයෙන් වර්ධනය වෙන ජනගහන මිනිස් වර්ගයාගේම පැවැත්මට බලපාන සෑහෙන්න බරපතල ප්‍රශ්නයක් විදියට දැකපු බර්ට්‍රන්ඩ් සෝර්බිස්ට් (Bertrand Zobrist) නමැති ජාන විද්‍යාඥයා ගැන තමයි Inferno ප්‍රබන්ධය මූලිකවම ගොඩනැගෙන්නේ. ‍මිනිස් ජනගහනය පාලනය කරන්න 'ඇඟට දැනෙන' පියවරක් නොගත්තොත් ඊලඟ වර්ෂ සියයට කලින් මිනිස් වර්ගයා මිහිමතින් වඳ වෙලා යයි කියලා තර්ක කරන සෝර්බිස්ට් නිර්මාණය  කරනවා වෛරසයක්. වෛරසයක් කිව්වට මේක විශේෂ Vector virus එකක්. ඒකෙන් කරන්නේ ලෝකයේ සෑම පුද්ගලයන් තුන්දෙනෙක්ගෙන්ම එක් අයෙක් තෝරාගෙන ඒ පුද්ගලයාගේ දරුවන් බිහිකිරීමේ හැකියාව අකර්මන්‍ය කර දැමීම හෙවත් සාපල්‍යතාවය අහිමිකිරීම. මෙහෙම කරලා ඊලග අවුරුදු 05 ඇතුළත ලෝක ජනගහනය හරි අඩකින් අඩු කරන එක තමයි මිනිහගේ ඉලක්කය.  

ලෝක ජනගහනය කීයද කියලා ඇහුවම ගොඩක් දෙනා කියන්නේ බිලියන 07 ක් කියලනේ. නමුත් එක්සත් ජාතීන්ගේ ගණනයකිරීම්වලට අනුව ලෝක ජනගහනය ඇත්තටම බිලියන 07 ක් වුනේ 2011 වසරේ ඔක්තෝබර් 31. ඒ කියන්නේ දැන් ඒ ගණන ඊට වඩා වැඩියි. වර්තමාන ලෝක ජනගහණය බිලියන 7.5 කට අධිකයි කියලයි සැලකෙන්නේ. මේ ලිපිය පළකරන්න මොහොතකට කලින් ලෝක ජනගහණය 7,528,148,264 ක ප්‍රමාණයක්. නෑ...ලිපිය පළ කරන්න කලින් මම ලෝක ජනගහණය ගණන් කළේ නෑ. Worldometers කියන හරිම සුවිශේෂී වෙබ් අඩවියක් තියෙනවා. මේ වෙබ් අඩවියෙන් කරන්නේ ලෝකයේ විවිධ ආයතන මගින් නිකුත් කරන සංඛ්‍යා ලේඛන පදනම් කරගෙන ලෝක ජනගහණය ගැන තත්පරයට නිවැරදි දත්ත ලබාදීම. මෙන්න මෙතනින් ඒ වෙබ් අඩවියේ ජනගහන විස්තර පිටුවට ගියොත් අමුතුම විස්තර ටිකක් දැනගන්න පුලුවන්. 

දැන් මේ ඉන්නවා කියන බිලියන 7.5 ම එක තැනකට එකතු කරලා ඒ සේරටම ඇහෙන්න "හලෝ මොහොමඩ්, ඉතින් කොහොමද" කියලා ඇහුවොත්, එතනින් මිලියන 150 ක් විතර "හා මම හොදින් ඔයාට කොහොමද" කියලා අහන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ ඉන්න මිලියන 150 ක පමණ ප්‍රමාණයක මුල් නම මොහොමඩ්. ඒ වගේම කාන්තාවන්ට යෙදෙන නම්වලින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ මේරි කියන නම. මේ තියෙන්නේ ඒ සේරම මිනිස්සුගේ වෘත්තීන් ගැන ඇනා වයිටල් විසින් නිර්මාණය කළ Info-graphic එකක්. 



ලෝක ජනගහණය ඇත්තටම බරපතල ප්‍රශ්නයක් වෙන්නේ එහි වර්ධන වේගය නිසා. වර්ෂ 1800 දී ලෝක ජනගහනය යන්තම් බිලියන 01 ක් පමණයි. 1974 වර්ෂය වෙද්දි - ඒ කියන්නේ වර්ෂ 170 ක කාලයක් තුළ ලෝක ජනගහණය 1800 දී තිබුනාට වඩා සිව් ගුණයකින් වැඩිවෙනවා. ජනගහනය බිලියන 04 ක් කරගන්න අපේ කට්ටියට වර්ෂ 170 කට වඩා ගියාට ඒක තව දෙකකින් වැඩි කරගන්න ගතවුනේ අවුරුදු 25 ක් විතරයි. ඒ කියන්නේ 1999 වර්ෂය වෙනකොට ලෝක ජනගහණය බිලියන 06 ක්. 

එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදළට ( United Nations Population Fund) අනුව 1987 වර්ෂයේ ජුලි මාසේ 11 වෙනිදා තමයි ලෝක ජනගනය බිලියන 05 ක් වුනේ (The Day of Five Billion). මම ඉපදුනේ 1987 වර්ෂයේ. පස්සේ  මම ඉතින් වෙලේ ක්‍රිකට් ගහලා, ඉස්කෝලේ ගිහිල්ලා, කැම්පස් ගිහින්, රස්සාවක් කරන ගමන් මේක ලියන කාලේ වෙද්දි බිලියන පහක් තිබුණ ලෝක ජනගහනය තව දෙකකින් වැඩි වෙලා (නෑ ඒකට මගේ කිසිම දායකත්වයක් නෑ).

එතකොට ඔය විදියටම, 1999 වර්ෂයේ ඔක්තෝබර් 12 වෙනිදා සැලකෙන්නේ  The Day of Six Billion විදියට. එදා තමයි ලෝක ජනගහනය බිලියන 06 ක් වුණා කියලා සැලකෙන්නේ. ක්‍රොයේෂියාව කියන රටේ සැග්රෙබ් කියන ටවුන් එකේ ඉන්නවා මතේජ් ගැස්පර් (Matej Gašpar) කියලා හාදයෙක්, තව එතකොට කොසෝවෝ රටේ ඉන්නවා ඇඩ්නන් මෙවික් (Adnan Mević) කියලා එක්කෙනෙක්. මේ දෙන්නා තමයි ලෝක ජනගහනය බිලියන 05 ක් සහ 06 ක් වුණ අවස්ථාවන්වල සංඛේතාත්මකව බිලියන 05 බබා (Child Five billion) සහ බිලියන 06 බබා (Child Six billion) කියලා පිළිගත්තේ. ඒ එයාලා හරියටම ඒ ඒ දින උදාවුන අවස්ථාවල ඉපදුන නිසා. ඔය බිලියන 06 බබා ඇඩ්නන් මෙවික් ඉපදුන අවස්ථාවේ කොසොවෝ රෝහලට ගිය එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කොෆී අනන් මහත්මයා තමයි ඇඩ්නන්ව වඩාගෙන මෙන්න මෙයා තමයි බිලියන 06 බබා කියලා ප්‍රසිද්ධ කරේ.  

වර්තමාන ගණනයකිරීම්වලට අනුව හැම තප්පරයකදීම ලෝකය පුරා නව දරු උපත් 05 ක් සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ සෑම තප්පරයකටම වරක් ලෝකයේ කොතැනක හෝ පුද්ගලයන් දෙදෙනෙකු මියයන අතර. අනෙක් අතට 2023 වෙනකොට ලෝක ජනගහනය බිලියන 08 දක්වා වැඩිවෙන බවත්, මේ අගය 2056 වර්ෂය වෙනකොට බිලියන 10 ඉක්මවන බවත් පුරෝකථනයව තිබෙනවා. එතකොට මේ දක්වා ඔබ මේ ලිපිය කියවන්න ගතකළ කාලය තුළ ලෝක ජනගහනයට අලුතින් කී දෙනෙක් එකතුවෙලාද? 

මෙතන තියෙන තවත් පොඩි නොගැලපීමක් ඔබට පෙනුනද මම දන්නේ නෑ. ඒත් කල්පනා කරලා බැලුවොත් පැහැදිලි වේවි නව දරු උපත් සංඛ්‍යාවට වඩා මියයන සංඛ්‍යාව අඩුයි කියලා. මේක වෙලා තිබෙන්නේ සෞඛ්‍ය පහසුකම් ආදියේ දියුණුව නිසා මිනිසුන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩිවීම නිසාවෙන්. අද ජීවත්වන සාමාන්‍ය මිනිසෙක්ගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 69 ක් පමණ. ඒ නිසා ලෝකය තුළ අසීමිත වැඩිහිටි ජනගහනයක් ජීවත් වෙනවා. මේ වැඩිහිටි ජනගහනය කොපමණද කියනවනම් මිනිස් ඉතිහාසය පුරාම වයස අවුරුදු 65 හෝ ඊට වඩා ජීවත්වුණ සියලුම මිනිසුන්ගෙන් හරි අඩක් අදටත් ජීවතුන් අතර ඉන්නවා. 

ලෝකය තුළ මිනිස් වර්ගයාගේ පහළ වීමෙන් පස්සේ මේ වනවිට මිනිසුන් බිලියන 106 ක් පමණ මිහිමත ජීවත්ව තිබෙන බව සදහන්. ලෝකයේ දැනට ජීවත්වන ජනගහණයෙන් 90% ක්ම ජීවත් වෙන්නේ පෘථිවියේ උතුරු අර්ධගෝලයේ. එයිනුත් වැඩිම ප්‍රමාණය - ඒ කියන්නේ 54% ක් ම ජීවත් වෙන්නේ ආසියා මහාද්වීපයේ. ලෝක ජනගහනයේ ඉතිරි පිරිස අප්‍රිකාවේ 25% ක්, ලතින් ඇමරිකාවේ 8.2% ක්, යුරෝපයේ 7% ක් සහ උතුරු ඇමරිකාවේ 4.7% ක් වශයෙන් පැතිරිලා ඉන්නවා. 

ආසියාවට මේ ලැයිස්තුවේ පළමු තැන ලැබෙන්න හේතුව? හේතුව තමයි චීනය සහ ඉන්දියාවේ අප්‍රතිහත උත්සාහයන්. 2016 වර්ෂයේ සංගනනයන්ට අනුව චීනයේ ජනගහනය මිලියන 1382 ක්. ඒ කියන්නේ බිලියන 1.3 ක්. ලෝක ජනගහනයෙන් හතෙන් එකක්ම ඉන්නේ චීනයේ. ඒ අගය ලංකාවේ ජනගනය වගේ 60 ගුණයකටත් වඩා වැඩියි. ලෝක ජනගහනයෙන් තවත් හතෙන් එකක් ඉන්නේ ඉන්දියාවේ. එයාලගේ ජනගහනය මිලියන 1267 ක්. ඒ කියන්නේ බිලියන 1.2 ක්. ලෝක ජනගහනයෙන් බිලියන 2.5 කටත් වඩා ජීවත් වෙන්නේ චීනයේ සහ ඉන්දියාවේ. ඒ වගේම ඉන්දියාවේ පසුගිය වර්ෂ කිහිපයක ජනගහන වර්ධණ වේගයන් සලකලා බැලුවාම එයාලා උපරිම උත්සාහ දරමින් චීනය පරද්දන්න උත්සාහ කරන බවත් පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා. ලෝකයේ ඉහළම ජනගහනයන් සහිත රටවල් 10 අතරේ තවත් දකුණු ආසියානු රටවල් දෙකක් තිබෙනවා. ඒ ඉහත ලැයිස්තුවේ පිළිවෙලින් 6 සහ 8 ස්ථානවල ඉන්න පාකිස්ථානය සහ බංග්ලාදේශය. 

දැනට ලෝකයේ ළමා ජනගහනය බිලියන 1.9 ක් විදියටයි සැලකෙන්නේ.  ලෝකයේ ළමා ජනගහනයෙන් වයස අවුරුදු 05 ට අඩු දරුවන් 29,000 ක් පමණ දිනකට මියයනවා. ඊටත් වඩා භයානක සහ පිළිකුල්දනවන කතාවක් තිබෙනවා - දවසකට ලෝකය පුරාම තැන් තැන්වල සිදුවන ළමා විවාහ සංඛ්‍යාව 37,000 කටත් අධිකයි. ඒ වගේ විශාල ළමා විවාහ සංඛ්‍යාවක් සිදුවෙද්දි ලෝකය පුරා සංවර්ධනය වන රටවල ජීවත්වන වයස අවුරුදු 18 ට අඩු ගැහැණු දරුවන්ගෙන් දිනකට 20,000 ක් පමණ දරු උපතක් සිදුකරන බව කීම පුදුමයට කාරණයක් නෙවෙයි නේද?

ලෝකයේ ජීවත්වන බිලියන 7.5 ක මහා ජනගහනයෙන් එකිනෙකා අදහන ආගම් මොනවද කියලා හොයලා බැලුවොත් වටිනවා. ලෝක ජනගහනයෙන් වැඩිම ප්‍රමාණයක් - ඒ කියන්නේ  31% ක් අදහන්නේ ක්‍රිස්තියානි ආගම. මේ පිරිස අතරට කතෝලික, ප්‍රොතෙස්තන්ත්‍ර, ඔර්තඩොක්ස් වගේ ක්‍රිස්තියානි ආගමේ විවිධ ආගමික ප්‍රභේද අදහන අය අයත්. දෙවැනියට තිබෙන්නේ 23%  ක ප්‍රමාණයක් සිටින ඉස්ලාම් ආගමිකයන්. මේ ලැයිස්තුවේ තුන්වැනි තැන තියෙන්නේ ආගමක් නෙවෙයි. වාර්තා වෙන විදියට ලෝකය ජනගහනයෙන් 16% ක් පමණ ප්‍රමාණයක් අද වනවිට අනාගමිකයන් විදියට තමන්ව හදුන්වාගන්නන්. ලැයිස්තුවේ පිළිවෙලින් 04 සහ 05 වැනි තැන්වල තියෙන්නේ හින්දු සහ බෞද්ධ ආගම් අදහන්නන්. හින්දු ආගම අදහන්නන් ගණන සංඛ්‍යාෙවන් 15% ක් වෙද්දි බෞද්ධ ආගම් අදහන්නන් සංඛ්‍යාව 07% ක්. මේ 07% න් භාගයක් විතර ජීවත්වෙන්නේ තනි රටක. ඒ රට තමයි ඔය පහුගිය කාලේ ලංකාවට වරාය, අධිවේගී මාර්ග එහෙම හරි හරියට හදලා දුන්නේ. 

1980 වර්ෂයේදී ආචාර්ය වෙස්ලි බ්‍රවුන් කියන පර්යේෂකයා මිනිසුන්ගේ DNA සැකැස්ම සම්බන්ධයෙන් විශේෂ කාරණයක් අනාවරණය කරගත්තා. ඒ තමයි සියලුම මනුෂ්‍යයන් තුළ තිබෙන මයිට්‍රොකොන්ඩ්‍රියල් DNA (Mitochondrial DNA/ mtDNA) බොහෝ දුරට එකහා සමානයි කියන එක. 


සාමාන්‍යයෙන් මේ මයිට්‍රොකොන්ඩ්‍රියල් DNA දාරකයන්ට ලැබෙන්නේ දාරකයාගේ මව් පාර්ශවයෙන්. මේ කරුණ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ කළ රෙබේකා L. කාන් කියන ජාන විද්‍යාඥවරිය (Geneticist) 1987 වර්ෂයේදී අනාවරණය කරගත්තා අද ජීවත්වන ඔබත් මමත් ඇතුළු සියලුම මිනිසුන් අදින් වසර 200,000 පමණ පෙර ජීවත්වුන එක කාන්තාවකගෙන් (Common female ancestor) පැවත එන්නන් බව. මේ කාන්තාව ජාන විද්‍යාඥයන් විසින් හඳුන්වන්නේ මයිට්‍රොකොන්ඩ්‍රියල් ඊවා කියන නමින්.

ඔය මයිට්‍රොකොන්ඩ්‍රියල් DNA එක දාරකයන්ට මව් පාර්ශවයෙන් ලැබෙනවා වගේම පිය පාර්ශවයෙනුත් දාරකයන්ට ලැබෙන විශේෂ DNA අණුවක් තිබෙනවා. ඒකේ නම Y වර්ණදේහය (Y Chromosome). Y වර්ණදේහය තිබෙනවා නම් දාරකයා පිරිම දරුවෙක්, නැත්නම් ගැහැණු දරුවෙක්. 

අහලා ඇතිනේද ජෙන්ගීස් ඛාන් ගැන? 20 වන සියවසේදි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බිහිවෙන්න කලින් ලෝකයේ එතෙක් මෙතෙක් පහළවූ දැවැන්තම අධිරාජ්‍යය වන මොන්ගල් අධිරාජ්‍යය බිහිවුනේ ජෙන්ගීස් ඛාන්ගෙන්. මෙයාට තිබුනා හරි අමුතු ආශාවක්. ඒ තමයි වෙනත් රටවල් තමන්ගේ අධිරාජ්‍යයට නතු කරගත්තට පස්සේ ඒ රටවල ඉන්න සුන්දර කාන්තාවන් තමන්ගේ ලිංගික සහකාරියන් කරගැනීම. මේ වැඩේ මෙයා කොච්චරනම් කරාද කියනවනම් ජෙන්ගීස් ඛාන්ගෙ මරණයෙන් ටික කලක් යද්දිම මෙයාගෙන් බිහිවුන දරු පරම්පරාව 20,000 ත් ඉක්මවලා තිබුණාලු. ඒ නිසාම අද ජීවත්වන පිරිමින් සෑම 200 ක ගෙන් එක් අයෙක්ම කෙලින්ම ජෙන්ගීස් ඛාන්ගෙන් පැවත එන්නන්.

තෝමස් රොබ්ර්ට් මැල්තූස් කියන ඉංග්‍රීසි ජාතික පර්යේෂකයා 1798 වර්ෂයේදී ලෝක ජනගහනය සම්බන්ධයෙන් විශේෂ මතයක් ඉදිරිපත් කරලා තිබෙනවා, මේකට කියන්නේ ජනගන වර්ධනය පිළිබද මැල්තූසියන් න්‍යාය එහෙමත් නැත්නම් මැල්තූසියන් ව්‍යසනය (Malthusian catastrophe) වශයෙන්. සරලව කියනවානම් රොබර්ට් මැල්තූස්ගේ අදහස වුනේ ලෝක ජනගහනය අසීමිත ලෙස වර්ධනය වෙලා එක්තරා මට්ටමකට ආවාට පස්සේ ඒ වර්ධනය පාලනය කෙරෙන කිසියම් ස්වභාවික සිදුවීමක් සිදුවෙලා ලෝක ජනගහනය අඩු වෙනවා කියලා. 

උදාහරණයක් විදියට ලෝක ජනගහණය එක්තරා ප්‍රමාණයකට ආවාම ඒ අධික ජනගහණයට ප්‍රමාණවත් තරම් ආහාර නොමැතිවීම නිසා මිනිසුන් වදවී යා හැකියි. එහෙමත් නැත්නම් යුද්ධයක් හෝ අසීමිත ස්වභාවික සම්පත් පරිහරණය නිසා ඇතිවන ස්වභාවික ව්‍යසනයක් හෝ වෙනත් අනපේක්ෂිත සිදුවීමක් නිසා සත්ත්ව වර්ගයා මිහිමතින් මුලුමනින්ම වදවී යාම හෝ ප්‍රමාණය අඩුවීම සිදුවිය හැකියි. 

මැල්තූස් සදහන් කළ ආකාරයේ සිදුවීම් ලෝක ඉතිහාසය තුළ ඇත්තටම සිදුවෙලා තිබෙනවා. එයින් අදහස් කළේ අපි අහලා දැකලා තිබෙන යුද්ධ, භූමිකම්පා හෝ සාගත වැනි සාපේක්ෂව කුඩා සිදුවීම් ගැන නෙවෙයි. මිහිමත ජීවත්වුන සමස්ත සත්ව වර්ගයාගෙන් සෑහෙන ප්‍රමාණයක් එකවර මිහිමතින් ඉවත් කර දැමුණු සිදුවීම් සිදු වෙලා තිබෙනවා. මේ සිදුවීම් හදුන්වන්නේ මහා පරිමාණ සත්ත්ව වදවීම් එහෙමත් නැත්නම් The big mass extinctions යන නමින්. දැන් ඔය ඩයිනෝසෝර් සත්ත්ව විශේෂය සම්පූර්ණයෙන්ම මිහිමතින් වදවුනේ අදින් වර්ෂ මිලියන 66 කට පමණ පෙර සිදුවූ එවැනි සිදුවීමකින්. ඒ සිදුවීමෙන් ඩයිනෝසරයන් ඇතුළත්ව මිහිමත ජීවත්වුන සත්ත්ව විශේෂවලින් 76% ක්ම සම්පූර්ණයෙන්ම තුරන්ව ගියබව සැලකෙනවා. 

දැන් වැඩේ තියෙන්නේ මේකයි. මිනිස් වර්ගයාගේ අසීමිත සම්පත් පරිභෝජනය සහ අධික ජනගහන වර්ධනය නිසා පෘතුවි තලය මත තවත් මහා පරිමාණ සත්ත්ව වදවීමක් ඉදිරි වසර 100 ට පෙර සිදුවෙන්න නියමිතයි කියලා ෆ්‍රෑන්ක් ෆෙනර් කියලා මහත්මයෙක් අනුමාන කරලා තිබෙනවා. මේ ෆ්‍රෑන්ක් ෆෙනර් කියන්නේ නිකන්ම නිකන් කෙනෙක් නෙවෙයි. එයා ඔස්ට්‍රේලියාවේ කැන්බරාවල තියෙන ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්ෂද්‍රජීව විද්‍යාව පිළිබ‍ද සම්මානිත මහාචාර්යවරයෙක්. වසූරිය රෝගය පිටු දැකීම සදහා අවශ්‍ය විද්‍යාත්මක සොයාගැනීම් ගණනාවක් සිදුකරපු පුරෝගාමී පර්යේෂකයෙක්. ඉතින් මෙයා කියන දේවල් නිකන්ම නිකන් බැහැර කරන්නත් බැහැ. 

In the last half-billion years, life on Earth has been nearly wiped out five times by events like climate change and an...
Posted by National Geographic on Tuesday, June 23, 2015



ඇත්තටම ගත්තොත් ලෝකයේ මේ තියෙන ජනගහන අර්බුදයට සෘජුවම බලපාන්නේ සම්පත් බෙදීයාමේ විෂමතාවයන්. අනෙක් පැත්තෙන්, දිනෙන් දින වැඩිවන ජනගහනය නිසා සම්පත් බෙදීයාමේ විෂමතාවය තව තවත් උග්‍ර වෙනවා. ලෝක ජනගහණයෙන් 13% කට අධික ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය නැහැ. ලෝකයේ නිෂ්පාදනය වන බලශක්තීන්ගෙන් 23% ක්ම පරිභෝජනය කරන්නේ ලෝකයේ අතිශය දියුණු රටවල වාසය කරන 05% ක පිරිස. ලෝකයේ දියුණු රටවල වාසය කරන පුද්ගලයන්ගෙන් මිලියන 160 ක ප්‍රමාණයක් අධික ස්ථුලතාවයෙන් පෙළෙද්දි කුසගින්න නිසා 2017 අගෝස්තු 25 වනදින මියගිය ප්‍රමාණය 17,500 කට අධිකයි. 2012 වර්ෂයේදි මිලියන 09 කට වඩා ප්‍රමාණයක් අධික කුසගින්න නිසා මියයද්දි, මැලේරියාව, ඒඩ්ස් සහ ක්ෂය රෝගය කියන රෝග තුනෙන්ම මියගිය සමස්ත සංඛ්‍යාව මිලියන 09 ට අඩුයි (මූලාශ්‍රය). 

මේ විෂමතාවයන් නිසා තමයි සංවර්ධිත රටවල් ලෝක ජනගහනය ඉහළ යාමට අඩුවෙන් දායක වෙද්දි සංවර්ධනය නොවුණු රටවල් ජනගහන වර්ධනයට හරි හරියට දායක වෙන්නේ. 

මේ සම්පත් බෙදීයාමේ විෂමතාවය ගැනත් පුදුම හිතෙන කතාවක් කියලා මේ ලිපිය මෙතනින් නවත්තන්නම්. අහලා තියෙනවද ලෝකයේ ධනවත්ම පවුල් ගැන? සුප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන සමාගමක් වන Mars, Incorporated ව්‍යාපාර අයිති ඇමරිකාවේ Mars පවුල, Koch Industries නමින් වන ඇමරිකානු බහු-ජාතික ව්‍යාපාරය අයත් Koch පවුල සහ Walmart සුපිරි වෙළදසැල් ජාලය අයත් ඇමරිකා එක්සත් ජනපදයේ Walton පවුල තමයි ලෝකයේ ධනවත්ම පවුල් අතරින් තුන්වැනි, දෙවැනි සහ පළමුවැනි තැන් ගන්නේ. Rothschild පවුල සහ සවුදි රජ පවුල ගැමේ සියලු පවුල්වලට වඩා ධනවත් බව කියවෙනවා. ඒවා ගැන වෙනත් ලිපියක් ලියන්නත් අදහසක් තිබෙනවා. නමුත් මේ ලිපියට මම පාදක කරගන්නේ වත්කම ප්‍රමාණය නිසි පරිදි වාර්තා ගතව තිබෙන පවුල් අතරින් ධනවත්ම පවුල් 03. 
මේ පවුල්වලට වත්කම් පිළිවෙලින් ඇමරිකානු ඩොලර් බිලියන 78, 100 සහ 130 ක්. එකතුව ඇමරිකානු ඩොලර් බිලියන 308 ක්. ඒ අතින් ලෝකයේ ධනවත්ම පවුල් 03 ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවලට අනුව ලෝකයේ දුප්පත්ම රටවල් 42 ට තිබෙන දළ දේශීය වත්කම් අන්තිම සතේටම ගැන්නත් එකතුව ඇමරිකානු ඩොලර් බිලියන 305.2 ක් විතරයි.